තලේබාන්වරුන් යළිත් වතාවක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමත් සමග අසෙල් මෙන්ම ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බොහෝමයක්ම සාමාජිකාවන් දැන් සිටින්නේ ජීවිතයත් මරණයත් අතර දෙගිඩියාවෙනි. සමහරුන් පරාණ බයෙන් සැඟවිලාය.
අසෙල් යනු ඇගේ සැබෑ නම නොවුණ ද ඇය ඇෆ්ගනිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නම් දරා සිටින ප්‍රබල සාමාජිකාවකි. කාබුල්වලට කඩා වැදී සිටින මාරාවේෂ වූ තලේබානුවන් දැන් ඇස ගසාගෙන සිටින්නේ ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දෙසය.
“ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් හෝ වෙන මොකක් හෝ ක්‍රීඩාවක් කරන කාන්තාවන් දැන් බොහෝම අනාරක්‍ෂිතවයි ඉන්නේ. ඒ තරමට කාබුල්වල තත්ත්වය දැන් බොහොම නරකයි.” අසෙල් කියයි.
“අපි මේ වෙද්දී වට්ස්ඇප් කණ්ඩායමක් හැටියට එකතුවෙලා ඉන්නවා. ගෙවී යන හැම රෑකම අපි අපේ ප්‍රශ්න කතා කරනවා. මොකද්ද කරන්න ඕනෑ කියන එක ගැන කතාබහ කළත් අපට අනාගතය ගැන කිසි දෙයක් හිතාගන්න බෑ.”
තලේබාන්වරුන් අගෝස්තුව මැද බාගයේදී කාබුල් නුවරට කඩා වදිද්දී අසෙල් ඉන් පිටමං වීයේ හිස් අතිනි. ක්‍රිකට් ඇඳුම ද පැත්තකට දමා තිබිණි. අසෙල් ඇගේ යෙහෙළියක මුහුණ පෑ අත්දැකීමක් විස්තර කළේ මෙසේය.
“අපි ක්‍රිකට් ගහන ගම්මානයේ සමහර මිනිසුන් අප හොඳටම දන්නවා. ඒ අයගෙන් සමහරු තලේබාන්ලාටත් උදව් කරනවා. තලේබාන්ලා මෙහාට ආවත් එක්කම ඒ උදවිය තර්ජනය කළේ ‘උඹලා ආයෙ ක්‍රිකට් ගහන්න හැදුවොත් හොයාගෙන ඇවිත් මරනවා’ කියලා.”
ටක්වා ලෙසින් අප විසින් හඳුන්වනු ලබන ඇය ද බොහෝ කාලයක සිට ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග සම්බන්ධ වී සිටි තරුණියකි. තලේබානුවන් කාබුල් නුවරට කඩා වදිද්දී ඇය ද කෙසේ හෝ රටින් පැන ගත්තාය. ඇය තම රටින් නික්ම යාමට සතියකට පමණ පෙරාතුව ගෙන් ගෙට මාරු වෙමින් සිටියේ කොයියම්ම මොහොතක හෝ තලේබාන්වරුන් තමන් හමුවට එන බව හොඳාකාරයෙන්ම දන්නා නිසාය. තලේබාන්වරුන් ඇයගේ පියාට කීප වතාවක් කතා කර තිබුණ ද ඔහු ඔවුන්ට දන්වා තිබුණේ ඇය ගැන ඔහු ද නොදන්නා බවය.
“මොකක් සිද්ධ වෙයිද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ. මීට සතියකට විතර කලින් තලේබාන්ලා කාබුල් නුවරට ආවට පස්සේ සතියක් විතර යනකම් මට කිසි දෙයක් කන්නත් බොන්නත් බැරි තරමට මා පීඩනයකට පත්ව සිටියා. ඒ වගේම නින්ද ගියෙත් නෑ.
මම මා ගැන විතරක් නෙමෙයි හිතුවේ. මගෙත් එක්ක හිටපු අනෙක් අය ගැනත් මට දැනෙන්නේ ලොකු කනගාටුවක්. ඒගොල්ලන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු වගේම සමහර වෙලාවට ඇෆ්ගන් ක්‍රීඩිකාවක් වෙච්ච නිසාම විවාහයක් කර ගන්න එකත් අනාගතයේදී ලොකු අභියෝගයක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඒගොල්ලන්ගේ ජීවිතත් විශාල අන්තරාවකට ලක්වෙලා තියෙනවා. කොයිවෙලේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියන එක කිසි කෙනෙක් දන්නේ නෑ.”
ඇෆ්ගනිස්තාන කාන්තා කණ්ඩායම වෙනුවෙන් කලක් සෙල්ලම් කළ හරීර් කියන්නේ ක්‍රීඩාවේදී කඩුලු සහ ලකුණුවලට වඩා බොහෝ දේවල් ඇෆ්ගන් කාන්තාවන්ට ලබාගත හැකි බවය.
“මම සෙල්ලම් කරද්දි මට මං ගැනම විශාල ආඩම්බරයක් දැනුණා. ඒ වගේම විශාල ආත්ම විශ්වාසයකුත් ඇතිවුණා. කිසියම් කාන්තාවක් තමන්ගේ සිහින සැබෑ කර ගත්තාම දැනෙන්නේ කාන්තාවකට කොච්චර දේවල් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවද කියලයි.”
එහෙත් මේ වනවිට හරීර් හැරුණ විට අනෙකුත් කාන්තා ක්‍රීඩිකාවන්ගේ සිහින බොඳ වී යන අයුරක් පෙනෙයි.
මීට වසරකට පමණ පෙරාතුව මේ ගැන කාට කාටත් බලාපොරොත්තු තබාගත හැකි තත්ත්වයක් ඇති වී තිබුණත් මේ වෙද්දී ඒ සියල්ල සුන් වී ගොසිනි. දැන් ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂාව ගැන විශාල බියක් මතු වී තිබෙන අතර ක්‍රීඩා බලධාරීන් මේ සඳහා මැදිහත් වී ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාමට උදව් කරාවි යැයි යන ආශ්වාදජනක හැඟීම ද ඔවුන් කෙරෙන් පහව ගොසිනි.
ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව ද කිසිවකුටත් සිතාගත නොහැකි සුරංගනා කතාවක් මෙනි. 2001 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි කර ගත් එකම රට වීයේ ඇෆ්ගනිස්තානයයි. ඒ තලේබාන්වරුන් ක්‍රීඩාව සඳහා එවකට පනවා තිබූ තහනම ඉවත් කර හරියටම වසරකට පසුවය. පසු කාලීනව තලේබාන්වරුන්ගේ පාලනය ඇෆ්ගනිස්තානයෙන් ගිලිහී යාමත් සමගම පාපන්දු වැනි සෙසු ක්‍රීඩා මෙන්ම ඇෆ්ගනිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාවට ද හොඳ පිබිදීමක් ඇති විය.
“අපි පහුගිය අවුරුදු විස්සක විතර කාලය දිහා ආපහු හැරිල බැලුවොත් අපට තිබුණේ යුද්ධ, මරාගෙන මැරෙන ප්‍රහාර. ඒ විතරක් නෙමෙයි අපට තව තවත් දහසකුත් ප්‍රශ්න තිබුණා. ඒත් ජාතියක් හැටියට අපට සතුටු වෙන්නත් හැඟීම්බරව වින්දනයක් ලබන්නත් අපට ඉතිරි වෙලා තිබුණේ ක්‍රීඩාව විතරයි.” බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ඇෆ්ගනිස්තාන රාජ්‍ය භාෂාව වන පැෂ්ටෝ භාෂාවේ ඉංග්‍රීසි පරිවර්තකයා ලෙසින් කටයුතු කරන ඉමල් පාසලි කීවේය.
“ක්‍රීඩා කරන වෙලාවෙදී හරි ක්‍රීඩා කරන තැනේ හරි ඇෆ්ගන් ජාතිකයන් හැටියට අපි හැම දෙනාම රටේ වෙන දේවල් හැම දෙයක්ම අමතක කරලා එක්කහු වෙලා හිටියා.”
අෆ්ගනිස්තානයේ ක්‍රිකට් උන්මාදය පැතිර යන්නට වූයේ 2000 වසර පටන් ගනිද්දීම වාගේය. ඒ ඔවුන්ගේ ජාතික පිරිමි කණ්ඩායම ජාත්‍යන්තර තලයේ තරගවලදී දස්කම් පාන්නට පටන් ගැනීමත් සමගය. ඔවුන් 2015 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබූ අවස්ථාවේ දී රටේම ජනතාව වීදි බැස ප්‍රීති උත්සව පැවැත්වීමට තරම් එඩිතර වූහ. 2017 වසරේ සිට ඇෆ්ගනිස්තාන කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට වරම් ලැබුණේ ඔවුන් කෙටි කලක් තුළ ජාත්‍යන්තර තරගවලදී පෑ දස්කම් හේතුවෙනි. ඔවුන්ගේ රෂිඩ් ඛාන්, මොහොමඩ් නබි වැනි ක්‍රීඩකයන් මේ වනවිට ජාත්‍යන්තර තලයේ තාරුකාවන් වී සිටින්නේ ඇෆ්ගනිස්තානයේ නාමය ද ඉහළට ඔසවා තබමිනි.
ඇෆ්ගනිස්තානයේ පළමු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගොඩ නැගෙන්නේ 2010 වසරේය. කණ්ඩායමේ වැඩ පටන් ගනිද්දීම ඔවුනට බාධක රැසකට මුහුණ දෙන්නට සිදු විය.
අවුරුදු ගණනාවක්ම ඔවුන්ට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ද සහායක් නොලැබුණ අතර ඔවුන් කීප වතාවක්ම කාන්තා කණ්ඩායමට ජාත්‍යන්තර තරගවලට යාමට ඉඩ නුදුන්නේ තලේබාන්වරුන්ගෙන් තර්ජන ඇති බව පවසමිනි.
2012 වසරේදී ඇෆ්ගනිස්තාන කාන්තා කණ්ඩායම ටජිකිස්ථානයට ගියේ කණ්ඩායම් හයක් තරග වැදුණ තරගාවලියකට සහභාගි වීමටය. යළිත් උපන් බිමට එද්දී එහි ශූරතාව ද රැගෙන ඒමට තරම් ඇෆ්ගන් කෙල්ලෝ වාසනාවන්තයෝ වූහ. එහෙත් අවුරුදු දෙකක් ඉක්ම යද්දී යළිත් ඔවුන්ට ක්‍රිකට් අකුලා ගන්නට සිදු වීයේ ඇෆ්ගන් ක්‍රිකට් පාලක මණ්ඩලය තලේබාන් තර්ජනවලට හිස නැමීම නිසාය.
කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කිරීමට නොහැකිව විසිර ගියත් ඇෆ්ගනිස්තානය පුරාම වාගේ තරුණියෝත් තරුණ වයසේ කාන්තාවෝත් ඔවුන්ට ඉඩ ලැබුණ තැන්වලදී ක්‍රිකට් ගැසීමට මැලි නොවෙති. කෙසේ වෙතත් කාන්තා ක්‍රිකට්වලට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලැබෙන්නේ ද කුඩම්මාගේ සැලකිලිය. කාන්තා තරග සංවිධානය කිරීමට යොදවා ඇත්තේ ද අතලොස්සක් පමණ පිරිසකි.
හරීර් පෙන්වා දෙන අන්දමට පාලක මණ්ඩලයෙන් කාන්තා ක්‍රිකට් තරගාවලියක් ලබාගැනීම හිඟමන් යැදීමකි. ක්‍රිකට් බලධාරීන් මෙන්ම පාසල් ගුරුවරියන් ද ඇෆ්ගන් ක්‍රීඩිකාවන්ට හිසරදයක් වී ඇති අයුරකි.
“මම පන්දු යවන්නියක්. මම කඩුල්ලක් දවා ගත්තාම මට කෑ ගහන්න බෑ. ඒ වගේම ප්‍රීතිය පළ කරන්න උඩ පනින්න, දඟලන්න අවස්ථාවක් නෑ. මගේ කණ්ඩායමේ අනිත් අය දිරිමත් කරන්න කෑ ගහන්න බෑ. මට මගේ හැඟීම් පාලනය කරගෙන ඉන්න වෙනවා. මොකද මිනිසුන් මා දිහා බලාගෙන ඉන්නවා. ඔවුන් ඒ තරමටම අපට දැඩි තහංචි දාලයි තියෙන්නේ.”
එහෙත් ඇෆ්ගනිස්ථාන පිරිමි කණ්ඩායම දිනෙන් දින ඉදිරියට යද්දී ඇෆ්ගනිස්තාන පාලක මණ්ඩලයට කාන්තා කණ්ඩායම දෙස නොබලා සිටීමට නොහැකි වීයේ 2017 වසරේදී ඇෆ්ගනිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දොළොස් වැනි පූර්ණ සාමාජිකයා ලෙසින් නම් කිරීම නිසාය. මේ නිසා 2020 වසරේ නොවැම්බරයේදී කාන්තාවන් 25කගෙන් සමන්විත කණ්ඩායමක් නම් කළේය.
දැනට මාස දහයකට කලින් ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට හිමිවුණ ඒ වාසනාව ද දැන් ඔවුන්ට අහිමි වී ගොස් ඇති අයුරකි.
තලේබාන්වරු ඇෆ්ගනිස්තානය පාලනය කළ 1996ත් 2001ත් අතර කාලයේදී තරුණියන්ට සහ කතුන්ට අධ්‍යාපනය එහෙම පිටින්ම තහනම් කළ අතර වයස අවුරුදු අටෙන් පසු පාසල් යාමට ද කොහෙත්ම ඉඩක් නොදුන්හ. එසේම පිරිමි ඥාතියකු නොමැතිව ගෙයින් එළියට යාම ද තහනම් විය. එසේ වුවත් මෙවර තලේබාන්වරුන් තරමක ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවක් පෙනෙන්නට ඇත.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි පවසන අන්දමට තලේබාන්වරුන් එහි පිරිමි ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවසර දී ඇත. ඒ අනුව ඔවුන් ලබන නොවැම්බරයේදී ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හිදී ටෙස්ට් තරගයකට සහභාගි වනු ඇත. එහෙත් ඔහු පවසන අන්දමට කාන්තා ක්‍රිකට් සඳහා ඇෆ්ගනිස්තානයේ ඉඩක් නොලැබෙනු ඇත. මෙය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ නීති උල්ලංඝනය කිරීමකි.
ඇෆ්ගන් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට දැන් ඇත්තේ එකම එක බලාපොරොත්තුවක් පමණි. ඒ පනස් දෙනකුට අධික මලල ක්‍රීඩිකාවන් ඕස්ට්‍රේලියාවට පැන ගියාක් මෙන් ඔවුන් ද තලේබාන් පාලනයෙන් මිදී රට හැර යාමය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කරන බවය. එසේම පවතින තත්ත්වය ගැන අධ්‍යයනය කර ඔවුන්ගෙන් උදව්වක් පතන බවය.
“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් කවදාවත් අපට උදව් කරයි කියා හිතන්න බෑ. ඔවුන් නිරන්තරයෙන්ම අප ගැන කනගාටු වනවා විතරයි. අනෙක ඔවුන් කතා කරන්නේ කාන්තාවන්ට ක්‍රිකට් ඕනෑ නෑ කියන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අලුත් සභාපති වගේ අයත් එක්කයි.” ටක්වා සඳහන් කළේ තලේබාන්වරුන් විසින් පත් කරනු ලැබූ නව සභාපති අසිසුල්ලා පසාලි ගැනය.
මෙහි කෙළවර කුමක් වුවත් අසෙල් තවමත් සිතන්නේ යළිත් තමන්ට ක්‍රිකට් ක්‍රීඩා කරන්නට ඉඩක් ලැබෙනු ඇති බවය. හරීර් ද තවමත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ බලාපොරොත්තු අත්හැර දමා නැතිවාක් මෙනි.
“මට වුවමනා කරන්නේ ජාත්‍යන්තර ක්‍රීඩිකාවක් වෙන්නයි. ඒ වගේම ඇෆ්ගන් කාන්තාවන්ට විශාල සවියක් වී ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්නයි. අඩු ගණනේ කීප දෙනකුගේ හරි ජීවිතවල වෙනසක් වෙනවා නම් ඒක ලොකු දෙයක් වේවි.” හරීර් කීවාය.
“ඇෆ්ගන් සංස්කෘතිය තුළ කාන්තාව සහ ක්‍රීඩාව කියන දෙක අතර විශාල බාධක තිබෙනවා. ඔවුන් කියන්නේ කාන්තාවන් දුර්වලයි, ඒ අයට ක්‍රිකට් වගේ ක්‍රීඩාවක් දරා ගන්න බෑයි කියලයි. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නෙ බැඳලා, ළමයින් හදලා, ගෙට වෙලා වැඩක් පලක් කරගෙන දරුවන් බලා කියාගෙන ඉන්න කියන එකයි.
මගේ පවුලෙත් සමහර නෑදෑයන් මට කියන්නේ ක්‍රිකට් ගහන්න එපා කියලයි. මොකද ඉස්ලාම් සංස්කෘතියක කාන්තාවන්ට ක්‍රිකට් ගහන්න ඉඩ දෙන්නේ නැති හින්දා. ඒත් මම ක්‍රිකට්වලට හරි කැමතියි.
තත්ත්වය නම් දැන් අන්තිම නරකයි. කොච්චර වුණත් අපේ යටි හිත්වල තියෙන බලාපොරොත්තුව නම් ගිලිහිලා ගිහින් නෑ. ඒ හින්ද සමහර විට මේ රටේදී බැරි වුණොත් සමහර විට වෙන කොහේකදී හරිවත් අපි ආයෙත් වැඩ පටන් ගනීවි.” යැයි ඇය සඳහන් කළේ මරණයේ සෙවණැල්ල යට සිට බව ඇයට ද ඒත්තු ගොස් තිබෙන්නට ඇත.
(Afghanistan women's cricket team hiding in Kabul නම් ලිපියේ සිංහල පරිවර්තනය)
රංජන් වික්‍රමනායක