යුද සමයේ අනුවේදනීය කතාවක්
කොටි සංවිධානය උතුරේ පවත්වා ගෙන ගිය ත්‍රස්තවාදය නිසා සිංහල ජනතාවට, ආරක්ෂක හමුදාවට පමණක් නොව උතුරේ ජනතාවට ද මහත් භීෂණයකට මුහුණ පෑමට සිදුවිය. ජීවිත හානි සිදුවිය.
මේ එවැනි සිද්ධීන් පිළිබඳ මතක සටහනකි.
යාපනය අර්ධද්වීපයේ කයිට්ස් අරාලිතුඩුව ප්‍රදේශයේ ස්ථාන දෙකක යුද හමුදා භට කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් එල්ටීටීඊය විසින් අටවා තිබූ අධි බලැති බෝම්බ දෙකකට ගොදුරුවූ සාමාන්‍ය දෙමළ වැසියෝ 15 දෙනෙක් මිය ගියේ මීට වසර 24 කට පෙරය.
මියගිය වූවන්ගෙන් වැඩිදෙනෙක් කාන්තාවන් වූහ. ඒ අතර ගැබිනි මව්වරුද කිහිප දෙනෙකි.
මියගිය වැඩිදෙනකුගේ සිරුරු කැබලි බවට පත්ව තිබුණේ බෝම්බයේ ප්‍රබලත්වය කියාපාමිනි.
එදින පාන්දර කලපුවේ ඉස්සන් ඇල්ලීමට ධීවර ආම්පන්නද රැගෙන පා ගමනින් යමින් සිටිය අතරවාරයේ මේ පිරිස බෝම්බවලට ගොදුරුවී ඇත.
ඔවුහු හිමිදිරියේම කලපු වතුරට බැස සීතලේ ගැහෙමින් අල්ලා ගන්නා ඉස්සෝ විකුණා ලැබෙන සොච්චම් මුදලින් ඔවුහු දරු පවුල් නඩත්තු කළහ.
යහමින් ඉස්සන් අස්වැන්නක් ගැනීමට ලැබෙන්නේ එහෙමත් දවසකය.
ඔවුන්ගේ අපේක්ෂාවන් එදා සුනුවිසුනු වී ගියේ කොටින් අටවා තිබූ අධි බලැති බෝම්බ දෙකකට ගොදුරුවී ඉතාම ඛේදනීය අන්දමින් දිවියෙන් සමුගැනීම නිසාය.
උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පත්වීම ලැබූ හේමන්ත දික්ඕවිට මහතා විශ්‍රාම ලබද්දී සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස උසස්වීම් ලබා සිටියේය.
කොළඹ අපරාධ කොට්ඨාසයේ ද රාජකාරි කර ඇති හේමන්ත මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ද පරීක්ෂණ මෙහෙයවා ඇති දක්ෂ අපරාධ විමර්ශකයෙකුද විය.
1996 වසරේ දවසක සිදුවූ ඒ මහා ඛේදවාචකය පිළිබඳව අප හමුවේ විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී හේමන්ත දික්ඕවිට මහතා ඔහුගේ මතකය අවදි කළේය.
රිවිරැස මෙහෙයුමෙන් පස්සේ යාපනය අර්ධද්වීපයේ සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යන්න පොලිස් ස්ථාන ආරම්භ කළා. ඒ වැඩපිළිවෙළ යටතේ අච්චුවේලි වලද පොලිස් ස්ථානයක් ඇරඹුවා.
කාමර හයකින් විතර සමන්විත මේ නිවස හිටපු අධිකරණ විනිසුරුවරයකුට අයත් එකක්. එල්ටීටීඊ සංවිධානය විනිසුරුවරයා ගෙන් මෙය බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබුණ බව පසුව දැනගැනීමට ලැබුණා. අච්චුවේලි පොලිස් ස්ථානය පටන්ගත්තාට පස්සේ එහි ස්ථානාධිපති ලෙස මාව පත්කළා. ඒ වෙනකොට මම පොලිස් පරීක්ෂකවරයකු ලෙස රාජකාරි කරමින් සිටියා. ඒ කාලයේ බොහොම දුෂ්කරතා මැද්දේ තමා පොලිසියේ රාජකාරි කළේ. අච්චුවේලි පොලිසියේ රාජකාරි කිරීමට නිලධාරීන් 17 දෙනෙකු අනුයුක්ත කර සිටියා.
සාමාන්‍ය වැසියන් 15 දෙනකුට ජීවිතය අහිමි කරමින් සිදුවූ මේ බෝම්බ පිපිරීම් සිද්ධවුණේ 1996 වසරේ කියන එක මට හොඳට මතකයි. නමුත් මාසය හෝ දිනය ගැන කියන්න දැන් මතකයක් නැහැ. කයිට්ස් අරාලිතුඩුව ප්‍රදේශයේ බෝම්බයක් පිපිරිලා බරගාණක් මැරිලා කියා පණිවිඩයක් ලැබුණා. ඒ පණිවිඩය ලැබුණු ගමන් මා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි ගියා.
අච්චුවේලි පොලිසියේ එවකට සේවය කළ වර්තමානයේ උහන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාද පොලිස් පරීක්ෂක ගාමිණි සහ උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යන මහත්වරුද මෙම පොලිස් කණ්ඩායමට ඇතුළත් වුණා.
අපි බෝම්බය පුපුරා ඇති ස්ථානයට ගියා. එවකට ඉලවාලි පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක රංජිත් සිල්වා මහතා ද පරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටියා. අධි බලැති බෝම්බ දෙකක් පුපුරා ගොස් ඇති බව පරීක්ෂණ වලින් පෙනී ගියා. බෝම්බ දෙක පුපුරා යාමෙන් 15 දෙනෙක් පමණ මිය ගොස් ඔවුන්ගේ සිරුරු කැබලි වී තිබුණා. ඔවුන්ගෙන් වැඩිදෙනා කාන්තාවන් වූ අතර ගැබිනි මව්වරුන් ද සිටියා.
හයහත් දෙනකුගේ සිරුරු විතරයි හඳුනා ගැනීමට පුළුවන් තත්ත්වයක තිබුණේ. මේ බෝම්බ පිපිරීමෙන් මියගිය අයගේ සිරුරු හා සිරුරු කොටස් එක්රැස් කර යාපනය රෝහලට අරගෙන ආවා.
පශ්චාත් මරණ පරීක්ෂණවලින් පස්සේ එ්කාලයේ තිබුණ හදිසි නීති රෙගුලාසි යටතේ එම සිරුරු ආදාහනය කළා. මොවුන්ගෙන් යැපුණු අය අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබුණා.
මියගිය අයගේ ඥාතීන් පැමිණ විලාප තබමින් කොටි ත්‍රස්තවාදීන්ට ශාප කළා. හමුදා භට කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් කොටි ත්‍රස්තවාදීන් අටවා තිබූ බෝම්බ දෙකකට තමා මේ අය බිලිවී තිබෙන්නේ. ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහත්තයා ඇතුළු හමුදාවේ 10 දෙනෙක් බිම් බෝම්බයකට අහුවෙලා මියගිය ස්ථානයට නුදුරින් තමා ඔය බෝම්බ දෙක පුපුරා ගොස් තිබුණේ.
ඒ කාලයේ මාත් එක්ක අච්චුවේලි පොලිසියේ රාජකාරි කළ වර්තමානයේ උහන පොලිස් ස්ථානාධිපති ලෙස රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතා සතුව බෝම්බ පිපිරීමෙන් මියගිය ස්ථානයේ ඡායාරූපයක් තිබෙන බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී දික්ඕවිට මහතා පැවසීය.
මේ සමග පළවන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ ඡායාරූප එකතුවේ තිබූ බෝම්බයට අසුවී මියගිය කිහිපදෙනකුගේ ඡායාරූපයකි.
කරුණාරත්න මහතාද ඒ ඡායාරූපයේ සිටින බව විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තයින් ඊට දවස් දෙක තුනකට විතර පස්සෙ සිදුකළ තවත් ම්ලේච්ඡ ක්‍රියාවක් ගැනද විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි හේමන්ත දික්ඕවිට මහතා තොරතුරු හෙළිකළේ මේ අන්දමිනි.
හමුදාවේ පොලිසියේ ඔත්තුකාරයෙක් කියා පුද්ගලයකුට වෙඩි තියා මරා දැම්මා. ඔහු කුඹුරට යද්දි කොටි රැකලා ඉඳලා වෙඩි තබා තිබුණා. දරුවෝ හතර දෙනෙක් මේ මනුස්සයාට හිටියා. එක දරුවෙක් අත දරුවෙක්. අනික් දරුවෝ තුන්දෙනත් බාල වයස්කාරයන්. මොහු කුඹුරු ගොවිතැන් කිරීමට අමතරව අච්චුවේලි ප්‍රදේශයේ ඉඳලා යාපනයටත් යාපනයේ ඉඳලා අච්චුවේලි වලටත් පාපැදියේ තබාගෙන මිනිස්සු අරගෙන යාමත් සිදු කළා. එක් ගමන්වාරයක් සඳහා රුපියල් 20ක මුදලක් අයකර තිබුණා.
මියගිය පුද්ගලයාගේ බිරිය දරුවෝ හතරදෙනා එක්ක ඇවිත් මළ සිරුර ළඟ හඬා වැටුණා. අත දරුවා හැරෙන්නට අනිත් දරුවෝ තුන්දෙනත් හැඬුවා. මේ දසුන දැකලා මටත් ඉබේටම හැඬුනා. මාත් එක්ක එතැන හිටිය පොලිස් සැරයන් පියසේන ද හැඬුවා. බිරිඳට හා දරුවන්ට අපි ගොඩක් උදව් කළා. මේ සිද්ධියත් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ යැයි විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරීවරයා පැවසීය.
සටහන
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය