සොළී අධිපති කදිරා කොල්ලකෑ අපේ මුතුපර


ගැමි රසවිත   

 

 

ලංකාවේ වයඹ දිග මුහුදු තීරය ඉතාමත් චිත්තාකර්ෂණීය වූ වෙරළ තීරයකි. ඒ නිසාම ලංකාවේ ඉතිහාස කතාවේ මූලාරම්භය ද එයින්ම නිර්මාණය වීම අති විශේෂිත වූ සිදුවීමකි. ලක්දිව පාලනය කළ රාවණ රජුගේ කාලයේ පටන් මෙහි මුතු කිමිදීම සිදුවූ අතර පසුකාලීනව මෙම මුතුපර කිමිදීමේ කටයුතු භාර වූයේ යක්ෂ ගෝත්‍රික ජනයාටයි. යක්ෂ ගෝත්‍රිකයෝ බෙල්ලන්ගෙන් ලැබෙන මුතුඇට මුහුදට අධිපති මණිමේඛලා දේවියගේ පරිත්‍යාගයක් ලෙස සැලකූහ. කෙසේ වෙතත් කුවේණි හා ඇගේ නැගණියගේ සහචරයන් ද මුල්ම කාලයේ දී අරිප්පුව ප්‍රදේශයේ මුතුරැස් කිරීමේ යෙදුනි. මේ මුතුබෙල්ලන් රැස් කිරීමේ ව්‍යාපාරය ඒ අතීතයේ සිටම අද දක්වාත් අඩු වැඩි වශයෙන් සිදුවේ.   


පුරාතනයේ දී අපේ මුතුපර විවිධ කොල්ලකරුවන් විසින් රහසිගතව සොරාගත් අතර නුවර යුගයේ දී ආරක්ෂක සේවා මුර යොදවා මුතුපර රැක ගැනීම සිදුකරන ලද බැව් තොරතුරුවලින් අනාවරණ වේ. එසේම අපේ රජවරුන් මුතු කිමිදීම මගින් විශාල ආදායම් ලබාගත් බව ද ඇතැම් තොරතුරු අපට කියයි. 

 
ලංකාවට පැමිණි පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි ජාතිකයන් මෙම මුතු කිමිදීමේ කටයුත්තට එක හෙළාම අත ගැසුවෝය. ඔවුන් බලාපොරොත්තු වූයේ ඉන් විශාලතම ලාභයකි. මෙම විදේශිකයන් පෙරදිගට ආවේ සම්පත් ඒකරාශි කිරීමේ අරමුණින්ය. ඔවුන් කුළුබඩු මෙන්ම මුතු හා මැණික් ද මහත් ගිජු ලෙසින් එක් රැස් කළහ. විජය රජුගේ ලංකා ගමනයටත් පෙර සිට අපේ රටේ මුතු වෙළඳාම පැවැති බවට තොරතුරු ඇත. චීන ජාතික වෙළෙඳුන් අපේ යක්ෂ ගෝත්‍රික ජනයාගෙන් මුතු රැගෙන ගිය බවට ඇති පුරාවෘත්ත සනාථ වන්නේ මෙම ප්‍රදේශයේ ඇති මුතු පරයේ මහා විශාලත්වය ද සමගයි. කුවේණියගේ නැගනිය වන අල්රාණී සේවකයන් යොදා ගනිමින් මුතු කිමිදීමේ යෙදුන බවට ඇති තොරතුරු සත්‍ය බවට හෙළිවන්නේ ඇගේ මාළිගා පරිශ්‍ර ආදී විස්තර ගැන විමසා බලන විටදීය.   


වර්ෂ 1905 දී පමණ ඉංග්‍රීසින් අපේ මුතුපර බදුදීම සිදුකරන ලදී. මෙසේ කළේ බදු ආදායම ඔවුන්ට ප්‍රමාණවත් වූ නිසාය. මේ බදුදීම මගින් සිදුවූයේ අරිප්පුවේ මුතු බෙල්ලන් වඳවී යාමයි. එසේම කිමිදෙන්නන් හක්බෙල්ලන් ඇල්ලීම ද සිදුකරන ලදී. එකල හක් බෙල්ලන් භාවිතයට ගත්තේ විශේෂ වූ ආභරණ නිෂ්පාදනය සඳහාය. මහා භාරතයේ ධර්මාශෝක අධිරාජ්‍යයාට අපේ රටේ රජු වූ දේවානම්පියතිස්ස නරවරයා අගනා මුතු පිරවූ මංජුසා තෑගි වශයෙන් යැවූ බව අපේ පරම්පරා පොත්වල සඳහන්ව ඇත. එම මුතු අතර ඉතාමත් වටිනා මහාර්ඝ මුතු වර්ග අටක් වූ බව සඳහන් වේ. ඇතැම් රජවරුන්ගේ තිබූ මහා පුණ්‍ය බලයට මුතුපරවල අගනා මුතු ලැබී ඇත. එම වර්ග අට අතරට හයමුුතු, ගජමුතු, රථමුතු, ආච්ලකීමුතු, වළලු මුතු, අංගුලිවේඨක මුතු, කතුධඵල මුතු සහ ප්‍රකෘති මුතු අයත් විය. මහාවංශ ටීකාවේ හැඳින්වෙන පරිදි හයමුතු අශ්වරුවක් දිස්වෙන දීප්තියකින් යුක්ත විය. ගජමුතු ද ඒ අයුරින් කාන්ති විහිදූ අතර ආච්ලමුතු නෙල්ලි ඵලයක හැඩය ගති. මේ ආකාරයේ විවිධ රශ්මි ධාරා සහිත මුතු වර්ග අපේ රටේ මුතුබෙල්ලන්ගේ උදරයෙහි නිර්මාණය වූ බව නොරහසකි.   


මුතු නිර්මාණය සිදුවන අනර්ග බෙල්ලන් වර්ග අතරට හස්ති, නාග, මත්ස්‍ය, ශූකර, හුණ, සංඛ, මේඝ, සිප්පි යන වර්ග අට අයත් වූ බව මුතු කතාවේ තොරතුරු අපට හඳුන්වා දෙයි. අපේ රටේ ගල්පර අතර වෙසෙන මුතු බෙල්ලන් අතුරින් ඉතාමත් අගනා සහ වටිනා මුතු අපට ලබාදෙන්නේ සිප්පි නමැති වර්ගයේ මුතු බෙල්ලන්ය.   


මෙම ශුක්තීන්ගේ කුසෙහි හටගන්නා වූ රසායනික යම් සංයෝගයක් හා මුසුවන වැසි බිංදු මගින් මෙම මුතු නිපදවන්නේ හිරු ‘සා’ නැකතට පැමිණි විට ඇතිවන මේඝ ගර්ජනා සමග බවට පැරැණි මිනිසුන් විශ්වාස කළහ. මෙය යක්ෂ ගෝත්‍රික විශ්වාසයක් වුවත් විශ්ව ශක්තිය මගින් ඇතිවන විවිධ නිර්මාණාත්මක වෙනස්කම් නිසා මේවා සිදුවන බව නම් සත්‍යයකි.   


පුරාතනයේ දී මුතු කිමිදෙන වාරය පැමිණි විගස ඊට දේව පූජා හා කන්නලව් තබා දෙවියන් සතුටුකර මුහුදු මණිමේඛලා බිසවුන්ට බාර හාර වී එම කටයුතු සිදුකළ අතර මුතු කිමිදීම වෙහෙසකර කාරියක් විය. කන්අඩි පැලෙන සීතල වතුරේ හුස්ම අල්ලා මෙය බොහෝ අසීරුවෙන් කළ යුතු කාරියක් විය. නමුත් වර්තමානයේ ඔක්සිජන් ටැංකි මුහුණු ආවරණ දෙපාවලට රබර් පතුල් හෙවත් ‘පෑඩ්’ ආදිය ඇති නිසා කිමිදුම්කරුවන්ට විවේකීව මේ කටයුත්ත කළ හැකිවිය. මෙහි පෙරදා ඉතා භාරධූර කටයුත්ත වූයේ යොත්කඹය භාරව සිටින්නාගේ ප්‍රශ්නයයි. එදා යොත්කඹය භාරව ඔරුවේ රැක සිටියේ තම මස්සිනාය. ඒ බිරිඳගේ මල්ලී හෝ අය්යාය. එය විශ්වාසවන්තකම උඩය. පිට මිනිසුන් කෙරෙහි විශ්වාසය තැබිය නොහැකි විය. ඇතැම් විට සහෝදරයන් පවා මුතු රස්සාවේ දී විශ්වාසවන්තයෝ නොවීලු. 

 
මුතු කිමිදෙන්ට යන්නෙමු මුතු හලාව ත   
යොත බැඳ ගන්ට දුන්නේ මස්සිනා අ ත   
ඇස දැන ගන්ට නොලැබේ මස්සිනේ සි ත   
ගැඹුරට බහින විට උණුවෙයි මගේ හි ත   


මෙය අතිශය බියකරු රැකියාවකි. ඇතැම් මුතු කිමිදෙන්නන් මේ රැකියාව කළේ හරි පංගුවටයි. එනම් හම්බවන මුදල්වලින් භාගයක් තමා වෙත ලැබීමේ පොරොන්දුව පිටයි. මෙය විශ්වාසය මත පදනම් වූ රැකියාවකි. හරියට කියනවා නම් මැණික් ගැරීම වගේ කටයුත්තකි. මෙහිදී ඉතා බියජනක රැකියාවක් යයි හඳුන්වන ලද්දේ මුහුදේ වෙසෙන බියකරු මසුන්ට කිමිදෙන්නා ගොදුරු විය හැකිය. දැති මෝරුන්, මිනී මෝරුන්, වල්ගාමඩුවන්, ගල්ගුල්ලන් ආදී ඉතා දරුණු මත්ස්‍ය ප්‍රහාරවලට ලක්වීමේ ඉඩකඩ ඇත. ඔවුන්ගෙන් ද ප්‍රවේශම් විය යුතුය. අතීතයේ මෙවැනි ප්‍රහාරවලට ලක්වූ ඇතැම් කිමිදෙන්නන් අත්පා නොමැතිව ඇස් අන්ධවී රෝගාතුර වූ බවට තොරතුරු ඇත. මූදු පතුලේ වසන වල්ගාමඩුවන් තම වල්ගයෙන් පහරදීම නිසා දෙකකුල් කැපී තුවාල සිදුවී අබ්බගාතයන් බවට පත්වූ කිමිදුම්කරුවන් ද පුරාණයේ සිටි අතර මෙම මුතු බෙල්ලන් කැඩීමේ රැකියාව අවදානම් රැකියා අතරට ගැනුන රැකියාවකි. රුවැත්තියන් හැඩ වැඩ කරන ඉතා වටිනා මුතු කතාවේ ඇති අතීතය එතරම් රසවත් නොවන ඉතා දුක් සහගත කතාවක් බව සඳහන් කළ යුතුමය.   

 

අඹු දරුවන්ගෙ කුසගිනි නැති කරමි කි යා   
දෙය්යා මගේ මුතු කිමිදෙනු වනුව ගියා   
අදවත් එයි කියා මඟ තොට දෑස් අ යා   
ආවේ නෑ ගෙදර මේ දරුවන්ගෙ පි යා 

 

 

ධර්මරත්න තෙන්නකෝන්