සුද්දාට නොබියව ගෙල දුන් උඩරට වීරයෝ


1817-1818 අදිරද විරෝධී මහ සටනේදී ඉංග්‍රීසිහු සිංහලයන් 10,000ක (දහ දාහක) පමණ පිරිසක් ඉතා ම්ලේච්ඡ අයුරින් මරා දැමූහ. විදේශයන්ගෙන් පැමිණි පිරිස් අප රටවාසීන් ම්ලේච්ඡ අයුරින් මරා දැමීම ඉතාමත් අයුක්තිසහගත ක්‍රියාවකි.   


ඉංග්‍රීසින් සිංහලයන් විවිධ අයුරින් මරා දමා ඇතත් මරා දැමූ අයගේ නම් ගම් ආදිය වාර්තාවී තිබෙන්නේ ඉතාමත් අල්ප වශයෙනි. සිංහල නායකයන් තිදෙනකුගේ දිවි තොර කළ අන්දම පිළිබඳ ඉතා නිවැරැදි විස්තර වාර්තා කර තිබේ. තොරතුරු ලියා තිබෙන්නේ එකල සිටි ඉංග්‍රීසින්ගේ වෛද්‍යවරයෙක් වූ හෙන්රි මාෂල් ය. තමාට අසන්නට දකින්නට ලැබූ දේවල් මාෂල් ඒ අයුරින්ම වාර්තාකර තිබේ.   


නායකයන් තිදෙනාගෙන් ඇල්ලේපොළ මහ නිලමේගේ දිවි තොර කර තිබෙන්නේ 1818 ඔක්තෝබර් 27 වැනිදාය. දිවිතොර කර ඇති ආකාරය පිළිබඳ මාර්ෂල් ලියූ වාර්තාවේ කොටසක් මෙසේය.   


‘මහ නිලමේ සිය දෙදණ නමා තණ පිඩලි මත දණ ගසා දෙඅත් ද සමබරව සිටින සේ හිස මදක් පහළට නමා සිටියේය. ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර දේශයේ හිස ගසා දැමීමට භාවිත කරන පළල් තලයක් සහිත ශක්තිමත් කඩුවක් ගහලයා අත විය. ගහලයා වැරෙන් එල්ල කරන ලද පළමු කඩු පහරින් සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. කඩුවේ තලය දෙකඩ වී ගිය අතර මහ නිලමේගේ ගෙල සිරුරින් වෙන් නොවී විවෘත ගැඹුරු තුවාලයක් ගෙලෙහි ඇති විය. ගෙලෙන් වෑස්සෙන රුධිරය සහිතව තුවාලයේ වේදනාවෙන් බිම නොවැටී දෙඅත් සහ දෙදණ සමබරව තබා ගැනීමට උත්සාහ දරන, ගැහෙමින් පවතින මහ නිලමේගේ සිරුර ඇඟ කිළි​පොලා යන දර්ශනයක් විය. අලුතින් කඩුවක් සපයාගෙන එල්ල කරන ලද දෙවැනි කඩු පහරින් හිස සිරුරෙන් වෙන්කරන තෙක් මෙම බියකරු දර්ශනය පැවැතියේය.   


කැප්පෙටිපොළ හා මඩුගල්ලේ නිලමේවරුන්ගේ දිවි තොර කර තිබෙන්නේ 1818 නොවැම්බර් 26 වැනිදාය. කැප්පෙටිපොළ නිලමේගේ හා මඩුගල්ලේ නිලමේගේ දිවිතොර කළ ආකාරයන් මාෂල් ලියා තිබෙන්නේ මෙසේය.   


‘සිරකාරයෝ දළදා මාළිගාවට සැතපුමක් පමණ ඈතින් බෝගම්බර වැව අසල පිහිටි වධකස්ථානයට කැඳවාගෙන යන ලදහ. මෙහිදී වතුර සපයන ලෙස හිරකාරයන් ඉල්ලා සිටින ලදුව එසේ කැරිණි. ආගමික වතාවත් සඳහා සුළු වේලාවක් ඉඩදෙන ලෙස කැප්පෙටිපොළ ආයාචනය කළෙන් එයට අවස්ථාව සලසන ලදී. හිරකාරයෝ මුහුණ හා අත් දෝවනය කළහ. මෙයිනික්බිතිව කැප්පෙටිපොළ තම හිසකෙස් හිස් මුදුනේ කොණ්ඩයක් කොට බැඳ කුඩා පඳුරක් ළඟ වාඩිවෙමින් එය පා ඇඟිලිවලින් අල්ලා ගත්තේය.   


නිලමේ පාලි ගාථා කියමින් සිටියදී වධකයා තියුණු කඩු පහරක් බෙල්ල පිටිපසට ගැසීය. ඒ මොහොතේ දී ‘අරහං’ යන වචනය ඔහුගේ මුවින් පිටවිය. මෙය බුදුනට යෙදෙන නමෙකි. දෙවැනි පහරින් ප්‍රාණය නිරුද්ධව මෘත කලේබරය වැටුණේය. ඔහුගේ හිස කඳින් වෙන්කොට උඩරට සිරිත අනුව ළය මත තබන ලදී.   


තම ඥාතිවරයාගේ, තම හිතවතාගේ දිවි තොර කරන අන්දම මඩුගල්ලේ නිලමේ බලා සිට ඇත්තේ අතිමහත් කම්පනයෙකිනි. තමාටත් ඒ බිහිසුණු තත්ත්වයට මුහුණ දෙන්නට සිදුවන බව ඔහුට වඩ වඩාත් තදින් දැනී ඇත. ඔහුගේ සිත අති මහත් කැළඹිල්ලකට ලක්වී තිබිණ.   
මඩුගල්ලේ නිලමේගේ දිවිතොර කර ඇති අන්දම මාෂල් ලියා ඇත්තේ මෙසේය.   


‘ඔහුට තම හිසකෙස් බැඳගත නොහැකි වූයෙන් එය කරන ලද්දේ හිරගේ කන්කානම විසිනි. ඔහුගේ මුහුණේ මාංශ පේශීන්ගේ කම්පනයෙන් හිතේ කැළඹිල්ල ප්‍රකාශ විය. එක පහරින් මරන ලෙස ඉතා ඕනෑකමින් ඉල්ලා සිටි ඔහු අවසානයේ දී ‘අරහං’ යන වචනය උච්චාරණය කළේය. තම හිස ඉදිරියට නැමීමට තරම් චිත්ත ධෛර්යයක් නොවූ නිසා ඔහුගේ හිස වධකයෙකු විසින් අල්ලා ගන්නා ලදී. පළමු කඩු පහරින් පසු ඔහු පස්සට වැටුණේය. එහෙත් ප්‍රාණය නිරුද්ධ වී නොතිබුණු නිසා තවත් පහරක් ගසන ලදී.   
දිවි තොර කිරීම් සිදුකර ඇත්තේ එකල කන්ද උඩරට පැවැති දඬුවම් ක්‍රම සැලකිල්ලට ගනිමිනි. රදළයන් එල්ලා මරන්නේ නැත. හිස ගසා දැමීමෙන් පමණක් මරණය සිදුකරයි. හිස ගසා දැමීමේ දී දංගෙඩියක් පාවිච්චි කරන්නේ නැත. දෑත් බැඳීමත් සිදු නොකරන අතර දෑත් නිදහසේ තැබේ. දෑස් ද විවෘතව තැබේ. එම සිරිත් අනුගමනය කරමින් නායකයන් තිදෙනාගේ දිවි තොරකර තිබේ.   


නායකයන් තිදෙනාගේම ගෙල එක් කඩු පහරකින් වෙන්වී නැත. දෙවැනි කඩු පහරකින් ගෙල සම්පූර්ණයෙන්ම කැපී තිබේ. එක් කඩු පහරකින් ගෙල සම්පූර්ණයෙන් කැපී නොයාම නිසා නායකයන් තිදෙනාට අති මහත් වේදනාවක් විඳිමින් අවසන් ගමන යන්නට සිදුවී ඇතැයි සැලකේ.

 

 

 

හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ