සෙත් කවියෙන් ආධ්‍යාත්මික ලෝකය අමතා දෙවිපිහිට ලද හැටි


දෙවිනුවර දෙවොලේ විස්මිත කතා 

දෙවියන් හැටියට පහළ වන්නේ මිනිස් ලොව දිවි ගෙවද්දී සිතින් කයින් වචනයෙන් යහපතක්ම කොට උතුම් මිනිස් ජීවිත ගත කළ අයයි. බෝධිසත්ව කතාවල සිදුහත් චරිතයේ සහ බුද්ධ චරිතයේද දෙවිවරු ගැන සඳහන් වෙයි. දිව්‍යලෝක ගැන සඳහන් වේ. දේව විශ්වාස හා සංකල්ප ඉතාම ඈත අතීතයේ සිට පැවත එන්නකි. එහෙත් කල්ප ගණන් පාරමිතා පුරමින් මහා පුණ්‍යස්කන්ධයක් රැස්කොට බුදු බව පතා දුෂ්කර ක්‍රියාකොට අත්කර ගත් බුද්ධත්වය යනු දේවත්වය ඉක්මවා ඉහළින් සිටින්නක් බව අමතක නොකළ යුතුය.   


සිතින් කයින් මෙන්ම වචනයෙන් යහපත හෝ අයහපත සිදු කළ හැකිය. අද මේ ලිපියෙන් ඉදිරිපත් කෙරෙන්නේ වචනයේ ඇති බලය ඉතාම යහපත් ලෙස යොදා ගෙන ආධ්‍යාත්මික ලෝකය අමතමින් අනුනට පිහිට ලබා දුන් ගුරු මහතකුගේ විස්මිත පුවතයි.   


කලකට පෙර මා සමග හිතවත්ව සිටි මේ ගුරු මහතා උපාධිධරයෙකි. විශ්‍රාම ගොස් පොදු කටයුතුවලට දිවි කැප කළ ඔහු අද ජීවතුන් අතර නැතත් සෙත්කවියේ බලය දත් මාතර පළාතේ බොහෝ දෙනා අදත් ඔහුගේ ගුණ කියති.   


කරදර, බාධක, රෝගපීඩා දුක් වේදනා සමනය කොට යහපත උදාකර දෙන්නට අපේ ජනතාව අනාදිමත් කාලයක සිට විශ්වාසය තැබුවේ දහමට අනුව කෙරෙන බෝධි පූජා, සෙත්කවි, සෙත් ශාන්ති ගැනය. ඒ විශ්වාසය අකුරටම ඉටුකර අනුන් වෙනුවෙන් නොමිලේ කැපවූ මේ විශ්‍රාමිකයා සේවයෙන් ඉවත්වන තුරුම විදුහල්පති තනතුරක් භාර ගත්තේ නැත. සාම විනිසුරු පදවි දැරුයේ නැත. දේශමාන්‍ය දේශ ශක්ති කලා භූෂණ පට්ටම් ගන්නට කිසි දිනක ගියේ නැත. එවා ලබාගෙන තමන්ගේ නමට එක්කර ගෙන පිම්බෙන්නට ඔහු කැමති වූයේ නැත.

   
බුදු දහමේ හරය දිවි ගමනට එක්කරගෙන පංචශීලයත් දේශීයත්වයත් රැකි මේ උගත් ගැමියා සිංහල ඉංග්‍රීසි භාෂා දෙකද බුදු දහමද ජ්‍යොතිෂයද ​සෙත්කවි කලාවද බෞද්ධ හින්දු භාවනා ක්‍රමය මැනවින් දැන සිටියේය.   
ඔහු සතු සුවිසල් දැනුමෙන් සහ අත්දැකීම් ඇසුරෙන් යමක් උකහා ගන්නට (වසර ගණනාවකට පෙර) මා ඇසූ පැනයට ඔහු ඉතාම සතුටින් උත්තර දුන්නේය. සෙත් කවියක සැඟවුණ රහසක් එහි ආධ්‍යාත්මික ශක්තියත් ඔහු විග්‍රහ කළේ අමුතුම ආකාරයකටය.   


‘‘සිතේ ඇතිවන සිතුවිළි වචන බවට පත් වෙනවා. ඒ සිතුවිලි හොඳ යහපත් දේ මෙන්ම නරක අයහපත් දෙයක් වෙන්නත් පුළුවන්. හොඳ යහපත් වචන හොඳ අදහසක් ගොඩ නැගෙන පරිදි යොදා ගෙන කීමෙන් අාධ්‍යාත්මික වශයෙන් යහපත් ශක්තියක් ඇති වෙනවා. මේ විශ්වයේ ඇති බුද්ධ ගුණය. තෙරුවන් ගුණය වැනි මහා ආධ්‍යාත්මික බලවේග හා බැඳුන වන්දනා ගාථා ගැන සිතා බලන්න. පිරිත් සූත්‍ර ගැන සිතා බලන්න. දැනුම අවබෝධය ලබාදෙන සිතුවිලි සමූහය වචන බවට පෙරළා ඥානය ලබාදීමත් එයටම අයත් දෙයක්.   
වචනයෙන් වාක්‍යයෙන් කියවෙන අදහස මනුෂ්‍යයන් ක්‍රියාවට නංවනවා. හොඳ සිතිවිලි ගළපා අනුනට සෙතක් ශාන්තියක් ඇතිවන පරිදි ඉපැරණි ශබ්ද විද්‍යාව අනුව ගොඩනැගෙන කාව්‍යය ගායනා කිරීමෙන් (ක්‍රියාවට නැංවීමෙන්) විස්මිත ප්‍රතිඵල උදාකෙරෙන බව පැරණි සිංහල බෞද්ධයෝ දැන සිටියා.   


නියමිත කාල වකවානු තෝරාගෙන පුද පිළිවෙත් සමග අාධ්‍යාත්මික තලයේ සිටින දෙවියන් ඇමතීම තුළින් සෙතක් උදාකරදීම සෙත් කවියෙන් කෙරෙනවා. ඒ සඳහා අනුගමනය කෙරෙන තවත් බොහෝ කරුණු තිබෙනවා. යැයි ඒ මහතා කියා සිටියේය.   


සිංහල අක්ෂර මාලාව සත්ව යෝනි අටකට වෙන්කර තිබේ. අක්ෂර ගණ, සීහුම් නැකැත්, තිථි යෝග කරණ ආදී කරුණු ගැන මනා දැනුමක් ඇති ඔහු පැවසූ එක් විශේෂිත කරුණක් වූයේ සියලුම අක්ෂර හා ගණ වලට අධිපති වන්නේ ගණ දෙවියන් බවය. සිදත් සඟරාව ඉන්දු ගුරුළු ශාස්ත්‍රය, හෝරාභරණය, කාව්‍ය ලක්ෂණ මිණි මාලාව ආදී පැරණි කෘතින්හි අඩංගු වැදගත් කරුණු ඔහුගේ මතකය තුළ ඇති බවත් ඔහු ඒවා යොදා ගෙන අනුනට නොමිලේ සෙත සැලසූ බවත් දනිමි.   


මේ මගින් හෙළිවන තවත් වැදගත් කරුණක් වන්නේ අපේ අතීත පැරණි සිංහල බෞද්ධ ජන සමාජයේ වැදගත් ශාස්ත්‍රිය ක්‍රමෝපායන් උගතුන් අතර පැවති බවත් ඒවා දුකට පත් ජනයාගේ ගැටලු විසඳීම සඳහා ආගමානුකූලව යොදාගත් බවත්ය. පරම්පරාගතව පැවත ආ මේ අගනා දැනුම් සම්භාරය පන්සල ඇසුරුකරගෙන උගත් ගිහි පැවිදි දෙපිරිස අතර පැවති අතර සමාජය බෙහෙවින් සංකීර්ණ වීම වෙනස්කම්වලට භාජන වීම සහ සමාජ පරිහානිය හේතුවෙන් අභාවයට ගියේය.   


බහුතර ජනයාගේ අවධානයෙන් ගිලිහී ගිය ඒ දැනුම අද වන විට මුදල මුල්කරගෙන අවභාවිතය ලක්ව ඇති මේ උගත් ගැමියා එදා අප සමග පැවසුවේ ඉතාම කනගාටුවෙනි.   


තවත් විස්මය ජනක කරුණක් හෙතෙම පැවසුවේ මේ පැරණි ශාස්ත්‍රයේ ඇති වටිනාකම හෙළි කරමිණි. එනම් නියමිත පරිදි අක්ෂර ගණ නැකැත් ආදිය යොදගෙන නිවැරදිව නිර්මාණය කරන සෙත් කවිය ලියා අවසන් වන විට (දෙවියන් අමතා කියන්නටත් පෙර) ​අදාළ පුද්ගලයාගේ ගැටලුව සුළු ප්‍රමාණයකින් හෝ විසඳීයන බවය. සෙත්කවි කියන තැනැත්තා කව්රුන් වුවද ඔහු මෛත්‍රී කරුණා, ඉවසීම ආදි යහගුණ ඇති පන්සිල් රකින දහමට අනුව දිවිගෙවන අයකු විය යුතුය. 

 
‘‘යහපතක්ම වේවා’’ උවදුරු දුරුවේවා. යන මෛත්‍රී සහගත සිතින්ද දෙවියන් ගැන භක්තියෙන්ද එම කාර්යය ශබ්ද නගා ඉටු කළ යුතුය කියන අවස්ථාවේ මුඛය පවා පිරිසුදුව තිබිය යුතුය. 

 
අද මේ කරුණු එම ආකාරයෙන් ඉටුවේද යන්නත් සෙත්කවිය ගැන ජනතා විශ්වායය තිබේද යන්නත් ගැටලුවකි. බසකට සෙත් කවි හැටක් හැත්තෑපහක් ලියා දෙන කවි අටක් දහයක් තබාගෙන වචන එහා මෙහා කරමින් ලොකු ගණන් නියම කරන ‘‘අැවිදින සෙත්කවි ෆැක්ටරි’’ අද බිහිවී තිබේ. ඒවා කීමෙන් අදාළ පුද්ගලයින්ට කෙසේ වෙතත් රචකයාට හා කියවන්නාට හොඳ ඉල්ලමක් පැදී තිබෙන බව කිව යුතුය. නිසිවිදියට ප්‍රබන්ධ නොකරණ ලද සෙත් කවියෙන් අනිටු පළ විපාක ලැබෙන්නට ඉඩ ඇති බවද සැලකිය යුතු කරුණකි.


මතු සම්බන්ධයි...   

 

දෙවිනුවර  
දම්සිරි කරුණානායක