වැඩම කළේ කඩදොරපිටිය ගමට පමණයි
මෙයට කලකට පෙර ශ්‍රීපාද අඩවියේ මහ කැලෑවේ භාවනායෝගීව සිටින භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නට වූහ. මෙම භික්ෂූන් වහන්සේ කැලෑවෙන් එළියට එන්නේ එහෙමත් අවස්ථාවකදී පමණක් බව ශ්‍රීපාද අඩවියේ කැලෑ ආශ්‍රිතව ඇති ගම්මානවල ගැමියන් ප්‍රකාශ කර තිබුණි. ඔවුන් මෙම භික්ෂුන් වහන්සේ හැඳින්වූයේ වළහා කෑ හාමුදුරුවෝ යනුවෙනි. කාගේ කව්ද ගම කොහෙද යන්නවත් කිසිවෙකුත් මේ හිමියන් ගැන දැන නොසිටි අතර මුහුණේ එක් පසෙක විශාල තුවාල කැළලක් දකින්නට ලැබුණ නිසා ගම්මුන් මෙම හිමියන් වළහා කෑ හාමුදුරුවෝ යනුවෙන් හඳුන්වන්නට හේතු විය. ඇතැම් පුවත්පත්වල මාධ්‍යවේදීන් පවා මෙම හිමියන් මුණ ගැසී ලිපි පෙලක් පෙලගස්වන්නට උත්සාහ කළත් එයද ඉටු වී නොතිබිණි. මෙම හිමියන්ගේ තොරතුරු බොහෝ දෙනෙකු නොදැන සිටියත් ශ්‍රීපාද අඩවියේ කැලැබද ගම්මානවල ජනතාව විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය. එම නිසාම ඉඳහිට හෝ කැලැවෙන් එළියට පැමිණෙන මෙහිමියන්ට දානය පූජා කිරීමට එම ගැමියන් සැදී පැහැදී සිටියහ. එසේ අවස්ථාවක් ලැබුණේ කිහිපදෙනෙකුට පමණි. එයට හේතුව තමන්ට සරිලන පිරිකර හා දානය ලැබුණ වහාම ඒ හිමියන් නැවත වනවැදී නොපෙනී යන නිසාවෙනි.
එහෙත් කොත්මලේ, පුඬලුඔය, කඩදොරපිටිය ග්‍රාමයේ එවකට සිටි පැරැණි ගම්මුන්ට මෙහිමියන්ට සත්කාර කරන්නට දානය පිළිගැන්වීමට වසර තුනකට හතරකට වරක් අවස්ථාව ලැබුණි. එවන් අවස්ථාවල මෙම වළහා කෑ හිමියන්ට පුද සත්කාර කිරීමට එම ග්‍රාමයේ වැසියෝ නොවලහා කටයුතු කළහ.
එයට හේතුව වී තිබුණේ වසර කිහිපයකට වතාවක් මෙම භාවනා යෝගී හිමියන් නොවරදවාම කඩදොරපිටිය ගම්මානයට පැමිණෙන හෙයින්ය. එයට හේතුව වූයේ මෙම වළහා කෑ හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන් වැඩ විසුවේ කොත්මලේ පුඬලුඔය කඩදොර පිටිය ග්‍රාමයේ මේඝානන්ද විහාරස්ථානයේය. තමන් මහණ කළ සිය ගුරුහිමියන් බැහැ දැකීමට වළහා කෑ හාමුදුරුවන් නොවරදවාම වසර කිහිපයකට වතාවක් එම විහාරස්ථානයට පැමිණීමට සිරිතක් කරගෙන තිබුණි.
වළහා කෑ හාමුදුරුවන් මහණ වීම පිටුපස ඇත්තේද අපූර්වතම කතාවකි. එය මෙසේය. මෙහිමියන් ගිහි කළ ජීවත්ව ඇත්තේ පුඬළුඔය උතුරු පුඬළුඔය වතුයායේ ලැයිම්කාමරයක මව සමගය. මව එම වතුයායේ තේ දළු නෙළන්නියක ලෙස කටයුතු කර ඇත. ඇගේ ස්වාමියා අකාලයේ මිය ගොස් ඇති අතර සිය එකම පුතු ඉතා ආදරයෙන් හදාවඩාගත්තාය. මෙම මවත් දරුවාත් නිතර නිතර කඩදොර පිටිය විහාරස්ථානයට පැමිණ ශීල සමාදන් වීම ඇතුළු පිංකම්වල යෙදී ඇත. මෙම දරුවා තරුණ වියට එළඹෙත්ම ඔහුට මහණවීමට සිතී ඇති අතර ඒ බව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ මාදෝවිට පේමනන්ද නාහිමියන් වෙත සැලකර ඇත. එහිමියන් මහත් කරුණාවෙන් යුත් සිල්වත් හිමිනමකි. එහිමියන් මෙම දරුවාගේ හැසිරීම් හා දැනුම ගතිගුණ මැනවින් වටහාගෙන තිබුණ නිසා මෙම දරුවා සම්බුද්ධ ශාසනයට ඇතුළු කරවීමට කැමැත්ත පළ කළහ. එහෙත් මහණ වීමට නම් මවගේ කැමැත්ත රැගෙන පැමිණෙන ලෙස පේමානන්ද හිමියෝ මෙම තරුණයාට සැලකර සිටියහ. මොහුද පෙරළා ගොස් මහණවීමට මවගේ අවසරය පැතුවත් තම එකම දරුවා මහණ කරවීමට ඇය අකමැති විය. මේ නිසා තරුණයාගේ සිතට මහත් දුකක් කණගාටුවක් දැනුන හෙයින් ඔහු නොකා නොබී කල්පනාවේම දවස ගෙවන්නට විය. එහෙත් මවගේ අදහස නම් වෙනස් නොවුණි.
කෙමෙන් එසේ කාලය ගෙවෙද්දී ගමේ විහාරස්ථානයට පහළින් ගලායන පුඬළුඔයේ දිය පහරකට අසුව ගසාගෙන පැමිණි තරුණයෙකු එම ඔයේ දිය නාමින් සිටි පිරිසක් විසින් බේරාගත් පුවත පේමානන්ද හිමියන්ට දැනගන්නට ලැබී එහිමියන් එම තරුණයා බැලීමට එම ස්ථානයට ගිය විට දැකගන්නට ලැබුණේ මහණවීමට අවසර ඉල්ලූ මෙම තරුණයාය. ඉතා අපහසුවෙන් සිටි මෙම තරුණයා ගම්මුන්ගේ සහයෙන් විහාරස්ථානයට රැගෙන ආ අතර මේ තරුණයාට අවශ්‍ය ප්‍රතිකාර කර සුවපත් කිරීමෙන් අනතුරුව කරුණු විමසා ඇත. ඒ අවස්ථාවේ මෙම තරුණයා පවසා ඇත්තේ තමන්ට මහණවීමට සිය මව අවසර නොදුන් නිසා ඇතිවූ සිත් කලකිරීම මත සියදිවි නසා ගැනීමට සිතා ඔයේ සැඩ පහරට පැන්න බවය. පසුව සියදිවි නසාගැනීමේ විපාක මෙම තරුණයාට පැහැදිලි කර දුන් පේමානන්ද නා හිමියන් ඔහුගේ මව ගෙන්වා කරුණු පැහැදිලි කිරීමෙන් පසුව තම දරුවා මිය යනවාට වඩා මහණ වී හෝ ජීවත් ව සිටිනු දැකීමට කැමැති වූ මව මෙම තරුණයාට මහණ වීමට අවසර ලබා දුන්නාය.
මෙයින් මහත් සතුටට පත්වූ තරුණයා එදා පටන් මෙම විහාරස්ථානයේ නතර වී බණ දහම් ඉගෙන වසරකට පසු කඩදොරපිටියේ සීලානන්ද නමින් සාසනයට ඇතුළු විය. එසේ සාසනයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් භික්ෂු ජීවිතයේ අපූර්ව වෙනසකට මුල පුරා ඇත. එනම් මහන ජීවිතයට ඇතුළු වූ දින පටන්ම මෙම සීලානන්ද හිමියන් දානය සඳහා පිඩුසිඟා වැඩි අතර ඒ ලැබෙන පිංඩපාතය රැගෙන විත් බුද්ධ පූජාව තබා විහාරස්ථානයේ වැඩ විසූ අනෙකුත් භික්ෂූන් වහන්සේලාටද පූජා කර වැළැඳීමට පුරුදු විය. එසේම විහාරාධිපති හිමියන් සකස් කර දුන් ආවාස ගෙයි කාමරයේ විසීමට මෙම භික්ෂූන් වහන්සේ අකමැති වූ අතර උන්වහන්සේ විහාරධිපති හිමියන් ගෙන් ඉල්ලා සිටියේ තමාට නිදහසේ භාවනා කිරීමට අවශ්‍ය බවත් එම අවාස ගෙයි සිටීම එයට බාධාකාරී තත්ත්වයක් ඇතිවන හෙයින් පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් අටවා දෙන ලෙසය. මෙම භික්ෂූන් වහන්සේගේ ඉල්ලීමට එකඟව මාදෝවිට පේමානන්ද නාහිමියෝ පන්සල් ඉඩමේ කෙළවරක පැල්පතක් සකස් කර දුන්නේ සතුටෙනි. එම ස්ථානයේත් භාවනා කරමින් කාලය ගත කිරීමට මෙම හිමියන්ට නොහැකි විය. එයට හේතුවූයේ ගම්වාසීන් මෙම භාවනා කරන හිමියන් දැකීමට නිතර නිතර එම පැල්පතට පැමිණීමයි. උන්වහන්සේ එම පැල්පතෙන් ඉවත්ව පන්සල පහළින් ගලායන ඔයේ පිහිටා ඇති ගල් ගුහාවකට ගොස් භාවනායෝගීව වෙසෙන්නට විය. මෙය දැනගත් ගම්මු එතැනටද වැල නොකැඩී පැමිණෙන්ට වීම මෙම හිමියන්ට මහත් බාධාවක් විය. අවසානයේ උන්වහන්සේ තීරණයකට එළඹ ඒ බව සිය ගුරුහිමියන්ට දැනුම් දුන්නේය. එනම් තමන් භාවනා කිරීමට ශ්‍රීපාද අඩවියට යන බවයි. ගුරු හිමියන් දෙවරක් සිතුවේ නැත. මෙම තරුණ හිමියන්ගේ අදහස මැනවින් වටහාගත් නායක හිමියෝ ඊට අවසර දුන්හ. එතැන් පටන් උන්වහන්සේ ශ්‍රීපාද අඩවියට ගොස් භාවනායෝගීව වැඩ වසන්නට වූහ. වසර කිහිපයකට වතාවක් පැමිණ තම ගුරුහිමියන් බලා වතාවත් ඉටුකර ආපසු යන්නට වූහ.
දිනක් මාදෝවිට පේමානන්ද හිමියන්ට විදුලි පුවතක් ලැබුණි. එය එවා තිබුණේ හැටන් රෝහලෙනි. එහි සඳහන් කර තිබුණේ භාවනායෝගීව ශ්‍රී පාද අඩවියේ විසූ මෙම හිමියන් බරපතළ ලෙස අසනීප වී හැටන් රෝහලේ ප්‍රතිකාර ලබන බවය. පේමානන්ද හිමියෝ පසුවදාම හැටන් රෝහලට වැඩම කළේ මෙම හිමියන් බැලීමටය. එහිදී පේමානන්ද හිමියන්ට දක්නට ලැබුණේ මුහුණ බරපතළ සැත්කමකට භාජනය කරනු ලැබූ සිය ශිෂ්‍ය හිමියන්ය. කරුණු සොයා බැලූ නායක හිමියන්ට දැනගන්නට ලැබුණේ මෙම හිමියන් භාවනා යෝගීව සිටින අවස්ථාවක පැටියන් කිහිප දෙනෙකු සමග එතැනට පැමිණි වැලහින්නක් මෙම හිමියන්ගේ මුහුණට දරුණු ලෙස පහර දුන් බවය. වැලහින්න සමඟ පෙරළා සටන් නොකළ මෙම හිමියන් කර ඇත්තේ වැළහින්න සිහිකර මෛත්‍රී භාවනාව වැඩීම බවත් එසැනින් මෙම වැළහින්න මරහඬ දී ගෙන පැන ගිය බවත් එයින් පසු ඉතා අපහසුවෙන් ගම්මානයක් වෙත පැමිණි පසු එම ගමේ මිනිසුන් මෙම හිමි නම රෝහල් ගත කළ බවත්ය.
කලක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් මෙම භාවනා යෝගී හිමිනම සුව වූ පසු නැවැත භාවනා ජීවිතය ගත කිරීමට ශ්‍රී පාද අඩවියේ වනය වෙතට වැඩම කර ඇත. එතැන් පටන් එම වනය අවට ගම්වාසීන් මෙම හිමියන් හඳුන්වා ඇත්තේ වලහා කෑ හාමුදුරුවෝ යනුවෙනි.
මෙම හිමියන් ගැන නොයෙකුත් කතා එම වනය අවට ගම්වාසීන් විසින් පවසන ලද අතර එයින් එක් කතාවක් මෙහි සඳහන් කරමි. මේ හිමියන් ඉඳහිට පිඬුසිඟා ගම්මානවලට වඩින බවත් මේ හිමියන් වෙසෙන ගල්ලෙන තිබෙන ස්ථානය කිසිවෙකුටත් සොයා ගැනීමට නොහැකි බවත් ගමේ පිරිස් මේ හිමියන් පිඬුසිඟා වැඩි අවස්ථාවක පිඬුසිඟා ආපසු යන විට එහිමියන්ට නොදැනෙන්නට රහසේ එහිමියන් පිටුපසින් ගිය බවත් පවසන ලද අතර එහෙත් මද දුරක් ගිය පසු ඒ හිමියන් එක්විටම නොපෙනී ගිය බවත් මෙම හිමියන් පිළිබඳ විස්තරාත්මක ලිපියක් ලියන්නට ගිය මාධ්‍යවේදීන් කණ්ඩායමකට ගම්මුන් පවසා ඇත. ගම්මුන් විශ්වාස කළේ මෙහිමියන් යම් මාර්ග ඵලයක් ලබා ඇති බවය.
මේ හිමියන් ධර්ම දේශනා කිරීමටත් ඉතා සරලව ධර්ම කරුණු පහදා දීමටත් මහත් දක්ෂ තාවයක් දක්වා ඇත.
එක්තරා වෙසක් පොහොය දිනක මේ වළහා කෑ හාමුදුරුවෝ සිය ගුරු හිමියන් දකින්නට කඩදොර පිටිය මේඝානන්ද විහාරයට පැමිණ ඇත. එසේ පැමිණෙන එදින විහාරස්ථානයේ විශාල පිංකමක් සංවිධානය කර තිබූ අතර පිංකම් අවසානයේ ධර්ම දේශනාවක්ද සංවිධානය කර තිබී ඇත. ධර්ම දේශනාව පැවැත්වීමට යෝජිතව තිබුණේ මාදෝවිට දේවානන්ද හිමියන්ටය. එහෙත් වලහා කෑ හාමුදුරුවන්ගේ පැමිණීම නිසා ඒ ධර්මදේශනා අවස්ථාව ඒහිමියන්ට ලබා දීමට දේශක හිමියන් තීරණය කර ඇත. එදින ධර්ම දේශනාව පවත්වන්නේ වළහා කෑ හාමුදුරුවන් බව ප්‍රචාරය වීමට වැඩිවේලාවක් ගතවූයේ නැත. ගම්වාසීන් මෙන්ම අවට ගම්වාසීන්ද වැලනොකැඩී විහාරස්ථානය වෙත පැමිණි අතර ධර්මශාලාව අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී යන්නට විය.
ධර්මදේශනා පවත්නා වේලාව එළඹිණි වළහා කෑ හාමුදුරුවෝ ධර්මාසනාරූඪ වූහ. පැයක ධර්ම දේශනාවක් අසන්නට ගම්වාසී උපාසක උපාසිකාවෝ සැදී පැහැදී සිටියහ. වළහා කෑ හාමුදුරුවෝ සිරිත් පරිදි නමස්කාරය, දේවතාරාධනාව කර පැමිණ සිටි අයට ඉල්ලිමක් ඉදිරිපත් කළේය. එනම් තමන්ට තමා සකස් කරගත් ධර්ම දේශනාවක් සිදු කිරීමට වඩා පිරිස අතර සිටින අයට සාකච්ඡා කර පොදු ධර්ම ගැටලුවක්‍් ඉදිරිපත් කරන ලෙසය. එයට පිළිතුර තමා ලබා දෙන බවත් උන්වහන්සේ පවසා ඇත. ඒ අනුව මදවේලාවක් සාකච්ඡා කළ ශ්‍රාවක පිරිස පොදු කරුණක් මේ හිමියන්ට ඉදිරිපත් කර ඇත. එනම් “ස්වාමීන් වහන්ස, අපට දුක පිළිබඳව විස්තර කර දෙන්න” යනුවෙනි.
උපාසක, උපාසිකා පිරිස ගාථා ආශ්‍රයෙන් ජාතක කතා ආශ්‍රයෙන් අටුවා ටීකා ටිප්පනි ඇතිව විශාල විස්තර කිරීමක් හරහා ධර්ම කරුණු මේ හිමියන්ගෙන් බලාපොරොත්තු වී ඇත.
මේ හිමියන් දේශනා කරනු වෙනුවට සාකච්ඡා කරමින් දුක යන්න වටහා දීමට පටන් ගෙන ඇත. ඒ මෙසේය.
ස්වාමීන් වහන්සේ - හොඳයි මම දුක් කියන්නේ මොකක්ද කියලා සරලව තේරුම් කරල දෙන්නම්. මෙතැන ඉන්න ගොඩක් අයට දරුවෝ ඉන්නව නේද?
පිරිස - එහෙමයි හාමුදුරුවනේ.
ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදර සහෝදරියන්ටත් දරුවෝ ඉන්නව නේද?
පිරිස - එහෙමයි.
ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියන්ටත් දරුවො ඉන්නව නේද?
පිරිස - එහෙමයි.
ස්වාමීන් වහන්සේ - ඔබලා නොදන්න අයටත් දරුවො ඉන්නව නේද?
පිරිස - එහෙමයි ස්වාමීන් වහන්ස.
ස්වාමීන් වහන්සේ - ඔබලාගේ දරුවෙක් මැරෙනවා. ඔබලාට මොනවගේ දුකක්ද ඇත්වෙන්නේ.
පිරිසෙන් අයෙක් - ස්වාමීන් වහන්ස, දරාගන්න බැරි තරම් දුකක් ඇති වෙනවා. මුළු ලෝකයම කඩන් වැටෙනවා. මට මොනවා වේවිද දන්නෑ.
ස්වාමීන් වහන්සේ - ඔබේ සහෝදරයාගේ පුතා මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?
පිරිසෙන් අයෙක් - ස්වාමීනි යම් දුකක් ඇතිවෙනවා. ඒත් මගේ පුතා මැරුණු විට තරම් දුකක් ඇතිවෙන්නේ නෑ.
ස්වාමීන් වහන්සේ - ඔබේ අසල්වැසියාගේ පුතා මැරෙනවා ඔබට මොනවගේ දුකක්ද ඇතිවෙන්නේ?
පිරිසේ අයෙක් - ස්වාමීනි ඉතා සුළු දුකක් ඇතිවෙනවා. ඒත් සහෝදරයාගේ පුතු මැරුණු විට ඇතිවූ තරම් දුකක් ඇති වෙන්නේ නෑ.
ස්වාමීන් වහන්සේ - ඔබ නොදන්නා කෙනෙකුගේ පුතෙක් මැරෙනවා. ඔබට මොනවගේ දුකක්ද ඇතිවන්නේ?
පිරිසේ අයෙක් - ස්වාමීනි කිසිම දුකක් ඇති වෙන්නේ නෑ.
ස්වාමීන් වහන්සේ - එසේ නම් දුක අපට දැනෙන්නේ කොහොමද?
පිරිසේ අයෙක් - ස්වාමීනි දුක මම මගේ කියා සිතින් අල්ලා ගන්නා මට්ටමට දුක ඇතිවෙනවා.
ස්වාමීන් වහන්සේ - බොහොම හොඳයි. ඔබලාගෙ දරුවෝ කවුරු හරි පුංචි කාලේ මුහුදු වෙරළට ගිහින් වැලි මාළිගා හදල සෙල්ලම් කරල තියෙනවාද?
පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි එහෙම මුහුදු වෙරළට ගිහින් මගේ පුතා වැලි මාළිගා හදල තියෙනවා
ස්වාමීන් වහන්සේ - මුහුදේ රැළි ඇවිත් වැළි මාලිගා කැඩී යද්දී පුංචි පුතා ඇඬුවද?
පිරිසේ අයෙක් - එහෙමයි ස්වාමීනි.
ස්වාමීන් වහන්සේ - ඔබත් ඔහුත් එක්ක ඇඬුවද?
පිරිසේ අයෙක් - නැහැ ස්වාමීනි.
ස්වාමීන් වහන්සේ - ඇයි ඔබ ඇඬුවේ නැත්තේ?
පිරිසේ අයෙක් - ස්වාමීන් වහන්ස, දරුවෝ අඬන්නේ ඔහු වැලි මාලිගා නිත්‍යයි ස්ථිරයි සිතා ඒවායේ ලස්සන දැක ඊට සිතින් තදින් බැඳෙන නිසා දරුවා ඇඬුවා. මම ඔහු වැලි මාලිගාව හදද්දීම එය නිත්‍ය නැති බව දන්නවා. ඒ නිසා එය කැඩී බිඳී වැනසී යන විට මා අඬන්නේ නෑ.
ගතවූයේ පැය භාගයකට ආසන්න කාලයකි. ඉතා ගැඹුරු ධර්ම කරුණක් ඉතා සරලව පහදා දුන් උන්වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ලදී. පිරිසේ සියළුම දෙනා පාහේ දුක පිළිබඳව මනා අවබෝධයක් ලබාගෙන තිබුණි.
ඉන්පසු වළහා කෑ හාමුදුරුවෝ කඩදොරපිටිය ග්‍රාමයට පැමිණියේ නැත. ඒ උන්වහන්සේගේ ගුරු හිමියන් වූ මාදෝවිට පේමානන්ද හිමියන් අපවත් වූ නිසාවෙනි. ඉන් කලකට පසු ශ්‍රී පාද අඩවිය ආශ්‍රිත ගම්වාසීන් පවසා තිබුණේ වනයේ ගල් ගුහාවක තිබී ඇටසැකිල්ලක් හමුවූ බවත් දිරා ගිය සිවුරු කැබැලි කීපයක්ද එහි තිබූ බවය. ඔවුන්ගේ අදහස වී ඇත්තේ ඒ වළහා කෑ හාමුදුරුවන් අපවත් වී දිරා ගිය සිරුරේ කොටස් බවය.
කොත්මලේ -
රංජිත් සිසිර කුමාර
සූරියආරච්චි