සුන්දර කොත්මලයට පෙම්බැඳි නොබෙල් ත්‍යාගලාභී කවියා


 

 

කොත්මලය කියන්නෙ ස්වභාවධර්මයේ අපූර්වතම නිර්මාණයක්. ස්වභාවධර්මය විසින් මැනවින් ආරක්ෂාව, ස්වභාව සෞන්දර්ය ආර්ථිකය මැනවින් කළමනාකරණය කළ මැනවින් ස්ථානගත කළ පරිසරයකි. ඒ වගේම තමයි කොත්මලේ ඓතිහාසික තත්ත්වය. එයත් විජය කුවේණි ඉතිහාසය දක්වා දිව යයි.   


ලේඛකයො, දේශපාලනඥයො, ඉතිහාසඥයො, මහා ව්‍යාපාරිකයො, අධ්‍යාපනඥයන් බිහිකළ කොත්මලයට බොහෝ විදේශිකයන් ද ආදරය කළ බව පොතපත ඇවිස්සීමේ දී සොයා ගැනීමට හැකිය.   


එවැනි කොත්මලයට ආදරය කළ විදේශිකයෙක් වන්නේ චිලී ජාතික මහා කවි පැබ්ලෝ නෙරුඩාය. ඔහු ලංකාවේ ගත කළ කාලය තුළ අවම වශයෙන් මාසයකට වරක්වත් කොත්මලේට ආගිය මහා කවියෙකි. ඔහු ඒ තරමට කොත්මලයට ආදරය කළ බව සඳහන්ය.   


ඔහු ලංකාවට පැමිණියේ 1904 වර්ෂයේ දීය. එවක පටන් ඔහු 1930 වනතෙක් චිලී දේශයේ කොන්සාල්වරයා ලෙස ලංකාවේ කටයුතු කළේය. පැබ්ලෝ නෙරුඩාගේ කොන්සල් කාර්යාලය කොළඹ තිබුණත් ඔහු නිතර නිතර කොත්මලයට පැමිණි බව සඳහන්ය. ඒ ඔහුගේ හිතවතෙකු කොත්මලේ පූඬළුඔය උතුරු පූඬළුඔය වත්තේ වතු අධිකාරිවරයා ලෙස කටයුතු කළ හෙයින් ඔහු මුණගැසීමට ය.   


මෙම වතුයාය අයිතිව තිබුණේ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය සමාගමක් වන මිලර්ස් සමාගමට ය. එකල එහි වතු අධිකාරිවරයා වූයේ ඇලෙක්සි ජේකබ් මහතා ය. ජේකබ් මහතා මුණ ගැසීම සඳහා නිතර නිතර පැබ්ලෝ නෙරුඩා පූඬළුඔයට පැමිණ ඇත.   


උතුරු පූඬළුඔය වතුයායේ (එවකට මිලර්ස් එස්ටේට්) සොබා දහමේ රස විඳිමින් ගද්‍ය පද්‍ය රැසක් නිර්මාණය කර ඇත. සිය නිජබිමෙන් සහ පෙම්වතියගෙන් දුරස්වී හුදකලා ජීවිතයක් ගත කළ පැබ්ලෝ කවියාගේ සිතට මහත් සැනසුමක් හා සතුටක් ළඟා කරගෙන ඇත්තේ සුන්දර කොත්මලය බව ඔහුගේ ලේඛන පරිශීලනය කිරීමේ දී පෙනී යයි. ගත සිත පුබුදු කරමින් හමාගිය සිසිල් මදපවන ද හරිත වර්ණයෙන් පිරි ගහකොළ ද ඔහු දුටුවේ සොඳුරුම දේ හැටියට ය. එකල ලංකාව හඳුන්වා ඇත්තේ ‘සෙයිලාන්’ දූපත ලෙස ය. එසේ වුවත් එවකට ද මෙම ප්‍රදේශය කොත්මලේ ලෙස හඳුන්වා ඇති බව පැබ්ලෝගේ කවි පන්ති කියවනවිට පෙනී යයි.   


ඔහු ලියූ එක් කවි පෙළක් මෙසේයි.   


එය ඔහු නම්කර තිබුණේ 'Oda a Frente a Laislude Ceylon ලෙසයි. (සෙයිලාන් දූපත පෙනි පෙනී) නමැති කවි පෙළින් කොත්මලය පිළිබඳව සුන්දර අදහසක් අප සිත්වලට ද එක්වෙයි.   
අදත් එමි ඔබ සොයා   
මහ සයුරු තරණයෙන්   
රිදි දිය පලස මත   
වැහි පොදේ තෙමි තෙමී   
අර ඈත දිස්වන්නෙ   
හරිතවත් රළ පෙළක්   
අහා!!! සෙයිලාන්   
පූජනීය වූ   
මනෝහර දීපය   
හුදකලා වීමි මම   
සුපුෂ්පිත දීපයේ   
කොයි තරම් සුන්දර ද   
පසුගිය හෝරාව,   
මාන කොළින් සෙවිලි කළ   
පැලක් දෙදරා නැඟුණු   
කවිතාල මතක් වෙයි   
දැනෙයි තවමත් සිතට   
පිච්ච තේ කොළ සුවඳ   
එදා කොත්මල මහ ගඟුලේ   
රැළි තලා මත නැගී එන්නේ   
එදා තෙත් වූ මියුරු ගීයයි   
මෙදත් ඒ ගඟුලෙන් නැගෙන්නේ   
එදා ගස්වැල් නැගූ හඬමයි   
මෙදා තුරු වදුලෙන් ඇසෙන්නේ   
පහුවුණා දැන් පහුවුණා දැන්   
අතීතය ඒ සොඳුරු පෙම් බිම   
පෙට්ටගමට දා වසන්න බෑ   
කොත්මලෙන් හමන සුවඳ දුම්   
අහා!!! කොත්මලය   
අහා!!! කොත්මලය   
මගේ පෙම්වතිය... 

 
කොත්මලයට මහත් පෙම් කළ නෙරුඩා ලංකාවේ සිය සේවා කාලයෙන් පසුව යන්නේ ජාවා දූපතේ සේවයටය. එයිනුත් විශ්‍රාම ගිය පසු නෙරුඩා සිය මව්බිමට යන්නේය. එයිනුත් වසර කිහිපයකට පසු ඔහු නැවත ලංකාවට පැමිණියේය. ඒ ගමන ගැන Navegaciones Y Regresos (නැව් සංචාරය) නමැති සටහන් ග්‍රන්ථයේ මෙසේ සඳහන් කරයි.   
‘මම යළිත් කොත්මලයට ගියේ මගේ බිරියට මම තදින් පෙම්කළ කොත්මලය පෙන්වන්න. මම හිම මීදුම් පිරුණු මාවත් ගණනක් දිගේ ගියා එදා මා පෙම්බැඳි කොත්මල් පෙම්වතිය සිය ළදරු බව අතහැර වැඩිවියට පත්වෙමින් සිටියා. පාලම් ඉදිවෙලා, මානා ඉළුක් වහලවල් උළු තහඩුවලට මාරුවෙලා. තෙතමනය ටිකක් ඉවත්වෙලා. මට මගේ පැරැණි මිතුරන් සොයිදුහාමි, කිරිබංඩේ, එතන හාමි මුණ ගැහුණේ නැහැ. කෑම උයල දුන්න වේලු වියපත් වෙලා. එදා මම ආදරය කළ කොත්මලෙන් සමුගත්තෙ අවසාන මිනිත්තුවෙ හිතට ධෛර්ය අරගෙන. ඒ කොත්මලේ මගේ පෙම්වතියට ආචාර කරන්න.   


නෙරුඩා ලොව ප්‍රසිද්ධ වුණේ පෙම් කවි මගිනි. ගැහැනිය පිළිබඳ නිමැවුම්වල දී එදා මෙදා තුර වඩාත් කියැවෙන හා ලොව වැඩිමනක් භාෂාවන්ට නගා තිබෙන Veinte poe mas amor (පෙම් කවි විස්සක්) නම් පද්‍ය සංග්‍රහය ඉතා රසවත් කවි පන්තියකි. එය නෙරුඩාගේ කාව්‍ය දක්ෂතාවය මැනවින් පෙන්වීමකි.   


1971 වසරේ සාහිත්‍ය පිළිබඳ නොබෙල් ත්‍යාගය ලබන්නට තරම් ලංකාවේ කොත්මලයට පෙම් බැඳි පැබ්ලෝ නෙරුඩා වාසනාවන්ත විය.   


(තොරතුරු සොයා ගැනීමට සහය වූ කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ඉනෝකා මඩවල මහත්මියට ස්තුතිය)   

 

 

 

කොත්මලේ - රංජිත් සූරියආරච්චි