හමුදා දිවියේ මතකයෙන් බිඳක්


 

මම යුද හමුදාවෙන් විශ්‍රාම ලැබුයෙමි. මාගේ සේවා කාල පරාසය තුළ මා හට ඇසුරු කරන්නට ලැබුණා වු නා නා තරාතිරම්වල නානාප්‍රකාර පුද්ගලයන් කිසි දිනක අමතක නොවන්නාවූ අමතක කළ නොහැකි තරමට සිත් තුළ පැළ පදියම් වීමට හේතු පාදක වූයේ ඔවුන් හා සම්බන්ධ යම් යම් රසවත් සිද්ධාන්තයන් නිසා වෙනි. එවුන් සමීපයෙහි සිටීමත්. අල්ලාප, සල්ලාපයෙහි යෙදීමත් අතිශයින් ආස්වාදජනකය. සක්‍රීය සේවයෙහි යෙදී සිටිය දී විශ්‍රාම යාමට හැකි වන්නේ කවදා දැයි සිතමින් ඇඟිලි ගණන් කළ ද අද වෙනි දවසක විශ්‍රාමිකයකු වශයෙන් මම බොහෝ දුකට පත් වෙමි. නැවත ආධුනිකයකු ලෙස ආරක්ෂක අංශයට බැඳෙන්නට හැකියාව ඇත්නම් මොන තරම්න වටිනවා දැයි මට සිතෙන වාර අන්තය අප්‍රමාණය. ගජබා පාබල රෙජිමේන්තුවක් වූ අතර එහි සාමාජිකයෙකු වශයෙන් සේවය කරන්නට ලැබීම ද මහත් භාග්‍යයක් කොට සලකමි. උතුරේ පැවති ත්‍රස්තවාදී අරගලයේ දී අප රෙජිමේන්තුව නිරන්තරයෙන් පෙරමුණු ගත් අතර ඒ සඳහා පන්කාදු, එඩිතර, බුද්ධිමත් උපායශීලී නායකයන් පිරිසෙන් අප සතුව සිටීම ගැන ඇත්තටම මම සොල්දාදුවෙකු ලෙස මහත් අඩම්බරයට පත් වෙමි. වත්මන් ජනාධිපතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, යුද හමුදාපතිතුමා, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ද සමග මට සේවය කරන්නට වාසනාව තිබිණ. එමෙන්ම දශක තුනක පමණ කාලයක් පුරාවට පැවැති ත්‍රස්තවාදී අරගලයේ දී එයට එරෙහිව කිසි දිනක අමතක නොවන ජාතික වීරයන් වූ ලුතිතන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සහ මේජර් ජනරාල් විජය විමලරත්න සමග ද මම සේවය කොට ඇත්තෙමි.   


සතුරාට මහත් හිසදරයක් වූ අප රෙජිමේන්තුව පැවැති සටන් වලදී ළඟම මිතුරන්, සඟයන් අප අතරින් වෙන් වීම, සදාකාලික ආබාධිතයන් බවට පත්වීම, අතුරුදහන් වීම වැනි ත්‍රාසජනක මෙන්ම​ ඛේද ජනක සිදුවීම්වලට මුහුණ දුන්න ද අප ගත කළේ පුදුමාකාර ආස්වාද ජනක කාල පරිච්චේදයකි. එම කාල පරාසය තුළ සිදු වූ යම් යම් සිද්ධාන්තයන් මතකයට නැගෙන විට මා තනිවම සිනාසෙන වාර අනන්තය.   


අානන්ද මුණසිංහ සැරයන්වරයෙකි. ඔහු විවාහ වීමේ උත්සවයට අප ඒකකයෙහි සියලු බලලත් නිලධාරීන්ට සහ සැරයන්වරුන් හට ආරාධනා කර තිබු අතර එය උත්කර්ෂවත් ලෙස පවත්වන්නට කටයුතු සූදානම් කොට තිබිණ. අදමෙන් එම කාල වකවානුවේ මෙවැනි උත්සවයක් හෝටල්වල හෝ උත්සවශාලා පැවැත්වීමේ සංස්කෘතියක් නොතිබු හෙයින් එය සංවිධානය කර තිබුණේ මනමාල මහතාගේ නිවසේය. උතුරේ පැවැතියේ යුදමය වාතාරවරණය හේතුවෙන් සියලුම බලලත් නිලධාරීන්ට සහ සැරයන්වරුන් හට මෙයට සහභාගීවීමේ රාජකාරිමය ගැටලුවක් ඇති වූ හෙයින් ඒ සඳහා අවස්ථාව ලැබුණේ අප දහදොළොස් දෙනෙකුට පමණි.   
මඟුල් උත්සවය පැවැති මාරවිල පිහිටි මනමාල මහතාගේ නිවෙසට අප ළඟා වන විට දහවල් 11.30 ට පමණ වන්නට ඇත. සැරයන් මුණසිංහ කා අතරන් ජනපිය ප්‍රිය මනාප කෙනෙකු වීමත් යුද හමුදාව නියෝජනය වීමත් අපගේ පැමිණීම සියලු දෙනාගේම සතුට දනවන්නක් විය. අප ඉතාමත් සුහද ලෙස පිළිගැනීම තුළින්ම එය මනාව පෙනෙන්නට තිබිණි.   


අප වෙනුවෙන් විශේෂ සාදයක් වෙනමම කාමරයක් තුළ සැරයන් මුණසිංහ විසින් සූදානම් කර තිබිණි. එතුළට වැදුණු කවුරුත් සුපුරුදු ලෙස තම සඟයාගේ උණුසුම් අවස්ථාව මදින් මද සමරන්නට විය. ඒ සඳහා අවැසි සියලු දෑ සම්පාදනය කර තිබුණේ ඉතාමත් ක්‍රමානුකූලව සහඟයන්ගේ අභිමතාර්ථයන් පරිදි මනමාල මහතාගේ අධීක්ෂණය යටතේය. කෙමෙන් කෙමෙන් දහවල් ආහාර ගැනීමේ කාලය එළැඹී තිබුණ බැවින් ඒ සඳහා සියල්ලන්ටම ආරාධනා කෙරිණි.   


කවුරුත් ඉතාමත් ගෞරවාන්විත කෑම ගැනීම සිදු කිරීමෙන් පසු ලද විරාමයකින් අනතුරුව මංගල සභාව ආරම්භ කෙරිණ.   


යුද හමුදාවේ තම සඟයා වෙනුවෙන් කතාවක් පවත්වන්නට ඉදිරිපත් වූයේ කතාවෙහි අති දක්ෂ බලලත් නිලධාරියකු වූ උපාලි කුලසේකර විසිනි. ඒ සඳහා ඔහු කලින්ම සැදී පහැදී සිටිනු දක්නට ලැබිණ. ඔහු කතාව පටන් ගත්තේය.   


සභාවෙන් අවසරයි. ආනන්ද මුණසිංහ අපගේ සැරයන්වරයාගේ වාසනාවන්ත මංගල උත්සවයට අප හට ආරාධනා කිරීම සබැඳිව පළමුව අපගේ ස්තූතිය පුද කරන්නට කැමැත්තෙමු. දෙවනුව වැදගත්කමින් පරිපූර්ණ වූ මංගල සභාව අමතා වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම මම ලද භාග්‍යයක් කොට සලකමි. මෙහි රැස්ව සිටින සෑම සියලු දෙනාම පාහේ ආනන්ද මුණසිංහ අපේ මිත්‍රයාගේ ඥාතීන් හෝ මිතුරන් විය යුතු යැයි මාගේ හැඟීමයි. එහෙත් මෙම මංගල සභාවෙහි රැස්වී සිටින්නා වූ සෑම සියලු දෙනාටම මෙතෙක් රහසක්ව පැවැති යම් කරුණක් හෙළි කිරීම සඳහා මම ඔබගේ අනුමැතිය අයැද සිටිමි. මා විසින් හෙළි කරන්නට යෙදුණා වු රහස මෙම උතුම් මංගල අවස්ථාවේ ඔබ හමුවේ තැබීමෙන් ආනන්ද මුණසිංහ මාගේ මිත්‍රයාට සිදු වන්නා වූ අගෞරවය, අප කීර්තිය අපහසුතා පිළිබඳව අතිශයින්ම සොවට පත්වෙමි. මම ඒ ගැන සමාව අයැදිමි. මෙම වැදගත් අවස්ථාවේ මෙම රහස හෙළි කරනවාද? නැද්ද? ගැන බොහෝ සිතා බැලීමි. මාගේ යටි සිත සමග මේ පිළිබඳව බොහෝ තර්ක කළෙමි. අවසාන වශයෙන් මෙය හෙළි කිරීම කළ යුතු බවත් යම් හෙයකින් ඉන් වැළකී සිටීමෙන් විශේෂයෙන් මාගේ හිත මිත්‍ර මනාල මහත්මයාටත් ඔහුගේ වාසනාවන්ත මනාලිය ඔගස්ටා නැගණියටත් අපටත් විශේෂයෙන් යුද හමුදාවටත් සිදු වන්නට හැකි අයහපත සුළු පටු එකක් නොවන වග මම අවබෝධ කර ගතිමි. ඒ හේතු සාධකයන් සියල්ල කිරා මැන බැලීමෙන් අනතුරුවයි මම මේ තීරණයට එළැඹුණේ.   


කෙසේ වෙතත් මම මංගල අවස්ථාවේ මෙවැනි රහසක් හෙළි කිරීම සම්බන්ධව ඔබ සැම මා හට එරෙහිව නැගී සිටිනවා. අබමල් රේනුවක තරම්වත් සැකයක් නොමැත. එහෙත් මාගේ කතාව අවසාන වනතෙක් සාවධානව අසා සිට ඉන් පසු ගන්නා ඕනෑම තීන්දුවකට තීරණයකට මා එකඟ වන අතර ඉන් පරිභාහිරව ක්ෂණික තීන්දු තීරණවලට ගොස් පිඟන් කෝප්ප හෝ අතට ගත හැකි ඕනෑම භාණ්ඩයක් සංග්‍රහශීලී ගුවන් මගින් මා වෙත පා කර එවීමට කටයුතු නොකරන ලෙසයි මාගේ දැඩි ඉල්ලීම.   

 

 

තුන් හාරසියයකට අධික පිරිසක් සහභාගී වී සිටි මංගල උත්සවය මීයට පිම්බාක්මෙන් නිහඬය. ඇල්පෙනෙත්තක් බිම දැම්මත් ඒ හඬ සියලු දෙනාගේ කන වැකෙන්නට කිසිඳු සැකයක් නොමැත. කාගේ කාගේත් මුහුණුවල ඇත්තේ මහා කුතුහලකයි.   


මංගල සවෙන් අවසරයි. මම තවත් කතාව දිග් ගස්සමින් ඔබලාගේ කුතුහලය රඳවා තබා ගැනීමට හෝ එය තව තවත් වර්ධනය කිරීමට උත්සාහ නොකරමි. අද විවාහපත් වන්නට යෙදුණු ආනන්ද මුණසිංහ මහතාගේ ප්‍රියාදර බිරිඳ ඔගස්ටා මුණසිංහ මැතිනිය දිගු කාලයක් පෙම් කළත් ඔබ මේ මනමාල මහතාගේ දෙවැනි බිරිඳයි. ඔහු මීට අවුරුදු අටකට පෙර විවාපත් වූ කෙනෙක්. ඔහුගේ ඒ පළමු බිරිඳට ඔහුට දාව දරුවන් පවා සිටිනවා. එහි සත්‍යතාව තවදුරටත් ඔප්පු කිරීම සඳහා එම බිරිඳගේ දරුවෙකු මම මෙම මංගල සභාවට කැඳවාගෙන පැමිණියෙමි. අවැසිනම් ඔහු ඔබ වෙත ඉදිරිපත් කිරීමට මම සූදානමින් සිටිමි.   


මනාලිය ඔගස්ටා ඉකි ගසන්නට වූවාය. මනමාලයා ඇයගේ හිස අතගාමින් ඇයව සනසන්නට උත්සාහ කිරීම ඉතාමත් සංවේදී දසුනකි. මංගල සභාව අවමංගල සභාවක් බවට පත් වීමේ හා උඩුයටිකුරු වීමේ ලකුණු දැං දැං පහළ වෙමින් ඇත.   


මේ මිස්ටර් කුලසේකර කරුණාකරලා වාඩි වෙනවා ද? ඔයාගේ රහසෙන් අපට වැඩක් නැහැ. මේ අතර මැදිවියේ කෙනෙකු ප්‍රසිද්ධියේම විරෝධය පාන්නට විය. 

 
‘‘ඔන්න අපි අපේ කෙල්ල අරගෙන යං යන්න’’. ඒ ඔගස්ටාගේ මව හෝ ළඟම කෙනෙකු විය යුතුය.   
ස්...ස්... සමාවෙන්න මහත්වරුනේ මා ඔබතුමන්ලාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මාගේ වචන ස්වල්පය නිමා වන තෙක් සාවදානව අසා සිටින්න. මංගල සභාවෙහි රැස්ව සිටින බුද්ධිමතුනි කරුණාකර සවන් දෙන්න. මා ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ ආනන්ද මුණසිංහ මාගේ මිතුරානෙනි. අද විවාපත් වූ ඔබගේ දයාබර බිරිඳ ඔගස්ටා සමග ඉතාමත් හොඳ යහපත් පවුල් ජීවිතයක් ගත කරන්න. එහෙත් ඔබගේ පළමු බිරිඳ හෝ ඇයගේ දරුවන් අමතක නොකරන්න. ඇයටත් පෙරසේම කිසිඳු අඩුපාඩුවක් නොකරන්න.   


​‘‘මේ මිස්ටර් කුලසේකර අන්තිම වතාවට කියන්නේ එයා මෙතනින් බහිනවද? නැද්ද දොට්ට. මෙතන බීලා අපේ අරක්කු අපිටම ගහනවා.   


එවර එන විදිහ ඉතාමත්ම බැරෑරුම් විය. කබලයට පත් වී නැත්තේ හමුදා මිතුරන් පමණි. මනමාල මහතා මේ කලබලය මැද අසරණව සිටින අතර ඔහු විසින් ද මංගල සභාවට නිහඬවන ලෙස කිපවරක්ම ඉල්ලා සිටියේය.   
සමාවෙන්න, සමාවෙන්න මහත්වරුනේ. මේ මාගේ අවසන් වචන කීපයයි. තවදුරටත් ඔබතුමන්ලාගේත් නොසරු වචන අසන්නට මමද අකමැත්තෙමි. ලෝකයේ බොහෝ පැවැත්ම තමයි මෙය සත්‍ය කතා කරනවාට තුති කුසුම් ලැබෙන්නේ නැ. මා මේ කරනු ලබන්නේ උඩුගම්බලා පිහිනීමයි.   


අද විවාහ ජීවිතයට එළැඹ සිටින මාගේ මිත්‍රයා මීට පෙර විවාහ වී සිටියේ යුද හමුදාව කියන උත්තරීතර කුලවත් කාන්තාව සමගයි. ඔහුට එම විවාහයෙන් දරුවන් එකෙක් දෙන්නෙක් නොව තිස් පස් දෙනෙකු සිටිනවා. මෙයා තමයි ඒ දරුවන් තිස් පස් දෙනා බලා ගන්නේ. මෙයා තමයි ඒ තිස් පස් දෙනාගේ ඛණ්ඩ භාර සැරයන්වරයා. ඉතින් මා අවසන් වශයෙන් ඉල්ලා සිටිනවා. ආනන්ද මාගේ මිතුරාණෙනි ඔබ එදා වගේම අදත් අද වාගේම හෙටත් යුද හමුදාව කියන බිරිඳ අමතක නොකරන ලෙස. ඔබ දෙපළට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරමින් මා නිහඬ වනවා බොහොම ස්තූතියි.   


මංගල සභාව එක දෙක වන්නට වූ අතර කවුරු කවුරුත් අයියෝ කියමින් සිනාසෙන්නට වූහ. දෙතුන් දෙනකු දුව ගෙන් විත් බලලත් නිලධාරි කුලසේකර බඳාගෙන සමාව අයඳින්නට වූහ.   


අනේ මිස්ට කුලසේකර එයා මාර ජෝකර් කෙනෙක්නේ.   


මම ඒකනේ කලින්ම කිව්වේ ඉස්සර වෙලා මාගේ කතාව අහගෙන ඉන්න. පස්සේ ගන්න ඕන තීරණයකට මා සූදානම් කියලා. තව ටිකක්​ වෙලා ගියානං අම්බානකට ගුටි කන්නයි වෙන්නේ, යැයි උපාලි කීවේ කවුරුත් යළි සිනා ගස්සවමිනි. කෙසේ වෙතත් එදා මහ දෙදරීමකින් වෙන්වන්නට ගිය ආනන්ද මුණසිංහට සහ ඔගස්ටාට දැන් දියණියන් තිදෙනෙකුත් පුතණුවන් දෙදෙනෙකුත් සිටින අතර ඔවුන් යහපත් අඹු සැමියන් මෙන් මහත් සතුටින් සිටිති.   


අපි යාපනය ප්‍රදේශයේ රාජකාරි කරමින් සිටියෙමු. දෙමළ ජනතාව සමග ​උරෙන් උර ගැටී සේවය කිරීමේ බොහෝ අවස්ථාවන් අපට ගැටලු සහගත තත්ත්වයන්ටට පත් වන්නට සිදු විය. ඒ අප දෙමළ භාෂාව කතා කරන්නට නොහැකි වීමත්, දමිළ ජනතාව සිංහල කතා කරන්නටත් නොහැකි නිසාය. සමහරුන් කැඩිච්ච සිංහලෙන් කතා කළ අතර අපි දන්නා දෙමළෙන් කතා කළෙමු. තවත් සමහරුනට ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි වූ අතර සමහරු සමහර එවැනි අවස්ථාවලදීද ගැටලුව නිරාකරණය කර ගැනීමේ හැකියාව නොවුණාම නොවේ. ඒකක අණදෙන නිලධාරිතුමාගේ නිල රථයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා අපි යාපනය නගරයේ වීදියක තිබූ ගරාජයකට ගියෙමු. අප එහි යන විට කිසිවකු වටපිටාවේ පෙනෙන්නට නොවුයෙන් වාහනය ගරාජය ඉදිරිපිට නවතා ඇතුළත ගියෙමු. එක් බාසුන්නැහේ කෙනෙකු පමණක් වාහනයක රෝදයක් සවි කරමින් සිටි අතර, අපි ඔහුට අපගේ අවශ්‍යතාව ගැන දන්නා දෙමළෙන් කීවෙමු.   


සිංහලෙන් තෙරියාදු.   
ඉල්ලේ අයියා   
වෑල්ඩින් තියා ගන්න.   
ඔව්. ඔව්.   
කරන්නෑ අයියා.   
වෑල්ඩින් කරන්නෑ ඇයි ඒ.   
කරන්නෑ අයියා.   
අපිට නිකං එපා කාසි ඉරිකි කාසි ඉරිකි.   


අපේ වාහනේ රියැදුරු රත්නායක මුදල් පසුම්බිය ඇද පෙන්වමින් කිවේ දන්න දෙමළ සිංහල අච්චාරුවක් එක් කරමිනි.   


නෑ කරන්න අයියා කරන් නෑ.   


අඩෝ මුගේ තියෙන ආඩම්බර අනින්න හිතෙනවා හොම්බට දෙකක්. එවර රියැදුරුට මළ පැන්නා විය යුතුය.   
අපි ආමි එකේ එල්.ටී.ටී. නොවේ.   


ආමි වුණත් පොලිස් වුණත් කරන්නෑ අයියා. 

 
කරන්නේ නෑ එහෙනම් උඹට බෑ.   


තමුන් කියන්නා වූ කරුණ අවබෝධ කර නොගැනීමේ ගැටලුව හඳුනා ගත් දෙමළ මනුස්සයා ප්‍රහාරයක් එල්ල වීමේ ලකුණු පහළ වීම නිසාදෝ දිව ගොස් බිත්තියේ සවි කර තිබු විදුලි බොත්තම් සියල්ල ඉහළ පහළ දැමුවේ බයාදු බැල්මකිනි.   


අඩෝ කරන්නෙ නැති ඒක නෙමෙයි මූ කියන්​නේ, කරන්ට් එක නැති එක.   


මෙහෙව් රටේ පනමට පොල් හැටේ කිව්වලු.   


අම්මප තව පොඩ්ඩෙන් මේ අහිංසකයා ගුටි කන හැටි. 

 
මාස ගණනක් බඩ අල්ලාගෙන නැවත නැවත සිහි කර සිනා සිය හැකි මෙවන් සිද්ධීන් සම්භාරයක් මතකයෙ ඇති අතර සංවේදී අත්දැකීම් ද කප්පරක් පමණ ඇත.   


මාගේ මතකය නිවැරැදි නම් ඒ 1995 වසරයි. මම අලිමංකඩ කඳවුරේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කරමින් සිටියෙමි. එහි පිහිටුවා තිබුණේ 7 වන බල​සේනා මුලස්ථානයයි. මාගේ මව් ඒකකය වන ගජබා රෙජිමේන්තුවේ 3 වන බල ඇණිය වෙතින් මා එයට අනුයුක්ත කර තිබුණි. ඉදිරි ආරක්ෂක වළල්ලෙහි ස්ථාන ගතව සිටි පාබල සේනාංකවලට හා ආධාර කළ බළ ඇණි කිහිපයකට අණ හා පාලන කටයුතු මෙම බලසේනා මූලස්ථානය විසින් ඉෂ්ඨ සිද්ධ කරන ලදි.   


මෙම කාල වකවානුව වන විට අලිමංකඩින් උතුරට මෙන්ම දකුණටත් ඒ නමය මාර්ගයෙන් වැඩි කොටසක බලය ත්‍රස්තවාදීන් සතු විය. එබැවින් අලිමංකඩ කඳවුරෙහි සියලු පාලනමය කටයුතු සිදු කෙරුණේ ගුවන් මගිනි. ඒ සඳහා ද නා නා විදියේ බාධක අවහිරතා පැමිණි අතර ගුවන් පහසුකම් ද සති ගණන් ඇන හිට තිබෙන අවස්ථා ද එමටය. ඒ බොහෝ විට ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙනි. පාලනමය කටයුතු කර ගැනීම සඳහාත් මගීන් මෙන්ම බඩු භාණ්ඩ ප්‍රවාහනය කර ගැනීම සඳහාත් MI 17 වර්ගයේ හෙලිකෝප්ටර් යානා යොදා ගනු ලැබිණි. හෙලිකෝප්ටර් යානාවන්ට මගීන් නංවා ගැනීමට සහ බඩු භාණ්ඩ පැටවීම සඳහා අංගන කීපයක් 7 වන බලසේනා මූලස්ථානය අසලම ඉදි කර තිබුණි. දින කිහිපියකට වරක් හෙලිකෝප්ටර් යාන 02 ක් හෝ 03 ක් මගින් නිවාඩු යන එන සෙනීන් හා වියළා සලාක ප්‍රවාහනය ද මේ මගින් ඉටු කෙරිණි. ඒ හැරුණු කොට ඉතාමත් හදිසි අවශ්‍යතාවකට හෝ ත්‍රස්තවාදි ප්‍රවාර වලින් තුවාල ලබන තුවාලකරුවන් රැගෙන යාමට බෙල් 212 වර්ගයේ කුඩා හෙලිකෝප්ටර් යානාවක් අලිමංකඩ පැමිණීමට සාමාන්‍ය සිරිත විය.   
සර් මේ අර්ජන්ට් මැසේජ් එකක් තියනෙවා. දිනක් සවස 6 ට පමණ විෂයබාර ලිපිකරුවෙකු පැමිණ මා ඇමතීය.   


මොකක්ද? මම ලිපි ගොනුව අතට ගනිමින් විමසිමි.   
S.R. එකේ කෝප්‍රල් කෙනෙකුගේ අම්මා නැති වෙලා නිවාඩු යවන්න.   
අපි මේක දැන්මම BM ට දාලා චොපර් එකක් ගේන්න ගන්න බලමු. සංඥාව කියවා බැලීමෙන් අනතුරුව මම පැවසීමි.   
​මෙයාගේ ගම කොහෙද? මම තවදුරටත් විමසීමි.   
මේ සර් කුරුවිට රත්නපුර ?   
හප්පා එහෙනං තවත් ඉක්මන් කරන්න වෙයි. මම ලිපිකරුවා ද සමග ඉදිරි පියවර ගැනීම සඳහා කාර්යාලයට ගියෙමි.   


හැකි ඉක්මණින් මෙම සෙනියා වව්නියාවට හෝ පලාලි වලට පිටත් කිරීම සඳහා ගුවන් ගමන් පහසුකම් සලසා දෙන ලෙස අප මූලස්ථානය විසින් උසස් මූලස්ථාන වලින් ඉල්ලා සිටියෙමු. ඒ සඳහා බල සේනාධිපතිවරාය පුද්ගලිකව ද උසස් මූලස්ථාන වලට ඇමතීය. එහෙත් අයහපත් කාලගුණය හේතුවෙන් ගුවන් යානා එසවිය නොහැකි බව උසස් මුලස්ථානවල අවසන් පිළිතුර විය. කාලගුණික තත්ත්වය යහපත් වූ විගස හෝ පසුදා පහන් වූ විගස ඔහුට ගුවන් පහසුකම් සලසන බවට සපථ කළ බලසේනාධිපතිවරයා එතෙක් කෝප්‍රල්වරයා මෙහිම රඳවා තබා ගන්නා ලෙස උපදෙස් ද ලබාදුනි. කර කියා ගත හැකි කිසිවක් නොමැති වූ නිසාවෙන් කෝප්‍රල් චමින්ද කුමාර ද බලසේනා මූලස්ථානයෙහි නරත විය.   


හිත අප්සට් කර ගන්න එපා කොල්ලො. අපි ඔක්කොම ට්‍රයි කරන්නේ ඔයාට පුළුවන් තරම් ඉක්මණින් යවා ගන්න. දැක්නේ බ්‍රිගේඩියර් ෆුල් ට්‍රයි කරා. මම ඔහු අස්වසාලිමි.   
‘‘අනේ සර් මට මගේ දුප්පත් අම්මාගේ මූණ බලල මැරුණක් කමක් නෑ.’’ ඔහු කීවේ පොඩි ළමයෙකු මෙන් දෙනෙතින් රූ රා හැලෙන කඳුළු දෑතින් පිස දමමිනි.   


හරි හරි කොල්ලො, අපට තේරෙනවා. ඔය දුක, අපිටත් අම්මලා ඉන්නවනේ. ඒත් මොකද කරන්නේ. පේනවනේ වහින හැටි. මම ඇත්ත තත්ත්වය පැහැදිලි කර දෙමින් පැවසීමි.   
වෙදර් එක හොඳ වුණොත් රෑ කීයට හරි චොපර් එක ඒවි. මා තවදුරටත් ඔහු අවංකවම අස්වසාලීමි.   
වේලාව රාත්‍රී 12 පමණ වන්නට ඇත. ‘‘දිඩින්’’ ගා පුපුරා ගිය යමකින් මා උඩ ගොස් බිම වැටුණි. කන් අගුළු වැටී හෝ හෝ ගාන්නට විය. ඒ සමගම තවත් යමක් පුපුරා ගියේ තවත් තත්ත්පර 15 ක 20 ක පමණ විරාමයකින් අනතුරුවය. එම ශබ්දයත් සමගම සිදු වන්නේ කුමක් දැයි මට සිතා ගත හැකි විය. මම අවියත් පතරොම් කට්ටලයක් රැගෙන වේගයෙන් එළියට පැන ආරක්ෂිත බංකරයට බඩා ගා ගියෙමි. ත්‍රස්තවාදී කාලතුවක්කු උණ්ඩ තවත් කීපයක් බල සේනා මූලස්ථානය අවට වැටී පුපුරා ගියේ මුළු පළාතම දෙදරුම් කමිනි. සියලු දෙනා අතර ආරක්ෂිත බංකර වලට දිව ගියේ පූර්ව ආරක්ෂක සැලසුම් ක්‍රියාත්මක කරමිනි. අපගේ කාලතුවක්කු වලින් ප්‍රතිප්‍ර්‍රහාර එල්ල වීමට පටන් ගැනීමත් සමග සතුරු ප්‍රහාරය සම්පූර්ණයෙන්ම නිමා වන්නට වැඩි වේලා ගත නොවීය.   


සර් එකයි ඇතුළෙ වැටුණේ. මා සමග බංකරයේ සිටි කෙනෙකු පවසනවා මට ඇසුණි.   
සර්.. සර්... මාර ​ඛේදවාචකයක්නේ වෙලා තියෙන්නේ. සැරයන්වරයකු මා අසලට දිව ආවේ හති දමමිනි.   
ඇයි ඇයි සාජන් මොකද? මම විමසීමි.   


අර අම්මා නැති වෙලා ගෙදර යන්න ආපු කෝප්‍රල් චමින්ද කුමාර අවුට්.   
මොනවා මා දෑතින් හිස බදා ගත්තේ හුන් තැනම බිම වාඩි වෙමිනි.

 

 

දික්වැල්ල වත්තේගම   
පියසිරි අජිත් ලියනගේ