උස් කඳු ශිඛර වලින් ගහණ වූ ශීත හිමාලය කවදාක හෝ තරණය කිරීම ඕස්ට්‍රේලියානු වෛද්‍ය ශිෂ්‍යයෙකු වූ ජේම්ස් ස්කොට් තරුණයාගේ සිත තුළ ඇදී තිබූ සිහිනයක් විය. බොහෝ නේපාල වැසියන් තරණය කිරීමට තබා සිතීමටවත් මැළි කමක් දැක් වූ මෙම අපූරු, එහෙත් බියකරු මෙන්ම අතිශයින් දුෂ්කර වූ හිමාල තරණය ඔහු තුළ ජනිත වන්නට ඇත්තේම දෛවය විසින් නියම කර තිබූ මෙම හැලහැප්පීම් සමුදායට මුහුණ දීම ඔහු හට හිමි කර තිබූ නිසාම වන්නට ඇත.
පුරා දින හතළිස් දෙකක් (42) කිසිදු ආහාරයක් හෝ හරියාකාර උණුසුම් ඇඳුම් හෝ නොමැතිව අතිශයින්ම පීඩාවක් ගෙනදුන් එම බියකරු හිම කතරේ මං මුලා වී ගත කළ ඔහුගේ ජීවිතය බේරී තම ආදරණීයයන් කරා ඒමට ලැබුණේ ඔහුගේ අදරැති සොයුරියගේ සැබෑ වූත්, නිර්මල මූත් සහෝදර ප්‍රේමය හා එනිසාම බැඳුනු අප්‍රතිහත ධෛර්යත් නිසාවෙනි.
නේපාලයේ පීඩ් නමැති ගම්මානය වෙත පැමිණ සිටි ඔහු එදින අවදි වන විට ඔහු නවාතැන් ගෙන තිබූ කුටිය තදබල අඳුරක ගිලී තිබුණේය. ඔහු හට දැනුණේ වෙන දිනවලදී දැනුණු ශීතලයටත් වඩා දැඩි වූ ශීතලකි. මදින් මද ශීතල අඩු වී ලාහිරු රැස් වලාකුළු තුළින් රිංගා එනවිට ඔහුට තරමක සතුටක් දැනින. ඔහු සමගම නේපාලයට ආ ඔහුගේ මිතුරා වූ ටිම් හූපර්ද ඒ වන විට අවදිව සිටියේය. ටිම් ද ඔහු හා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබමින් සිටියේය.
පීඩ් නමැති ගම්මාන හිමාලයට කිට්ටුව පිහිටා තිබේ. හිමාලය තරණය කිරීමට පෙර එළි පහලියේ ඇවිද ඒ පිළිබඳ කිසියම් වූ අවබෝධයක් ලබා ගැන්ම ඔවුන්ගේ අරමුණ විය. ලැගුම්හලෙන් පිටත එකදිගට හිම යායකින් වැසී ගොස් තිබුණේය. කවුළුව ළඟට වී පහළින් වූ මිටියාවත දෙස බලා සිටි විට, එහි සිට ඉහළට කැරෙකෙමින් නැවත කැරලි ගැසෙමින් ආ මීදුම් මාලාවක් තැන තැන විසිරෙමින් නැවත එක් වෙමින් ඔවුන් උන් දෙසට ඇදී ආවේ අපූරු මනස්කාන්ත සිතුවමක්ද මවා පාමිනි.
හිරුඑළිය වැටී, හිම කැට දිය වෙමින් ආ විට පසු දිනයේ ඇරඹීමට තීරණය කරගෙන තිබූ හිමාල තරණය ගමනට පෙර සූදානමක් වශයෙන් තිබූ දුෂ්කර ගමන් මගවල් ගැන සොයා බලා ඉන්පසු කත්මණ්ඩු වෙත ගොස් ගමනට අවශ්‍ය සියලුම දේත් ආහාරත් සූදානම් කර ගැනීම ඔවුන්ගේ අදහස විය. එම උදෑසන ලැගුම් හල් පාලකවරයා ඔහු වෙත ආයේය. උදෑසන ආහාරය සඳහා බත් කැඳ කෝප්පයක් ගෙන එන්නදැයි ඔහු විමසා සිටියේය. බත්කැඳ යනු ඉතා හොඳ පෝෂ්‍යදායී ආහාරයක් වන බැවින් ඔහු එයට ඉඳුරාම කැමැත්ත පළ කර එම දිනය පුරාම හිමපතනයට ඉඩ තිබිය හැකිදැයි අසා සිටියේය.
‘‘නැහැ.. උදය කාලය ඔහොම වුණාට දවල් වන විට හරියාවි...’’ යයි ඔහු පවසා සිටියේය.
ලොකු කැඳ කෝප්ප දෙක එක හුස්මට බී අවසන් කළ ඔවුන් දෙදෙනා එළියට බැස ගත්තෝය. ජේම්ස් සැදැහැවත් කතෝලිකයෙකි.
අහස දෙස බලා ඔහු දෙවියන්ට යාඥා කළේය. බියකරු බෑවුම් වලින් පිරි දුෂ්කර ගමන් මාර්ගයේ විශාල ගල්තලා පසු කරමින් ඔවුනට හමු වූ සෑම ගම්මානවාසියකුගෙන්ම ගමන් මගවල් පිළිබඳ විමසමින් දැඩි උනන්දුවකින් ඔවුන් දෙදෙනා ගමන් කළේ එම අපූරු මනස්කාන්ත පරිසරයේ වූ මිහිරියාව හොඳින් රස විඳ ගනිමිනි.
කෙසේ වුවද හිමාල තරණයේදී එහි කාලගුණය හිටිහැටියේ වෙනස් වන බවත්. එවැනි අයහපත් කාලගුණයකදී කඳු නැගීම ඉතාමත් භයානක විය හැකි බැවින් එසේ නොකළ යුතු බවත් ඔහු අසා තිබුණි. එසේ ගමන් කරන අතරදී, හිමාලය තරණය කර ආපසු එමින් සිටි විදේශිකයෙකු ඔවුනට මුණගැසිනි. ඔහු විසින් පාවිච්චි කරන ලද නිදන බෑගයක් ඉතා අඩු මිලකට ලබාගැන්මට ජේම්ස් හට අවස්ථාව ලැබිණ. ඒ ඇරෙන්නට ඔහුගේ ඔලොගුව තුළ වූයේ ගමන අතරතුරේදී හපන්නට ගෙන ආ චොකලට් බාර් දෙක හා ඔහු නිතර කියවීමට පුරුදුව සිටි කෘති දෙකද පමණකි.
හිටිහැටියේම කිසිදු පෙර ලකුණක් නොමැතිව කඩා වැටුණු හිමවැස්සත් සමඟ වේගවත් සුළං ධාරාවක් හමන්නට පටන් ගත්තේය. ඒ මොහොතේ ඔවුන් සිටියේ තීව්‍ර බෑවුමක් කෙළවරේය. එම සුළඟ දරුණු වූවා නම් ඔවුන්ගේ ජීවිත බෑවුමෙන් පහළ ගල්කුළු අතරේ සිරවී අවසන් වීමට ඉඩ තිබිණ.
එදින ඇත්ත වශයෙන්ම ඔවුන් දෙදෙනා ලැගුම්හලෙන් එළියට ආ නොයුතුව තිබිණ.
අවුරුදු 22ක යෞවනයෙකු වූ ජේම්ස් ස්කොට් තම මිතුරා සමඟ නේපාලය බලා පැමිණියේ, කත්මන්ඩු හී බීර් ආරෝග්‍යශාලාවේ කටයුතුවලට වෛද්‍ය සිසුන් හැටියට සහභාගි වී අත්දැකීම් ලබා තම මවුරට බලා යාමේ අදහසිනි. එම කාල වකවානුව 1991 නොවැම්බරය විය. ඔවුන් හට තම මවුරට බලා යාමට ගුවන්ගත වීමට නියමිතව තිබුණේ දෙසැම්බර් 28දාය. නොවැම්බරයේ සිට දෙසැම්බරය තෙක් ඔවුනට ඇති තරම් කාලයද ඉතිරි වී තිබුණේය.
ඔවුන් දෙදෙනා තවදුරටත් ගමන් කරන්නට වූවෝය. ඒ අතරතුරේදී පහළට බැස එමින් සිටි ජර්මානු යුවළක් ඔවුන්ට මුණගැසිණි. ඔවුන් හා පිළිසඳරේ යෙදෙද්දී ඔවුන් පවසා සිටියේ ඊසාන දෙසට වන්නට ඇති ලුරිබිනා දුර්ගය ඔස්සේ ගමන් කළ හොත් අපූරුවට හිමාලය දර්ශනය කරගත හැකි බවත් එය අතේ දුරින් ඇති ලෙසට තම හස්තයෙන් මුව ස්පර්ශ කර ගන්නට හැකි තරමට ළංව ඇතැයි හැඟෙන බවත්ය.
කෙතරම් දුෂ්කරතා, බාධක තිබුණත් හෙට දිනයේ දී තම අභිලාෂය වූ, තම සිහිනය වූ හිමාලය තරණය ඇරඹුම ඔවුන් දෙදෙනාගේ තීරණය විය. ආපසු තම නැවතුම්පල වෙත යාමට පෙර කත්මන්ඩු නුවර වෙතින් එම ගමනට අවශ්‍ය කරන දේ ආහාර හා තවත් දේවල් සපයා ගැනීම ඔවුන්ගේ අදහස විය.
ඔවුන් කලින් යාමට තීරණය කර තිබූ මාර්ගය වෙනස් කර ජර්මානු යුවළ ගමන් මග ඔස්සේ ගමන් ඇරඹීමට සිතුවේ එම ජර්මන් යුවළ පැවසූ පරිදි වඩාත් හොඳ අත්දැකීම් ලබාගැනීමේ අටියෙනි.
‘‘ඔබලා යන අතරේදී හිම වැටෙන්නට පටන් ගතහොත් වහාම ආපසු හැරී ඒමට වග බලා ගන්නත් ඕන... යි’’ එම කාන්තාව අතිශයින්ම අනතුරු හඟවන ස්වරයෙන් පැවසුවේ ඔවුන් වෙත ගැඹුරු බැල්මක්ද හෙලමිනි.
ඔවුන් දෙදෙනා තවත් මඳ දුරක් ඉදිරියට ගමන් කරද්දී, කඳු තරණය සඳහා යමින් සිටි තවත් ඕස්ට්‍රේලියානුවෙක් ඔවුනට හමු විය. ඔහු මාක් ෆුල්ටන්ය. තනිවම ඇවිදගෙන යමින් සිටි ඔහු හා එක් වූ ජේම්ස් හා ටිම් එකිනෙකා හා විස්තර හුවමාරු කර ගනිමින් එම දුෂ්කර මාර්ගය දෙපසින් දක්නට තිබූ අපූරු සුන්දර දසුන් නැරඹූහ. හිටිහැටියේ ටිම් ගේ පාදය ගලක වැදී තුවාල වී ඔහුට ඇවිද ගන්නට අපහසු බවක් දැනෙන්නට විය. ඔහු හට හැරී තම නවාතැන් පොළ වෙත යන ලෙස කී ජේම්ස් හා මාක් තවත් දුරක් ඉදිරියට ඇවිද ගියෝය.
දැන් නම් විඩාපත් බව හොඳටම දැනේ. මඳ සමතලා භූමියක තනා තිබූ ගිමන්හලක් වෙත පා තැබූ ඔවුන් දෙදෙනා උණුසුම් තේ කෝප්පයක් පානය කළෝය. ගත හිරිගඩු නංවමින් දැනෙමින් තිබූ ශීතලය මඳකට හෝ දුරස් වූ බවකුත් ප්‍රාණවත් බවකුත් තම විඩාවට පත් වූ සිරුරුවලට දැනෙන්නට වෙයි. ඒ අතරතුරේදී ලොරිබිනා දුර්ගය පසුකර යාමට පැය හතරක කාලයක් පමණ ගතවන බව ඔවුන් හා කතාබහට එක් වූ ගිමන්හල් පාලකවරයා ඔවුන් දැනුවත් කළේය. ලොරිබිනා දුර්ගය වෙතට යාමට වෘක්‍ෂලතාදියෙන් හා ගල්පර්වත වලින් ගහණ වූ පටු කෙටි මාර්ගයක් තිබෙන බවත් ඔවුන් වැනි ජවසම්පන්න, ශක්තිමත් තරුණයනට එම කෙටි මාර්ගය ඔස්සේ යාම එතරම් දුෂ්කර දෙයක් නොවනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
මද වේලාවක් ගත වී ගිය පසු අත්මේස් වලින් ආවරණය වුණු අත කුටියෙන් එළියට දමා බැලූ ජේම්ස් හට- කුඩා හිමකැට තම අත්ල මත පතිත වනු දැනී ගියේය. ඔහුගේ බියමුසු බැල්ම වටහා ගත් ගිමන්හල් පාලකවරයා කීවේ.
‘‘බයවෙන්න දෙයක් නැහැ....’’ යනුවෙනි
‘‘එහෙම නම් අපි ආපසු ගිහින් හෙට, ගමන පටන් ගමු... ටිම් ගෙ කකුලෙ තුවාලෙ නිසා එයාට එන්න බැරි වේවි. අපි දෙන්න හෙට හමුවෙමු.... කත්මන්ඩු වලින් අත්‍යාවශ්‍ය දේවල් ගන්නත් ඕනැ... ඒ නිසා මට ඉක්මනට යන්නට ඕනැ..’’ ජේම්ස් කීවේය. ඔවුන් දෙදෙනා ගිමන්හල පාලකවරයාගෙන් සමුගෙන තම ආපසු ගමන ඇරඹූහ.
අහසේ අඳුරු වලාකුළු පිරී තිබේ. ඒවා පාවෙමින් තිබුණේ ඔවුන් දෙසටය. මෙසේ පැයකටත් වැඩි කාලයක් ඔවුන් දෙදෙනා ආපසු ගමන් කළෝය. කාලගුණය ඉතාමත් අඳුරු ස්වභාවයක් ගෙන තිබුණෙන් ඔවුන්ගේ සිත් තුළද පැවතියේ අවිනිශ්චිත බවකි. හිටිහැටියේ හිමිකැට රැසක් බරට බරේ ඔවුන් මතට පතිත වන්නට පටන් ගත්තේය. ඔවුන් ගමන් ගත් පටුමාර්ගය ඝන වූ මීදුම් පටලයකින් වසා දැමුනේ ඝන සුදු රෙද්දක් එකදිගට එලුවාක් මෙන්ය. මීදුම අතරේ අත පත ගාමින් එකිනෙකාගේ අත් තරයේ අල්ලා ගත් ඔවුහු තම මාර්ගය සොයන්නට වූහ. ඒ අතරේ මාක් තම ඔලොගුව තුළ වූ මාර්ග සිතියමද විදුලි පන්දමද අතට ගෙන එහි වූ එක් මාර්ගයක් ඔස්සේ තම ඇඟිල්ල දුවවමින් ඒ ඔස්සේ යන්නට ජේම්ස් වෙත යෝජනා කළේය. එහෙත් ඔවුනට වූ ලොකුම ගැටලුව නම් එම ඝන මීදුම් පටලය මැදින් ගමන් මං සලකුණු සොයා හරිමගට අවතීර්ණ වීමයි.
‘‘අපි ආපහු යමු..’’ හිම වැටීම නතර වෙනකල් අර ගිමන් හලේම ඉමු..’’
ජේම්ස් යෝජනා කළේය. එහෙත් නොයෙකුත් වාද විවාද, යෝජනා අතරින් මාක් එයට එකඟතාවයක් පළ කළේ නැති බැවින් දෙදෙනා දෙපසින් ගමන් කර නියමිත මගට එළඹීමට කතිකා කර ගත්තෝය.
‘‘කඳු නගින්නන් හැම විටම එකටම ඉන්න ඕනැ..’’ පළපුරුදු කඳු නගින්නෙකු ඔහුට දුන් උපදේශයක් ජේම්ස්ට සිහි විය. එහෙත් තමනට හිස කැක්කුමක්ද දැනීගෙන එයි. උදයේ බිව් කැඳ කෝප්පය පමණි. ජේම්ස් ෆිඩ් හි වූ තම නවාතැන් හල වෙත යාමට තීරණය කළේය. ඔහුට තමන් ආ මග සලකුණු මතක නොවේද? ‘‘එහෙනං අපි හෙට හමුවෙමු...’’ ජේම්ස් අතට අත දී මාක් ගෙන් සමු ගත්තේය. මාක්, ජේම්ස් හැරුණු දිශාවට පිටුපා අනිත් දිශාවට හැරුණේය.
පීඩ් බලා ආපසු ඒමේ අදහසින් ඔහු පෙර දී දැක තිබූ මතකයේ සටහන් කරගත් කුඩා දියපාර ඔස්සේ පහළට ගමන් කිරීම ඔහුගේ අදහස විය. සියලුම මඟ සළකුණු හිම පතනයෙන් වැසී ඇත. හිමපතනය තවත් වේගවත්ව එක දිගට ඇදහැළෙන්නට වෙයි. ජේම්ස්ගේ හිස්වැස්ම හිමකැටවල තෙතමනයෙන් තෙමී ගොසිනි. සිරුර මත ගලායන ශීත ජලය ගසා දමන්නට ඔහු නිශ්ඵල උත්සාහයක් දැරීය. දෙපැයකටත් වඩා කාලයක් මංමුලාව ඒමේ අත ඇවිද ගිය ඔහුට පීඩ් නමැති ගම්මානය සොයා ගන්නට හැකියාවක් නොවීය.
මහත්සේ අසරණ වූ හැඟීමෙන් ඔහු තම පිට රැඳි ඔලොගුව තුළින් එහි වූ මාර්ග සිතියම එළියට ගත්තේය. ගම්මාන දෙකක් අතරින් ගලා එමින් ගංගාවකට එක්වන කුඩා දිය පාර එහි සටහන් වී තිබිණ. එම දියපාර ඔස්සේ ගියහොත් තාලු නමැති ගම්මානය වෙත ළඟා විය හැකි යයි විශ්වාසය ඔහු තුළ හටගත්තේය. ඒ වන විට දහවල පසු වී තිබූ අතර සැඳෑවට පෙර තාලු වෙත යාමට හැකි නොවුවහොත්, රාත්‍රිය කොහේ හෝ ගල්කුලක් යට ගෙවා දමා ඊළඟ දිනයේ අළුයම් කාලය වන විට හෝ එහි ළඟා වීමට හැකි වෙනු ඇත. සුබවාදී සිතිවිලි සිතේ ඇති කර ගනිමින් එම රුදුරු ශීතලය මධ්‍යයේ කටුපඳුරු රැසක්ද මග හරිමින් ඔහු ගමන් කළේ මාක්ද තමන් මෙන්ම මංමුලා වූවාදැයි සිතමිනි.
....තව ටික දුරයි..... තව ටික දුරයි... ඔහු තමාවම ධෛර්යමත් කර ගනිමින් තවත් බොහෝ දුරක් ඇවිද ආවද කිසිදු ගම්මානයක ලකුණක් ඔහුගේ නෙත නොගැටිණ. එයට හේතු වූයේ එම දියපාර හිටිහැටියේ අතුරුදන්ව යාමයි.
තව තවත් ඇදහැලෙන මුරුගසන් හිම පතනයෙන් මිදෙන්නට නම් සෙවනක් සොයා ගන්නට සිදුව ඇත. තරමක් දුරකින් එක යායට පැතිර ගිය විශාල වූ කළුගල් පර්වතයක් ඔහුගේ දෑස ගැටුනේය. විඩාබර පාද ඔසවා ඇවිදි ගිය ජේම්ස් ගලින් නිර්මාණය වූ පියස්සක් බඳු ආවරණයක් යටට වූයේය. එයි සුළඟින් හා හිමපතනයෙන් ආවරණය වූ ආරක්‍ෂිත ස්ථානයකි. විදේශිකයාගෙන් මිලදී ගත් උණුසුම් නිදන බෑගය තුළට ගුලි වන්නට පෙර, තෙතබරිතව තිබූ සියලුම ඇඳුම් උනා ගල්කුලක් මත වැනූ ඔහුට දැනෙන්නට වූයේ ඉමහත් වූ කුසගින්නකි. එමෙන්ම තදබල ශීතලකි.
හිමාලය තරණය ඇරඹීමට සූදානම් ව තිබූ පසු දිනයේ බැවින් කිසිදු ආහාරයක්, අවශ්‍ය, ඇඳුම්, බීමට ජලය හෝ කිසිදු දෙයක් ඔහු ගෙනැවිත් තිබුණේ නැත. තම සාක්කුවේ දාගෙන ආ චොකලට් බාර් දෙක පමණක් සන්තක වූ එකම ආහාරයයි.
කුමක් කරන්නද! එක චොකලට් බාරයක් මුව තුළට දමාගත් ජේම්ස් නිදන බෑගය තුළට රිංගා ගුලිවූවේය. හෙට උදයේ තාලු වලට යනවමයි. යනුවෙන් ඔහු තමාටම ශපථ කර ගත්තේය.
හිමිදිරි උදයේ අවදි වූ ඔහු ගත හිරි වට්ටන ශීතලය හා තෙතබරිතව තිබූ ඇඳුම් ඇඳ ආත්ම විශ්වාසයෙන් යුතුව ගමන ඇරඹුවේය. නැවත හමු වූ දියපාර දිගේ ඇවිද යමින් බොහෝ දුරක් ගියද තාලු ගම්මානය ඔහුට හමු නොවීය. එය දැන් දැන් නෙත ගැටේවි යයි මහත් වූ බලාපොරොත්තුවක් ඔහු තුළ ජනිත වී තිබුණ ද දැන් දැන් ඔහුට තමා කෙරෙහිම හට ගන්නේ විශාල වූ කෝපයකි.
මම මොකක්ද මේ කර ගත්තේ.... මම අතරමං වෙලාද... දරාගැනීමට නොහැකි තරම් වූ කටුක ශීතලය හා විඩාව අතරතුරේදී පය ලිස්සා ඔහු දියපාරට ඇද වැටුනේ කොරේ පිටට මරේ කියන්නාක් මෙනි. තෙත බරිතව තිබූ ඇඳුම් වලින් ජලය වැක්කෙරෙන්නට වූවේය. ඉතාමත් අපහසුවෙන් දියපාර වෙතින් ගොඩ වූ ඔහු හට බෑවුම් අතරින් සීරුවට තම පාද තැබීමට සිදුවූයේ, මොහොතක ප්‍රමාදයකින් පහළ වූ ප්‍රපාතයේ නතර වීමට සිදු වෙතැයි යන බිය නිසාය.
තමන් සොයා ආ ගමන් මගද වෙනස් ව ගොසිනි. තෙතබරිත වූ ඇඳුම් සිරුරේ දරාගෙන, අධික ශීතලය හා කුසගින්නට මුහුණ දෙමින් තවත් දිනයක් ගතකිරීමට නොලැබේවා යන්න ඔහුගේ ප්‍රාර්ථනාව විය. දුර ඈතකින් ඇස ගැටුණු උස් ගසක් ඔහුගේ ඉලක්කය වූවේය. එය වෙතට ගමන් කළහොත් ගමන් මගක් සොයා ගත හැකි වනු ඇත. සත්තකින්ම ඔහු තව තවත් ඉහළට ගමන් කර තිබුණේය. මුළු සවස් කාලයම ඔහුට සිදුවූයේ ඉබාගාතේ ඇවිදිමින් ගමන් මගක් කිසිදු අයුරකින් හෝ නෙදැක එම පාළු රුදුරු හිමයේ තවතවත් මං මුලාවීමටය.
තවත් කුසගින්න දරාගත නොහැකි තරම්ය. ඉතිරිව තිබු එකම චොකලට් බාරයෙන් කැබලි දෙකක් කඩාගෙන මුව තුළට දමාගෙන හපන අතරේ ඔහු තමා වැටී සිටින දුංඛිත, අසරණ තත්ත්වය පිළිබඳව කල්පනාවට වැටුණේය. අසල වූ කුඩා ගල් ගුහාවක් තුළට ගොඩවැදුණු ජේම්ස්, තම නිදන බෑගය තුළට රිංගා එතුල ගුලි වී තමන්ව මෙම ව්‍යසනයෙන් ගලවා ගන්නා ලෙසට දෙවියන්ගෙන් ඉල්ලා සිටියේය.
මදින් මද තම ජීවිතය එම රුදුරු හිමේ දිය වී යන බවක් ඔහුට දැනෙයි. නිදි බෑගය තුළ ගුලි වී සිටිමින්ම තම ඔලොගුව තුළ තිබූ තම පෙම්වතියට නවාතැනේ සිටියදී බාගෙට ලියූ ලිපිය අතට ගත් ඔහු එය කඳුළු පිරි දෑසින් කියවන්නට වූවේය. ඇය ගෝයි රියාන්ය. එම ලිපිය බාගෙට ලියූවක් බැවින් එහි තවත් ඉඩ ඉතිරිව තිබුණේය.
බියකරු හිමයක පිහිටි හිමෙන් වට වූ ගල් ගුහාවක දරාගත නොහැකි ශීතල හා කුසගින්නේ තමා ඇද වැටී සිටින දුංඛිත තත්ත්වය කවුරු නම් දනීද? තමන් මේ මුහුණ දී සිටිනුයේ වේදනාකාරී බියකරු මණයකට නොවේද? මින් මතු කිසිදාක තම සමීපතමයින් දැකගන්නට නොලැබෙනු ඇත. ඔලොගුව තුළ වූ තම පෑන අතට ගත් ඔහු එම ලිපියේ අනිත් පස මෙම වදන් කිහිපය ලියා තැබුවේ ඉකි බිඳ බිඳ අඩමිනි.
මෙම ලිපිය සොයා ගන්නා ඔබටයි. මම ජේම්ස් ස්කොට් කරුණාකර මෙම ලිපිය මගේ පෙම්වතිය වන ගේයි රියාන් හට ලැබෙන්නට සලස්වන්න. ඇගේ ලිපිනය පහතින් ලියා ඇත. මගේ මරණය ඉක්මණින්ම සිදු වෙන බවක් හැඟෙයි. කුසගින්න හා අධික ශීතල දරාගත නොහැක්කෙමි.
ඉතා ප්‍රවේශමින් ඔහු එම ලිපිය තම ලෝගුවේ ඇතුල් කවරයේ තැන්පත් කළේය. ඉන් ඉක්බිතිව තමන් සන්තකයේ තිබූ අවසන් චොකලට් කැබැල්ලද මුව තුළට දමා ගත්තේය.
මේ අතරතුර 1991 දෙසැම්බරයේදී ජේම්ස් ගේ ආදරණීය එකම සොයුරිය වූ ජොඈන් සහ ඇගේ සැමියාගේ විවාහ සංවත්සරය යෙදී තිබිණ. පුරා අවුරුදු දෙකකටත් වැඩි කාලයක් පශු වෛද්‍යවරුන් ලෙස බ්‍රිතාන්‍යයේ සේවය කළ ඔවුන් ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු සමරණ පළමුවන සංවත්සරය එය විය. එබැවින් එය ඔවුන් දෙපළට මෙන්ම දෙපස ඥාතීන්ටද විශේෂ සතුටක් ගෙන දුන්නද එම ප්‍රීතිය භුක්ති විඳීමට ජේම්ස් ඔවුන් හා නොසිටීම යම් තරමකට දැනෙන අන්දමින් ශෝකයක්ද එක් කළේය. කෙසේ වෙතත් කාලයක සිට ආසාවෙන් බලා සිටි දෙයක් වූ බැවින් ඔහුගේ නික්ම යාමට බාධා කිරීම නුසුදුසු බවකද ඔවුනට හැඟුනේය. සත්තකින්ම ඔවුන් සිතුවේ ජේම්ස් හිමාල තරණය සතුටින්, රස විඳිමින්, විනෝදයෙන් ගත කරමින් සිටිනා බවය.
නත්තල පසු වී සිවු දිනක් ගතව යද්දී, ජේම්ස් සමඟ නේපාල ගමනට එක් වූ ටිම් හූපර් වෙතින් ඔවුන් වෙත ලැබුණු දුක්මුසු පණිවුඩය, ස්කොට් පවුල හා එම සමීපතමයින්ගේ නත්තලේ මිහිර හා සතුට සැනෙකින් අතුරුදන් කර දැමුවේය.
හිමේදී ජේම්ස් ස්කොට් ගේ අතුරුදන් වීම පිළිබඳව ටිම් හූපර් විසින් නේපාලයේ ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය වෙතද දැනුම් දී තිබුණු අතර එම කාර්යාලය විසින් හිමාලය අවට පොලිසිවලට හා රෝහල් වලටද දැනුම් දීමට වහා පියවර ගෙන තිබිණ.
පොලීසිය ජේම්ස් සොයා ඔහු යන්නට ඇතැයි සැක කෙරුණු සියලුම දුර්ග මාර්ග ඔස්සේ ගවේෂණ කණ්ඩායම් යොදවා තිබිණ. ඒ අතරම කඳු නැගීමේ මනා පළපුරුදු, දක්‍ෂ ෂර්පාවරුන්ගෙන් සමන්විත සෑම අයෙකුගෙන්ම ඔහු පිළිබඳ අසා සොයා බැලීම සිදුවිය.
ජේම්ස් හිමයේ අතුරුදන්ව ඇති බව ඔහු පිළිබඳ දැනසිටි කිසිවෙකුත් විශ්වාස කළේ නැත. ඔහු අතිශූර කරාටේ කළුපටිධාරියෙකු වූ අතර වගකීම් දැරිය හැකි, තීක්‍ෂණ වූ බුද්ධියක් ඇති අයෙකි. එමෙන්ම ඔහු තරමක හිතුවක්කාරී, කිසියම් තීරණයක් ගතහොත් එය එල්බ ගන්නා බවක්ද ඔහුගේ ගති ස්වභාවයේ විය.
තම සමීපතමයා පිළිබඳව කුමන හෝ පණිවුඩයක් අපේක්‍ෂාවෙන් ස්කොට් පවුල දවස් ගත කළේ උපේක්‍ෂාසහගතවය. එහෙත් දින ගත වන්නේ ඉතාමත් හෙමින්ය. ඔහුට සිදුවූයේ කුමක්ද? ඔහු ඒ පාළු රුදුරු ශීත හිමයේ මියගොසින්ද? නොමැති නම් ජීවතුන් අතරද? ඔහු ඒ බියකරු හිමයේ මං මුලා වී අතර මං ව සිටියදී නත්තල් උත්සවය ජයටම සැමරූ අයුරු පිළිබඳ ඔවුනගේ සිත් දුකින් සංතාපයෙන් හා වරදකාරී බවකින් විලාප දෙමින් තිබිණ. බියකරු කඳු බෑවුමක සිරවී වැතිර තිබෙන ජීවය රහිත ඔහුගේ සිරුර ජෝඇන්ට නිදි නොමැති රාත්‍රීන්වලදී මැවී පෙනේ.
අනේ.... මගෙ මල්ලී,.... ඔයාට මොකද වුණේ... දෙව්පියාණනි! මගේ මල්ලිව බේරා ආරක්‍ෂා කර දෙන්න...!
ඇය නිරතුරුවම දෙවියන්ට යාච්ඤා කළේ තම මහළු මව හා පියා ද සමගිනි.
ඕස්ට්‍රේලියාව හා කත්මන්ඩු අතර කාලපරාසය පැය හතරහමාරකි. නේපාලයට දහවල වන විට ඕස්ට්‍රේලියාවට සැන්දෑ කාලයයි. ඕස්ට්‍රේලියාවේ සිට නේපාලයට දුර ඇමතුම් ලබා ගන්නා විට කාලපරාසය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු විය. එහි සිට කත්මන්ඩු නුවර සම්බන්ධ කර ගැනීමද ඉතා අපහසු කටයුත්තක් විය. එය එසේ සාර්ථක වුවත් අනික් පසින් පිළිතුරු දෙනු ලබන නේපාල ජාතිකයාගේ නේපාල භාෂාව ඇමතුම ගන්නා අයව මහත් අපහසුතාවයකට ඇද දමයි. අවසානයේ සිදුවන්නේ අරමුණ ගිලිහී මුදල පමණක් අපතේ යාමයි.
ස්කොට් පවුල වෙත රාත්‍රියක් ගත වූයේ නිදිවර්ජිතවය. සියලු බලාපොරොත්තු සුන් වී යන සේයාවකි. ජනවාරි 02 වැනිදා වනවිටත් ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොලද්දේ නම් නේපාලය බලා යාමට ජොඈන් තරයේ තීරණය කළාය. ඇය කිසිදු දිනක තනිව ගුවන් ගමනක යෙදී නොතිබුණු අතර ආසියාකරය බලා පැමිණ තිබුණේද නැත. එසේ වුවත් තම සොයුරා පිළිබඳ හැඟීමක් නැති පිටස්තරයනට ඔහුගේ ජීවිතය පිළිබඳ සෙවීම පවරා කෙසේ නම් තම රටට වී බලා සිටින්නටද? එය කිසිදාක කළ නොහැක්කකි. තම මහළු දෙමාපියන් ශෝකයෙන් බරිතව නිවෙසට වී වැළපෙද්දී තමනට බලා සිටිය හැකි නොවේ. සත්‍ය වශයෙන්ම සොයා ගත යුතුමය.
බියකරු රාත්‍රිය ගෙවී ගොස් තවත් උදෑසනකට එළිවී තිබිණ. ශීතලය දරාගත නොහැකිව මුළු රැය පුරා ගැහෙමින් තිබූ සිරුරේ මස් පිඩු අක්‍රිය වූවා වැනිය. කෙසේ හෝ මේ දරුණු ශීතලයෙන් මිදී යා යුතුය. ගත ඇඳි තෙත ඇඳුම් තවමත් ඒ අයුරින්මය. කිසියම් ගම්මානයක් සොයාගොස් තම කුසට ආහාර හා ගතට උණුසුම දෙන ඇඳුම් සපයා ගත හැකි නොවුවහොත් කුමක් සිදු විය හැකිද? අතන මෙතන දමා තිබූ තම දේවල් ඔලොගුවට දමා, හිස්වැස්මට උඩින් පිදුරු තොප්පිය හිස පැළඳ ගල්ගුහාවෙන් එළියට ආවද පය තැබුණේ හිමකුඩු වලින් පිරී ගිය හිමතලාව මතටය. කෙසේ හෝ ගමන ඉක්මන් කළහොත් සිරුර උණුසුම් වී කිසියම් ප්‍රාණවත් බවක් දැනෙතැයි ඔහුට සිතින.
හිමේ ඉක්මන් ගමනින් පය තබන අතරේදී ජේම්ස්ට මහත් වූ විඩාවක් දැනුනේය. ඉහළ අහසෙන් පතිත වෙමින් ආ හිමකැටවලට සාප කරමින් ගමන් කරන අතරේ එම හිමකැටි දියවෙමින් තව තවත් ඔහුගේ ඇඳුම් තෙත් කළේය. දැන් නම් දරා ගැනීමට නොහැකි තරම් වූ තෙතමනය හා ශීතලය, ශරීරයේ උෂ්ණත්වය බිංදුවටම පහළට බස්සවා ඔහු වෙත අතිශයින්ම වූ වේදනාකාරී මරණයක් ළඟා කරමින් සිටියේය.
හිමපතනය තව තවත් පතිත වෙද්දී තවදුරටත් පය එසවීමට නොහැකි තරමට තම සිරුරේ ශක්තිය හීන වී ගොසිනි. මඳක් විවේක ගත් ඔහු හට විශාල වූ බෑවුමක් බැස යද්දී එකදිගට පැතිර ගිය ගල්තලාවක් මත දැල් වී නිවී ගිය ගිනිපෙනෙලි සහිත අඟුරු ගොඩක් ඇස ගැටුණේය.
එය ඔහුගේ සිතට මහත් වූ අස්වැසිල්ලක් ගෙන ආවේය. එම දසුන ඔහුගේ සිත තුළින් ගිලිහී යමින් තිබූ ජීවත් වීමේ අපේක්‍ෂාව නැවත අලුත් කරවන්නට සමත් විය. එය තමන් සොයා ආ කණ්ඩායමක් විසින් දල්වන ලද ගිනිගොඩක් වන්නටද පිළිවන. එම විශාල වූ ගල්තලාව දිගේ හෙමින් ඇවිද යද්දී එහි අග වූ වැටිය වෙත ඔහුගේ දෑස යොමු වීය. එහි කෙනෙකුට හිටගෙන ඉන්නට තරම් වූ උසක් සහිත වූ අතර එක් පැත්තක් පමණක් විවෘතව අනික් තුන් පැත්තම දේවදාර ගසින් ආවරණය වී හිම පතනයෙන් - සුළඟින්- හා වර්ෂාවෙන් මිදී ඉන්නට හැකි පරිදි අපූරු නිර්මාණයක් සෑදී තිබිණ. ඒ අනුව ඔහුට කුසගින්නේ වුව තම නිදි බෑගය දිග ඇරගෙන එතුළට ගුලි වී නිදා ගැන්මට තරම් ඉඩප්‍රස්ථාවක් තිබුණෙන් එය සහනයක් විය. එය තුළට වූ ගත් ජේම්ස් තම ගත වූ තෙතබරිත ඇඳුම් ගලවා ගල් තලාව මත වැනුවේය. ඔහුගේ උගුර- කට- හා මුළු සිරුරම වියළී ගොසිනි. පෙර දිනයේ සිටම ජලය උගුරක් හෝ පානය නොකළ බව ඔහුට සිහි වෙයි.
ඇවිදින අතරේ මුව තුළට දමාගෙන ආ හිමකැට කිහිපයෙන් ඇති තරම් තෙතමනයක් ලැබී නොතිබිණි. වැටිය අයින වෙත ඇවිද ගෙන ගොස්, නිදන බෑගයේ පිට කවරය වෙතට හිමකැට පොදියක්ම එක්රැස් කරගත්තේ ඉන් ජලය එකතු කර ගැනීමේ අදහසින්ය.
තම සිහි කල්පනාව බොඳ වී දෑස් අප්‍රාණිකව යනු ඔහුට දැනෙයි. ‘‘තවත් දුබල මා වෙහෙස නොකරවා, ඔබ වෙතට මගේ ප්‍රාණය කැඳවා ගත මැනව’’ යි ඔහු අදහන දෙවියන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේය.
(මතුසම්බන්ධයි)
ස්වර්ණා ජේ. ජයවර්ධන