අගස්ති පබළු මාලය, විජය ගේ කාලයටත් වඩා පැරණියි..
මිනිස් ජීවිතයේ විවිධ කඩඉම් අතර විවාහයට හිමි වන්නේ සුවිශේෂී වැදගත්කමකි. එය දෙවැනි උපත වශයෙන් සලකන්නේ එබැවිනි. ඒ නිසා සෑම කාන්තාවකගේ ම, එකම සිහිනය මනාලියක වන දිනය අනෙකෙකුට නොදෙවෙනි අයුරින් සැරසී මය. ඒ සඳහා උඩරට සම්ප්‍රදායානුකූලව මඟුල් ඇඳුමින් සැරසී කුලගෙට පියවර තබයි. එසේ යන මනාලිය පලඳින ආභරණ අතර කරපටිය, මාල හත, පෙති මාලය, ගෙඩි වළල්ල, සේරි වළල්ල, ගල් වළල්ල, නළල් පටිය, “අගස්ති පබළු මාලය” ප්‍රධාන වේ. ඊට අමතරව, මනාලයා ගේ ආභරණ අතර මාල, වළලු හා පදක්කම් ද දක්නට ලැබේ. මනාලියගේ ආභරණ අතර ඇති “අගස්ති පබළු මාලය” රතු පැහැයට හුරු තද තැඹිලි පැහැතිය. අර්ධ මැණික් විශේෂයකින් එය හැඩගන්වා ඇත. මේ ආකාරයෙන් සාදා ඇති අභරණ බොහොමයකි.
උඩරට මඟුල් ඇඳුමේ තිබෙන රාජකීයත්වයට ඇති නෑදෑකම නිසා ම, ඉන් සැරසීමට බොහෝ තරුණ, තරුණියෝ උත්සාහ කරති. එසේ වුවත්, එම ඇඳුම් කට්ටලය, මහනුවර රජ කළ නායක්කාර් වංශික රජවරුන්ගේ හා ලංකාවට පැමිණි දකුණු ඉන්දීය කුමාරිකාවන් විසින් හඳුන්වා දුන් එකක් වන අතර, ක්‍රමයෙන් උඩරට රදලවරු සහ ඔවුන්ගේ භාර්යාවෝ ද, එය අනුකරණයට පෙලඹුණහ. ඊට අගස්ති පබළු ආභරණ ද ඇතුළත් වී තිබුණි.
උඩරට කාන්තාවන් අතර ජනප්‍රිය, මෙම මාලය සාදා ඇත්තේ අගස්ති ගලෙනි. නැතිනම් අගස්ති පාෂාණයෙනි. ඊට අමතරව ඔසරි කටු, කොණ්ඩා කටු, මාල, ගෙඩි වළලු හා හවඩි ද, ඔප දමා විවිධ හැඩයෙන් අලංකාර කරන ලද අගස්ති පාෂාණ කැබලි ඔබ්බවා සාදා ඇත. මේවා අදට පමණක් නොව අනාගතයේ ද, උඩරට කාන්තාවන්ගේ අඳුම් පැලඳුම් අතර නැතුවම බැරි ආභරණයක් වනු නිසැකය.
උඩරට මනාල, මනාලියන්ගේ ඇඳුම් පැලඳුම් මෙන්ම, උඩරට කාන්තාවෝ අද දක්වා පවත්වාගෙන එන සාමාන්‍ය ඇඳුම් පැලඳුම් විලාසිතා ද, දකුණු ඉන්දීය අභාසයෙන් පැමිණ ඇති බව විද්වතුන්ගේ අදහසයි. ඊට හේතුව වන්නේ, විශේෂයෙන් උඩරට කාන්තාවගේ අනන්‍යතාව ලෙස පිළිගැනෙන “අගස්ති පබළු” ආභරණය සෑදීම සඳහා අවශ්‍ය අගස්ති පාෂාණය අදටත් ලංකාවට ගෙන්වන්නේ ඉන්දියාවෙන් වන බැවිනි.
කෙසේ වුවත්, මහනුවර යුගයට පෙර ඉතිහාසය පමණක් නොව, ලංකාවේ ප්‍රාග් ඓතිහාසික තොරතුරු විමසා බැලීමේ දී පෙනී යන්නේ, ලාංකීයන්ගේ මෙම අගස්ති පැලඳීම හුදෙක්, මහනුවර යුගයට සීමා වූ, මහනුවර රජධානියේ සිටි දකුණු ඉන්දීය රජවරු හා බිසෝවරුන්ගේ ආභාසය නිසාම ඇති වූවක් නොවන බවය.
ලංකාවේ අගස්ති පිළිබඳ පැරණිම තොරතුරු ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය හා ඓතිහාසික යුගය වෙන් කරන මායිමට අයත් ප්‍රොටෝ ඓතිහාසික යුගයෙනි. මෙම යුගයට අයත් පුරාවිද්‍යා ස්ථානයක් වන කුරුණෑගල දඹුලු පාරේ පිහිටි ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසාන භූමියෙනි.
විජය කුමරු ලංකාවට පැමිණීමට අවුරුදු සීයකට පෙර සිට පැවති මෙම සුසානය, විජයාගමනයට පෙර ලංකාවේ සිටි දේශීය ජනයාගේ සුසාන භූමියක් බව පෙනී යයි. මෙම සුසාන භූමියට යාබදව, මූල හා පූර්ව ඓතිහාසික ජනයාගේ වාසස්ථාන පැවති බවට ද පුරාවිද්‍යාත්මක සාක්ෂි ලැබී ඇත. එවකට පැවති චාරිත්‍ර අනුව මිහිදන් කළ තම ඥාතීන්ගේ දේහයන් සුරක්ෂිතව පැවතීම පිණිස, ගල් පුවරු යොදා ගනිමින් එක් එක් සුසානයන්ට ආරක්ෂාව සලසා ඇත. සතර පැත්තෙන් හා ඉහළින් තැබූ ගල් පුවරු කුඩා කුටියක ආකාරයෙන් සකසා ඇති අතර, තම මියගිය ඥාතියා එහි තැන්පත් කර ඇත.
මෙම තැන්පත් කිරීම ආකාර දෙකකින් සිදුකොට ඇති බව, පුරාවිද්‍යා කැණීම්වලින් පෙනී යයි. එනම් මිය ගිය තැනත්තාගේ ශේෂයන් ටෙරාකොටා බරණි තුළ තැන්පත් කිරීම හා ආදාහනයෙන් පසු එම අළු ටෙරාකොටා බරණි තුළ තැන්පත් කිරීමයි. මෙහිදී විශේෂ ලක්ෂණයක් වන්නේ එම මිය ගිය තැනත්තාට හිමි ද්‍රව්‍ය ද, ඒ සමඟ තැන්පත් කිරීමයි. මෙබඳු පිළිවෙතක් අනුගමනය කරන්නට ඇත්තේ මිය ගිය තැනැත්තාගේ මතු ජීවිතයේ දී භාවිතා කිරීම පිණිස බව විද්වත් මතයයි.
මෙසේ තැන්පත් කළ ද්‍රව්‍ය අතර, විවිධ ලෝහ, මැටි හා පාෂාණවලින් නිම වූ විවිධ ද්‍රව්‍ය ඇතුළත් වේ. සුසාන භූමියේ ආදාහනය කළ එක් ස්ථානයක තිබී හමුවූ “අගස්ති ”පාෂාණයෙන් කළ පොටවල් හතරකින් යුතු අලංකාර, මනා නිමාවකින් යුතු මාලය ඉතා වැදගත් සාක්ෂියක් සපයයි. එනම් විජය කුමරු ලංකාවට පැමිණීමට පෙර සිටම ඉතා දියුණු ශිෂ්ටාචරයක් මෙන්ම තාක්ෂණයකින්, හෙබි දැනුම්වත් වූ ලාංකිකයන් පිරිසක් මෙහි ජීවත්ව සිට ඇති බවය.
මෙහි දී වඩාත් වැදගත් කරුණ වන්නේ, ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසානයෙන් හමු වූ “අගස්ති ”නැතහොත් පුරාවිද්‍යාඥයන් හඳුන්වන, “කානේලියන් පබළු” ලංකාවේ නිර්මිත ඒවා නොවීමයි. ඊට හේතු වන්නේ, එම පබළුව නිම වීමට අවශ්‍ය මූල ද්‍රව්‍ය ලංකාවේ දී හමු නොවීමයි. එසේ නම් එම මාලය සඳහා අවශ්‍ය පබළු විදෙස් රටකින් ගෙන එන්නට ඇති යැයි සිතේ. එනම් විදේශයන් සමඟ වෙළෙහෙළෙඳාම් කර ඇති බව මින් පෙනී යයි. විජයකුමරු පැමිණෙන්නට පෙර ඉතා නොදියුණු ජාතියක්ව සිටියා යැයි, කියන සමහර අයට, ඔහු මෙරටට පැමිණිමට පෙර, අවම වශයෙන් වසර සීයකට පෙර විදේශිකයන් සමග වෙළඳාම් කර ඇති බවට මෙය කදිම නිදසුනකි. මෙසේ ගෙන් වූ විදේශීය ද්‍රව්‍ය සමඟ හුවමාරු කිරීමට නම්, ඉතා වටිනා කමින් යුතු ද්‍රව්‍ය අතීත ලාංකිකයන් සතුව තිබෙන්නට ඇති බව නිසැකය.
ලංකාවේ දී හමු නොවන අමු ද්‍රව්‍යයක් භාවිතා කරමින් අලංකාරව තැනූ පබළු මාලයක් පැලඳීමට තරම් ඉබ්බන්කට්ටුව මහා ශිලා සුසාන භූමියේ මිහිදන් කළ පුද්ගලයා එවකට සමාජයේ ඉහල තනතුරක් හොබවන්නට ඇතැයි සිතේ.
ඒ අතරම ඉන් වසර 2700කට පමණ පසුත් අගස්ති පබළුවලින් තැනූ මාල ලාංකිකයන් පළඳිතැයි, එවකට ජීවත් වූ ලාංකිකයන් නොසිතන්නට ඇත. එදා මෙදා තුර ලාංකිකයන් අතර ජනප්‍රිය භාවය නොනැසී පවතින ලංකාවේ අමු ද්‍රව්‍යයක් වශයෙන් හමු නොවන අගස්ති පබළු කෙබඳු ආකාරයේ එකක් දැයි විමසා බැලිය යුතු වැදගත් කරුණකි.
තිරිවානා කුලයට අයත් කැල්සිඩෝනි නම් ප්‍රධාන පාෂාණ වර්ගය, ඔනික්ස් හා කාර්නේලියන් වශයෙන් හඳුන්වන තවත් උප වර්ගවලින් මෙම අගස්ති පබළුව නිර්මාණය වී තිබේ. එහි වර්ණය වඩාත් දීප්තිමත් කර ගැනීම පිණිස අතීතයේදී මෙය දැඩි උණුසුමකට ලක් කර ඇත. එහි තාක්ෂණය නොදැන එය සිදු කිරීමට නොහැකි බැවින් එය අප දැන ගෙන සිටින්න ඇති. මෙහිදී සිදුවන්නේ, දැඩි උණුසුමට ලක් කිරීමෙන් පාෂාණයේ ඇති යකඩ කොටස් රතු වර්ණයට හැරීමයි. මෙම තාක්ෂණය අදින් වසර පන්දහසකට පෙර කාලයේ දී පවා, හරප්පා ශිෂ්ටාචාරයේ ජනයා විසින් භාවිතා කිරීමෙන් අඳුරු පැහැයෙන් යුතු කැල්සිඩෝනි පාෂාණ දීප්තිමත් රතු තැඹිළි පැහැයට හරවාගෙන තිබේ. මෙසේ සකසා ගත් පාෂාණ, ආභරණ සඳහා ප්‍රයෝජනයට ගෙන ඇත.
කෙසේ වුවද, හෙන්රි පාකර්, ආචාර්ය ශිරාන් දැරණියගල, මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න, මහාචාර්ය ඔස්මන්ඩ් බෝපේආරච්චි වැනි විද්වතුන්ගේ මතය වන්නේ, අගස්ති සෑදීමට අවශ්‍ය කැල්සිඩෝනි පාෂාණය ලංකාවෙන් හමු නොවන බවයි. එසේ වුවත්, මේ පිළිබඳව ආචාර්ය පී.ජී. කුරේගේ අදහස වන්නේ උතුරු ප්‍රදේශයේ කල්ආරු ආශ්‍රිතව සුළු වශයෙන් මෙම පාෂාණ නිධි ලැබෙන බවයි. මෙයින් පෙනී යන්නේ ලංකාව ආශ්‍රිතව මෙම පාෂාණය ලැබුණ ද, ඒ ඉතා සුළු වශයෙන් බවයි. එම නිසා මෙම පාෂාණය බොහෝ විට ඉන්දියාවෙන් ලංකාවට ගෙන එන්නට ඇති බව, විද්වත් මතයයි.
පසු කාලීනව මෙම අමුද්‍රව්‍ය තායිලන්තය වැනි රටවලින් පවා මුහුදු මඟින් ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. ඊට හේතුව වන්නේ, මුහුදු මඟින් ප්‍රවාහනය කරමින් තිබූ පබළු තැනීම සඳහා අවශ්‍ය වීදුරු කුට්ටියක්, අතීත ගොඩවාය වරායේ ගිලුණු නැවකින්, මුහුදු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් මෑත කාලයේදී සොයා ගෙන තිබිමයි.
මේ අනුව ශ්‍රී ලාංකිකයන්ගේ අගස්ති භාවිතය හුදෙක් ඉබ්බන්කට්ටුවෙන් නොනැවතුණු බව, පුරා විද්‍යා මූලාශ්‍රයන්ගෙන් පෙනී යයි. අනුරාධපුර ගෙඩිගේ, අනුරාධපුර සල්ගහවත්ත, තිස්සමහාරාම, අකුරුගොඩ, අම්බලන්තොට, රිදියගම ආදී ප්‍රදේශවල ස්ථාන කැණීමෙන් පමණක් නොව, යඨාල, ජේතවනාරාමය, අභයගිරිය ආදී ස්ථූප කැණීමෙන් ද, “අගස්ති ”පාෂාණයෙන් නිමවූ විවිධ ආකාරයේ පබළු හා පූජා වස්තු ලැබී ඇති බවය. යඨාල දාගැබ කැණීමේ දී, එම චෛත්‍යය ඉදි කිරීමේ දී, සිදු කළ නිදන් වස්තු අතර, මුද්දක ඔබ්බවා තිබූ අගස්ති පාෂාණය හමු වී ඇත. එය සාදා ඇති ආකාරය අනුව උතුරු ඉන්දීය අභාසයක් පෙන්වන බව, හෙන්රි පාර්කර්ගේ අදහසයි. ඒ අනුව පෙනී යන්නේ ක්‍රිස්තු පූර්ව තුනට අයත් එම දාගැබ ඉදි කිරීමේදී සහභාගි වූ ඉහළ පැලැන්තියේ කුමාරයකු හෝ නිලධාරියෙකු, තමාගේ අගනා අගස්ති ඔබ්බවා ඇති මුද්ද, එහි නිදන් වස්තු උත්සවයේ දී, පූජා කරන්නට ඇති බවයි.
ඉහත සඳහන් කළ පරිදි, ලංකාව පුරා සිදුකළ කැණීම්වලදී, අගස්ති ආභරණ ආශ්‍රිත පුරාවස්තු හමු වී තිබෙන අතර, ඒවා ඉතිහාසයේ විවිධ යුගයන්ට නෑකම් කියයි. ඊට අමතරව විදේශ රටවලින් ගෙන්වා ගෙන, නිම නොකළ අමුද්‍රව්‍ය භවිතා කරමින්, අගස්ති පබළු අතීත ලංකාවේ නිෂ්පාදනය කළ බවට, පුරාවිද්‍යාත්මක සාක්ෂි විශාල වශයෙන් ලැබී ඇත.
මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ස්ථාන කැණීමෙන්, විවිධ හැඩයේ අගස්ති පබළු හමුවීමෙන් පෙනී යන්නේ, ඒවා භාවිතය, අද මෙන්ම, එදා පුරවැසියන් අතර ප්‍රචලිතව පැවති බවයි.
එසේ ම සියවස් ගණනාවක් පුරා අගස්ති ආභරණ පැලදීමට මෙන් ම, තමන් ට අවශ්‍ය ආකාරයේ විවිධ හැඩයෙන් ඒවා නිම කර ගැනීමටත්, අතීත ලක්වැසියා දැනුම්වත්ව සිට ඇති බවට ඉහත කරුණු වලින් පෙනී යයි. ඒ අනුව මෙරට කාන්තාවෝ අගස්ති ආභරණ පැලදීමට ඇති කැමැත්ත පිළිබඳ පුදුම විය යුතු නැත්තේ, ඒ හා බැඳීම සියවස් ගණනාවක සිට පැවත එන්නක් නිසාය.
උපදෙස් - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර පුස්තකාලයාධිපති ආචාර්ය කාංචනා දෙහිගම
සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර