සිය බාප්පා විජය කුමාරණතුංග මෙන්ම සිනමාවේ වීරයෙක් වෙන්නට ජීවන් කුමාරණතුංගට වුවමනා වී තිබිණි. ඒ සඳහා සුදුසුකම් ඇති කර ගැනීම පිණිස ඔහු බොහෝ වෙහෙස මහන්සි වූයේය. ට්‍රේල් බයිසිකලයක් මිළ දී ගත් ඔහු එය වේගයෙන් පදවන්නට, කඳු උඩින් පන්නන්නට පමණක් නොව එයින් නොයෙකුත් ශිල්ප දක්වන්නට ද පුරුදුපුහුණු වූයේය. කරාටේ වැනි සටන් ක්‍රම ඉගෙන ගත්තේය. රොබින් ප්‍රනාන්දු වැනි සටන් නළුවන් ගේ ඉරියව් අත්හදා බැලුවේය. එහෙත් ඔහුට ලැබුණේ සුළු චරිත සහ දුෂ්ටයාගේ චරිතමය. සිනමාවේ යම් චරිතයකට කොටු වුවහොත් එයින් ගැලවිල්ලක් ඇත්තේම නැත. එසේ රාමුගත වී සිටින්නට ජිවන් අකැමැති වූයේ එම නිසාය.
“ඒ වෙනකොට මම චිත්‍රපටි ගණනාවක දුෂ්ටයා විදියට රඟ පාලා හෙම්බත් වෙලා හිටියෙ.. තනි තරුව චිත්‍රපටියේ වීරයාගෙ චරිතය ලැබෙනවා කියලා දැන ගත්තම මම සතුටට වගේම ආඩම්බරයටත් පත් වුණේ ඒ හින්දයි.. ඒත් හිටි ගමන් ඒ චරිතය වෙන නළුවෙකුට දීලා මට සුපුරුදු දුෂ්ට චරිතෙම ලැබුණා.. ඒ වෙලාවේ මම සෑහෙන මානසික පසුබෑමකට ලක් වුණා.. මට හිතුණෙම චිත්‍රපටියෙන් අයින් වෙන්න.. පස්සෙ හිතුවා නෑ මම මේක රඟ පානවා.. හැබැයි මගේ අරමුණට යන ගමන වෙනස් කරන්නෙ නෑ කියලා..”
හිත හොඳ චණ්ඩියා චිත්‍රපටියට අඩිතාලම වැටුණ ආකාරය සිහිපත් කරමින් ජීවන් කුමාරණතුංග පැවසුවේය.
යසපාලිත නානායක්කාර, සුනිල්සෝම පීරිස් වැනි ජනකාන්ත අධ්‍යක්ෂවරුන් හමු වී චිත්‍රපටියක වීර පෙම්වතාගේ චරිතය රඟ පාන්නට තමන් තුළ ඇති ආශාව ඔවුන්ට ඇඟවුවත් ඔවුන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබුණේ නැත.
“ඔයා දැන් දුෂ්ටයා විදියටනෙ හැමෝම දන්නෙ.. ඒ හින්දා ඔයාව වීරයා විදියට චිත්‍රපටිවලට ගන්න කවුරුවත් කැමති වෙන්නෙ නැති වෙයි.. ගත්තත් රසිකයෝ චිත්‍රපටිය ප්‍රතික්ෂේප කරයි..”
ඔවුන්ගේ ඒ සෘණාත්මක ප්‍රතිචාරවලින් ජීවන් තවත් කඩා වැටුණේය. සිනමාව මුළුමනින්ම අත් හැර දමා සිය උගත්කමින් ප්‍රයෝජනයක් ගැනීම පිණිස රට හැර යාමට පවා ඔහුට සිතිණි.
“දැන් කරන්න තියෙන්නෙ එකම දෙයයි.. අපිට ඕන විදියට අපිම ස්ක්‍රිප්ට් එක ලියන එක.. එතකොට වීරයගෙ චරිතේ රඟ පාන්න ඔයාට පුළුවන්..”
ඔහුගේ මිතුරන් වන ශ්‍රීනාත් බස්නායක සහ රංජිත් සිරිවර්ධන පැවසූහ. ජීවන් එයට එක පයින්ම එකඟ වූයේය. ඒ අනුව රංජිත් හිත හොඳ චණ්ඩියා තිර පිටපත ලිව්වේය. ඔවුහු එය ද රැගෙන එවකට ජනප්‍රියව සිටි චිත්‍රපටි නිෂ්පාදකයෙකු වෙත ගියහ.
“මට මේක කරන්න පුළුවන්.. හැබැයි ප්‍රධාන චරිතේ ඔයාට දෙන්න බෑ..” නිෂ්පාදකයා කීවේය. ඔහු දොම්නසට පත් වූයේය.
තවත් දෙතුන් දෙනෙකුගෙන් ලැබුණේත් ඒ ප්‍රතිචාරයමය.
“ඒක හරියන්නෙ නෑ බං.. අපිම මේක නිෂ්පාදනය කරමු..”
අවසානයේදී ජීවන් යෝජනා කළේය.
ඔහුට මුදල් තිබුණේ නැත. ඔහු කළේ තමන් විසින් රුපියල් පනස් පන් දහසකට මිළ දී ගෙන තිබූ මහේන්ද්‍රා ජීප් රථය තිස්පන් දහසකට විකිණීමය. චිත්‍රපටියේ මූලික වියදම් සඳහා යොදා ගත්තේ ඒ මුදලය. ඇලරික් ලයනල් නෙගටිව් පට ටිකක් දුන්නේය. අනෙක් මිතුරෝ ද ශක්ති ප්‍රමාණයෙන් උදව් කළහ. ප්‍රධාන නිළිය වූයේ සබීතා පෙරේරාය.
“මම ලොකු අධිෂ්ඨානයකින් වගේම කැප වීමකින් මගේ චරිතය රඟ පෑවා.. එක දර්ශනයක් තිබුණා මාව ලුහුබැඳගෙන කෙනෙක් එනකොට මම ෙට්‍ර්ල් බයික් එක මරදානේ ගුවන් පාලම හරහා වේගයෙන් පදවනවා.. ඒ දර්ශනය කරන්න ආදේශක නළුවෙක් හිටියා.. ඒ කාලෙ චිත්‍රපටියක් රූගත කරනවා කියලා දැන ගත්තම දාහක දෙදාහක ජනතාවක් ඒක නරඹන්න එනවා.. මේ දර්ශනය නරඹන්නත් ඒ විදියට කට්ටිය ඇවිත් හිටියා.. ඔවුන් කියන්න පටන් ගත්තා ඔය දර්ශනය රඟ පාන්නෙ ජීවන් නෙමෙයි වෙන කෙනෙක් කියලා.. ඒ කතාබහ ඇහෙනකොට මට හිතුණා බයික් එකෙන් කඳු තරණය කරන්න පුරුදු වෙලත් ඉන්න එකේ මේක කරන්න බැරි මොකද කියලා.. ඉතින් මම ඒක කළා..”
ඔහු කීවේ තෘප්තිමත් මඳහසක් පාමිනි.
සිය ඉලක්කය සපුරා ගැනීමේ අරමුණ විනා බියක් නම් ඔහු තුළ තිබුණේම නැත.
මෙහි චරිතයකට විජය කුමාරණතුංග යොදා ගන්නා ලෙස බොහෝ දෙනෙක් යෝජනා කළහ. ජීවන් එයට කැමති වූයේ නැත.
“විජය බාප්පව ගත්තානම් එයා හින්දා චිත්‍රපටිය සාර්ථක වුණා කියලා හැමෝම කියන්න තිබ්බා.. ඒත් එයාගෙ ආශීර්වාදය මට ලැබුණා.. මම කිව්වා මේකෙ එක ගීතයක් එයාට ගායනා කරන්න කියලා.. එයා මුලින් කැමති වුණේ නෑ.. ජෝති අයියට දෙන්න කියලා කිව්වා.. ජෝති අයියත් ගීතයක් ගායනා කරනවා කිව්වට පස්සෙ තමයි කැමති වුණේ..” ඔහු කීවේය.
බොහෝ හැලහැප්පිලි මැද වුවත් ලක්ෂ හතරහමාරක මුදලක් වැය කර චිත්‍රපටිය අවසන් කර ගන්නට ජීවන්ට හැකි වූයේය. ඒ කාලයේ චිත්‍රපටියක් තිරගත වන්නේ වසරකට අධික කාලයක් පෝලිමේ තිබීමෙන් පසුවය. හිත හොඳ චණ්ඩියාත් ඒ පෝළිමට එක් වූයේය.
ජීවන් කුමාරණතුංග ෂෙරීන් සමඟ විවාහ වූයේ චිත්‍රපටියේ කටයුතු සමඟ කාර්යබහුලව සිටි කාලයේමය. 1987 චිත්‍රපටිය ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙද්දී ඇය ලොකු දියණිය කුස දරාගෙන සිටියාය.
“බොරැල්ලේ රිට්ස් එකේ පළවෙනි දර්ශනය වෙනුවෙන් ටිකට් එකක් ගන්න මම නැකතක් බලාගෙන තිබුණා.. අපි යනකොට ඒ හරියේ ලොකු ට්‍රැෆික් එකක්.. මම හිතුවේ හදිසි අනතුරක් හින්දා වෙන්න ඇති කියලා.. නැකතත් පහු වෙන්න කිට්ටු හින්දා මම ෂෙරීන්ට කිව්වා අපි බැහැලා පයින් යමු කියලා.. ඒත් ඒ සෙනඟ ඇවිත් තිබුණේ හිත හොඳ චණ්ඩියා බලන්න.. රිට්ස් එකේ ගේට්ටු පවා කඩාගෙන සෙනඟ ඇතුළට ගිහින් තිබ්බා.. ඔවුන් මාව උස්සගෙන ගියෙ.. මම ෂෙරීන්ගෙ අත අල්ලාගෙන.. ඒ මදිවට එයා ප්‍රෙග්නන්ට්.. ඇත්තටම එදා දවසනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ..” ජීවන් කීවේය.
එය ආරම්භක සිනමා ශාලාවලම දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වූ අතර රුපියල් ලක්ෂ අසූ පහක පමණ ආදායමක් ලබා ගන්නටත් සමත් වූයේය. ඉනික්බිතිව ඔහුට වීරයාගේ චරිත පමණක් නොව රජ චරිත පවා රඟ පාන්නට ඉඩ ලැබිණි. මේ වන විට ඔහු සියයකට අධික චිත්‍රපටි හා ටෙලි නාට්‍ය පහළොවක පමණ ද රඟ පා තිබේ.
ක්‍රියාකාරී දේශපාලනඥයෙකු වූ ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ 1984 වසරේදීය. ඔහු ඇමති ධුර කිහිපයක් ද දරා තිබේ. ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද ජීවා චිත්‍රපටිය නොවැම්බර් මාසයේ තිරගත වෙන්නට නියමිතය.
චන්දි කොඩිකාර