|
![]() |
“ කවියක් වී තොල්පෙති මත මුමුනන්න හෙමි හෙමිහිට ඔබ මගේ තුරුළට එන්න දැහැනක් වී නිදිබර නෙත් ඇහැරන්න සඳසාවී ඔබ මගෙ තුරුළට එන්න ”
මෙවැනි අපූරු ළයාන්විත ගීත නිර්මාණ රැසකින් යොවුන් හද සැඳැල්ලට පිවිස ලැගුම්ගත් ඒ ගායන ශිල්පියා අසංක ප්‍රියමන්ත පීරිස්. ශ්‍රී ලංකා ග්‍රාමීය මැද පන්තියේ මැදපෙළ ගායකයා කියලා තමයි විචාරකයො ඔහු හඳුන්වන්නෙ.
මේ දිනවල ඔහුත් පවුලේ උදවියත් සහෘදයොත් තවත් කලා පිම්මකට සැරසෙනවා. ඒ තමයි අපේ හද ඇඳ බැඳ ගන්නා ගීත රැසක් රැගත් සෙනෙහසට අරුතක් ප්‍රසංගයේ දෙවන අදියර ජනගත කිරීම.
මේ ගැන වඩාත් උනන්දුවෙන් ඇප කැපවී ඉන්න අසංකගේ පුතු අසන්ත හා දියණිය අංජලී අප හා කතාබහට එක්වුණා. ඒ වගේම ඔවුන්ට අත්වැල දෙන අසංකගේ ප්‍රිය බිරිඳත් බාල පුතණුවන් වන අසෙන්ත ද මතක් කළ යුතුමය.
සංගීතය අපේ පවුලට ආගන්තුක දෙයක් නොවෙයි. දන්නා කාලෙ ඉඳන් මගේ පරපුරේ ගායන ශිල්පියා වුණේ තාත්තා තමයි. ගෙදරදී වගේම මා ඉගෙනුම ලැබූ මොරටු වේල්ස් කුමාර විදුහල් පියසෙදීත් දහම් පාසලේදීත් සංගීතය තේමා කරගෙන තමයි අපේ හැකියාවන් කල එළියට ආවේ. අසන්ත හඬ අවදි කළා.
තාත්තා සංගීතය හැදෑරීමේදී කිසිම තහංචියක් අපට දැම්මේ නැහැ. සෑම ආකාරයේම ගීත රටාවන් ඇසීමට ඉඩහසර ලබා දුන්නා. මං හිතන්නෙ අම්මාත් ගීත රසිකාවක් නිසා එම සහයෝගය තාත්තාට මෙන්ම අපටත් ලැබෙන්න ඇති. ලංකාවේ ගීත විතරක් නෙවෙයි ඉන්දීය හා බටහිර ගීත පවා අපේ කන්වලට වැටුණා. ඒක අපේ සංගීත ගමනට ලොකු අනුබලයක් වුණා.
- ඔබත් තාත්තාගේ ගීත රටාවම අනුගමනය කරනවා ද?
තාත්තාගේ ගීත තුළින් තමයි අපේ මග හැඩ ගැහුණේ. තාත්තාගේ ආශීර්වාදය මත උසස් පෙළ ඉගෙනීම නිමා වීමෙන් පස්සේ මගේම ගීත කැසට්පට 03ක් එළිදැක්වීමට තරම් වාසනාව මට ලැබුණා. ඒ වගේම දහම් පාසල් වේදිකාව තුළින් සභාව මැද ගී ගැයීම සඳහා මගේ සබකෝලය දුරුවෙලා ආත්ම ශක්තිය ලැබුණා.
මගේම අලුත් ගීත 06ක් නිර්මාණය කළා. ඉන් තුනක් මා ලියා තනු හා සංගීතය යොදා ගැයුවා. ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාර සංගීතවත් කළ ‘සිහින විලක් සමග ශාන්ත ජයලත් තිසේරාත් තාත්තාත් මෙලඩි යෙදූ ගීත දෙකක් ළඟදී එළිදැක්වෙනවා.
මා ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය ලබා ඊට සම්බන්ධ රැකියාවක නිරත වන අතරයි සංගීතය හදාරා විශාරද (ගායන) උපාධිය ලැබුවේ.
මේ දිනවල අපේ පවුලේ ප්‍රසංගය ලෙස හැඳින්විය හැකි ‘සෙනෙහසට අරුතක්’ නව අදියරක් සේ ජනගත කිරීමට පුහුණු වෙමින් පවතිනවා.
- නව පරපුර ගැන ඔබට යමක් කිව හැකිද?
නව පරපුරට දැනමුතුකම් දෙන්න මම තාම පරිණත මදි. ඒත් ඔවුන්ගේ ඇතැම් නිර්මාණ දැක බලා ඇති නිසා එකක් කියන්නම්. කරන්නන් වාලේ නිර්මාණ කරන්න නිදහසත් තාක්ෂණ බලයත් අපේ පරපුරට තියෙනවා. ඒවා හැම එකක්ම නිවැරදි යයි සමාජය පිළිගන්නේ නෑ. ඒ නිසා ජනතා හදවත ස්පන්දනය වන රටාව ගැනත් සැලකිලිමත් වෙලා නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා.
නැත්නම් සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන දිගු ගමනක් යන්න බැරිවේවි.
ඊළඟට මා හැරුණේ අංජලී දිහාවට දිව්‍යමය ස්වරයක් මෙන්ම ආකර්ෂණීය රූ සපුවක් ඇයට දෙවියන් දායාද කර ඇති බවත් පේනවා.
- අංජලී ඉතින් කොහොමද?
සන්තෝසයෙන් ඉන්නවා. තාත්තාත් අම්මත් අසන්ත මල්ලි හා අසෙන්ත මල්ලිත් මගේ සැමියා සහ හිතවතුන් එක්ක සංගීතය සමග ජීවත් වෙනවා. මං පවුලේ වැඩිමලා නිසා වගකීමත් වැඩියි. ඒත් සේරමත් හරි සංගීතයත් හරි.
- තාත්තා ගැන මොකද හිතෙන්නේ
තාත්තා තමයි මගේ වීරයා. එයා තරම් නිදහස් මෙන්ම සංවේදී මානුෂික හැඟුම් පිරුණ කෙනෙක් මට හමුවෙලා නැහැ. තාත්තා අරුත් බර තේමා පදමාලා, නාද රටා සංගීත රටා හා ගායනරටා ගවේෂණය කරන කෙනෙක්. සමාජයට ඔහුගේ හද පත්ලෙන් එන ළැදියාව තමයි ගීතය තුළින් පිට කරන්නේ. තාත්තා මධ්‍යයට ගැයූ ගීතවලට වඩා නොගැයූ ගීත රැසක් තියෙනවා. අපේ යුතුකම ඒවා මෙම වසරේදී සෙනෙහසට අරුතක් තුළින් ජනගත කිරීමයි.
- තාත්තාගේ ගී අතරින් ඔයාගේ සිත් ගත්ත ගීත මොනව ද?
තාත්තාගේ නිර්මාණය වුණු හැම ගීතයම වටිනාකමක් හා රසබරතාවක් තියෙනවා. මං තාත්තට වගේම ඒ නිර්මාණවලටත් ආදරෙයි.
තාත්තා ගයන ගීත අතරින් ‘‘සිත ඇඳුණේ උදේ හවා මල් පිදුවත් බුදුකුටියේ, ‘‘මල් පොහොට්ටු එපා කඩන්න’’, ‘‘බහිරව කන්ද’’ ගීතවලට. නිතර ඒවා අහන්න ආසයි. තාත්තා රැකබලා ගත යුතු ජාතික සම්පතක් කියලයි මට හිතෙන්නේ.
- ඉතින් ඔහුගේ ගීත පමණක්ම ද ඔයත් ගයන්නේ?
අනේ නැහැ. තාත්තාගේ ගීත තුළින් අප අද බැබලුනත් අපේම අනන්‍යතාවක් ගොඩනඟා ගන්න කියලයි එයා වුණත් කියන්නේ. ඒ නිසා තාත්තාගේ පැරණි ගීත නිර්මාණයක කවර් එකක් රිලිස් කරන්න මං ලැහැස්ති වෙනවා. ළඟදීම ඒ ගැන කියන්නම් කෝ. මගේම ගීතත් එනවා.
- අංජලීට සංගීත ආභාසය ලැබුණේ ගෙදරින් ද?
එහෙම කියන්නත් පුළුවන්. මාත් ගියේ මොරටුව වේල්ස් කුමරි විදුහලට. පස්සේ ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. මේ යුගයේ මම වඩාත් ඕනෑකමින් හැදෑරුවේ නර්තනය. එය ගැඹුරටම අධ්‍යයනය කළා. ඊට අමතරව පාසලේ සංගීතය ඉගෙන ගත්තා. තාත්තත් සමග ගී ගැයුවා. අපේ පරපුරේ තාත්තා හැර සංගීතවේදියො ගැන මං දන්නෙ නෑ.
සංගීතය මගේ ජීවන මාර්ගය වුණේ නෑ. මගේ රැකියා ක්ෂේත්‍රය වුණේ ටෙක්ස්ටයිල් පිළිබඳවයි. Sri Lanka Institute Textile and Apparelහි රැකියාව කළා. පාසල් සමයේ ක්‍රිකට් ක්‍රීඩාවට ළැදියි. නර්තන කලාව ලොකුවට හැදැරුවට සංගීත කලාව පිළිබඳ විශාරද මට්ටමට ගියේ නෑ. අනාගතයේ එම කටයුතු වේගවත් කරනවා.
- ඔබට සැමියාගෙන් ලැබෙන සහය
එයා කළණ දම්පහල. IT ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ. සංගීතයට එක් නොවුණට අපේ සංගීත කටයුතු හා පවුලේ කටයුතු සමබරව කරගෙන යාමට දෙන සහය ලොකුයි. පුතාලා දෙන්නයි පාසල් ගුරුවරු හා සහෘදයන්ගේ අනුග්‍රහයත් මට තියෙනවා. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ ඇසිදිසි මාධ්‍යවලදී හා යූ ටියුබ් වැනි සමාජ මාධ්‍යවලදී අපට ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි.
- නව පරපුරේ සමත්කම් ගැන මං ඊළඟට විමසුවෙ අපේ ප්‍රේමණීය ගායක අසංක ප්‍රියමන්ත පීරිස්ගෙන්
අලුත් පරම්පරාවෙ දරුවො තාක්ෂණය අතින් නම් කැපී පෙනෙන දියුණුවක් ලබල තියෙනවා. අපි සංගීතය ගැන මුල් පොත කියෙව්වේ පැරණි පරම්පරාවේ ගී සින්දු මෙලඩි අහල. සමහරු ඔවුන් අනුකරණය කළා. සමහරු සංගීතය හැදෑරුවා. අදත් ඒ පරම්පරා දෙක එලෙසම පවතිනවා.
හඬ තාල හුරුවෙන්න පැරණි ගී ගැයුවට වරදක් නෑ. ඒත් තමන්ගේම ශෛලියක් සඳහා ඇපකැප වුණොත් තමා යහපත් අනාගතයක් ගොඩනැගෙන්නේ. එය මුලදී අසාර්ථක හෝ සාර්ථක වෙන්න පුළුවන්. තමන් කවුරුන්දැයි සොයාගත හැක්කේ තමාටමයි.
භාෂා දැනුමත් සමාජය කෙරෙහි සංවේදී හැඟීමත් සුබාවිත සංගීතයට ඇති ඇල්මත් ඊට බලපානවා.
- දැන් තරුණ පරපුර රැල්ලක් වගේ නේද?
කාලෙන් කාලෙට රැලි එනවා යනවා එය වලක්වන්න බෑ. නොසැලී තමන් ‘වෙරළ’ සොයා ගන්න උත්සාහ කරන්න ඕනෑ.
1985 තමයි මාත් ක්ෂේත්‍රයට ආවේ. ඒ ගුවන් විදුලියෙ සරල ගී තුළින්. ඉස්සර ගුවන් විදුලියේ නීතිරීති හරි දැඩියි. උඹ වැනි වචන පද මාලාවට ගන්න දෙන්නෙ නෑ. අද නම් ඊට වඩා දරුණු වචන හා කුණුහරුප පවා වේදිකාවෙන් ඇහෙනවා. ඒ කාලෙ ගුවන් විදුලියෙ තිබුණු ප්‍රමිතිකරණ ගුණය නිසා වියරණ වැරදි නොමැති සුබාවිත වදන් මාලා බිහිවුණා. එවැනි ප්‍රමිතියට පදමාලා රටාවක් වෙනුවට අද ඇහෙන්නේ බහුබූත නිර්මාණ. හරිම දුකයි.
අප මුල් යුගයේ ගැයුවේ පියගුණ මව්ගුණ සහ සමාජ ආදර්ශනය දෙන නිර්මාණයි. මගේ ගීත රටාව මතුවුණේ එවැනි සුබාවිත නිර්මාණ ලෙසයි. ජනතාවගේ ආදරය ඊට හිමිවූ නිසාම මාත් එම රටාවම රැකගෙන පෙරට ආවා. ඉතින් මට වැරදිලා නැහැ.
- ඔබට සංගීත ආභාසය ලැබුණේ කොහොමද?
කවුරුත් නොදන්නවට මගේ පියා අපූරු ගායන ශිල්පියෙක්. එතුමා ගෙදරදි වගේම සාදවලදිත් ගී ගැයුවා මතකයි. තාත්තා මා ඉදිරියේ ගී ගැයුවා වගේම පසුකාලෙදි තාත්තා ඉස්සරහ මාත් ගීත ගැයුවා. මගේ මවත් ඒ සඳහා මට ආශීර්වාද කළා. ඔවුන් මගේ හැකියාවන් දැකලා ගුරුවරුන් ගෙන්වා මට සංගීතය ඉගැන්වූවා.
හොරණ එරන්දතී කලායතනයේ සහ විශාරද නන්දා මාලිනිගේ ආශ්‍රමයේ සංගීතය හදාහරන්න මට අවස්ථාව ලැබුණා.
- දුවගෙයි පුතාගෙයි හැකියාව ගැන මොකද හිතෙන්නේ.
මට හරිම සතුටුයි එයාලා සංගීතය ගැන හදාරමින් යන ගමනට මං ආශීර්වාද කරනවා. දුව අංජලීට පුංචි කාලෙ ඉඳන්ම ගායන හැකියාව තිබුණා. එයා කැපවුණේ නර්තනනටයි. විවාහයෙන් පස්සෙවත් ඇය සංගීත ක්ෂේත්‍රයට පැමිණීම ගැන මට සන්තෝසයි.
පුතා අසන්ත නම් විශාරද දක්වා සංගීතය හදාරා තියෙනවා. දැන් තනියම ගීපද ලියා මෙලඩි යොදනවා. පොඩි පුතා අසෙන්ත ශ්‍රීමාල් නැගී එන දක්ෂයෙක්. උසස් පෙළ කරන අතර ගිටාර් හා වයලීන වාදනයට දක්ෂයි.
“ඔබේ සිනහ මුව මඬලට මං හරි ආසයි”, “හුදෙකලා විරාමයේදී හමුවෙමුද ටිකක්”, “ලැබුණත් නෙත්යුග දහසක උරුමේ”, “පුංචි හැඩකාරියේ”, “දීපාවලී දාට”, “පැහැසර අරුණක ඉරමල පිපුනාවේ” සමග “සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා, වෙරළේ රළ මැන්නා” වැනි අසංකගේ ගීත පෙළ සමග මෙම වසරේ ප්‍රසංග වේදිකාවෙන් මෙම කලා පවුල හමුවන පැතුමින් ඔවුන්ට සමු දුනිමි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි