1970 වර්ෂයේ පිහිටුවූ සමගි රජයේ ඡන්ද රැස්වීම්වලට ජනතාව රැස් වූයේ විශාල වශයෙනි. ඊට එක් හේතුවක් වූයේ සිනමාවේ ජය කෙහෙළි නැංවූ නළු නිළියන්ද දේශපාලන වේදිකාවට ගොඩ වූ බැවිනි.
වාමවාදී අදහස්වලින් ඔද වැඩී ගිය තරුණ පිරිස් ධනවාදී සමාජ ක්‍රමය පෙරළා දමන්නට එකල නළු නිළියන් සමඟ එකතු වූහ.
පානදුරේ බණ්ඩාරගම මේ මා කියන්නට යන රැස්වීම පැවැත් විණ. හාත්පස තුරුලතාවෙන් පිරී ගිය මේ ප්‍රදේශයට නිරතුරුව ලැබෙන වර්ෂාවෙන්ද අඩුවක් නොවීය. එදා ද වැසි දිනයකි.
ශ්‍රීලනිප, සමසමාජ හා කොමියුනිස්ට් යන පක්ෂවලින් සැදුම් ලද මේ දේශපාලන වේදිකාවේ එදා දකින්නට ලැබුණේ ඇත්තනී සී. පෙරේරා සහ ෂේන් ගුණරත්නය.
සිනමා තිරයේදී මුහුණ දුටු විට පවා සිනා නැගෙන ඇන්තනී සී. සිනාවකට කිසිදු ඉඩක් නොතබමින් අධිරාජ්‍යවාදය හා ධනවාදය අතුගා දැමිය යුතු බවට වේගවත් කතාවක් කෙළේය. එය මෙවන් නළුවකුගෙන් ඇසීමට නොහැකි ආකාරයේ අපූරු කතාවකි. ඇන්තනී සී. සිනමාවේ මොනතරම් විකට චරිත රඟපෑවත් ඔහු සැබෑ ජීවිතයේදී වැඩි කතා බහක් නැති නිරතුරුවම වැදගත් යමක් කතා කරන නළුවෙකි.
ඇන්තනී සී. ලා එදා දේශපාලන වේදිකාවට ගොඩවීමේ අග්‍ර ප්‍රතිඵලය වූයේ 1972 ජනවාරි 21දා ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රාජ්‍ය චිත්‍රපට සංස්ථාව බිහිවීමය.
එදා සිනමා ඒකාධිකාරියකට යටවී තිබූ සිනමාවට සාමාන්‍ය නිෂ්පාදකයන්ට පවා එන්නට ලැබුණේත් සිනමාවට දේශීයත්වය මුසු වූයේත් රාජ්‍ය චිත්‍රපට සංස්ථාව නිසා බව අතිශයෝක්තියක් නොවේ.
ඇන්තනී සී. ඉපදුණේ හලාවත මහවැව වී හේනේය. ඒ පවුලේ වැඩිමලා ලෙසය. ඒ 1921 සැප්තැම්බර් 13 වැනිදා මහපටබැඳිගේ ඇන්තනී ක්‍රිස්මන් කිව්ලෝජියස් නමිනි. ඔහු විකට නළුවකු ලෙස වඩාත් ප්‍රසිද්ධ වුවද තිරකතා රචකයකු, සහාය අධ්‍යක්ෂවරයකු හා අධ්‍යක්ෂවරයකු ලෙසද වැඩ කළේය. ඔහුගේ පියා වතු පාලකවරයකු වූ ලෝගුස් පෙරේරාය. මව වර්ණසූරියගේ තියඩෝරා තිසේරාය.
මහවැව පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඇන්තනී පසුව පියාගේ ගම වූ ජා-ඇල, තුඩැල්ලේ පිහිටි රෝමානු කතෝලික පාසලෙන් අධ්‍යාපනය ලැබීය.
ඉන්පසුව ඇන්තනීගේ පියා කුරුණෑගලට තම වතුපාලක රැකියාව සඳහා ගිය බැවින් ඇන්තනී කුරුණෑගල බුදුපිටිය රෝමානු කතෝලික විදුහලෙන්ද අධ්‍යාපනය ලැබීය. ඔහු තවත් සම්මුඛ සාකච්ඡාවකදී පවසා ඇත්තේ කඳානේ මැසනඩ් විදුහලෙන්ද අධ්‍යාපනය ලද බවකි.
පාසල් අවදියේදීම ඇන්තනීට නාට්‍යයක රඟපාන්නට අවශ්‍ය විය. ඔහු පාසලෙන් පැනගොස් තුඩැල්ලේම පදිංචිව සිටි ඔහුගේ ඥාතියකු වූ ලැඩී රණසිංහ සොයා ගියේය. එකල ලැඩීට ආකේඩියන් නම් නාට්‍ය කණ්ඩායමක් විය.
ලැඩී විසින් ඇන්තනීට හඳුන්වා දෙනු ලැබ ඇත්තේ පී. ද ඇස්. කුලරත්න මහතාය. එවකට ඔහු මරදානේ ගාමිණී සිනමාහල තිබුණු ස්ථානයේ නැෂනල් නම් රංග ශාලාවක් පිහිටුවාගෙන නාට්‍ය සංගමයක් ආරම්භ කොට තිබිණ.
මෙසේ “ඇවැස්ස බෑණා” නම් නාට්‍යයෙන් ඔහු වේදිකාවට පිවිසි අතර එයින් මාසයකට මුදල ලෙස රුපියල් දහතුනයි ශත පනහක් ලැබූ බව කියැවෙයි.
ඉන්පසුව ඇන්තනී උත්සාහ කළේ යුද්ධ හමුදාවට හෝ අශ්ව රේස්වල ජොකියකු ලෙස රැකියාවක් සොයා ගැනීමටය. රැකියා දෙකම එකවරම ලද අතර ඔහු යුද හමුදාව තෝරා ගත්තේය. වසරකුත් මාස 11ක් මැද පෙරදිග යුද බිමේ සටන් කළ ඇන්තනී යළි ලංකාවට පැමිණ කුරුණෑගල කච්චේරියේ සේවයට බැඳින.
එහිදී ද එහි නිලධාරීන් හා ගැටුණු ඇන්තනී එයින් ඉවත්වී බෲක් බොන්ඩ් සමාගමට බැඳුණේය. එදා සිටම වාමාංශික අදහස්වලට නැඹුරු වී සිටි ඇන්තනී 1953 හර්තාලයට සම්බන්ධ විය. එයින් සිදුවූයේ දඬුවමක් ලෙස ඔහුට මීගමුව කාර්යාලයට මාරුවක් ලැබීමය.
ඇන්තනී සිනමාවට එක්වන්නේ මේ කාලයේය. ඒ ජා-ඇල රත්නාවලී සිනමාහලේ හිමිකරු වූ එච්.එම්.එල්. තිසේරා මහතා නිසාය. තිසේරා මහතාගේ මාර්ගයෙන් කේ. ගුණරත්නම් මහතා හඳුනාගත් ඇන්තනීට ‘ශූරයා’ චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණි. ඔහුට ඒ සඳහා හියුගෝ ප්‍රනාන්දු මනා සහායක් දුන් බව ඔහු පවසා ඇත.
‘මම ශූරයා චිත්‍රපටයේ චරිත තුනක් රඟපෑවා. එදා ඉඳල සිනමාස් සමාගමේ හැම නිෂ්පාදනයකම මට රඟපාන්න ලැබුණා. හැබැයි මම නළුවකු හැටියට සාර්ථක අන්දමින් ප්‍රේක්ෂකයන් අතරට ආවෙ ‘රන්මුතු දූව’ (එය ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටයයි) චිත්‍රපටයෙන්’ ඇන්තනි සම්මුඛ සාකච්ඡාවකදී එසේ පැවැසීය.
සිනමාස් සමාගමේ ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයෙන් ඔහු නිෂ්පාදන කළමනාකරුවකු ලෙස දොරට වැඩියේය. එමෙන්ම ඔහු විකට නළුවකු ලෙස දොරට වඩින්නේද ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටයෙනි. ඒ අමදෝරිස්ගේ චරිතයෙනි.
‘අමදෝරිස්ගෙන් පටන් ගත් මගේ විකට රඟපෑම් දිගටම කරගෙන යන්න වුණා. මම කැමැතියි විකට චරිතවලින් අත්මිදෙන්න. ඒත් එයට ඉඩ ලැබෙන්නෙ නෑ. අපේ නරඹන්නොත් විකට චරිතයක් කළොත් ඒක තමයි බලාපොරොත්තු වෙන්නෙ. මම ‘සූර චෞරයා’ චිත්‍රපටයේ වෙඩි කාලා මිය යනවා. හැබැයි මම මැරෙද්දිත් සමහර ප්‍රේක්ෂකයො හිනාවුණා.’ ඇම්. මස්තාන් යටතේ චිත්‍රපට කීපයකම ඇන්තනී සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන්ද කටයුතු කළේය. ඇන්තනීට දරුවන් හත් දෙනෙකි. ඉන් එක් පුතෙක් හදිසි රිය අනතුරකින් මිය ගොස් ඇත. එහිදී ඔහු අතිශය කම්පාවට ලක්විය. වාමාංශික අදහස් දැරූ හියුගෝ ප්‍රනාන්දු ඇන්තනීගේ කිට්ටුම මිතුරා වූයේය. සිනමාවට පැමිණි දා පටන්ම හැම අවස්ථාවකදීම ඇන්තනී හියුගෝට ගරු කළේය.
ඇන්තනී තිරයට පැමිණීමම ප්‍රේක්ෂකයාට සිනා උපදවන්නකි. ඔහු සිනාවන්නේ නැත. එහෙත් ඔහු දුටු පමණින් ප්‍රේක්ෂකයෝ සිනාසෙන්නට පටන් ගනිති.
ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ ‘අල්ලපු ගෙදර’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ පෙම්වතකුගේ චරිතයකි. ඒ සඳහා ඔහුගේ හිසේ කෙස් අඩු නිසා බොරු කොණ්ඩයක් පළඳා තිබිණ. චන්ද්‍රා නම් ගායකයකුගේ චරිතයක් රඟපෑ ඇන්තනීගේ පෙම්වතිය වූයේ සන්ධ්‍යා කුමාරිය. එහි ඔහුගේ රඟපෑම අතිශයින් සංකීර්ණ විය. ඔහු කිසිවිටෙක විකට නළුවකුසේ පෙම් ජවනිකා රඟ නොපායි. එහෙත් ඔහුගේ එම චරිතය සිහිපත්වන විටද දැනුදු මුවගට සිනාවක් නැඟෙයි. ඔහු වෙනුවෙන් එම චිත්‍රපටයේ ගී ගැයුවේද එකල ප්‍රේමනීය හා විරහ ගී ගයන ගායකයකු ලෙස කිරුළු පලන්, ජේ.ඒ. මිල්ටන් පෙරේරාය. මහ ගන වනන්තරේ, සොබා අලංකාරේ, මේ පිපාසිත ආදී එම ගීතද අදද මහත් ජනප්‍රියතාවක් උසුලයි.
තවත් එක් චිත්‍රපටයක මුලින්ම කැමරාව යොමු වන්නේ කෙළිලොල් තරුණයකුගේ සපත්තුවලටය. ඉන්පසුව කැමරාව ඉහළට ඇදී නවීන පන්නයේ කලිසමක්, විශාල ‘බෙල්ට්’ එකක් ‘ලව්’ යනුවෙන් සඳහන් ටී ෂර්ට් එකක් පසුකර පැමිණ අව් කණ්ණාඩියක් පැළඳ සිටින ඇන්තනීගේ මුහුණේ නතර වෙයි. එතැන් සිට සෑහෙන වෙලාවක් ඇන්තනීගේ මුහුණ දැක ප්‍රේක්ෂකයෝ සිනාසෙති.
‘හැමෝටම බැහැ මිනිස්සුන්ව හිනස්සන්න. විකට නළුකම ආයාසයෙන් කරන්නත් අමාරුයි. ඒක ඇඟෙන්ම එන්න ඕනැ. ගාමිණී ෆොන්සේකා කිව්ව වගේ මිනිස්සුන්ව සතුටට පත් කිරීම රක්ෂාවකට වඩා රටට ජනතාවට කරන සේවයක්. ඒක නිසා මම නළුකම සළකන්නේ රස්සාවකට වඩා සේවයක් විදියටයි’ ඔහු සම්මුඛ සාකච්ඡාවකදී පැවැසුවේ එසේය.
හැත්තෑව දශකයේ අග වන විට ඇන්තනී රෝගාතුර විය. ඔහු රෝහලකට ගොස් නැවතුණේය. එහි එහා ඇඳේ සිටි රෝගියා ඇන්තනී හා මිතුරු විය. ඔහු ඇන්තනීගේ සිනමා රසිකයකු විය. ඔහු හර්බට් ඇන්තනීය.
රෝහලේ නැවතී සිටි දින කිහිපයේ ඔවුහු සිනමාව ගැනත් පෞද්ගලික තොරතුරුත් කතා බහ කර ගත්හ.
එහි ප්‍රතිඵලය වූයේ ඇන්තනී සීට චිත්‍රපටයක් සඳහා මුදල් වියදම් කිරීමට හර්බට් ඇන්තනී කැමැති වීමය. එහි විශේෂත්වය වූයේ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමද ඇන්තනී සීටම පැවැරීමය. එය නිෂ්පාදකගේ විශේෂ ඉල්ලීමක්ද විය.
රෝහලෙන් ගෙදර පැමිණි ඇන්තනී ඔවුන් කතා කර ගත් පරිදි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට ලක ලෑස්ති විය. චිත්‍රපටයේ නම ‘තක්කිට තරිකිට’ය.
ෂර්ලි පී. විජේරත්න ඇන්තනීගේ සහාය ලද සිනමා අධ්‍යක්ෂවරයෙකි. ෂර්ලි ද ඇන්තනීට බෙහෙවින් ගෞරව දැක්වූවෙකි. ඇත්තනී ‘තක්කිට තරිකිට’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ කටයුතුවලට සහාය වන්නට ෂර්ලිට කතා කළේය. ඔහු ඒ සඳහා කැමැති විය.
විජය කුමාරතුංග එහි ප්‍රධාන චරිතයකට තෝරා ගැනිණ. ඇන්තනී විජය හමුවීමට ගියේය.
‘හතර දෙනාම සූරයෝ’ ආදී අතිශය ජනප්‍රිය චිත්‍රපටවල ඇන්තනී සමග රඟපෑ විජය ‘තක්කිට තරිකිට’ රඟපාන්නට එකඟවූයේ දැඩි කැමැත්තකිනි.
‘තක්කිට තරිකිට’ චිත්‍රපටයේ ගිවිසුම් අත්සන් කරන දා විජය ගිවිසුමට අත්සන් කළේ අපූරු වැකියක්ද සහිතවය. එහි මුදල් යන කොටසේ වූයේ සිංහල සිනමාවේ ප්‍රවීණ නළුවකුට කරන උපහාරයක් ලෙස කිසිදු මුදලකින් තොරව ‘තක්කිට තරිකිට’ චිත්‍රපටයේ විජය නොමිලේ රඟපාන බවය. ඒ විජය ඇන්තනීට ගෞරව කළ ආකාරයයි. ‘තක්කිට තරිකිට’ කැමරා අධ්‍යක්ෂණය බාර වූයේ ලලිත් ගුණවර්ධනටය.
ලලිත් පවසන්නේ විජය කුමාරතුංගයන් මේ අයුරින් නොමිලේ රඟපෑ චිත්‍රපට ගණනාවක් ඇති බවය.
රෙක්ස් කොඩිප්පිලි බයිසිකලය චිත්‍රපටය නිපදවීමේදී විජය නොමිලේ රඟපාන්නට එකඟ විය. ලලිත් ගුණවර්ධන ප්‍රථම වරට නිෂ්පාදනය කළ චිත්‍රපටක් වූ “ශක්ති” විජය ගිවිසුම් පත්‍රය අත්සන් කළේ මුදල යන කොටසට ‘මගේ සහෝදර ශිල්පියෙකුට කෙරෙන උපහාරයක් ලෙස නොමිලේ රඟපාන බව සඳහන් කරමිනි.
ජා-ඇල තුඩැල්ලේ පිහිටි ඇන්තනී සී. ගේ නිවසට ඇතුළුවන තැන විශාල ආරුක්කුවක් වෙයි. එහෙයින් එම නිවස අනෙක් නිවාස අතරින් කැපී පෙනෙයි.
‘තක්කිට තරිකිට’ බොහෝ රූපගත කිරීම් සිදුවූයේ ඇත්තනීගේ නිවස තුළය. ඒ සඳහා හියුගෝ ප්‍රනාන්දු ඇන්තනීගේ නිවසේ නතරව සිටියේය.
විකට නළුවන් රැසක් රඟපෑ විකට චිත්‍රපටයක් වුවද රූපගත කිරීම්වලදී කිසිදු විහිළුවක් දක්නට නොලැබිණ.
විකට නළුවො හිටියට ඒ ගොල්ලන්ට නොයෙක් පදවි ලබාදීල වගකීම් දීල තිබුණා. ඒ නිසා හිනාවෙන්න වෙලාවක් තිබුණේ නෑ’ එසේ පවසන්නේ ‘තක්කිට තරිකිට’ කැමරා අධ්‍යක්ෂණය කළ ලලිත් ගුණවර්ධනය.
එහෙත් හියුගෝ-ඇන්තනී රඟපාන ඇතැම් ජවනිකාවලදී එහි රඟපෑ අනෙක් ශිල්පීන්ටද සිනාව නවතා ගන්නට නොහැකිව දර්ශන මඟදී නැවතූ අවස්ථා තිබිණ. ඇන්තනීලා ජනතාව හිනැස්සුවේ ඔවුන් සිනා නොවෙමිනි. එහෙත් ඔවුන් දුටු විටම ප්‍රේක්ෂකයන්ට සිනායන්නේ ඉබේටමය.
ඇන්තනීම වරක් පැවැසූ පරිදි ආයාසයෙන් විකට නළුවන් වීමට නොහැකිය. එය ඉබේටම එම ශිල්පීන් තුළින්ම ආ යුතුය.
ජේම්ස් හැඩ්ලි චේස් ගේ ඉංග්‍රීසි රහස් පරීක්ෂක නවකතා කියවීම මහත් සේ ප්‍රිය කළ ඇන්තනී බොහෝ විට කතා කළේද ඉංග්‍රීසියෙනි. එමෙන්ම ඔහු සිනමා තිරයෙන් බැහැරව ගොස් විප්ලවවාදී අදහස් දැරුවෙකි.
ඇන්තනී සී. නාමය ප්‍රේක්ෂකයන් අතර ප්‍රචලිතව ඇත්තේ ජනතාව විනෝදමත් කළ විශිෂ්ට විකට නළුවකු ලෙසින් වුවද ඔහු වාමාංශික අදහස් දැරූ ක්‍රියාකාරිකයකු ලෙස සිංහල සිනමාව ගොඩනඟන්නට දේශපාලන වේදිකාවේ චරිතය ඉතා වැදගත්ය.
1988 මැයි 20 වැනිදා වසර 66ක් ආයු වළඳා අප අතරින් වෙන්ව ගියද ඇන්තනීගේ රඟපෑම් හා, සිංහල චිත්‍රපට කර්මන්තයේ උන්නතිය වෙනුවෙන් කළ සේවය සදා නොමියෙනු ඇත.
රොඩ්නි විදාන පතිරණ