සුදුහූරාට සීගිරිය සොයා දුන් රන්තුක


හෙළ දෙරණ

ඉතිහාසයේ පිටු අතරින්  සැඟවුණු අපූරු සිදුවීම් පෙළක්  

 

ෆෝබ්ස්ට දැන් වෙහෙසය. වෙහෙස අතරින් දැඩි කුසගින්නක්ද නැඟ එයි. තමා පැමිණ ඇති දිසාව කුමක් විය යුතුදැයි ඔහු සිතුවේය. සිතා බලන්නට බැරි තරම් අයස්කාන්තය. මනහර දිය විලක් වසා සුපිපි නිලු‍පුල් මල් කන්දරාවට ෆෝබ්ස්ගේ සිත හිනා නැඟු‍වේය. වෙහෙස නිවා ගන්නට ඔහු අශ්වයා පිටින් බැස ගනී. අශ්වයා දිගෑලි කොට දිය විලට පා නැඟු‍වේය. මල් යාය මෑත්කර දිය දෝතක් ගෙන පවස නිවා ගති. හාම්පුතුගේ ඉරියව්වටම අශ්වයාද විත් නිලු‍පුල් විලේ දිය බීගෙන බීගෙන ගියේය. දිය පහසින් වෙහෙස නිවුණි. විල් දිය අද්දර මහ සියඹලාවේ හේත්තුව නෙත් විහිදා අහස බැලීය. ෆෝබ්ස් දුටුවේ බ්‍රාහ්මණ රාජාලියන් අහස වටා කරණම් ගහන දසුනය. අහසින් ඇස් ගත් ඔහුට ඉමක් කොනක් නොපෙනෙන වනාන්තරය දිස්වේ. කුසගිනි දළුව යළි උදරය මැදින් නැඟ එන විට ෆෝබ්ස්ට සිහිවූයේ දඩමසක රස බලන්නටය. දඩමස රස බලන්න මත්තෙන් ඔහුගේ මල්ලේ තිබූ අවසන් විස්කෝතු ටින් එක ඇර විස්කෝතු දෙක තුනක් කා කුසගින්නට විරාමයක් දුන්නේය. ෆෝබ්ස් තුවක්කු බඳ අතට ගෙන හැරෙත්ම දුටුවේ ගෝනෙකු පසුපස දුවන අමුතු කොලු‍ ගැටයාය. ගැටයා නැවතුනි. ගෝනා දිව ගියේය. සුදු හූරා දැක වැදි කොලු‍වා තැති ගත් දෑසින් බලා හිඳී. වැදි කොලු‍වා දුටු සුදු හූරා විමතිව බලමින් සිට වහා තුවක්කුව ගෙන ගිනි බින්දේය. දුව ගිය ගෝනාගේ බඳ මැදට වෙඩි වැදී ඌ විසිවී ඇද වැටුණේය. රන්තුක තැති ගෙනය.   

 මේ එක්දහස් අටසිය තිස් තුනේ ඔක්තෝබර් මහේය. බිනර මල් කඳු ඉහැත්තේ පිපෙන කාලයට මී පැණි මෝරයි. ඒ කාලයට ගෝනන් දඩේලාගෙන එන්නට ලකේ කන්දේ තනේගල වැදි ගැටව් දඩමඟු‍ලට තැන්නට බහී. තැන්නේ දුටු නාඹර ගෝනා පසු පසින් ආ රන්තුක මේජර් ෆෝබ්ස්ගේ දෑස් ළඟ නතරව තාමත් බලාහිටි. මේ අමුතු දෑස් ඇති හිරිමල් වැදි ගැටයා දෙස බලා ෆෝබ්ස් හිනැහුනේය. රන්තුක විමතිය පහ කර දෑස් නඟා හිනා නැඟු‍වේය.   
උඹ...... !   
ර...න්...තු....ක...!!   
රාන්තුක !   
ර..න්..තු...ක   
රන්තූක   
ර..න්...තුක   
රන්තුක   
 ෆෝබ්ස් රන්තුකගේ නම හරියටම ශබ්ද නැඟුූ විට සතුටු වී හිනාවිය. කොලු‍ ගැටයාගේ දසන් මල් හිනාවට ෆෝබ්ස් ද හිනා නැඟු‍වේ ඒ කිරි සුදටය.   
ම..ම... ෆෝබ්ස්   
හොබස් !   
ෆෝබ්ස්   
පෝබාස්   
ෆෝබ්ස්   
පෝ..බා..ස්...   
 ෆෝබ්ස් රන්තුකට පෝබාස් හූරාමය. මහ සියඹලාවේ යටට වී දෙන්නා ගෝනා එලාගෙන දඩමස් වින්දේය. මේජර් ෆෝබ්ස් රන්තුකගේ දඩමැහි ගිනියම දෙස බලමින් තුටු විඳිමින් දන්නා වදන්ද නොදන්නා ඉඟි බිඟිවලින්ද කාලය ගෙවා දැම්මේය. රන්තරු මාල බැඳන් අහස කළුවර තුනී කරයි. වියළි සුළඟ එක විටම හීතලක දැවටේ. රන්තුක ගෝන හම උඩින් සියඹලා කොළ ගොඩ ගැසුවේය. ඒ මතට ගිනි පුළිඟක් තබා ගිනි දැම්මේය. ගෝන හමේ මසින් වෙන්වූ පැත්ත පිළිස්සුවේය. සියඹලා කොළ සුවඳට අමුතු පුසුඹක් හැමුවේය. සුදු හූරාට ගෝන හම ගෙනවිත් දුන් රන්තුක එය පැදුරක් වගේ පොළවේ එළා පෙන්වීය. මේජර් ෆොබ්ස්ට පුදුමය. මේ වනචාරි කොලු‍වා දන්න ආගන්තුක සත්කාරය. එවිට ඔහුට වහා සිහි වූයේ තේම්ස් නදියෙන් සිරිලක බලා එන්නට නැව් නැඟු‍න දාය.   
එදා ඒ නැවේ පැමිණි ඉංග්‍රීසි සිවිල් සේවකයන් කී කතාය. නිල්ගල භූ පර්වතය යට භූ වංශයේ ගල්වැද්දන් ගැන ‍තෝමස් ස්කිනර් කී කථාව ෆෝබ්ස්ට වහා සිහිවිය. යුද සේවය අමතකව මනරම් දූපත වටා වට රවුමක් රවුම් ගසා එන්නට සිතුන ෆෝබ්ස් මහනුවරින් හඟු‍රන්කෙතට පැමිණේ. එහිදී ඔහු දුටු අයස්කාන්ත කඳු වැටිය ෆෝබ්ස්ව රාජකීය හමුදාවෙන් සොබා දහමට යා කළේය. නමුණුකුලින් ඇසුන අනුරාපුර වරුණට ලොබ බැඳ මේජර් ෆෝබ්ස් අශ්වයා හරවා ගෙන මහවන මැදින් විත් දැන් මහතලා තැන්නේ වස්ගොමුව වන තැන්නේය. සුදු හූරා ගිනි පන්දමක් දල්වයි. තොල තබයි. උරයි. දුම් අරී. යළි උරයි. දුම් අරී. රන්තුක ඒ දුම්වලට ඉව අල්ලා බැලීය. විඳ නැති සුවඳක්. විඳ නැති රසයක්. සුදු හූරා දුම් වැටිය වැදි ගැටයාට පෑවේය. රන්තුක දෝතින් ගෙන තොලේ තබා හනික ඇද්දේය. රන්තුකට දැනුනේ පාවට්ටා පන්දම බිබී බඹර ගලේ පැණි කඩන දවසේ සතුට වගේ සතුටකි. රන්තුකගේ පැහැබර සිතුම් වැටහුණ ෆෝබ්ස් තවත් දුමක් දල්වා ගත්තේය. දල්වා ගෙන ගෝන සම් ඇතිරිල්ලේ දිගා විය. දිගා වී සියඹලා රුකට හිස තබා ගති. අශ්වයා තැන තැන තණ කා විත් අසලින් ළැග හිස දැහැන් තබා නෙත් පියාගෙනය. මේජර් ෆෝබ්ස් රන්තුකගේ දිලිහෙන ඇස් බලමින් තම මල්ලේ වූ සටහන් පොත අතට ගත්තේය.   
ර..න්.. තූ...ක....   
රන්තුක හිස සොලවා සුදු හූරා ළඟට ළංවීය. සුදු හූරා නිහඬය. මොනවාද ලියනවා නේදැයි රන්තුකට සිතුණි. රන්තුක මේජර් ෆෝබ්ස් දෙසම බලා සිටී. ෆෝබ්ස් මොහොතකින් රන්තුකට පොත පෙන්වීය. රන්තුක හිනාවෙන් පුළුල් වී පුදුම වී සුදු හූරා දෙස බලා යළි සටහන් පොතේ ඉන්න තමන් දෙස බැලීය. වස්ගොමු විලේ නීල දියේ එබුනාම පේන මමයි. රන්තුකට සිතුනි. රන්තුක සුදු හූරා ළඟටම ළංවී ඒ තමාමයි කීවේය. මේජර් ෆෝබ්ස් රන්තුකට ගෝන හම් ඇතිරිල්ලේ වාඩි වෙන්නැයි සන් කළේය. රන්තුක ෆෝබ්ස් ළඟින් වාඩි විය. මේජර් ෆෝබ්ස් ඒ පාර නිලු‍පුල්වලින් සාරසුබා නිලු‍පුල් විල චිත්‍රයට නැඟීය.   
රන්තූක!   
පෝබාස් හූරා!   
උ..ඹ.. දන්නවද.... මකා නම!   
මේජර් ෆෝබ්ස් තම සටහන් මත සිතුවම් කොට තිබූ කන්ද පෙන්නා ඇසුවේය. රන්තුක කන්ද බලා ඇස් කරකවා බැලීය. හිනා හුනේය. කිරි සුදු දසන් නඟා හිනාහුනේය. ෆෝබ්ස්ට ඒ කිරි සුදු දත් පෙළ ගෙනාවේ අපූරු හැඟීමකි. රන්තුක ඒ සමනල කන්ද බව කීවේය. එවිට ෆෝබ්ස් යළි සටහන් පොතේ මේ දැන් චිත්‍රයට නැඟි විල් සටහන පෙරලු‍වේය. එයට අත තබා විලේ නම රන්තුකගෙන් විමසයි. රන්තුක පොත බලා විල දෙස බැලීය. විල දෙස බලා ෆෝබ්ස් දෙස බැලීය. හිනා නැඟීය. බිම බලා ගති. කෙතරම් ඇහුවද රන්තුක විලේ නම නොකිව්වේය. හිනා නඟා ගුප්ත බැල්මෙන් බිම බලා පා සුළැඟිල්ලෙන් බිම හාරනු හැර රන්තුක කිසිත් නොකීවේය. ඇසූ වෙහෙස මිස ෆෝබ්ස්ට කිසිවක් අසාගන්න බැරි විය. ෆෝබ්ස්ගේ හිත එවිට ඉගිල ගියේ යළි තේම්ස් නදිය දිගේ විත් ඉන්දු සයුරට වැටුණු නැව් චාරිකාවටය. ඉංග්‍රීසි අධිරාජ්‍යයේ යටත්විජිත බලා ගමන් ගන්නා තම ජාතිකයන් ලංකාව ගැන කී කතාය. නැවේදී ඔහුට රොබට් නොක්ස් ගේ ලියවිලි හදාරන්නට අවකාශය ලැබිණි. ඒ අවකාශය මේජර් ෆෝබ්ස්ගේ මානසික අවකාශය පුළුල් කළේය. සැබැවින්මය. ලංකාවේ වැද්දා උනත් අමුතුය. දැනුම හා අවබෝධය පුළුල් රන්තුක දෙස බැලූ ෆෝබ්ස්ට සිතුනි. ගුප්ත දයාවෙන් තමා දෙස බලමින් තවමත් බිම හාරන රන්තුක පා සුළඟිල්ල දුටු ෆෝබ්ස්ට සිතුනේය.   
 ලංකාවේ ඉංග්‍රීසි අධිරාජ්‍ය යුද උපදේශකවරයා ලෙස පත්වීම් ලැබී මේජර් එච්. ෆෝබ්ස් මෙහි සැපත් වූවේය. එනමුත් ඔහුගේ සිත සමනල කන්ද හඟු‍රන්කෙත කඳු අස්සෙන් දුටු දා හැරවුමකට හැරුනේය. අධිරාජ්‍යයේ මෙන්ම රොබට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරයාගෙන් වසන් වී ඔහු ලක වටේ වට රවුම් ගසමින් හත් මසක්ම ඇවිදිමින්ය. රන්තුක සහ ෆෝබ්ස් දෙදෙනාටම දෙදෙනා නැතිව ඉඳින්නට බැරි තරම් ආත්මීය බැඳීමක් ගෙතුනේය. වස්ගොමු තැන්නේ දෙදෙනා බොහෝ දුර ඇවිද ගියේය. ආදි හෙළේ විස්ම ප්‍රකාර නටබුන් අතර ඇවිද ගියේය. දවසක මිහින්තලේ සිටි මහ වලස් පොරයකට මැදිවූ ෆෝබ්ස්ව රන්තුක බේරා ගත්තේය. වලසුන්ගේ නියෙන් ඉරී දෙපළු මස් වැදිලි ගස් කොළ කොටා සුව කර ගත් පුදුමය ෆෝබ්ස් අවදි කළේය. මිහින්තලා ගල පිය ගැට පෙළ දඹුලු‍ ලෙන් පළමුව දුටු නූතන මිනිසා බවට ෆෝබ්ස් පත් වූයේ එලෙසය.   
මිහින්තලා වැවෙන් ගොඩවී රන්තුක හබරණ මහ වනාන්තරයට වැටුණේ හාර මාසයකට පසුවය. රන්තුකට රැහේ අමතක වූවේය. ෆෝබ්ස්ට අධිරාජ්‍ය සේවය අමතකය. පත් ඉරුවෙන් ඉරුවෙන් මේ මනස්කාන්ත රටේ මහ විල් වන රාජයන් අතර සැඟවුණ විශ්මාන්විත අතීත ස්මාරක ෆෝබ්ස් නෙත ගැටේ. එකින් එක ගැන ලියමින් චිත්‍රයට නඟමින් පා නගයි. නවතී. ගිමන් හරී. අල කොළ පලා පළ දඩයම් එකට ගෙන රන්තුක වන ඵලයන්හි රස අග්‍රහාරයෙන් ෆෝබ්ස් නලවයි. වංශ කථා ‍රැහේ කතා කුලේ කතා කන්දේ කතා අතරින් දවසක ඔහුට “උපුල් කන්ද’’ යැයි කියැවුණේය.   
උපුල් කන්ද!   
ෆෝබ්ස් හූරා අමුතුවට තොල් පෙරළා ඇස් විශ්මානයෙන් ලොකු කරමින් ඇසුවේය. රන්තුක අසරණ වූයේය. අහස එකොළොස් මසක්ම පුරහඳ පෙන්වූ බව රන්තුකට මතකය. මේජර් ෆෝබ්ස් සහ රන්තුකගේ බැඳීමට වසරකුත් ගෙවෙන්නට ආසන්නය. ‍රැහේ රහස කට තොලින් පැන ගත්තායි බියක් රන්තුකට වහා ඇතිවිය. බිය පත් නෙත් ෆෝබ්ස්ගේ බැඳීම් සහගත බැඳීමට දිස් විය. ෆෝබ්ස් විත් රන්තුකගෙන් උපුල් කන්ද (උපුල් වෙහෙර) ගැන විමතිව විමසීය. රන්තුකට නිහඬව සිටින්නට බැරි තරම්ය. රෑ තාරකා වසමින් සඳ එළිය මෝදු වන්නේය. යළි බිනර මහ උදා වෙමින්... රන්තුකට ෆෝබ්ස් හූරා හමු වූයේ බිනර මල් පිපුණු බිනර මහේදී බව සිහිවිය. ෆෝබ්ස් විත් රන්තුකගෙන් යළි ඇසුවේය. උපුල් කන්ද ගැන දිග කතාවක් කියන්නට රන්තුකට සිදු විය. රන්තුක දිග කතාවම කීවේය. මැදියම් යාමේ මේජර් ෆෝබ්ස්ට හිනා ගියේය. හොඳටම හිනා ගියේය. සුරංගනා කතාවක් තරම් සුරංගනාය. දෙව් ලියන් ගොඩබැසපු ගිරි කූඨයක් රත්තරන් පහන් දල්වා චිත්‍ර ඇඳළා කවි ලියලා. ඒකට යන්න තියෙන්නේ සිංහයෙකුගේ කට ඇතුළින්. ඒක හදපු රජ්ජුරුවන්ගේ දුව උපුලි උපුල කන්දෙ භූ ගර්භයේ තාම ජීවත් වෙනවා. ෆෝබ්ස්ට මේ කතාව අදහා ගනු බැරි තරම් සුරංගනාය. මනෝ මායාමය.   
රන්තුකගේ කථාව අවසානයේ හිනා නැඟු‍ පෝබාස් හූරා විමතිය විහිළුව සමඟ තවමත් හිනාවෙන්ය. අශ්වයා ඇහැරී වට පිට බැලු‍වේය. තමා විශ්වාස නැති පෝබාස් හූරා ගැන රන්තුකට දුකය. රන්තුකගේ මුහුණ පුරා දුක් රේඛා ඇඳී යද්දි ෆෝබ්ස් ගිනි මැලයට ළංව වල් ඌරාගේ මස් පෙති ගිනි මැලයට ළං කළේය.   
ආ... අර......   
රන්තුක කෑ ගසා කී දෙස මේජර් ෆෝබ්ස් බැලු‍වේය. තරු වැලක් මින් ‍රැලක් වගේ පායපු අහසක්. එදා අමුතු අහසක් දිස් වූයේ යැයි ෆෝබ්ස්ට සිතුනි. ෆෝබ්ස් හූරා රන්තුකට ළංවී ඒ මන්දැයි විමසීය. රන්තුක කීවේ හැම බිනර මහටම මින් ‍රැළ තරු වැලක් වගේ පායන්නේ ගිරි කූඨය උඩින් බවය. ගිරි කූඨයට යන පාර උඹ දන්නවාදැයි මේජර් ෆෝබ්ස් රන්තුකගෙන් ඇසුවේය. රන්තුක ෆෝබ්ස් දෙස බලා ඔව් යැයි කීවේය.   


රන්තුකගේ සෘජු රිද්මයට මේජර් ෆෝබ්ස් වහා නැගිට්ටේය. රන්තුක සමඟ ඒ ඓතිහාසික රහස සොයා පිය නැඟීය.   


 දොළොස් දිනක වෙහෙසකර ගමනකින් රූස්ස වන රේඛාවකින් වසා ගත් කඳු පව්වක් පාමුලට ෆෝබ්ස් විත් තිබුණි. රන්තුක පා පොළවේ නැමි නැමී සතර අතට නළල බිම තබා වඳින දෙස මේජර් ෆෝබ්ස් බලා සිටියේය. එක විටම වනයෙන් කඩා පැන ගත් දිවි පොව්වෙකු රන්තුකගේ බෙල්ලට පැන බෙල්ල කඩා පැන දිව්වේය. ෆෝබ්ස් දුක් සාගරයේ ගිලිමින් එතැනම රන්තුකගේ මිනිය බදා වැළපුණේය. මේ පෞර්ෂවත් යුද සේනාධිපති රදළයා මහ දුකින් හැඬුවේය. තමන්ගේ ආගමේ චාරිත්‍රය අනුව රන්තුක වළලා දඬු දෙකකින් කුරුසයක් තබා ගෞරව කළේය. එතැනම වැටී කැළැ කොළ කකා රන්තුක ගැනම සිහි කර කර මේජර් ෆෝබ්ස් මදුරුවන් තලමින් ඔහේ බලා සිටියේය.   


දිනෙන් දින ගෙවී යද්දි ඔහුගේ මනස පුරා දෝංකාර දී රන්තුකගේ කටහඬ මතුවේ. රන්තුක කී ගිරිකුළු රාජධානිය ඒ මනෝමය මනෝ මායාව මෙනෙහි වේ. සෑම රාත්‍රියේ ඔහු අහස බැලු‍වේය. එක දවස ඔහු දුටුවේය. ඒ උපුල කන්ද මුලදි රන්තුක පෙන්වූ අමුතු තරු එළියය. ඔව් ඒ තරු වැළක් මින් පෙළ වගේ සිටින තරු රටාවය. රන්තුක කීවේ මින් ‍රැළක් තරු වැළක් වෙලා ඉන්න බවය. ෆෝබ්ස් නැඟී සිටියේය, සතර අත බැලු‍වේය. යළි අහස බැලු‍වේය. ඔහුට රන්තුකගේ අවසන් මොහොත සිහිවිය. සතර අතට වැඳ වැටුණු රන්තුක බිම දිගා වී නළල තැබුවේය. මේජර් ෆෝබ්ස් වහා රන්තුක නළල් තලය තබා වැඳ වැටුණු තැනට දිව ගියේය.   


 රන්තුක තම නළල තැබූ තැන තුවක්කු බඳ ගසා හෑරුවේය. දඬු උලක් සාදා හාරා පස ඉවත් කළේය. ඔහු පුදුමයෙන් පුදුමයට පත් විය. පුදුමයෙන් විමතියට පත් විය. විමතියෙන් විශ්මයට පත් විය. විශ්මයෙන් කුතුහලයට පත් විය. ඔහු දුටුවේ ශෛල මහපට ඇඟිල්ලකි. එනම් සීගිරි සිංහ පාදයේ මහපටැඟිල්ලය. ඒ සීගිරිය සොයා ගත් මොහොතය. සියවස් හතරක් ලංකා පොළවේ මිනිසුන් පවා නොදැන සිටි සීගිරියට ගිය පළමු නූතන මිනිසාය. සීගිරිය ලොවට යළි විවර වූයේ එදාය. මේජර් ෆෝබ්ස් දුටු දුටු දේ ලීවේය. හැකි හැකි තරම් දුටු දේ චිත්‍රයට නැඟු‍වේය. එක විටම කැලේ යක්කු ගසා මේජර් ෆෝබ්ස් ඔත්පොල විය. අධිරාජ්‍ය හමුදාව සොයා පීරා සොයන සුදු හූරා හබරණ ගම් වැද්දන් සොයා ගන්නා ලදී. සොයාගෙන ලී මැස්සක නංවා දඹුල්ලට ගෙනාවේය. ඔහු වහා ප්‍රතිකාර සඳහා මහනුවරට යොමු කළේය. එතැනින් නිසි සේ සුවපත් නොවූ මේජර් ෆෝබ්ස් වහා එංගලන්තයට පිටත්කර හැරියේය. එහි සිට ඔහු Eleven Years in Ceylon කෘතිය ලියමින් සීගිරියට ලොව යා කළේය. රන්තුක හා ෆෝබ්ස්ගේ බැඳීම ඉතිහාස රහස් දොර හරින සැබෑ කථාවය. ෆෝබ්ස්ගේ දින පොතින් ගෙන එය ලියමින් සිටියදී කැලෑ උණෙන් මිය ගියේය. ඒ රන්තුක සදා රහසක් වෙමිනි.