සීගිරි ගලෙන් වැටී ගස් දෙබළක හිර වූ දැරිය දිවි පරදුවට තබා බේරා ගනියි


මේ සිද්ධිය සිදුවී දැනට අවුරුදු හතළිහක් පමණ ගෙවී ගොසිනි. එහෙත් ඒ සිද්ධිය මතක් වන විට තවමත් හිත තදින් සසල වෙයි. එකල මම ගලේවෙල මහා විද්‍යාලයේ උපාධි ගුරුවරයෙකු ලෙස සේවය කළෙමි. උඩුකුඹුර මහතා විදුහල්පති විය. ගලේවෙල කඳුරට හා වියළි කලාපය මායිමේ පිහිටි ඉතා ජනාකීර්ණ නගරයක් විය. කිසියම් සාහසික පිරිසක් සීගිරියට හොරෙන් ඇතුළු වී සීගිරි ලෙන්වල චිත්‍රවලට හානි කොට චිත්‍ර දෙක තුනක් මත කළු දියරවලින් මකා පැල්ලම් ඇති කර තිබුණි. මේ හානිය එදා පුවත්පත්වල පලවීම සමග රට දැඩි ලෙස කම්පා විය. කළු පාට හා විනාශ කළ චිත්‍ර පිරිසිදු කිරීමෙන් හානි කොට තිබූ චිත්‍ර නැවත ප්‍රතිසංස්කරණය කිරීමටත් පැවරුණේ චිත්‍ර විශේෂඥයෙකු වූ ඉතාලි ජාතික ලුසියානෝ මරාන්සිටය.

ඒ සඳහා ඔහුට දිගු කාලයක් වෙහෙසක් ශ්‍රමයක් දැරීමට සිදු විය. ලුසියානෝ මරාන්සි මේ චිත්‍ර ප්‍රතිසංස්කරණය කිරීමේදී පැරණි චිත්‍ර සඳහා අවශ්‍ය වර්ණ තාක්ෂණය ලබාගත්තේ නිලගම චිත්‍ර ශිල්පී පරපුරගෙනි. මේ චිත්‍ර ශිල්පී පරපුර ජීවත්වූයේ ගලේවෙල නුදුරු මොරගොල්ල නිලගම ගමේය. චිත්‍ර ප්‍රතිසංස්කරණයට අවුරුද්දකට වැඩි කාලයක් ගත විය. ප්‍රතිසංස්කරණය කළ චිත්‍ර මහත් උත්සවයකින් යළි විවෘත කිරීමට කටයුතු සකස් විය. ඒ සඳහා පැමිණියේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමැතිධුරය දැරූ ඊරියගොල්ල මහතාය.  


එම උත්සවය සඳහා සීගිරිය අවට සියලුම විදුහල් ගුරු මණඩලය හා ළමුන් සමග සීගිරියට පැමිණිය යුතු බව දන්වා තිබුණි. ඒ පාසලට ප්‍රධාන අමුත්තා එන මාර්ගයේ පිළිගැනීම සඳහා වෙන් කළ කොටස්වල දෙපස සිට ගෙන සිටීමට නියම විය. නියමිත දින විදුහල්පති උඩකුඹුර මහතා ගුරු මණ්ඩලය හා ළමුන් සමග බස්රියෙන් සීගිරියට ළඟා විය. පැමිණීම වාර්තා කළ පසු විදුහලට නියමිත කොටස නිලධාරියකු විසින් පෙන්වා දෙන ලදී. උත්සවය පෙරවරු දහයට ඇරඹෙන නිසා නවය හමාර වන විට නියමිත ස්ථානයෙන් සිටිය යුතු විය. අපට ලැබුණේ පාර නිමවී ගල නැග ළඟා විය යුතු වංගු සහිත කොටසකි. ළමුන් එහි පෙළට සිටුවන ලදුව විදුහල්පති හා ගුරු මණ්‍ඩලය ඒ අසල විය. උදය දහය කිට්ටුය. ප්‍රධාන අමුත්තා තවම නැත. චණ්ඩ හිරු රැසින් රත්වී ගල ගිනි කැබැල්ලක් ලෙස දැනෙයි හෙවනකට ගහක් කොළක් නැත. ළමෝ සැර හිරුරැස් මැද පැයකට කිට්ටු කාලයක් හිටගෙන සිටිති. සමහරු ලේන්සුවකින් හිස ආවරණ කර ගනිති. ස්ථානයෙන් පිටව යාමට ඉඩ නැත. තදින් පිපාසය දැනෙයි. ළමයි වතුර ඉල්ලා ඇවිටිලි කරති. එහෙත් ළඟ පාතක වතුර නැත. අප සිටි කොටස පොළොව මට්ටමේ සිට උස අඩි 300ට කිට්ටුය.  


එක්වරම පිපාසයෙන් පීඩිත වූ දැරියක් ක්ලාන්තවී ගලමත ඇද වැටුණාය. ඈ වැටුණේ ගලේ කෙළවරටය. වැටුණු වේගයෙන් ඇය පහළට පෙරළී ගලේ කඩතොලුවල වදිමින් ගල පහළට වැටී පෙරළී පෙරළී පහළට ඇදෙයි. ගලේ එක් කඩතොළුවක වැවී තිබුණු ගහක දෙබලකට හිරවී ඇය එහි එල්ලී සිටියි. ඇගේ කඳ මැදින් ගහේ දෙබලට හිරවී ඇත. ගස් දෙබල නැත්නම් ඇය කලින්ම වැටෙනුයේ ගල පාමුලටය. ගලේ වැදීමෙන් ගලන ලේ ධාරාවලින් ඇගේ සුදු ගවුම ලේ පැල්ලම්වලින් පිරී ඇත. 

 
ළමෝ මහ හඬින් විලාප නගති. උඩුකුඹුර මහතා නළලට අත ගසා ගෙන ඒ මේ අත දුවයි. ගුරුවරු ළමයි කළ යුතු කුමක්දැයි තීරණයක් ගත නොහැකිව ළතවෙති. ඇය වැටී හිර වී ඇති තැන ගල පාමුල සිට අඩි තුන් සියයක් පමණ උසය. ඇය අඩි දෙසීයක් පමණ පහළට වැටී හිරවී මරණය සමග පොර බදයි. සියල්ලෝම ගල් ගැසී කට ඇරගෙන ඈ දෙස බලා සිටිති. උසස් පෙළ ළමුන් අතර​ සෝමදාස නම් ශිෂ්‍යයකු විය. ඔහු අප ඉදිරියට දුවගෙන ආවේය.  


‘සර් මට පුළුවනි පහළට බහින්න. මම ගල් කඩතොළු අල්ලගෙන හෙමින් පහළට බැහැලා ළමයත් අරගෙන උඩට නගින්නම්’.  


සෝමදාසත් අමාරුවක වැටෙයි  


තර්ක වාද විවාද කිරීමට වේලාවක් ගත වූයේ නැත. ඔහු සපත්තු ගලවා සුදු දිග කලිසම උඩට නවාගෙන කමිසය ගලවා ගලේ කඩතොළු අල්ලා ගෙන හෙමින් හෙමින් පහළට බසින්නට විය. හිරවී සිටින දැරියගේ සිරුරෙන් ගලන ලේ පහළට වැටෙයි. සෝමදාස ටිකෙන් ටික ගලේ පැළුම් ගලේ නෙරාගිය තැන් ගල මත වැටී තිබූ කුඩා පැළෑටි අල්ලා ගනිමින් පහළට බැසීමට විනාඩි පහළොවකට වඩා ගත විය. අපට ඒ කාලය දැනුණේ කල්පයක් ලෙසිනි. ගල අද්දරට වී ඔහු හා දැරිය දෙස බලමින් අපි නොඉවසිල්ලෙන් සිටියෙමු.  


පරිස්සමෙන් පරිස්සමෙන් ළමයි කෑ ගසති.  


සෝමදාස දැරිය හිරවී සිටි පඳුර ළඟට ළං වී ගල අල්ලාගෙන ඇය පඳුරෙන් ඉවත් කර කර මතට ගත්තේය. ළමයි සතුටින් කෑ ගසති. ඉන්පසු ඔහු සෙමින් සෙමින් ගල දිගේ ඉහළ නගින්නට විය. වෙහෙස මහන්සියට අමතරව දැරියගේ බරද ඇඟෙන් ගලන ලේ ද දරාගෙන ඔහු නැවතී විවේක ගනිමින් ගලේ ප්‍රබල තැන් අල්ලා ගනිමින් ඉහළට එයි. ඒ සඳහා පැය බාගයකට වඩා කාලයක් ගත විය. දැරිය ඔසවා ගෙන සෝමදාස ගල ඉහළට එනවිට ගුරුවරු දැරිය ඔසවාගෙන සෝමදාස අතින් ඇද ඉහළට ගත්හ. දැරිය හඳුනා ගැනීමට නොහැකි තරමට ලේවලින් නැහැවී ඇත. සෝමදාසගේ සිරුර ඩහදිය හා ලේවලින් පිරී ඇත. ගුරුවරු ළමයි සෝමදාස බදාගෙන සතුට පළ කරති.  


මේ වන විට ආරංචිය හැම තැනම පැතිර ගොස් තිබුණි. දැරිය ගෙන යාමට රියක් සූදානම් විය. ඇය කෙළින්ම දඹුල්ල රෝහල වෙත ගෙන යන ලදී. ප්‍රධාන අමුත්තා එන විට ඇය රෝහලට ගෙන යමින් තිබුණි. උත්සවය නිමවූ පසු ළමුන් බස්රියේ පාසලට යවා උඩුකුඹුර මහතා ගුරුවරුන් කීපදෙනෙකු සමග රෝහලට ගොඩ විය.  
ළමයා ගලේ වැදිලා හොඳටම තැලිලා. ඔළුවෙත් තුවාල. දැන් නම් ලේ ගැලීම නතරවෙලා. සිහිය එන්ට දවස් දෙක තුනක් යයි.  


පසුදා සෙනසුරාදාවක් විය. ගුරුවරු කීපදෙනෙක්ම ඇය බැලීමට රෝහලට ගියහ. ඇගේ දෙමාපියන් උගත් අය බැවින් ගුරුමණ්ඩලයට කළ යුතු දෙයක් එහි නොතිබුණු බව තේරුම් ගත්හ. අමාත්‍යාංශයේ නියමයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සෙනසුරාදාම කණ්ඩායමක් පාසලට පැමිණියහ. මේ සිද්ධිය පුවත්පත්වල පොල්ගෙඩි අකුරින් පළ විය. සෝමදාසට ගුරුමණ්ඩලයේත් ළමුන්ගේත් ආදරය ප්‍රශංසාව හිමි විය. දැරියට සිහිය ආවේ දින තුනකට පසුවය. ඇය රෝහලෙන් පිටවීමට සති තුනක් පමණ ගත විය. මම අවුරුද්දකට පමණ පසු පාසලෙන් මාරුවී ගමට පැමිණියෙමි. සෝමදාස බැංකු ලිපිකරුවෙකු ලෙස සේවය කරන බව පසුව මට ආරංචි විය.  


දඹුලු විහාරයේ චිත්‍ර හා මූර්ති නිර්මාණය කළ නිලගම සිත්තර පරම්පරාව  


දඹුලු විහාරයේ චිත්‍ර හා මූර්ති නිර්මාණය කොට පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන පැමිණි සිත්තර පරම්පරාවක් ගැන කරුණු සොයා ගැනීමට හැකිවීම ලක්දිව චිත්‍ර කලා ඉතිහාසයේ එක් වැදගත් සිද්ධියක් වශයෙන් සැලකිය හැකිය.  


දඹුලු විහාරයට අයත් දෙව්රජ විහාරය මහරජ විහාරය මහ අලුත් විහාරය දෙවෙනි අලුත් විහාරය පශ්චිම විහාරය යන විහාර පහේ බුදු පිළිම හා බෝධි සත්ව පිළිම පමණක් එක සිය හැට එකක් (161) ඇති අතර සියලු ලෙන් විහාරවල බිත්ති සායම් චිත්‍රයෙන් සරසා ඇත. දඹුලු විහාරයේ චිත්‍ර හා මුර්ති නිර්මාණ සිදු කළ පරම්පරාව නිලගම සිත්තර පරම්පරාව වශයෙන් හඳුන්වනු ලැබේ. එම පරම්පරාවෙන් පැවත ගෙන එන්නන් අද ගලේවෙල නිලගම ගමේ ජීවත් වෙති.  


මෙම පරපුරේ අවසන් ශිල්පියා වූයේ ශ්‍රී බෝධි නාරායන බුවනෙකබාහු චිත්‍රාචාර්ය ජීවන්නයිදේ මහතාය. එහෙත් ඔහු සිය වාසගම පටබැඳි ගෙදර වශයෙන් භාවිතා කළේය. දඹුලු විහාරයේ චිත්‍ර කර්මාන්තය වෙනුවෙන් නිලගම සිත්තරාට ශ්‍රී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පිරිනමන ලද සන්නසක්ද ජීවන් නයිදේ මහතා සතුව ඇත. එමෙන්ම මෙම රජතුමා විසින් නිලගම චිත්‍ර පරම්පරාවට ගලේවෙල අසල නිලගම නම් වූ ගම්වරයක්දී පරිත්‍යාග කර ඇත. ජීවන්නයිදේ මහතාගේ පුතුන්ගෙන් ජයසේන නම් පුතා හැර අනෙක් අය මේ ක්ෂේත්‍රයෙන් ඉවත්වී ඇත. ජිවන්නයිදේ මහතා මහනුවර යුගයේ භාවිතා කළ අමුද්‍රව්‍ය උපයෝගී කරගෙන සායම් වර්ග තනාගෙන ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම විහාරයේ චිත්‍ර, වලකුඹුරේ පැරණි විහාරය අලුත් කිරීමද ගලේවෙල සිල්වත්ගල විහාරයේ චිත්‍ර හා මූර්තිද බම්බා විහාරයේ චිත්‍ර ද ආදාගල විහාරයේ චිත්‍ර හා මූර්ති ද වෙරලාගල විහාරයේ චිත්‍රාද මේ මහතාගේ නිමවුම්ය. නිලගම පරම්පරාව චිත්‍ර කර්මාන්තයේ යෙදුණු උඩරට ප්‍රසිද්ධ සිත්තර පරම්පරාවෙන් ගෙන් එකකි.  


දෙගල්දොරුව විහාරයේ චිත්‍ර ද දඹුල්ල විහාර චිත්‍ර කරවූ නිලගම සිත්තර පරම්පරාවට අයත් ශිල්පීන් විසින් කරන ලද්දකි.  


ජීවන් නයිදේ මහතා ප්‍රකාශ කර ඇත්තේ තම පරපුර දෙවනපෑතිස්ස රජු සමයේ ලක්දිවට පැමිණි බෝධිහරක කුලවලින් එකකට නෑකම් කියන බවයි.  


නිලගම චිත්‍ර පරම්පරාවේ විස්තර අනුව නිලගම ශිල්පීන්ගේ සිත්තර කටයුතු පොළොන්නරුවේ පළමුවැනි විජයබාහු හා කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජුගේ කාලයේ පවා සිදුවී ඇත.  


ඩබ්.එම්. වි​ජේරත්න  

මප/මා/ග සිල්වත්ගල මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති  

දඹවටවන අංක 1 ගලේවෙල  

 

 

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.කේ. ජයවර්ධන