7-8-9-10 සියවස්වල සීගිරි බෙයදේ ඇඳ තිබූ පන්සියයක් විසිතුරු රන්වන් කළුවන් සීගිරි ළඳුන් නැරඹීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ආ අය සීගිරියේ චමත්කාරය හා සීගිරි ළඳුන්ගේ රූපකාය නරඹා ඉන් මුසපත්ව තම රස හැඟීම් ගී ලෙස සීගිරි කැටපත් පවුරේ සටහන් කොට ඇත. එදා ජනයා සීගිරි ඇදුනේ සීගිරියේ විසිතුරු සීගිරි ආලකමන්දාවේ අංග සීගිරි ළඳුන් නැරඹීමට පමණක් නොවේ. Sigiri Graffti vol I - II ග්‍රන්ථයේ මහාචාර්ය පරණවිතාන අනුමාන කරන පරිදි සීගිරි ගල මුදුනේ එදා පැවැති ගිරග්ග සමජ්ජ වැනි සැණකෙළියක රස විඳීමටය. සීගිරි කැටපත් පවුරේ විවිධ තරාතිරමේ අය ලියූ ගී වලින් ගී 685 හා ගද්‍ය පාඨ කීපයක් අවුරුදු ගණනාවක් වෙහෙස ගෙන මහාචාර්ය පරණවිතාන සීගිරි Graffti ග්‍රන්ථයේදී පිටපත් කොට පළ කර විවරණය කරයි.
මහාචාර්ය පරණවිතාන නොකියවූ ගී - ගී පාඨ කැටපත් පවුරෙන් පිටට ඇති ගී හා පොළොන්නරුව හා ඉන් පසු කල ලියවුණු ගී සේනක බණ්‍ඩාරනායක බෙන් ප්‍රියංක කියවා 500 පමණ තවත් රැස් කොට ඇත. පසුව කියවූ ගී 92 කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මුද්‍රණය කර පළ කර ඇත.
මේ සීගිරි ගී අතර ගී 4 වෙදවරුන් ලියා ඇත. ඒ ගී පහත දැක්වෙයි.
01. සීගිරි කුරුටු ගී අංක 172
(ස්වස්ති) වෙ(ද්නා) (හී).... අග්බෝ (නි) (ලිමි) අයුත් මැනවි (ද මානෙ) බතත මහයි තම සිත මෙහි අව නියලෙස මයුතු අසදැයි නොජන්තින මා
‘‘යහපත්වේවා. අග්බෝ නමැති වෙදනා වෙමි. මේ ලීවෙමි. ඔවුන් රෝගී තැනැත්තියන් බව නොදත් හෙයින් මෙහි පැමිණි මම ශෝක වීමි. මෙහි අවුත් ඔවුන්ට (සීගිරි ලඳුන්ට) කතා කළෙමි. නමුත් තම සිත දත් ඔවුහු මා හා කතා නොකරති’’ 172 ගීය ලියූ අග්බෝ වෙදනා තනතුර දැරූ වෛද්‍යවරයෙකි. සීගිරි ළඳුන් රෝගී බව නොදැන පැමිණීම ගැන ඔහු දුක්වෙයි. ළඳුන්ට කතා කළත් ඔවුන් ඔහුට කතා නොකළ බව කියයි. නවවෙනි සියවසට අයත් මේ ගීය යාගී විරිතින් ලියා ඇත.
02. 522 සීගිරි කුරුටු ගීය
රුහුණු (දන) වූ (යෙහි) දළ මොහොමබුයෙන් (ආ) රජ (වෙ) ද් සිව පෙරු මෙනිතිහිමි මය් ලියු ගී ජනමහ හුන්හු එක් (තැ) නින් නොතොර් (වැකැ) ණෙක් නහද්හය් කළ පින් කරයි දැක්තාක් මෙතම
‘‘රුහුණු ජනපදයෙහි දළ මොහොම්බු නම් ස්ථානයෙන් පැමිණි රාජ වෛද්‍ය ශිවගේ වංශයෙන් පැවත එන කිනි හිමි නම් වෙමි. මා විසින් ලියූ ගීයයි. දන්නෙමු. තොප කළා වූ පින් තමන් දත් පරිදිම නොහදහා කළ නිසා එක් තැනකින් මොහොතක් වත් නොසෙල්වි තොපි හුන්නාහුය.’’ මේ කාන්තාවන් පෙර පින් කළ නිසා රූමත්ව සිටිති. එහෙත් ඔවුන්ට ප්‍රීතිවීමට ඉඩක් නැත. සිටගත් තැනින් සෙළවීමටද ඔවුන්ට ඉඩ නැත. ශ්‍රද්ධාව හා වැටහීම යන දෙකෙන් තොරව පින් කළ නිසා ඔවුන්ට මෙසේ සිදු වී ඇති බව 522 ගීය ලියූ කිති කියයි. මේ ගීය ලියූ කිති රුහුණේ දළ මොහොම්බු නම් ස්ථානයෙන් පැමිණ ඇත. රුහුණේ ප්‍රකටව සිටි රාජකීය වෛද්‍ය ශිවගේ පරපුරෙන් කිති පැවත එයි. මේ රාජකීය වෛද්‍ය ශිව පිළිබඳ වෙනත් තොරතුරු සොයා ගැනීම අසීරුය.
මේ සීගිරි ගීය අටවැනි සියවස අග කාලයේ හෝ නවවැනි සියවස මුල කාලයට අයිතිය. උමතු ගී වෘත්තයට මේ ගීය අයිතිය. නන්දසේන මුදියන්සේ ලියු ගුණසේන සමාගම පළ කළ සීගිරි ගී දෙවැනි කාණ්ඩයේ 238 - 239 පිටුවල මේ ගීය ගැන සටහනක් එයි.
පසුව කියවූ සීගිරි ගී අංක 117
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පළ කොට ඇති Further Studies in The Setlement Archaeology of the Sigiriya-Dambulla Region නමැති ග්‍රන්ථය සංස්කරණය කොට ඇත්තේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක හා මැට්ස් මෝර්ගල් විසිනි. මෙහි 117 ගිය පහත දැක්වෙයි.
පටලු ගොය රසයා
අදුරගෙ වෙද් මෙයලී
I am the medical practitioner of the lineage of the master adura patalu goya rasaya) මම වෙද අඳුරු පටල ගොය පරපුරෙන් පැවත එන වෙද ඇදුරාවෙමි. මේ ගීය ලීවෙමි. මේ ගීය ද දහවැනි සියවසට අයත්ය. (ඉහත ග්‍රන්ථය 216 පිට)
පසුව කියවූ සීගිරි ගී 134 ගීය
Further Studies in The Settlement Archaeology of the Sigiriya-Dambulla Region ග්‍රන්ථය පළ කළ මහාචාර්ය සේනක බණ්ඩාරනායක හා මැට්ස් මෝගන් (කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය වර්ෂය සඳහන් නැත) 220 පිටුවේ මෙම 134 ගීය පළ වී ඇත. එහි පෙළ හා අර්ථය මෙසේය. බෙතද් වෙජලු හෙත් ආමි
(I Het who is a medical practitioner visited this) මම හෙන් යන නම ඇති අය වෙමි. බෙනත් වෙජලු වෙමි. මෙහි ආවමි.
මෙම 134 වැනි ගීය අටවැනි සියවසට වැටෙයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන.