හැටේ දශකයේ සිංහල චිත්‍රපට ගීත


මහැදුරු සුනිල් ආරියරත්නයන් ලියූ   
සිංහල චිත්‍රපට ගීතාවලිය   
1967 - 1971 කෘතියෙනි.  

 
1967 - 71 අතර කාලවකවානුවේ දී සිනමා සාහිත්‍යයට එකතු වී ඇත්තේ කෘති 02 කි. එනම් අමරනාත් ජයතිලකගේ ‘සිනමා චින්තන’ (1969) සහ පියසිර නාගහවත්තගේ ‘සිනමා සටහන්’ (1970) ය. ‘සිනමා චින්තන’ යනු එහි සම්පාදකවරයා විසින් වරින් වර ලියන ලද ලිපි 14 ක එකතුවකි. එම ලිපිවලට අමතරව ඔහු විසින් සම්පාදිත චිත්‍රපට පාරිභාෂික ශබ්ද මාලාවක් ද කෘතිය අගට ඈඳ‌ා තිබිණ. මෙය කොළඹ, රත්නාවලී ප්‍රකාශනයකි. ‘අපේ කට්ටියේ පොතක්’ ලෙස ප්‍රකාශයට පත් වූ ‘සිනමා සටහන්’ හි වූයේ නාගහවත්ත, ලෝක සිනමාව ගැන ලියූ ලිපි පෙළකි.   


• ජයවිලාල්   


සිනමාව සම්බන්ධ කවර තරාතිරමේ පොත්පත් සහ සඟරා පළ වුවත් සිංහල සිනමා රසිකයන්ට තදින්ම බලපෑම් කළ චිත්‍රපට විචාරකයා සහ ලේඛකයා වූයේ දිනමිණ පත්‍රයේ චිත්‍රපට විචාරකයා ලෙස 1953-1971 කාලය තුළ කටයුතු කළ ජයවිලාල් විලේගොඩය. ඔහුගේ හාස්‍යය මුසු නිර්මාණශීලි ලේඛන ශෛලියට පාඨකයෝ ප්‍රිය කළහ. සිංහල සිනමාව යහපත් ආස්ථානයකට ගෙන ඒම සඳහා 50, 60 දශකවල ජයවිලාල්ගේ විචාර විසින් කරන ලද්ද‌ා වූ මෙහෙය අතිශය ප්‍රබලය. පූර්වෝක්ත පස් අවුරුද්ද තුළ තිරගත වූ වෘත්තෘන්ත චිත්‍රපට 91 අතුරින් රාශියක් ඔහුගේ විචාරයට පාත්‍ර විය. එම විචාරවල උධෘත කිහිපයක් මතු දක්වනු ලැබේ. (උපුටා ගැනීම:- සුනිල් මිහිඳුකුල/ ජයවිලාල් විලේගොඩ තෝරාගත් සිනමා විචාර/1998)   


• සත් සමුදුර   


අද හැන්දෑවට සිනමාහල් පහළොවක දී ‘සත් සමුදුර’ පෙන්වීම ඇරඹෙනු ඇත. එය එය ආරම්භ වන්නේ අමරදේවගේ ප්‍රතිභාපූර්ණ කටහඬ, මහගම සේකරගේ වචන පෙළක් පිට කරමින්, සෝමද‌ාස ඇල්විටිගලගේ සංගීතය හා මුසුව මේ සිනමා ශාලා පුරා විසිරී යද්දී නිහාල්සිංහගේ කැමරාවට මුහුද මැද ඇති ලොකු ‘දි’ යන්නක් හසුවන දර්ශනයකි. ඒ ‘දි’ යන්න දිසානායක චිත්‍රපට සමාගම හැඳින්වීමට පමණක් නොව ‘දියුණුව’ කියා දෙයක් යන්තම සිංහල සිනමාවේත් ඇති වී ගෙන එන බව හැඟවීමටත් සමත් වෙයි. ‘සත් සමුදුර’ විසි වසක් තිස්සේ සිංහලකම මරා දමමින් ආ පහත් ඉන්දු-සිංහල සිනමාවේත් සිනමාව මරා දමමින් දැන් දැන් එන ‘හතර කේන්ද​රේ වැනි ග්‍රාම්‍ය සිනමාවේත් කුණු කන්දල් සෝද‌ා හරිමින් ගලා යන නව රැල්ලක් ගෙන එන නිෂ්පාදනයකි. අලුත්ම සිංහල චිත්‍රපටය නිසැක වශයෙන්ම අලුත්ම තාලයේ චිත්‍රපටයක් බව නම් කිව හැකිය.   


• රන්සළු   


 ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙහෙය වන චිත්‍රපටවල ප්‍රධානතම දුර්වලකම ඒවා සමග හිසෙන් මිස හදවතින් නම් නරඹන්නවුන්ට හවුල් වන්නට බොහෝ විට අපහසු වීම යැයි මම නොයෙක් වර කියා ඇත්තෙමි. මේ ගතිය අඩුම චිත්‍රපටය ‘රන්සළු’ ය. ‘රන්සළු’ වේ ධාවන කාලය විනාඩි 125කි. ඉන් අන්තිම විනාඩි පහේදී තිරයේ පෙනෙන හැම කෙනෙකුම සිටින්නේ කඳුළින් බර වූ නෙත් ඇතිවය. තිරයේ නොව සිනමා හලේ සිටින බොහෝ දෙනාටත් මෙය බලපානු ඇතැයි මම සිතමි. එය හැඟීම් බොළඳ ලෙස ඇවිස්සීමක් විය හැකිය. එහෙත් ලෙස්ටර් මෙහෙය වූ චිත්‍රපටයක තිරයේ චරිත හා සිනමා හලේ හදවත් ඉතාම සමීපව එකිනෙකට ළංවන ප්‍රථම අවස්ථාව ද මෙය බව මගේ හැඟීමයි.   


• සිනමා සම්මාන   


1964 ලේක්හවුස් ආයතනය විසින් ප්‍රාරබ්ධ සරසවි සිනමා සම්මාන උළෙල 67-71 පස් අවුරුද්ද තුළ සිවුවරක් පැවැත්විණ. 66 සිනමා කෘති සම්බන්ධයෙන් 67 පැවැත් වූ සිනමා සම්මාන උළෙල ගැන ‘සිංහල චිත්‍රපට ගීතාවලිය 62-66 කෘතියේ සඳහන් විය. මෙහිලා අපගේ අවධානය යොමුවනුයේ 68, 69, 70 වසරවල පැවැත්වූ සරසවි සිනමා සම්මාන විනිශ්චයන් සම්බන්ධවයි. 1967 තිරගත වූ චිත්‍රපට සඳහා 1968 පැවැත් වූ සරසවි සිනමා සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළෝ ගුණපාල සේනාධීර (සභාපති), ඩී.ජී. දයාරත්න, ඇස්.ඇෆ්. ද සිල්වා, ජෝන් රසල්, ටී.බී. ඉලංගරත්න, රිචඩ් තේනබදු, වින්සන්ට් පෙරේරා ආදීහුය. ඒ වසරේ තිරගත වූ චිත්‍රපට අතුරින් ඔවුන් තේරූ හොඳම චිත්‍රපට හත නම් (1) දරු දුක, (2) සොරුන්ගෙත් සොරු,(3) ඉපදුණේ ඇයි, (4) රන්සළු, (5) රෑන ගිරව්, (6) සැඩොල් කඳුළු (7) සත් සමුදුර යනාදියයි. මේ පොතෙහි සම්පාදකවරයා මේ සියලු චිත්‍රපට නරඹා ඇති බැවින් දරු දුක, ඉපදුණේ ඇයි, රෑන ගිරව්, ‘හොඳම’ චිත්‍රපට වූයේ කෙසේදැයි යන බරපතළ ප්‍රශ්නය පැන නගී. සොරුන්ගෙත් සොරු සහ සැඩොල් කඳුළු, පූර්වෝක්ත චිත්‍රපට හතට ඇතුළත් කිරීම යම් තරමකට හෝ සාධාරණීකරණය කළ හැකි වුවත් සෙසු චිත්‍රපට තුන නම් කිසිසේත් ‘හොඳම’ චිත්‍රපට විය නොහේ. විනිශ්චය මණ්ඩලයේ මේ තෝරා ගැනීම ප්‍රශ්නකාරී වුවත් අවසාන විනිශ්චය සම්බන්ධයෙන් නම් සෑහීමකට පත්විය හැකිය. ඔවුන්ගේ විනිශ්චයන් මෙසේ විය. (1) හොඳම චිත්‍රපටය:- සත් සමුදුර (ලීනස් දිසානායක) (2) හොඳම අධ්‍යක්ෂ:- සිරි ගුණසිංහ (සත් සමුදුර) (3) ​හොඳම තිරනාරක රචක:- රෙජී පෙරේරා (සැඩොල් කඳුළු) (4) හොඳම නිළිය:- පුණ්‍යා හීන්දෙණිය (රන්සළු) (6) හොඳම කැමරා ශිල්පියා:- සුමිත්ත අමරසිංහ (රන්සළු) (7) හොඳම සංස්කරණය:- ඩී.බී. නිහාල්සිංහ (සත් සමුදුර) (8) හොඳම සංගීත අධ්‍යක්ෂණය:- සෝමද‌ාස ඇල්විටිගල (සත් සමුදුර) (9) හොඳම කලා අධ්‍යක්ෂ:- ඩී.එන්. හෙට්ටිආරච්චි (දරු දුක) (10) හොඳම ගීත රචක:- මහගමසේකර (සත් සමුදුර, ‘සිනිඳු සුදු මුතු තලාවේ’) (13) හොඳම ගායිකාව:- නන්ද‌ා මාලිනී (සැඩොල් කඳුළු ‘දස මස කුස දරා’)   


‘රන්සළු’ සංගීතය, අමරදේවයන්ගේ සමස්ත සිනමා සංගීත ද‌ායකත්වයේ විශිෂ්ටම අවස්ථාව වන්නේ යම් සේ ද එසේ ම ‘සත් සමුදුර’ සංගීතය, ඇල්විටිගලගේ සමස්ත සිනමා සංගීත ද‌ායකත්වයේ උත්කෘෂ්ට අවස්ථාව වේ. එහෙත් මේ දෙදෙනාගෙන් එක් අයකුට පමණක් සම්මාන ප්‍රද‌ානය සිදුකළ යුතු වූ නිසා ඇල්විටිගලට ඒ සම්මානය පිරිනැමුවා විය හැකිය. හොඳම ගීත රචකයා සම්මානය සඳහා මහගමසේකර තරග කර තිබුණේ මහගමසේකර සමගමය. එනම් ‘සත් සමුදුරෙ’ හි ‘සිනිඳු සුදු මුතු තලාවේ’ හා ‘රන් සළු’ හි (සිරිපා පියුමේ’ සමඟය. ගායනය සම්බන්ධ අභියෝග නොවූ තරම්ය. සංගීතයෙන් පරිබාහිර අංශ ගැන සලකා බලතොත් හොඳම තිරනාටක රචකයා ලෙස පී.කේ.ඩී. සෙනෙවිරත්න (රන්සළු) ද හොඳම කලා අධ්‍යක්ෂ ලෙස ධර්මසේන හේමපාල (රන්සළු) ද නිසැක වශයෙන් තෝරාගත යුතුව තිබිණ.   


කරුණාරත්න අබේසේකරට හොඳම ගීත රචකයා සඳහා වූ සම්මානය හිමිකර දුන් ‘නිදහස් කාහල නාදය රැව් දේ’ වනාහි ප්‍රශස්ත ගීත රචනයකි. එහෙත් එය ‘චිත්‍රපට ගීයක්’ නොවේ. ‘සිඟිති සුරතල්’ නිදහස් දිනයට පෙර දින (1968 පෙබරවාරි 03) ප්‍රදර්ශනය ආරම්භ කිරීම නිසා බාහිරින් එල්ලූ ‘නිදහස් දින’ ගීයකි. (මෙනයින් චිත්‍රපට ප්‍රදර්ශනය වන කාලයට සම්බන්ධ ‘සින්දු එල්ලීම’ මීට ඉහත ද සිදුවිය. ‘ධීවරයෝ’ චිත්‍රපටයට ‘ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා’ ගීතය ඇතුළත් කෙරුණේ එය 1964.04.10 ද‌ා සිංහල අවුරුද්ද නිමිත්තෙන් ප්‍රදර්ශනය ආරම්භ කළ බැවිනි.   


එකල ගායනා ඉදිරිපත් කළ ප්‍රවීණ ගායකයන් රැසක් සිටිය දී යුග ගීයක පේළි කිහිපයක් ගායනා කළ වික්ටර් රත්නායක වැනි ආධුනිකයකුට වසරේ හොඳම ගායකයා සඳහා වූ සම්මානය පිරිනැමීමට තරම් විනිශ්චය මණ්ඩලය තීක්ෂණ වීම ගැන ද වෙසෙසින් සඳහන් කළ යුතුය.   


1969 හොඳ චිත්‍රපට හිඟ වූ වසරකි. 70 පැවැත්වුණු සම්මාන උළෙල සඳහා හොඳම චිත්‍රපට 03 ක් පමණක් නම් කෙරුණේ ඒ නිසා විය යුතුය. ඇම්.ජේ. පෙරේරා (සභාපති), ආචාර්ය සරත් අමුණුගම, එච්.එම්. ගුණසේකර, ඉන්ද්‍රා ද සිල්වා, පණ්ඩිත විලියම් අල්විස්, එච්.එච්. බණ්ඩාර යන විනිශ්චයකරුවන් විසින් තෝරන ලද එම චිත්‍රපට 03 නම් (1) බිනරමලී (2) නාරිලතා සහ (3) සෙනෙහසයි. සම්මාන බෙදී ගියේ ද මේ චිත්‍රපට 03 අතරය. ඒ මෙනයිනි. (1) හොඳම චිත්‍රපටය:- බිනරමලී (මුදලිනායක සෝමරත්න) (2) හොඳම චිත්‍රපට අධ්‍යක්ෂ (ප්‍රද‌ානය කර නැත) (3) හොඳම තිර නාටක රචක:- තිස්ස අබේසේකර (බිනරමලී) (4) හොඳම නළුවා හර්බට් ඇම්. සෙනෙවිරත්න (සෙනෙහස) (5) හොඳම නිළිය:- ස්වර්ණා කහවිට (බිනරමලී) (6) හොඳම කැමරා ශිල්පියා:- ඩබ්.ඒ.බී. ද සිල්වා (නාරිලතා) (7) හොඳම සංස්කාරක:- ටී.ඒ. කමූර් (නාරිලතා) (8) හොඳම සංගීත අධ්‍යක්ෂ:-ප්‍රේමසිරි කේමද‌ාස (නාරිලතා) (9) හොඳම කලා අධ්‍යක්ෂ (ප්‍රද‌ානය කර නැත) (10) හොඳම ශබ්ද පරිපාලනය:- මර්වින් රුද්‍රිගු (නාරිලතා) (11) හොඳම ගීත රචක:- මහගමසේකර (බිනරමලී ‘රටකින් රටකට’) (12) හොඳම ගායකයා:- අමරදේව (බිනරමලී ‘රටකින් රටකට’) (13) හොඳම ගායිකාව:- ලතා (නාරිලතා ‘අවරගිරෙන් නැත’)   


වසරේ චිත්‍රපට දෙස බලන කල මීට වඩා වෙනස් විනිශ්චයක් කවර විනිශ්චය මණ්ඩලයකටවත් දිය හැකි යැයි කිව නොහේ.   


70 න් සරසවි සම්මාන උළෙල තාවකාලිකව නතර විය. යළි එය ඇරඹෙන්නේ 80 දීය. ඒ 79 වසරෙහි ප්‍රදර්ශිත චිත්‍රපට සඳහාය. (පූර්වෝක්ත සම්මාන විනිශ්චය සමාලෝචනය කළ හැකි වූයේ නුවන් නයනජිත් කුමාර විසින් ‘ශ්‍රී ලාංකේය සිනමා වංශයෙ’ හි ඊට අද‌ාළ දත්ත නිවැරදිව සම්පාදනය කරනු ලැබ තිබුණු නිසා බව කෘතවේදීව සඳහන් කරමි.)   


• කෙටි චිත්‍රපට   


 අතීතයෙහි කෙටි චිත්‍රපට නිර්මාණය කළේ රජයේ චිත්‍රපට අංශයයි. වාර්තා චිත්‍රපට වූ ඒවා බොහෝ විට වෘත්තාන්ත චිත්‍රපට සමග සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. ආණ්ඩුවේ පුරාජේරුව පැවසෙන මේ චිත්‍රපට, සිනමා රසිකයන්ට අරුචි විය. අපුල විය. රජයේ චිත්‍රපට අංශයේ ලාංඡනය තිරය මත පතිත වත්ම රසිකයෝ හූ කියන්ට වූහ. 1962 පටන් පූර්වෝක්ත කෙටි චිත්‍රපටවලට වඩා වෙනස් කෙටි චිත්‍රපට වෙසෙසක් කරළියට පැමිණෙන්ට විය. ඒවා නම් ‘නියඳ රටා’, (ආර්.එල් ද සිල්වා/ ඩී.බී. නිහාල්සිංහ/ මි.මී. 16), ‘භක්ති’ (ඩී.බී. නිහාල්සිංහ/ මි.මී. 35) ආදියයි. ‘නියඳ රටා’ නිර්මාණය කරන කාලයේ නිහාල්සිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විය. ‘වෙර’ කෙටි චිත්‍රපටය (මි.මී. 16) කළෝ රංජිත් ලාල් ඇතුළු කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ ශිෂ්‍යයෝයි. ‘භක්ති’ චිත්‍රපටයට 1965 පොදු රාජ්‍ය මණ්ඩලීය කාඩිෆ් චිත්‍රපට උළෙලේදී සම්මානයක් ද හිමි විය.   


 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ‘නියඳ රටා’ නිර්මාණය කරනු දැකීමෙන් උත්තේජනය ලත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුහු (ඔවුන් ඒ බව සිය සමරුවෙහි සඳහන් කර ඇත.) ‘පොල්කිච්චා’ නමින් කෙටි වෘත්තාන්ත චිත්‍රපටයක් (මි.මී. 16) නිර්මාණය කළෝය. එය 1967 ජූනි 03 වැනිද‌ා විශ්ව විද්‍යාලයීය නව කලාගාරයෙහි දී තිරගත විය. එහි කැමරාව, සංස්කරණය සහ අධ්‍යක්ෂණය රංජිත් නිව්ටන් ප්‍රනාන්දුගෙනි. කතාව හා තිරනාටකය බන්දුල විතානගේ ගෙනි. බන්දුල විතානගේ, පියසේන අහංගම, මර්වින් කන්නන්ගර, ස්වර්ණා පියසීලි ආදීහු එහි රඟපෑහ.   


මේ අතර සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ ‘මිනිසා සහ කපුටා’ නමැති කෙටි චිත්‍රපටය 1969 නවදිල්ලි ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී රජත මයුර සම්මානය දිනා ගත්තේය.   


මේ සකලවිධ කාරණා හේතුකොට ගෙන සිනමාව ගැන අවදියෙන් සිටි තරුණයන් තුළ කෙටි චිත්‍රපට කලාව ගැන මහත් වූ උද්‍යෝගයක් හට ගත්තේය. මතු දැක්වෙන කෙටි චිත්‍රපට පෙළ බිහි වූයේ ඒ උද්‍යෝගයෙහි ප්‍රතිඵල වශයෙනි. සතුරෝ (1969/ ධර්මසේන පතිරාජ), සරාගී (1970/ සුනිල් ආරියරත්න), භග්න ආසා (1970/ පරාක්‍රම ද සිල්වා), කළල රූ (1970/අයි. එන්. හේවාවසම්), මනස් පුතෙක් (1970/ පී.යූ.ඩී. පෙරේරා), සනාතන ගැටුමක් (1970/ බර්මින් ලයිලි ප්‍රනාන්දු), මා වැනි බිළින්ද‌ා (1970)/ රංජිත් පෙරේරා) විප්පයෝගෝ (1970/ රෝහණ වෙත්තසිංහ), මේ සියල්ල මිලි මීටර් 35 කළු - සුදු චිත්‍රපට විය. මිලි මීටර් 16න් ඔවුන් මේ චිත්‍රපට නිර්මාණය නොකළේ ඒ සම්බන්ධ කාර්මික පහසුකම් මෙරට නොවූ බැවිනි.   
පූර්වෝක්ත කෙටි චිත්‍රපට අතුරින් කිහිපයක් වෘත්තාන්ත චිත්‍රපට සමග තිරගත කරන ලදී. (සරාගී, මා වැනි බිළින්ද‌ා කෙටි චිත්‍රපට රංජිත් ලාල්ගේ ‘නිම් වළල්ල’ සමඟ තිරගත විය.) මේ හැරෙන්ට තිස්ස ලියනසූරියගේ ‘පිංගොනා’ කෙටි චිත්‍රපටය ඔහුගේ ‘නාරිලතා’ සමග ද අමරනාත් ජයතිලකගේ ‘තවත් දවසක්’ කෙටි චිත්‍රපටය ඔහුගේ ‘ප්‍රියංගා’ සමඟ ද සුගතපාලගේ ‘මිනිසා සහ කපුටා’ ඔහුගේ ‘හන්තානේ කතාව’ සමඟ ද විමලද‌ාස පෙරේරාගේ ‘අපි කවදත් සූරයෝ’ කෙටි චිත්‍රපටය ඔහුගේ ‘සමනල කුමරියෝ’ සමඟ ද ඇන්ඩෘ ජයමාන්නගේ ‘සිගරට් කොටය’ කෙටි චිත්‍රපටය වසන්ත ඔබේසේකරගේ ‘වෙස් ගත්තෝ’‘ සමඟ ද තිරගත විය.   


ඩී.බී. නිහාල්සිංහ 1967 දී ‘කෙටි කතාව’ නමින් කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේ පූර්වෝක්ත තරුණයන්ට මෙන් ‘කෙටි චිත්‍රපට උණක්’ වැලදී තිබුණු නිසා නොව තමා විසින් ගෙන්වන ලද ‘සිනමාස් කෝප් කාචය’ ගැන අධ්‍යයනය කරන්ට තිබුණු වුවමනාව නිසාය. එම අධ්‍යයනය සාර්ථක වූ බැවින් ඔහු ඒ කාචය යොද‌ාගෙන ‘වැලිකතර’ චිත්‍රපටය නිර්මාණ කළේය. ‘කෙටි කතාව’ සිනමාස්කෝප් කෙටි චිත්‍රපටය, සිංහල දෙබස් කැවූ ‘කහ බළල්ලු’ සිනමාස්කෝප් චිත්‍රපටය සමඟ තිරගත විය.   


ටයිටස් තොටවත්ත ‘තෙවත’ නමින් තිරගත කළේ වෘත්තාන්ත තුනක් (තෙ වත) සහිත කෙටි චිත්‍රපට 03 කි.   


ඇතැම් නිෂ්පාදකවරුන් වෘත්තාන්ත චිත්‍රපට සමඟ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කරන්ට උත්සුක වූයේ ඔවුන්ගේ චිත්‍රපටවල ධාවන කාලය අඩුවීම හේතුකොට ගෙනය.   


• චිත්‍රපට අධ්‍යක්ෂවරු   


1968 වන විට සිංහල චිත්‍රපට අධ්‍යක්ෂණය කළ අවසන් ඉන්දීය ජාතිකයා ද සිනමා අමාගම වෙනුවෙන් හැඳල විජය චිත්‍රාගාරයේ සේවය කළ ඇම්. මසාත්න් හෙවත් මොහොමඩ් මස්තාන් එම අවසන් ඉන්දීය ජාතිකයා ය. සිනමාස් සමාගමට සාර්ථක වාණිජ්‍ය චිත්‍රපට කිහිපයක් (‘ධීවරයෝ’, ‘අල්ලපු ගෙදර’, ‘සූර චෞරයා’) අධ්‍යක්ෂණය කළ මස්තාන්ට ‘ආත්ම පූජා’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිටියදී සිය රට බලා යන්ට සිදුවිය. ඊට හේතුව විදේශිකයන් ලවා චිත්‍රපට අධ්‍යක්ෂණය කරවීම ලංකා රජය විසින් තහනම් කරනු ලැබීමයි.   
එල්.එස්. රාමචන්ද්‍රන් නමැති ඉන්දීය ජාතිකයා අධ්‍යක්ෂණය කළ අවසන් චිත්‍රපට 02 තිරගත වූයේ මේ සමයෙහිය. එනම් ‘සරුබිම’ සහ ‘වනසරා’ යි. ජයවිලාල් විලේගොඩට අනුව එල්.එස්.ආර්. ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරුන් අතුරින් සිංහල සිනමාවට අඩුම කළ අධ්‍යක්ෂවරයාය. ඉන්දියානුවකු වුවද සිංහල සිනමාවට ඉන්දීය ලක්ෂණ අඩුවෙන්ම ආරෝපණය කළ තැනැත්තාය. (‘කුරුලු බැද්ද’ සහ ‘සිකුරු තරුව’ ද ඔහුගේ නිර්මාණය.)   


දේශීය දෙමළ ජාතිකයන් කිහිප දෙනෙක් 67-71 පස් වස තුළ සිංහල සිනමා ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වූහ. එනම්, ටී. බවානන්දන් (මනමාලයෝ), ඩී.ඇම්. ද‌ාස් හෙවත් මරියද‌ාස් (අමතක වුණාද, හරි මඟ), ජේ. සෙල්වරත්නම් (ඔහොම හොඳ ද), චුන්ඩුකුලි සෝමසේකරන් (ලන්ඩන් හාමු), ඇම්.වී. බාලන් (ඔබ නැති නම්), ජෝ දේව් ආනන්ද් (ගීතා) ආදී වශයෙනි.   
නළු නිළියන් කිහිප දෙනෙක් ද මේ අවදියෙහි සිනමා ක්ෂේත්‍රයට පිවිසුණහ. එනම්, එල්.එම්. පෙරේරා (හතර කේන්දරේ, හතර පෙරළිය), ඩොමී ජයවර්ධන (දරු දුක), ඩඩ්ලි වානගුරු (සැඟවුණ මැණික), රූබි ද මෙල් (පිපෙන කුමුදු), රෝහිණී ජයකොඩි (හැංගි හොරා), සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව), ශාන්ති අබේසේකර (වහල් දූපත, සිද‌ාදියෙන් හයක්) ආදීහුය.   


 සිංහල සිනමාව ආරම්භ කළ බී.ඒ. ඩබ්ලියු ජයමාන්නගේ අවසන් චිත්‍රපටය වූ ‘මඟුල් පෝරුව’ තිරගත වීමත් ඔහුගේ අභාවයත් සිදු ව මේ සමයෙහි නිර්මාණශීලී නවකයන් කිහිප දෙනකුගේ ආගමනය ද සිදු විය. එනම් මහගමසේකර (තුංමන්හංදිය), සිරි ගුණසිංහ (සත් සමුදුර), දයානන්ද ගුණවර්ධන (බක් මහ දීගේ), රංජිත් ලාල් (නිම් වළල්ල), සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව), වසන්ත ඔබේසේකර (වෙස් ගත්තෝ), ඩී.බී. නිහාල්සිංහ (වැලි කතර), නිහාල් ඒ. ජයසිංහ (ඇමැතිකම), මණික් සන්ද්‍රසාග්‍ර (කළු දිය දහර) වැනි අයයි.   


• පිළි රූ බිඳීම 

 
ඇතැම් කලාකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ විවිධ ක්ෂේත්‍රවල ගොඩ නගා ගත් ප්‍රතිරූප චිත්‍රපට අධ්‍යක්ෂණයත් සමඟ බිඳ ගත් ආකාරය ද මෙ සමයෙහි දකින්ට ලැබිණ. ඔවුනතුරින් පළමුවැන්නා පියසිරි ගුණරත්නය. ඔහු චෙකොස්ලොවැකියාවේ ප්‍රාග්හි සිනමා හා රූපවාහිනී කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිලාභියෙකි. ඔහු සිය නම සමඟ නිතරම භාවිතා කළේ ඇම්.ඒ. (ප්‍රාග්) යන උපාධි නාමයයි. ඔහු රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ කළමනාකරුවෙක් ද විය. සිනමාව සම්බන්ධ පොත් (තිර රචනය/1977) ද පළ කළේය. ඔහුගේ ‘මොකද වුණේ’ චිත්‍රපටය කලාත්මක වශයෙන් හෝ වාණිජ්‍යමය වශයෙන් සාර්ථක වූයේ නැත. ලන්ඩනයේ සිනමා කලාව හද‌ාළ ටී. අර්ජුන ‘කලියුග කාලේ’ චිත්‍රපටයෙන් ද ‘චිත්‍රපට පරිචය’, ‘සිනමා චින්තන’, ‘චිත්‍රපට අධ්‍යයනය’ ආදී පොත් ලියා පළ කර සිනමා ලේඛකයකු වශයෙන් විශිෂ්ටත්වයට පත්ව සිටි අමරනාත් ජයතිලක ‘ආදරවන්තයෝ’ සහ ‘ප්‍රියංගා’ චිත්‍රපටවලින් ද සිය ප්‍රතිරූප බිඳගත්හ. විශිෂ්ට ගණයේ නර්තන ශිල්පියකු, විශිෂ්ට ගණයේ වේෂ නිරූපණ ශිල්පියකු මෙන්ම ‘රන් මුතු දූව’, ‘ගැටවරයෝ’, ‘සාරවිට’ යන චිත්‍රපටවල නිෂ්පාදකවරයා ද වූ ශේෂා පලිහක්කාර, ‘ලක්සෙට කොඩිය’ චිත්‍රපටයෙන් සිය ප්‍රතිරූපය බිඳ ගත්තේය. තව ද ගුවන්විදුලි විකට වැඩසටහන්වල පුරෝගාමියා ලෙස විශිෂ්ට ප්‍රතිභාවක් විදහා පෑ එච්.ඩී. විජයද‌ාස, ‘අබුද්දස්ස කාලේ’ කතා රචකයා සහ සම අධ්‍යක්ෂවරයා ලෙස ක්‍රියා කර සිය ප්‍රතිරූපය බිඳ ගත්තේය.   


• කැමරා කෝණ නිර්මාණය   


ඒ තාක් සිංහල සිනමා නාමාවලින්හි නොදක්නා ලද වගන්තියක් ‘සත් සමුදුර’ නාමාවලියෙහි විය. එනම් ‘කැමරා කෝණ’ නිර්මාණය’ යනුයි. ‘සත් සමුදුරේ’ කැමරා අධ්‍යක්ෂ ඩී.බී. නිහාල්සිංහ එහි කැමරා කෝණ ද නිර්මාණය කර තිබුණේය. කැමරාව ස්ථානගත කරන තැන තීන්දු කරන්නේ ද කැමරා කෝණය මතු නොව ඇතැම් විට කැමරා කාචය පවා තෝරා ගන්නේ ද චිත්‍රපට අධ්‍යක්ෂවරයාය. එසේ තිබියදී කැමරා කෝණ නිර්මාණය තමා වෙත පවරා ගැනීමෙන් කැමරා අධ්‍යක්ෂවරයා කරනුයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ කාර්ය භාරය අවතක්සේරු කිරීමයි. හෑල්ලු කිරීමයි. නිහාල්සිංහ කැමරා කෝණ නිර්මාණය කළේ නම් සිරි ගුණසිංහ ‘සත් සමුදුර’ චිත්‍රපටයේ දී කළේ මොනවාදැයි අසන්ට සිදුවේ.   
ජී.ඩී.එල්. පෙරේරාගේ ‘දහසක් සිතුවිලි’ චිත්‍රපටයෙහි කැමරා කෝණ නිර්මාණය ද නිහාල්සිංහගේය. මුදලිනායක සෝමරත්නගේ ‘බිනරමලී’ චිත්‍රපටයෙහි එබඳු සඳහනක් නැත්තේ එහි කැමරා ශිල්පියා මතු නොව කාර්මික අධ්‍යක්ෂවරයා ද නිහාල්සිංහ බැවිනි. චිත්‍රපටයෙහි අධ්‍යක්ෂවරයා හෑල්ලුවට පත්කරන ‘කැමරා කෝණ නිර්මාණ’ ව්‍යාධිය නිහාල්සිංහගෙන් ඔබ්බට පැතිර ගියේ නැත. 


මතු සම්බන්ධයි....