ගැමි රසවිත
උහන, ගලහිටියාගොඩ මා පදිංචිව සිටි අවධියේ එහි සිට පරගහකැලේ ග්‍රාමයට පදිංචියට ගිය මාගේ හිතවත් අයෙක්. මා සොයා පැමිණ ඔහු හා සමඟ වැඩකට පැමිණෙන ලෙස ඇරයුම් කෙළේය. ඒ දිනවල පැවති ආර්ථික අපහසුතාවය ද සලකා ඊට එකඟ වී පසුදිනම සූදානම්ව හිමිදිරියේම පාපැදියෙන් එහි ගියෙමි.
සැතපුම් දොළහක පමණ වූ ගමන නිසා මා එහි යන විට හිතවතාගේ නිවස දොර ජනෙල් වසා තිබුණෙන් අදාළ ස්ථානයට ගියෙමි. ඒ වන විට සේවාදායකයාත්, හිතවතාත් එකතුව මූලික කටයුතු අවසන්කොට තිබුණි. සේවාදායකයා බලපත්‍ර ලත් හල්මිල්ල ගසක දැව ඉරා දීම අපට පැවරුණු කාර්යය වේ. මා ගුණේ අයියා නමින් අමතන මාගේ හිතවතා කාර්යශූර ප්‍රියමනාප පුද්ගලයෙකි. එම දිනවල ඔහුගේ බිරිය දරු ප්‍රසුතිය සඳහා මාපියන්ගේ නිවසට ගොස් සිටි හෙයින් ඔහු නිවසේ සිටියේ ද තනිවමය.
අපගේ උදෑසන හා දිවා ආහාර ද, සේවාදායකයා වෙතින්ම සැපයුණු හෙයින් අපහසුවක් ද නොවීය. සිව් දිනක් වෙහෙසව වැඩ කිරීමෙන් පස්වැනි දිනට ඉතිරිවූයේ සුළු කොටසකි. එදින දවල් අපගේ දිවා ආහාරය ගෙන එන අවස්ථාවේ කරත්තය ද බැඳගෙන සේවාදායකයා පැමිණි හෙයින් ඉතිරිව තිබූ ඉවත ගිය කොටස් ද සමග දැව ටික කරත්තයට පැටවීමු. ඒ අතර මීටරයක් පමණ දිග ''4x2 1/4 ලී කැබලි දෙකක් ද විය. සේවාදායකයාගේ බලාපොරොත්තුව පරිදි දැව කඳන් දෙකින් උපරිම ප්‍රමාණය පලුදු රහිතව ලැබීමෙන් සතුටට පත්ව එම දැව කැබලි දෙක අවශ්‍ය නම් අපට ගෙන යන්නැයි කී හෙයින් ගුණේ අයියාගේ ද එකඟතාවයෙන් ගෙදර රැගෙන ඒම පිණිස පාපැදියේ පිටුපස රඳවනයේ තබා බැඳ ගතිමි.
අව් රශ්මිය මඳක් අඩු වූ පසු සවස ආපසු නිවස බලා ඒම මගේ අවශ්‍යතාව වුවද අලුත් ඉරූ ලී කැබලි දෙක නිසා ගැටලුවක් වීමට ඉඩ ඇති හෙයින් පසුදින පාන්දරින් යන්නැයි ගුණේ අයියාගේ ඉල්ලීමට එකඟ වීමි. දැඩි වෙහෙස නිසා ඇඟට ද අපහසු හෙයින් රාත්‍රී කැමෙන් පසු වේලාසනින් නිදා ගතිමු. වැඩි ඈතක නොවන කුකුළෙකුගේ දෙවරක් හඬලෑමෙන් අප දෙදෙනාම අවදි වීමු. එම කාලය වන වට බොහෝ ගැමි නිවාසවල සේම ගුණේ අයියාගේ නිවසේ ද ඔරලෝසුවක් නොවූයෙන් කලබල වූ මා ගුණේ අයියාගේ අවසරය ඇතිව පාපැදිය ගෙන මගට බටුයෙමි.
ඉතාමත්ම පැහැදිලි තරු ගහණ අහසත් ළා සඳ එළියත් නිසා අඳුරක් නොවුව ද වර්ෂාවට සේදී ගිය තැනුත් ගල් මතුවී ඇති තැනුත් පැහැදිලිව හඳුනා ගැනීම අපහසු හෙයින් ගුරු පාරේ ගමන පරෙස්සමිනි. සේනානායක සමුද්‍රයේ සිට වලකඩේ ප්‍රදේශය දක්වා දිවෙන ප්‍රධාන වම් ඇළ ඉවුර මාර්ගයේ නවගිරියාව වැව දක්වා කොටස බෙදෙන ප්‍රධාන ස්ථානය ගලහිටියාගොඩ ගම මායිමේ පිහිටි සැට්ල් හන්දිය නම් ස්ථානයයි. සිව්මං සන්ධියකින් හා දෙපසට පාලම් දෙකකින් යුත් මෙම ස්ථානය අසල වනසංරක්ෂණ නිලධාරීන් දෙදෙනෙකුද නේවාසිකව සිටිති. අරුණ නැගීමට පළමු මෙම ස්ථානය පසුකිරීම පමණක් හිත දරා පාපැදිය හසුරුවමි.
පරගහකැලේ ගම කෙළවර විහාරස්ථානය පසුකරත්ම ඇත්තේ ලඳු කැලෑවකින් යුත් රක්ෂිතයයි. හදිසියේම පසුපසින් ආ සුනඛයෙකු නිහඬව ඉදිරියෙන් යයි. ගැමි සුනඛයෙකුට වඩා ලොකු සුදු හා දුඹුරු පැහැයෙන් යුත් එකෙකු බැව් මද ආලෝකයේ දී දැකීම ගැන අවධානයක් නොවීය. ඉදිරියේ මාර්ගයේ වම් පසින් ඇති සුසාන භූමියේ මාර්ගයට මීටර් පහක් පමණ ඔබ්බෙන් අලුත් සැරසිලි දක්නට ඇත්තේ ඊට දෙදිනකට පෙර භූමදාන කළ ආප්ප අම්මා නමින් හැදින්වූ කතගේ සුසානයයි. එය පසුකොට ඉදිරියට යන විට සුනඛයා දක්නට නොවීමෙන් මඳ චකිතකයක් ඇති වුවද කළහැකි කිසිවක් නොවූයෙන් සිත දැඩි කරගතිමි. ඒ සමගම ඇත්තේ මීටර් සියයක් පමණ වූ ස්වභාවික වනපෙතයි. එය ඉක්ම වූ විට හිමිදුරාව වැව් බැම්මට අවතීර්ණ වීමි.
දැන් සියල්ල පැහැදිලිව පෙනේ. පුළුන් රොක් දැමුවද බිමටම පහත්වන තරමට වාතලය නිෂ්ඵලය. මගේ හිතද සන්සුන්ය. ටික දුරක් විත් හිස මඳක් හරවා වැව දෙස බැලිමි. එකදු වලා රොදක් හෝ නැති තරු ගහණ බැබළෙන අහසක් මඳ සඳ එළියක් නිසා වෑ ජලය පැහැදිලිය. ඒ අතර අස්ථාභාවිකව පෙනෙන ඡායාවක් විය. පාපැදිය වෑ ඉවුර මාර්ගය මැදව සිටුවා බැස ඉවුර අයිනට ආමි. වැව දෙසට හොඳින් නෙත් හෙලිමි. ‘දෙවියනේ කුමන ආශ්චර්යයක් ද? මට මාගේ නෙත් ඇදහිය නොහී පිස දමා බැලිමි. ඒත් එය සත්‍ය දසුනක්. වැව ඉස්මත්තේ වන පෙත ඉහළින් ඇති කඳුවැටියේ ඡායාව වෑ ජලය තුළින් පැහැදිළිව පෙනේ. දම්පාටට හුරු තද නිල් පැහැයෙන් පෙනෙන කන්දේ ලොකු ගල්තලා පවා හොඳින් හඳුනා ගත හැකි ලෙස පෙනේ. මගේ ජීවිත කාලයේදී එතෙක් මෙතෙක් මා දුටු සොඳුරුම වූ දසුන එයයි. මා එම දසුනට වශීකෘත වීමි. කොතෙක් වේලා දැහැන්ගතව සිටියිදැයි නොදනිමි. ක්‍රමයෙන් ආලෝකය අඩුවිය. මද අඳුරත් සමඟ දර්ශනය බොඳ වී වියැකී ගියේය. මම පියෙවි ලොවට පැමිණියෙමි.
කඩිනමින් පාපැදිය ගෙන පිටත්වීමට උත්සාහ කෙළෙමි. ඒත් අඳුර දැඩි විය. දෙනෙතේ දෝෂයක් දෝයි සිතා ඉදිරියට තල්ලුකර ගෙන ආමි. වැව් බැම්ම කෙළවර ආසන්නයේ පාලමක් ඇත. ඒ අවශ්‍ය අවස්ථාවක කොණ්ඩවටවාන වනරක්ෂිතය අතරින් ජලය මුදාහරින දොර සහිත පාලමයි. එතැන සිට සැතපුම් දෙක ඇළ ඉවුර දකුණු පසින් වන රක්ෂිතයත් වම් පසින් පාලමේ පසෙක සිටුවා එහි තිබූ අතිරේක සරම ගෙන බිම එලා මදක් හාන්සි වීමි.
මා නොදැණුවත්වම නින්දට වැටී ඇත. අවදි වන විට යා හැකි තරමට අඳුර දුරු වී ඇත. පාපැදිය ගෙන පිටත් වීමි. පාරේ දකුණු පසට වැඩි අවධානය යොමුකොට අවදානම් පෙදෙස පසු කෙළෙමි. ඇළ ඉවුරට මදක් ආසන්නයේ සිටම ඇත්තේ හිමිදුරාව වෙල්යායි. ඈතින් කුඩා එළි කීපයක් පෙනුනත් අසලක ඇත්තේ තැනින් තැන හිස් ලඳු බිම් කීපයක් හා තාමත් පීදි නැති ගොයමින් යුත් කුඹුරුත් පමණි. ඉදිරියෙන් කුඹුරු කෙළවරට ද තව ටිකකි. ඇළ ඉවුරට මීටර් සියයක් පමණ ආසන්නයේ කුඹුරේ පඳුරක් වැනි යමක් දිස් විය.
අවධානය යොමු කළ විට චලනය වන බැව් පෙනේ. මිනිසුන්ට නින්ද ගිය වෙලේ තනියා කුඹුරට බැස ඇත. මා කුමක් කළ යුතු ද? ඈතින් ගෙවල්වල නිදා සිටින අය හූ කියා අවදි කළ හැකි වේද? එසේ කෑ ගැසූ විට තනියා කලබල වූවොත් ඇළෙන් එතෙර විය යුත්තේ මා සිටිනා ඉසව්වෙනි. මා ඉදිරියෙන් ඇත්තේ අඩි අසූව ඇළ කන්දයි. ඇළෙන් ගොඩ දැමු නොයෙක් ප්‍රමාණයේ ගල් කැබලි මතු වී ඇති සමහර ස්ථානවල පාපැදියෙන් බැස තල්ලු කරගෙන යා යුතුය. ගොවියෙක් ලෙස ඇති වූ බලවත් අසහනයෙන් යුතුව ඒවා පියමං කෙළෙමි. වෙනදා ලගින සුනඛයෙක් හෝ සැට්ල් හන්දියේ නොවීය. ගම මැද්දේද එසේමය. නිවසට එන විට දොර වසා තිබුණෙන් පාපැදිය මිදුලේ සිටුවා මීටර් සියයක් පමණ ඈතින් වූ බිරිඳගේ ලොකු අයියාගේ නිවසට ගොස් දොරට තට්ටු කොට කතා කළෙමි.
කීප විටක් ශබ්ද නගා කතා කිරීමෙන් පසු විදුලි පන්දමක්ද දල්වා දොර මදක් විවෘත කොට මා දුටු විට මොකොද යකෝ මේ දෙරෑ මැද කොහේ ඉඳලාදැයි නිදිමතේම ගෝරනාඩු කෙළේය. ඒ අතර මගේ කතාවට අවදි වූ පේමක්කා (ලොකු අයියාගේ බිරිඳ) කුප්පි ලාම්පුවක් අතකින් ගෙන අනෙක් අතින් දෙනෙත් පිසිමින් විත් ‘මල්ලී නංගි හැන්දෑවෙ අම්මලෑ ගෙදර ගියා. යතුර අපට දීලා ගියේ නෑයි කීවාය. එහෙනම් මෙහෙ ඇවිත් නිදාගෙන උදේ පලයන් කියා ලොකු අයියා කීවත් බූරු ඇඳ එළියේ තියෙනවා දැක්කා කියූ මා ආපසුවිත් ගෙයි දොර වසා හේත්තුකොට තිබූ බූරු ඇඳ පසෙකට ගෙන එතැන පාපැදිය තබා එය ආවරණය වන ලෙස බූරු ඇඳ මත සරම එලා නිදා ගතිමි.
පුරුදු පරිදි උදෑසන අවදි වූ පසු කුඹුර බැලීමට යන අතර පේමක්කාටද කතාකොට ගියෙමි. ඇවිද බැලූ පසු විශේෂ දෙයක් නොවන හෙයින් ප්‍රමාද නොවී ආපසු පැමිණියෙමි. ඒ වන විට බිරිඳ නිවසට විත් උදෑසන ආහාරය ද සකසා තිබිණි. ආහාර ගැනීමෙන් පසු අප දෙදෙනාම ලොකු අයියලාගේ නිවසට ගියෙමු. සියලු සිද්ධීන් එහිදී පැවසිමි. මගේ අවිචාර වත් බව නිසා කරදරයකට පත්වීමට තිබිණැයි ලොකු අයියා දොස් නැගුවත් අනෙක් අය එසේ නොවී යයි සතුටු වූහ.
පසුදින ගුණේ අයියා මා සොයා පැමිණියේය. පෙර දින මා පිටත්වූ වේලාව ඔහුට ද නිශ්චය කරගත නොහැකි වීමෙන් කැළඹී සිටියේය. ඔහු බිය වී ඇත්තේ මුල් අත්දැකීම් පිළිබඳවයි. ඊට කලින් ද කීප අවස්ථාවකම එම සුනඛ රුව දුටුවන් බිය වී ඇති බැව් දත් හෙයිනි. ටික දිනකට පෙර දඩයමේ ගිය දෙදෙනෙකු ද ඒ දැක බිය පත්ව ආපසු විත් කී නිසාවෙනි.
ඩී.එම්.ඩී.ඒ. දිසානායක,
මරුතගස්පිටිය, දෙහිඅත්තකණ්ඩිය.