මොනරාගල ප්‍රදේශයේ වෙසෙන නිශානි දෙදරු මවක වන අතර, නිශානිගේ සැමියා වන කපිල මොනරාගල නගරයට ආසන්න ප්‍රදේශයක එක්තරා ආයතනයක ලිපිකරුවෙකු වශයෙන් සේවය කරයි. ඔවුන්ගේ වැඩිමල් පුතා පස්වන වසරේ ඉගෙනුම ලබන අතර, දෙවන දියණිය තුන්වන වසරේ ඉගෙනුම ලබන්නීය.
යුතුකම් සියල්ලම හොඳින් ඉටුකළ ද නිශානි සෑම මොහොතක් පාසාම සිටියේ කනස්සල්ලෙනි. එහෙත් ඇය කිසිවිටෙක එය සැමියාටවත් දරුවන්ටවත් දැනෙන්නට ඉඩහැරියේ නැත.
නිශානි, කපිල සමඟ විවාහ වූයේ දෙමාපියන්ගේ විරුද්ධතාව මධ්‍යයේය. ඒ නිසා ඔවුන් දෙදෙනා ගෙවල්වලින් පැනගොස් විවාහ වී ජීවත් වන්නට තීරණය කළෝ ය. අනතුරුව ඔවුහු මොනරාගල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචි වූහ. වසර හයක කාලයක් ගෙවී ගිය ද ඔවුන්ගේ මාපියන් බැලීමට කිසිදිනක යාමට ඔවුන් සිතුවේ නැත. ඉතාමත් සමඟියෙන් යුතුව ජීවත් වූ ඔවුන්ට දරුවන් ලැබී උස්මහත් වෙද්දී ආර්ථික අඟ හිඟකම් ඇතිවුණ ද කෙදිනකවත් ආරවුලක් හෝ බහින්බස්වීමක් ඇති වූයේ නැත.
“අම්මට වධ දුන්නේ නෑ නේද මගෙ පැටියො දෙන්නා....? කෝ එන්න දෙන්නම මං ළඟට” කපිල වැඩ නිම වී නිවසට පැමිණි පසු කරන්නේ දරුවන් දෙදෙනා තමන් ළඟට කරගෙන සුරතල් කිරීම ය. වෙනදාට නිශානි ද සිනාමුසු මුහුණින් යුතුව ඔවුන් අසලට පැමිණ සතුටින් කාලය ගත කළ ද අද ඇය ඔවුන් අසලට නොපැමිණි හෙයින් කපිල කලබල වී නිශානිව සොයා කාමරය වෙත ගිය ද ඇය එහි නොසිටියා ය. කුස්සියට එබී බලද්දී නිශානි ලොකු කල්පනාවක නිමග්න වී සිටියාය. “නිශානි... නිශානි” කපිල කතා කළ ද ඇයගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
කපිල ඇය වෙත පැමිණ උරහිසින් අල්ලා සෙලවීය.
“ආහ්.. ඔයා ඇයි මෙතනට ආවේ.. මට කතා කරන්න තිබුණනේ” නිශානි එය කීවේ ද කල්පනා බරව ය.
“මම මෙතනට ඇවිත් කතා කරත් ඔයාට ඇහුණේ නැහැ නිශානි... මොකක්ද ඔච්චරට ම කල්පනා කරන්නේ...? ඔයා වෙනදා වගේ නෙමෙයි...” කපිල පැවසුවේ විමසුම් දෑසිනි.
“ඔයා සාලෙට යන්න කපිල... මම මේ වළං ටික ඉක්මනට හෝදලා දාලා එන්නම්..” නිශානි පැවසුවාය. තම බිරිඳගේ වෙනස ටික දිනක සිටම කපිලට පෙනුණ ද ඔහු එය එතරම් ගණන් නොගත්තේ බිරිඳ ඔහුගෙන් කිසිවක් නොසඟවන නිසාය.
ඇය මෙතරම් කල්පනා කරන්නේ කුමක්ද? ටික දිනක සිටම ඇයගෙන් නිවසේ වැඩකටයුතු පවා අතපසුවීම් සිදුවුණි. එහෙත් කපිල ඇයගෙන් කිසිවක් නොවිමසුවේ ඇයගේ සිත රිදවීමට ඇති අකමැත්ත නිසාය. පිළිවෙළට, පිරිසිදුව සිටීමට නිශානි බොහෝ ප්‍රිය කළාය. එහෙත් දැන් දැන් ඒවා ඇයගෙන් මඟහැරී ඇත.
කපිල එදින වැඩ නිම වී සවස හය හමාර වද්දී නිවසට එනවිට නිශානි සිටියේ තද නින්දේය. “නිශානි මොකක්ද ඔයාට වෙලා තියෙන්නේ... දොරත් ඇරලා දාලා නිදි.. ළමයි දෙන්නා මිදුලේ... මොකක්ද වෙලා තියෙන්නේ... අසනීපයක්ද ඔයාට?”
“ආ ඔයා ආවද...” නිශානි එලෙස පවසමින් සයනයෙන් නැගිට්ටාය. කපිල රාත්‍රී ආහාරය ගත්තේ කිසිඳු මනාපයකින් තොරව ය. නිශානි උයන පිහින කෑම දැන් දැන් කිසිදු රසක් නැත. ඇය ඉවුම් පිහුම් කටයුතු කරන්නේ ද ඕනෑවට එපාවටය. සමහර දිනවල නිදාගන්නට සයනයට ගියවිට අඩුපාඩු ගැන පවසයි. දිනක් ඇය දියණියට පහරක් දෙකක් ගැසුවේ ඇයට වධ දෙන්නේ ඇයි කියා අසමිනි.
කොයිවෙලේත් ඇය දරුවන්ගේ වරදක් දැක ඔවුන්ට බැනවදියි. නැතිනම් දහවල් කාලයේ නිදාගනී. වළඳක් පිඟානක් සෝදන්නේ උයන්නට කුස්සියට ගියහොත් පමණි. නැතිනම් මුළු දවස පුරාම ඉඳුල් භාජන ගොඩ ගැසී ඇත.
නිශානි එන්න එන්නම වෙනස් වෙයි. ඇගේ ක්‍රියා පිළිවෙත කපිලගේ කේන්තිය වැඩි කරයි. නිතරම දරුවන්ගේ වැරදි කියමින් ඔවුන්ට තරවටු කළ නිශානි කපිලගේ ද වැරදි දුටුවාය. වැඩ නිමවී නිවසට පැමිණෙන කපිලගේ සිත රිදෙන අයුරින් ඔහුට දැනෙන නොදැනෙන පරිදි වචන වලින් දමාගසන්නට ඇය පුරුදුව සිටියා ය. ඇයට ජීවිතේ එපාවී ඇත. විටෙක මැරෙන්නට පවා ඇයට සිතුණි. විටෙක බොහෝ කේන්ති ගත්තිය. කපිල තම මිතුරෙකු සමඟ නිශානිගේ වෙනස ගැන කතා කළේ ඉවසා බැරිම විටදී ය.
“මචං අපි සාස්තරයක් අහමුද...?” කපිලගේ මිතුරා පැවසුවේ තම බිරිඳ තමන්ට හෝ දරුවන්ට අසනීපයක් වූ විටදී තමන් ජීවත් වන ප්‍රදේශයේ දේවාලයක් කරන මෑණියන් කෙනෙකු වෙත ගොස් ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර වැඩ කරගෙන එන නිසාය. මිතුරාගේ බසට කපිල එකඟ වූයේ වෙනත් කරන්නට දෙයක් නොමැති නිසාය.
“නිශානි අපි සාස්තරයක් බලන්න යමුද...” කපිල නිශානිගෙන් විමසුවේ නිදන්නට සයනයට ආ පසුය. නිශානිගේ ඉහේ මලක් පිපුණා වාගේ විය.
“අනේ කපිල මට ඔයාට කියාගන්න බැරිව හිටියේ.. මට මැරෙන්න හිතිලා තියෙන්නේ... කවුරු හරි අපිට වෙන්වෙන්න මොනාහරි කරල ද දන්නෙ නෑ. මට හැමදේම එපාවෙනවා කපිල” නිශානි පැවසුවේ දුකිනි. “හරි අපි හෙට යමු” කපිල නිශානිගේ හිස අතගෑවේය.
කපිල හා නිශානිත් දරු දෙදෙනා සමඟ මිතුරාගේ බිරිඳ ඉඳහිට යනඑන දේවාලයේ මෑණියන් වෙත ගියෝය.
“මෑණියෝ මගේ යහළුවෙක් මේ.. එයාලට ප්‍රශ්නයක්” මිතුරා දේවාලයේ මෑණියන්ට කපිලලාව පෙන්වමින් පැවසී ය. දේවාලයේ මෑණියෝ කපිලගේත් නිශානිගේත් දෙසට හැරිණි.
“අනේ මෑණියෝ මට මැරෙන්න හිතෙනවා. අපි දෙන්නා බැන්දේ අපේ අම්මලට හොරෙන් එයාලා අපි මැරි කරනවට අකමැති නිසා. අපි ජීවත් වෙන්නෙ අමාරුවෙන්. මට පිස්සු හැදෙයි කියලා බය හිතෙනවා. හැමදේම එපාවෙනවා. මහත්තයවත් එපා වෙනවා. මට කොහේ හරි ඔළුව හැරුණ අතක යන්නමයි හිතෙන්නේ” නිශානි මෑණියෝ දෙස බලා හඬමින් කියාගෙන කියාගෙන ගියාය.
“හ්ම්... අපි බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.. පඬුරු රුපියල් පන්සිය හැටක් මෙතන තියෙන බුලත් කොළයක් අරගෙන දේවාලය ඇතුළට ඇවිත් තියන්න. අපි කඩවර අප්පච්චිගෙන් අහමු මොකද වෙලා තියෙන්නෙ කියලා...” මෑණියෝ කීවේ දේව රූප හා ඊට යටින් මියගිය දෙදෙනෙකුගේ රාමු කළ පින්තූර දෙකක් ඇති කුටිය වෙත යමිනි.
මෑණියන්ගේ වම් අතේ වැලමිටට උඩින් රතු පාට රෙදි කඩක්ද බැඳ ඇත. ඇය සුදුවතින් සැරසී සිටී. දෙවියන් ඉදිරියේ වැඳගෙන යමක් නොතේරෙන ලෙසින් මුමුණයි. ඉන්පසු ටික වේලාවක් යනවිට හිස හයියෙන් සොලවමින් උගුරෙන් ගොරහැඬි හඬක් මතුකරමින් මුළු සර්වාංගයම සොලවමින් නොතේරෙන බසක් මුමුණයි.
ඉන්පසු මෑණියෝ “හූනියමක් කරලා... හ්ම්.. හූනියමක් කරලා... ඔව් ගෙදර එවුන් හූනියමක් කරලා කසාදෙ කඩන්න.. හ්ම්.. පිරිමි පරානෙ පැත්තෙ කට්ටිය දැරිවිට පිස්සු හැදෙන්න හූනියමක් කරලා... මේ දැරිවිගේ ගෙදර උදවිය කසාදෙ කඩන්න හූනියමක් කරලා... ඔව්... ඔව්...හ්ම්..” කියමින් තවත් මොනවදෝ මුමුණමින් විනාඩි විස්සක කාලයක් හිස සොලවමින් නොතේරෙන භාෂාවෙන් කතා කරමින් දෙවියන් ඉදිරියේ සිටි මෑණියෝ ආරූඪයෙන් ඉවත් වූවාය.
ඉන්පසු “මොනවද සාස්තරයෙන් කීවේ” කියමින් මෑණියෝ නිශානිගේ පැත්ත බැලුවාය. අපේ ගෙවල් දෙකෙන්ම කසාදෙ කඩන්න හූනියම් කරලලු.. මට පිස්සු හැදෙන්න මහත්තයගෙ පැත්තෙ කට්ටිය හූනියමක් කරලා කීවා මෑණියෝ” නිශානි අඬමින් කීවාය.
“අපි මොකක්ද මේකට කරන්නේ මෑණියෝ” කපිල ඇසුවේ වැඳගෙනය.
“හූනියම් දෙකක් නිසා කපලා අයින් කරන්න ලොකු වැඩක් කරන්න වෙයි. ලොකු මුදලක් යයි ඒ දෙකටම. කමක් නෑ මං දෙකම කපලා දෙන්නම් හතළිස් පහක් විතර ලෑස්ති කරගන්න.. බඩු මං හොයාගන්නම්.. උදව්වක් විදියට මං කරලා දෙන්නම් මේක.. කල් අරින්න එපා. දිනයක් යොදාගන්න...” මෑණියෝ කපිලට කීය. “හරි මෑණියෝ අපි දවස් තුනකින් විතර සල්ලි ලෑස්ති කරගෙන එන්නම්... අපි ගිහින් එන්නම්...” කපිල ඇතුළු සියලු දෙනා පිටත්ව ආවෝය.
මිතුරෙකුගෙන් ණයට මුදල් ඉල්ලා ගත් කපිල දින තුනික් පමණ දේවාලයේ මෑණියන් මුණගැසීමට ගියේ මිතුරාගේ නිවසේ දරු දෙදෙනා තබා ය. නිශානිත් කපිලත් සවස හතට පමණ දේවාලයට පැමිණියේ මිතුරා සමඟිනි. රාත්‍රී දොළහ හමාර වනතෙක් හූනියම කපා ඉවත් කර මොවුන්ට ශාන්තිකර්මයක් කර අදාළ මුදල් මෑණියන් විසින් ලබාගැනිණි. නිශානිත් කපිලත් මිතුරාත් නිවසට පැමිණියේ සැහැල්ලු සිතිනි.
“දැන් ඉතින් හරිනෙ මචං... මෑණියන්ගේ වැඩ හොඳයි.. දැන් ඉතින් සතුටින් ඉඳහල්ලා..” මිතුරා කපිලගේ පිටට තට්ටුවක් දමමින් නිවසට ගොඩවැදුණි. එදින මිතුරාගේ නිවසේ සියලුදෙනා නතර වූහ.
පසුදින උදෑසනම ඔවුහු තම නිවස වෙතට පැමිණිය හ. දරුවන්ද පාසලට පිටත් කර හැර කපිල ද රැකියාව බලා පිටත් විය. නිශානි සිදුවූයේ කුමක්දැයි කල්පනා කරන්නට විය. දින සති මාස ගෙවුණ ද නිශානිගේ වෙනසක් සිදුනොවුණි. ඇය නිතරම අඬාගත්ත ගමන් සිටින්නට විය. දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු ද කඩාකප්පල් වන්නට වූයේ ඇය උදේ අවදි නොවී නිදාගෙනම සිටි නිසාය. කපිලට උදෑසන ආහාරයවත් ඇය අතින් සූදානම් නොවිණි. කපිල මෑණියන් සොයාගොස් මේ බව සැලකර සිටියේය.
“ඕවා එකපාරට හරියන්නේ නෑ... ටික කාලයක් යනකොට ටිකෙන් ටික හරියයි” මෑණියන් ඇඟ බේරාගත්තා ය.
නිශානි නිතරම අසනීප වන්නට වූවාය. එක එක ලෙඩ ඇය කියන්නට පටන් ගත්තා ය. ඇයව වෛද්‍යවරුන් කරා රැගෙන ගියත් වෛද්‍යවරුන්ගේ මතය වූයේ ඇයට කිසිඳු අසනීපයක් නොමැති බවයි.
“මෙයාව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරන්න” එක් වෛද්‍යවරයෙක් පැවසීය. කපිල මිතුරෙකුගෙන් ඔහු දන්නා මානසික වෛද්‍යවරයෙකු සිටීදැ’යි විමසීය.
මිතුරාගේ මඟපෙන්වීම අනූව ඔවුන් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති, මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත යොමු කෙරිණි. වෛද්‍යවරයා නිශානිට ප්‍රතිකාර කිරීමට භාරගත්තේය.
ඒ අනූව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා නිශානිව සහ කපිලව වෙන වෙනම ගෙන බොහෝ වේලාවක් කතා කළේය. ඉන්පසු නිශානිට මනෝ ප්‍රතිකාර ලබාදුන්නේය. මාස තුනක් මනෝ ප්‍රතිකාර ලබාගත් නිශානිගේ අසනීප තත්ත්වයන් සුවවිය. ඇය සිටියේ පෙරපරිදි සතුටිනි. නිවසේ වැඩකටයුතු සොයා බලා කරන්නට පටන් ගත්තාය. නිවසේ සතුට ඇති විය.
වෛද්‍යවරයා නිශානිගේ තත්ත්වය පැහැදිලි කරදුන්නේ මෙසේය. මැයගේ තත්ත්වය දෙස බලන විට ඇය පුදුමාකාර ලෙස මානසික පීඩාවකට ලක්වූ අයෙක්. එම මානසික පීඩාවට කාලයක් තිස්සේ ලක්වීමෙන් ඇය Stress Disorders (ක්ලමථ අක්‍රමිකතා) යනුවෙන් හඳුන්වන මානසික තත්ත්වයට පත්වී තිබුණා. එහි ලක්‍ෂණ තමයි දුක, කලකිරීම, එපාවීම, තරහා යාම, අමතක වීම, සිතට සතුට නොදැනීම, අහේතුක බය, නින්දේ අක්‍රමිකතා, ආහාර ජීර්ණ පද්ධතිය මුල් කරගත් රෝග, නිතර නිතර කුමන හෝ රෝගී තත්ත්වයකින් පෙළීම, ජීවිතය විඳවනවා ලෙස දැනීම ආදී ලක්‍ෂණයි. මෙම රෝගයෙන් පීඩා විඳි ඇය එයට පැහැදිලි ප්‍රතිකාර ගැනීම වෙනුවට කළේ නොපෙනෙන බලවේගයන් පසුපස ගොස් සහනයක් බලාපොරොත්තු වීමයි. නමුත් මෙය සත්‍ය වශයෙන්ම සුළු මානසික රෝගි තත්ත්වයක්.
අප විසින් කළේ මාස දෙක තුනක කාලයක් මනෝ ප්‍රතිකාර කර ඇයගේ ගැටලුවලට ද මනෝ උපදේශනය තුළින් විසඳුම් ලබාදීමයි. ඇය සුව වී අද වන විට වසර කීපයකි. නමුත් කිසිම දිනෙක ඇයට යළි ජීවිතය එපාවූයේ නැත. ඇය කපිල හා දරුවන් සමගින් සතුටින් සමාදානයෙන් යුතුව ජීවත් වන්නීය.
සටහන හා ඡායාරූප
හබරාදුව නිමල් අල්ගෙවත්ත