හදිසියේ දුටු සනත් ගුණතිලකගේ අදිසි චරිතය



සනත් ගුණතිලක  සිටියේ රූපවාහිනිය නරඹමිනි. එහි විකාශය වූ ටෙලි නාට්‍යයක නවක නළුවෙකු අපූරු රංගනයක නියැලෙනු ඔහුට පෙනිණි.  ඔහු ඉතා ඕනෑකමින් ඒ නළුවාගේ ඉරියව් අධ්‍යයනය කළේය. කෙදිනක හෝ දක්ෂ නළුවෙකු වීමේ පෙරනිමිති නවකයා  තුළින් පළ වෙන බැව් සනත් දිටීය. ඔහු ඒ නළුවාගේ අංකය සොයාගෙන ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේය. 

“මම සනත් ගුණතිලක කතා කරන්නෙ...”

ඔහු තමා හඳුන්වා දුන් කල නවක නළුවා කලබල වූයේය. 


“අනේ.. විහිළු කරන්න එපා.. සනත් ගුණතිලක වගේ ප්‍රවීණ නළුවෙක් මං වගේ අලු‍ත් කෙනෙකුට කතා කරනව ද..?”

“විහිළු නෙමෙයි දරුවෝ.. මම සනත් ගුණතිලක තමයි.. ඔයාට සුබ පතන්න කතා කළේ.. මම ඔයා රඟපාන ටෙලි ඩ්‍රාමා එක බැලු‍වා.. ඔයා හරි දක්ෂයි.. ඒ චරිතයට හොඳටම සාධාරණය ඉෂ්ට කරනවා.. ඔයාට හොඳ අනාගතයක් තියෙයි..” ඔහු අවංකවම සුබ පැතුවේය.

“අනේ සර්.. සනත් අයියා.. බොහෝම ස්තුතියි.. බොහොමත්ම ස්තුතියි.. මට මේක සිනමා සම්මානයක් හම්බ වුණා වගේ වටිනවා..”

දරා ගත නොහැකි  ප්‍රහර්ෂය නිසා ඔහුට වචනත් පැටලිණි. 

මෙවන් අත්දැකීම් රැසකටම සනත් ගුණතිලක මුහුණ දී තිබේ.  ඉදිරියේදීත් මුහුණ දෙන්නට නියමිතය. මක් නිසා ද යත්, ටෙලි නාට්‍යයක වේවා, සිනමා පටයක වේවා කාගේ හෝ දක්ෂ රඟපෑමක් දුටහොත් ඔහුට හෝ ඇයට කතා කර සුබ පතන්නට, අඩුපාඩුවක් ඇත්නම් එය පෙන්වා දෙන්නට ඔහු පසුබට නොවන බැවිනි. 

බොහෝ නවකයන් ප්‍රවීණයන් හඳුන්වන්නේ කුහකයන් ලෙසිනි. තමන් ඉදිරියට යනවාට ඊර්ෂ්‍යා කරන, හැකි හැම අවස්ථාවකම පහළට ඇද හෙලන්නට උත්සාහ කරන පිරිසක් ලෙසිනි. එහෙත් කිසිම නවකයෙකු සනත් ගුණතිලක ඒ ගොඩට එකතු නොකරන බැව් සහතිකය. 


“නවකයෙකුට සුබ පැතුවා කියලා, අඩුපාඩුවක් පෙන්නලා දීලා ඔවුන් දිරිමත් කළා කියලා මට කිසි අඩුපාඩුවක් සිද්ද වෙන්නෙ නෑනෙ.. දක්ෂ රංගන ශිල්පීන් වෙලා කවදා හරි දවසක සිනමා ක්ෂේත්‍රයේ නොමැකෙන නමක් රඳවන්න ඔවුන්ට පුළුවන් වෙන්නෙ අපෙන් ලැබෙන දිරි ගැන්වීම් ශක්තියක් කරගෙන තමයි.. ඒ හින්දා මම හොඳ රඟපෑමක් දැක්කොත්, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් දැක්කොත්  ඒ අයට සුබ පතන්න දෙසැරයක් හිතන්නෙ නෑ..” සනත් ගුණතිලක පැවසුවේය. 

“ඒ වගේම නවකයන්ට දිරි දෙන්න ආරාධිත රංගනයක් බාර ගන්න වුණත් දෙසැරයක් හිතන්නෙ නෑ නේද..?”

මා විමසුවේ මෑතකදී ප්‍රදර්ශනය වූ කම්බිලි චිත්‍රපටියේ ඔහුගේ චරිතය සිහිපත් කරමිනි. එහි  ඔහු ඇමතිවරයෙකු ලෙස තිරයේ පෙනී සිටියේ සුළු කාලයකට පමණකි. එය ද කළු චරිතයකි. චිත්‍රපටි ගණනාවකම දේශපාලනඥයන් ලෙස ප්‍රබල චරිත නිරූපණයක යෙදුණ ඔහු මෙලෙස ආරාධිත රංගනයක නියැළීම රසිකයන්ගේ කුතුහලයට මෙන්ම පුදුමයටත් හේතු වූයේය. 

“ඇත්තටම කම්බිලි කියන්නෙ අපූරු චිත්‍රපටියක්.. මුදලට ගිජු දේශපාලනඥයන් විසින් සූක්ෂම විදියට ගැමි දරුවන් සමාජ විරෝධි ක්‍රියාවල ගොදුරක් බවට පත් කර ගන්න ආකාරය තමයි මේ චිත්‍රපටියෙන් පිළිබිඹු කරන්නේ.. ඒවාට එරෙහිව නැගී ඉන්න තරුණ පරපුර ගැන කියවෙන චිත්‍රපටිවලට මම කැමතියි.. මේ චිත්‍රපටියේ තිර රචක  නිදුක් මධුෂික, අධ්‍යක්ෂ ප්‍රසාද් කලු‍පහන, ප්‍රධාන චරිතය රඟ පාන අමිල කරුණානායක හරිම දක්ෂයි.. ඒ වගේම ඔවුන් වෙනත් ක්ෂේත්‍රවල ජනප්‍රිය වුණත් සිනමා ක්ෂේත්‍රයට නවකයන්.. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න ලැබීම ඇත්තටම සතුටක්.. බිමල් ජයකොඩි ගේ රංගන ප්‍රතිභාව ගැන මගෙ හිතේ තියෙන පැහැදීම ගැනත් මේ වෙලාවේ කියන්නම ඕන..” ඔහු කීවේය.

නවකයන්ට දිරි දීමේ අරමුණින් වුවත් ඔහු හැම ආරාධිත රංගනයකටම කැමැත්ත පළ කරන්නේ නැත. තිර නාටකය  ප්‍රබල නම් එතුළ තමාට යමක් කරන්නට හැකි බව සහතික නම් පමණක් ඔහු එය බාර ගන්නේය. 

“මම මෙහෙම කරන්නෙ පසු පරම්පරාවේ අයගෙ හිත් දිනා ගන්න අදහසකින් නෙමෙයි.. අනිත් අයට අව්‍යාජව ප්‍රශංසා කරන්න, ඔවුන්ට සහයෝගය දෙන්න මම ඉගෙන ගත්තෙ මගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන්.. ඔවුන්ගේ හොඳ ගතිගුණ තමයි මට ආරෝපණය වෙලා තියෙන්නෙ..” සනත් ගුණතිලක කීවේය. 

“ප්‍රධාන චරිතම රඟ පාන නළුවෙක් මෙහෙම ආරාධිත චරිතවල පෙනී සිටීම ප්‍රතිරූපයට හානියක් කියලා හිතෙන්නෙ නැද්ද..?” 
මා අසද්දී ඔහු සිනාසුණේ මට සරදම් කරන්නාක් බඳුවය. 

“ඇයි මං එහෙම හිතන්නෙ..? මට ප්‍රතිරූපයක් හැදුණෙ මම ක්ෂේත්‍රයට ආව කාලෙ හිටිය ප්‍රවීණ නළුවොත් මට සහයෝගය දුන්න හින්දා.. මම අහම්බෙන් ක්ෂේත්‍රයට ආව කෙනෙක්.. ඒ එනකොට තිරයේ බැබලෙන තරු වෙලා හිටියෙ ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ වගේ දැවැන්තයෝ.. රවීන්ද්‍ර රන්දෙනිය, විජය කුමාරණතුංග දෙවෙනි පෙළේ හිටියා.. ඒත් මගේ ආධුනික බව, තරුණ බව ඔවුන් ගැටළුවක් කර ගත්තෙ නෑ..  ඒ හින්දයි සිනමා බිමේ ස්ථාවර විදියට පැලවෙන්න මට පුළුවන් වුණේ..” ඔහු පැවසුවේ කෘතඥතාපූර්වකවය. 

විරාගය චිත්‍රපටියේ සනත් ගුණතිලක අරවින්ද ලෙස රඟ පාද්දී අරවින්දගේ පියා ලෙස ජෝ අබේවික්‍රම රඟ පෑවේය. 

“ඒකත් ආරාධිත රංගනයක්..  සුළු චරිතයක්... ඒත් ජෝ කීවෙ නෑ ඒක එයාගෙ ප්‍රතිරූපයට හානියක් කියලා.. ඔහු චරිතය බාර ගත්තා.. ඒකෙන් චිත්‍රපටියට විශාල වටිනාකමක් එකත වුණා.. උතුර දකුණ චිත්‍රපටියේ ගාමිණී ෆොන්සේකා රඟ පෑවෙ මගේ තාත්තා විදියට.. ආදරේ රන් දම්වැල් චිත්‍රපටියේ මගේ තාත්තා විදියට රඟ පෑවේ විජය කුමාරණතුංග.. මගේම කතාවක් ඇසුරින් නිර්මාණය වුණ සිසිල ගිනි ගනී චිත්‍රපටියේ මම ප්‍රධාන චරිතය රඟ පාද්දී ටෝනි රණසිංහ රඟ පෑවේ උප ප්‍රධාන චරිතයක්.. දෙවෙනි ගමන චිත්‍රපටියේ රවින්ද්‍ර රන්දෙනියත් එහෙමයි.. ඒ ප්‍රවීණ නළුවෝ මට ප්‍රතිරූපය හදා ගන්න උදව් කළේ ඒ විදියට.... ඉතින් මගෙන් පසු පරම්පරාවට උදව් කරන එක මගෙ යුතුකමක් කියලා මම හිතන්නෙ..”  

මේ දිනවල ඉතා ඉහළ ජනප්‍රියත්වයක් සහිතව ප්‍රදර්ශනය වන ටේක් කෙයාර් ටෙලි නාට්‍යයේ ඔහු සාරංග දිසාසේකරගේ පියා ලෙස ආරාධිත රංගනයක නිරත වූයේය. එය ද ආන්දෝලනයට තුඩු දුන්නේ  ඔහු ටෙලි නාට්‍යවල රඟ නොපාන නළුවෙකු ලෙස ක්ෂේත්‍රයේ පැතිර තිබීම නිසාය. 

“මම ටෙලි නාට්‍යවල රඟ පෑවේ නැත්තෙ ඒ ගැන අවතක්සේරුවක් තියෙන හින්දා නෙමෙයි.. මම ක්ෂේත්‍රයට ආව කාලේ ඉතාම ඉහළ මට්ටමේ ටෙලි නාට්‍ය නිර්මාණය වුණා.. ඒ වගේම මට ආරාධනාත් ලැබුණා.. ඒත් එක පිට එක චිත්‍රපටිවල රඟ පාන්න සිදු වුණ හින්දා මට ඒවට වෙන් කරන්න කාලයක් තිබුණෙ නෑ.. 1984 දී මම ටයිටස් තොටවත්තයන්ගෙ රන් කහවණු සල්ලි සල්ලි ටෙලි නාට්‍යයේ රඟ පෑවා.. ඇත්තටම මම ඒක කළේ ඒ ්අසහාය අධ්‍යක්ෂවරයා යටතේ වැඩ කරන්න තිබ්බ කැමැත්ත හින්දා.. ඒත් පස්සෙ කාලෙක බිහි වුණ හුඟක් නිර්මාණවල ගුණාත්මක භාවය හීන වෙලා තිබුණ හින්දා මම ටිකක් පසුබෑවා.. මේක කොහෙත්ම ද්වේෂ සහගත ප්‍රකාශයක් නෙමෙයි..” ඔහු කීවේය. 

“ගුණාත්මක භාවය අඩු වෙන්න හේතු වෙලා තියෙන්නෙ අධ්‍යක්ෂවරුන් ගෙ අදක්ෂකමවත්, නළුනිළියන්ගෙ ප්‍රතිභාව හීන වීමවත් නෙමෙයි.. හොඳ ටෙලි නාට්‍ය බිහි කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ප්‍රශ්න හින්දා.. අද තාක්ෂණික මෙවලම්වල පිරිවැය ඉහළයි.. නිෂ්පාදකයන්ට සිද්ද වෙනවා ඒවා අඩු කර ගන්න.. ඉතින් අවම සම්පත් යටතේ උපරිමය ගන්න වෑයම් කරනකොට ගුණාත්මක භාවය අඩු වීම පුදුම වෙන්න දෙයක් නෙමෙයි..”  

“එතකොට ටේක් කෙයාර් ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නෙ..?” මට දැන ගන්නට වුවමනා වූයේය. 

“ටේක් කෙයාර් මුල්ම කොටස දකිනකොටම මට හිතුණා මේකනම් වෙනස් ටෙලි නාට්‍යයක්, ජනප්‍රිය වීමේ ලක්ෂණ තියෙනවා කියලා.. පිටපත, දෙබස්, නළුනිළියන් හැසිරවීම ප්‍රශස්ත මට්ටමක තිබුණා.. නළුනිළියන් හුඟක් දක්ෂ අය.. ඔවුන් තමන්ගෙ චරිතවලට උපරිම සාධාරණය ඉෂ්ට කරලා තිබුණා.. ඉතින් මම අනුෂ්ක ද සිල්වට වගේම සාරංග දිසාසේකරටත් කතා කරලා සුබ පැතුවා.. වරින්වර චරිතවල ප්‍රබලකම්, දුර්වලකම් ගැන අදහස් පළ කෙරුවා.. සාරංග වගේම අනුෂ්කත් මට ආරාධනා කරනකොට මේකෙ චරිතයක් රඟ පාන්න කියලා ඒක ප්‍රතික්ෂේප කරන්න මට හේතුවත් තිබුණෙ නෑ.. දැන් හැමෝම ඒ ගැන හුඟක් කතා කරන්නෙ කතා කරන්න යමක් තිබ්බ හින්දා කියලා මට හිතෙනවා.. මම කිසිම කෙනෙක් ගැන අධිතක්සේරුවෙන් හිතන්නෙවත්, අවතක්සේරු කරන්නෙවත් නෑ.. ඒත් අව්‍යාජව මගේ අදහස් කියනවා..” සනත් ගුණතිලක කියන්නේය. 

චිත්‍රපටි දෙසීයකටත් වඩා සංඛ්‍යාවක විවිධාකාර චරිත නිරූපණය කළ මේ ප්‍රතිභාපූර්ණ නළුවා කලක් දේශපාලනයට ද සම්බන්ධව සිටියේය. එහෙත් දැන් ඔහු මුළුමනින්ම ඉන් ඈත් වී සිටින්නේය. 

“මම අද දවස මඟෑරලා ඉන්නවා නෙමෙයි.. ඒත් මම දේශපාලනයට සම්බන්ධ වුණේ ඒ හරහා හුඟක් දේවල් කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.. ඒත් මේ ක්‍රමය යටතේ අපේ හීන හැබෑ වෙන්නෙ නෑ.. මම මාස හයක් විතර සුළු කාලයකට රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයත් දැරුවා.. ඒ කාලයේ සිනමා, ටෙලි නාට්‍ය  ක්ෂේත්‍රයට සේවයක් වෙන ආකාරයේ වැඩ පිළිවෙලක් සකස් කරන්න උත්සාහ දැරුවා.. ඒවාට සම්බන්ධ හුඟක් දෙනෙක් වැඩ සටහනට එකතු කර ගත්තා.. ඒත් රජය වෙනස් වෙනකොට ඒවත් වෙනස් කරන්න සිද්ද වෙනවා.. ඊටත් වැඩිය එකට එකතු වෙලා විසඳුම් හොයනවා වෙනුවට එක එක්කෙනා පැත්තෙන් පැත්තට අදින්න ගියාම කිසිම දෙයක් සිද්ද වෙන්නෙ නෑ.. සමඟියක් නැතිකම තේරුම් ගත්තම පාලකයොත් ඒ පැත්ත අතෑරලම දානවා.. හැබැයි ඉතින් අද පරපුර බුද්ධිමත්.. ඒ වගේම අපිට තිබ්බ ප්‍රශ්නවල වෙනත් මුහුණුවරක් තමයි ඔවුන්ට තියෙන්නෙ.. ඔවුන් ඒ ගැන තේරුම් අරගෙන නව රජය යටතේ උසස් සිනමාවක් ටෙලි නාට්‍ය සංස්කෘතියක් බිහි කරන්න කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.. අද දක්ෂ නළු නිළියෝ බිහි වෙනවා.. සමහර අය අපිටත් වඩා දක්ෂයි.. ඒත් අනාගතය පිළිබඳව යම් අවිනිශ්චිතතාවක් තියෙනවා.. ඔවුන්ට තමන්ගෙ ජීවන පැවැත්ම උදෙසා නළුකම හැරුණකොට තවත් බොහෝ දේවල්වල නිරත වෙන්න සිද්ද වෙනවා.. ඒක තුරන් වෙලා නිර්මාණකරුවන්ට නිදහසේ තමන්ගෙ නිර්මාණ කාර්යය කරගෙන යන්න ඉඩ සැලසෙනවා නම් මීට වඩා යහපත් අනාගතයක් උදා වේවි..” සනත්  පවසන්නේ ප්‍රාර්ථනාවක ස්වරයෙනි.