කෙටි කතාව
බරිගම වෙදරාළ’ යනුවෙන් අප්පච්චිට නමක් පටබැඳී තිබුණේ ඔහු තරුණ කාලයේ ඒ නාට්‍යයේ රඟපෑ නිසාලු. හෙතෙම විනෝදයට, කතාවට මෙන්ම පරෝපකාරයටද සමත් අයෙක් වූයේය. වෘත්තියෙන් ගුරුවරයකු වූ අප්පච්චි රාජකාරි කාලයෙන් බැහැර වූ වේලාවල වත්තපිටිය කුඹුරුවල වැඩ කිරීමට අලස නොවී සිටියේය. කොණ්ඩය කොටට කපා, උඩුරැවුලෙන් යුක්තව සුදෝසුදු ජාතික ඇඳුම ඇඳගෙන ඈත සිට ඔහු එනවිට ගාම්භීර විලාසයක් මතුවෙයි.
‘‘ආර ඉරෝ...’’ ඔහු කියයි.
‘‘සේන් සේන්...’’ ළමයි කියති.
‘‘දුවලා දුවලා ගිහින් තුන්වැනි පන්තියේ කළු ලෑල්ලේ ලස්සනට ‘ර’ යන්න ලියල එන්න.’’ ඔහුගේ ආඥදායක ස්වරූපය මුළු පන්තිය පුරාම රැව්දෙයි. එහෙත් එය කාරුණිකය. අපි එකිනෙකා පරයා ඒ පන්ති කාමරයට දුව යමු. මේ කඩා පැන්න හමුදාව දෙස ඒ ගුරුතුමිය හා ළමයි ද මවිතයෙන් යුතුව බලා සිටිති.
තුන්වැනි පන්තිය භාර ගුරුතුමිය මගේ අම්මා ය. හිස්ව තිබූ කළුලෑල්ලේ ලියැවුණ ‘ර’ අකුරු මැද වටකුරුවට බඳ මහතට ලියවුණ මගේ ‘ර’ යන්න ඉස්මතු වී පෙනෙයි.
‘‘හැබෑටම ඉස්කෝලෙ හාමිනේ, මේ ‘රයන්න’ කාගෙද?’’
විදුහල්පතිතුමා එසේ පවසන විට අම්මා දෙතොල් අතරින් සිනා නඟනවා මිස පිළිතුරක් නොදෙන්නීය. වේවැල අතට ගන්නා නමුදු අප්පච්චි කුඩා දරුවකු වගේය. එනමුදු පෙනුමෙන් ප්‍රතාපවත්ය. සවස් කාලයේ ඔහුට ඇති වැඩ රාජකාරි බොහෝ වෙයි. දුරින් පිහිටි වැට මායිමේ හරක් පැන්න තැන් අලුතින් ඉනි සිටුවා සකස් කරයි. බෝගවලට ජලය හා පොහොර දමා ඒවා අතගා බලයි. මේ අතර ගමේ පාසලේ සිට තනතුර උසස්වීමෙන් පසු ඔහු දුෂ්කර පළාතට අනුයුක්ත කෙරිණි.
‘‘ඉස්කෝලෙ මහත්තයට අයියනායක දෙයියන්ගෙ පිහිටයි.’’
ඉහළ පුලියන්කුලම රජයේ පාසලට ඔහු මාරුවී යනවිට ගම්මුන් ආශිර්වාද කළේ එසේ කියමිනි. ඒ පාසල ගණ කැලෑවක් මැද, අලි රංචු නිතර සැරිසරන, සර්පයන් බහුල පෙදෙසක පිහිටියේය.
‘‘හැබෑටම ඉස්කෝලෙ හාමිනේ, මේ ‘රයන්න’ කාගෙද?’’
විදුහල්පතිතුමා එසේ පවසන විට අම්මා දෙතොල් අතරින් සිනා නඟනවා මිස පිළිතුරක් නොදෙන්නීය. වේවැල අතට ගන්නා නමුදු අප්පච්චි කුඩා දරුවකු වගේය. එනමුදු පෙනුමෙන් ප්‍රතාපවත්ය. සවස් කාලයේ ඔහුට ඇති වැඩ රාජකාරි බොහෝ වෙයි.
ගම්වැසියෝ කෑම බීම, පලතුරු ආදිය ද ඔහුට පිරිනැමූහ.
‘‘උන්නාන්සෙ අපට දෙයියෙක් වාගේ. අපි ඇහැක් වාගේ බලාගන්නම්. නෝන මහත්තයා විස්සෝප වෙන්ට එපා!’’
මුල් දවසේ ගම්වැසියන් අම්මා අස්වැසුයේ එසේ පවසමින්ය. අම්මා ඒ මොහොතේ ඇගේ කරෙන් පහළට දමා තිබූ සුදු මල් වැටුණ තුනහුලස් ඔසරිපටින් කඳුළු පිස දමා ගත්තාය. අප්පච්චි නැවතී සිටියේ ගුරු නිවාසයේය. ගත වූ සතියක දී ද එහි වහලයෙන් දැවැන්ත මාපිලෙක් බිමට වැටුණ බව ඔහු පැවසුයේය. ඒ භීතිය දනවන පුවත අසා අපි කම්පා වූයෙමු.
කෙමෙන් කෙමෙන් අප්පච්චිගේ දුෂ්කර සේවා කාලය අවසන් වූයේ අපේ හිත්වලට සහනයක් උදාකර දෙමින්ය. කිව්වත් වාගේ හෙතෙම ගමේ පාසලේ විදුහල්පති වූයේය. ඉස්සර හිටි ගෝල බාලයෝ ගමට අල්ලපු පාසලේම සේවය කළෝය. එතෙක් එය රජයට පවරා නොතිබුණි. ‘වැව් පන්තිය’ නමින් හැඳින්වූ ඒ පාසලට යා යුතු වූයේ කළපුවෙන් එගොඩ වීමෙන්ය. එය තරණය කර එහි යා යුතුය. ගුරුවරු දෙදෙනා තනමත්තක් දියට බැස ඉන් එගොඩ වී යළිත් ඇඳුම් ඇඳගෙන ඒ පාසලට ගමන් කරති. එසේ වනුයේ වර්ෂා කාලයට එය පිටාර ගලා යන බැවින්ය. ධීවර ජනතාව මේ අවට පදිංචි වී සිටින නිසා බොහෝ සිසු දරුවෝ ඒ ගම්මානවලින් පැමිණෙන අය වූහ. අප්පච්චි රජයේ පාසලේ වැඩ කළ නමුදු මේ පාසලද රජයට පවරා ගැනීම සඳහා අප්පච්චි බොහෝ ඇප කැපවී වැඩ කර දුන්නේය. ඔහු ඒ සඳහා මූලිකත්වය දැරුවේය.
ඒ කාලයේ පාසලට අනුයුක්ත වී සිටි හැමදෙනාගේම වැටුපද මේ නිසා ඉහළ මට්ටමකට පිවිසියේය. සාමදාන විනිසුරුවරයකු ද පොලිස් නඩු විභාග කරන්නෙකුද දහම් පාසල් විදුහල්පතිවරයකුද ලෙස සේවය කළ හෙතෙම ‘වැව් පන්තිය’ පාසල රජයට පවරා ගැනීමේ උත්සවයේ දී ප්‍රධාන ආරාධිතයා වූයේය.
කාලය ගෙවී ගියේ ඉතා ඉක්මනින්ය. ලොකු මහත් වී ඉගෙනුම හමාර කළ පසු මා ද අගනුවරට නුදුරුව පදිංචි වූයේ අපේ අවශ්‍යතාවලට අනුකූලවය.
මහගෙදර බලා කියා ගැනීම, හිතේෂිවන්තයකුට පවරා අප්පච්චි හා අම්මා මා සමග පදිංචියට ආවෝය.
‘‘පුතේ, මට ආසයි ගම්පැත්තේ ගිහින් රවුමක් ඇවිදලා එන්න.’’
හිතේ සිරකරගෙන සිටි දොළදුක ගැන අප්පච්චි මා සමග පැවසුවේය. වරින්වර අප ගමට ගිය නමුදු නිවසින් පිටස්තර තැන්වලට යාමට ඉඩක් නොලැබුණි. දරුවෝ ද බිරිඳ ද මෙයට එකපයින්ම කැමැත්ත පළ කළහ.
‘‘පුතේ, ඔයාලගේ ආතලගේ මහගෙදර ළඟ තමයි ‘කුරුලු උයන’ තියෙන්නේ. වැව් පහක්ම එක යාංගෙට තියනව. කුඹුරු තියනවා. මෙදා පාරනම් ඒ පැත්තෙන් ගිහින් එන්නෝනැ.’’
ආහාර ද පිළියෙල කරගෙන අප ආ බව ආරංචි වූ ගමේ හිතවත් පිරිසද අප බැහැදැකීමට පැමිණියෝය.
‘‘ගමේ ඉස්කෝලෙ නම් වැහිලම ගියා. ඒක දැන් ආණ්ඩුවේ මධ්‍යස්ථානයකට අරගෙන. වැව් පන්තිය ඉස්කෝලෙ නම් හරි දියුණුයිලු. කොළඹින් ආව ගුරු මහත්තුරු ඒ ඉස්කෝලේ දියුණු කරලා අරගෙනලු. ළමයිනුත් හොඳට පාස්වෙනවලු.’’
ගමේ විස්තර අසා සිටිය අප්පච්චි එක්වරම ප්‍රාණවත් වූයේය.
‘‘මටත් ආසයි ඉස්කෝලෙ බලල එන්න. ඔය ඉස්කෝලෙ ආණ්ඩුවට පවරන්න මාත් ඒ අයට උදවු කළා.’’
‘‘කවුද ඒක නොදන්නෙ. අපේ ඉස්කෝලේ මහත්තය දැදුරු ඔයෙන් එගොඩ රජෙක් වගෙයිනෙ හිටියෙ.’’ හැමෝම එසේ පැවසූහ.
එදා පාසල පැවැත්වූ දිනයකි. පළමුව පාසලට ගොස් මුහුදු රැල්ල පාගා අනතුරුව කුරුලු උයන නැරඹීම අපේ අදහස විය. අපි පාසල අසල මාර්ගය අයිනේ රථය නතර කළෙමු.
‘‘අප්පච්චි යන්න. අපි මෙහේ ඉන්නම්. දැන් ඔය ඉස්කෝලවල රෙගුලාසි හරියට.’’
අපි වාහනය තුළට වී සිටියෙමු. අප්පච්චි කලින් අපට කියා තිබූ හැටියට වෙනදා වගේ නම් පාරක් තොටක් නොපෙනෙන තරමට දිය පහර ගලා යන්නේය. ඒත් දැන් අලංකාර ලෙස පාලමක් තනා ඇත. නිල ඇඳුමෙන් සැරසුණු මුරකරු වහා අප ඉදිරියට දිව ආවේය.
‘‘කොහෙද මේ යන්නෙ?’’
කෙමෙන් කෙමෙන් අප්පච්චිගේ දුෂ්කර සේවා කාලය අවසන් වූයේ අපේ හිත්වලට සහනයක් උදාකර දෙමින්ය. කිව්වත් වාගේ හෙතෙම ගමේ පාසලේ විදුහල්පති වූයේය. ඉස්සර හිටි ගෝල බාලයෝ ගමට අල්ලපු පාසලේම සේවය කළෝය. එතෙක් එය රජයට පවරා නොතිබුණි. ‘වැව් පන්තිය’ නමින් හැඳින්වූ ඒ පාසලට යා යුතු වූයේ කළපුවෙන් එගොඩ වීමෙන්ය.
ඔහුගේ හඬ ගොරහැඩිය. දැවැන්ත ගේට්ටුවද වසා දමා ඇත.
‘‘මං ආවෙ...’’
අප්පච්චි ඔහු අමතා යමක් පවසන්නට උත්සාහ කළේ එකෙල මෙකෙල වෙමින්ය.
‘‘අද අඟහරුවාදා. ප්‍රින්සිපල් සර් මුණගැහෙන්න පුළුවන් බදාදට විතරයි. මහත්තයා ගිහින් හෙට එන්න.’’
අප්පච්චිට දැන් කෙළින් සිටගැනීමට පවා අපහසුය. ඔහුට මුරකරු හා දෙඩීමට අපහසු බවද හැඟේ.
‘‘මේ ඉන්නේ මගේ අප්පච්චි. එයා තමයි මේ ඉස්කෝලෙ රජයට පවරන්න මූලික වෙලා හිටියෙ.’’
ඇතුළේ සිට ආ තවත් අයකු අපව පාසල් භූමිය තුළට කැඳවාගත් නමුදු වාඩිවීමට සිදුවූයේ මිදුලේ තබා තිබූ පුටුවලය. විදුහල්පතිවරයා ටයි එකක් පැළඳ සුදෝසුදු කබායෙන් හා කලිසමෙන් සැරසී ගරු ගාම්භීර තාලයට රථයේ නැගී පාසල් භූමියෙන් පිටත්වී ගියේය. එනමුදු රැස්වූ අය දෙස ඉතා කුලුපහ ලෙස සිනාසී යාමට අමතක නොකළේය. සීනුව නාදවත්ම ගුරුවරු පන්ති මාරුවී යන්නේ මුණගැහෙන තත්පරයේදී වුව සිනහ මුහුණක් පාමින්ය.
අප මුහුණලා සිටියේ විදුහල්පති කාර්යාලයට ඉදිරියෙන්ය. කිසිවකු විසින් අප්පච්චිව ගණන් ගත් බවක් දක්නට නොලැබුණි.
ඉර මුදුන් වෙලාය. අප එළියේ වාඩිවී සිටි තැනට සැඩ හිරු කිරණ පතිත වනුයේ අනුකම්පාව බිඳකුදු නැතිවා සේය.
‘‘අප්පච්චි අපි යමු. ආයෙ වෙන දවසක එන්ට බැරියැ. දැන් ඉස්කෝලේ දැකලවත් සතුටු වුණානෙ.’’
‘‘ඔව් පුතේ, අපි එහෙම කරමු.’’ හෙතෙම අමාරුවෙන් යුතුව රථයට නැංගේය.
‘‘ඔය ඇත්තන්ට කලින්ම කීවනේ අද ප්‍රින්සිපල් සර් හමුවෙන්න බැහැ කියලා.’’
රථයේ ඉදිරි අසුනේ වාඩිවී සිටි අප්පච්චිගේ දෑස රැඳී තිබුණේ පාසල් ගොඩනැගිල්ල වෙතය.
‘‘මේක අප්පච්චි උගන්නපු ඉස්කෝලෙත් නෙවෙයි. ඉතින් මොකටද වදවෙන්නෙ. ඒක නෙවෙයි. ඇතුළෙ අප්පච්චිගෙ පොටෝ එක ගහල තිබුණ.’’
‘‘ඇත්තද පුතේ. පුතා දැක්කද?’’
හෙතෙම මහත් කලබලයෙන් යුතුව පැවසුවේය. ඔහුගේ හිසේ මල් පිපුණා සේය.
‘‘ඔව් අප්පච්චි, මම වටයක් කැරකිලා ආවනෙ.’’
වැව් යංගෙම පසුකර යන තුරාම ඔහුගේ මුහුණේ පැහැපත් බව රැඳී තිබෙන අයුරු මම දුටුවෙමි.
‘‘පොටෝ ගහල වැඩක් තියනවයැ ඒ මනුස්සයට පිළිගැනීමක් නැත්නම්. නේද දුවේ?’’
අම්මා මගේ බිරිඳ දෙස බලා හෙමින් පවසා නිහඬ වූවාය.
පියසීලි විජේනායක