හොරෙන් පැනගිය එඩී-රුක්මණී ජේ.ආර්ගේ නිවසේ සැඟවුණු හැටි


වසර 80 කට එපිට අතීතයට දිව යන එඩී රුක්මණී ආදර කතාවෙන් කිනම් යහපතක් දැයි කිසිවකුට සිතන්නට පිළිවන. එහෙත් ඒ ආදර කතාවේ සිදුවීම් ඔස්සේ සමාජ විද්‍යාත්මක වශයෙන් වැදගත් වන බොහෝ දෑ වාර්තා වෙයි.


එකල මුදල්වල වටිනාකම, නාට්‍යවලට නළු නිළියන්ට ගෙවූ මිල ගණන් එක් අතකින් අප පුදුමයට පත් කරන සුළුය.
ඩේසි රාසම්මා ඩැනියෙල්ස් නමින් දෙමළ (කළම්බො චෙට්ටි) ක්‍රිස්තියානි පවුලක නුවරඑළියේ රම්බොඩදී උපත ලත් පසු කලෙක රුක්මණී දේවිය ලෙස අතිමහත් ජනාදරයට පත් වූ නිළියට පෙම් බැඳි එඩී ජයමාන්න නමැති සිංහල තරුණයාට ඇය විවාහ කර ගැනීමට යෑමේ දී විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදුවිය. එහෙත් ඔවුන්ගේ ආදරයට ඒ ජාති භේද කිසිවක් බල නොපෑවේය. මිනර්වා නාට්‍ය කණ්ඩායම සමග වසරේ වැඩි දින ගණනක් රංගනයෙන් සංචාරයෙන් එඩී සමග එකට ළංව සිටිය ද ඩේසිගේ මවුපිය පාර්ශ්වයෙන් නැගුනු විරෝධය බලවත් විය. එඩී - රුක්මණී සම්බන්ධයට ඔවුහු එතරම්ම විරුද්ධ වූහ. මුළු ලෝකයම විරුද්ධ වුවත් ඩේසි ඔහු ළඟට එන බවට පොරොන්දුව සිටි බව එදා එඩී මා සමග කීවේය.


එක් අතකින් මේ පුංචි කෙල්ලට මේ තරම් දැඩි හිතක් පහළ වූයේ කෙසේදැයි එඩීට සිතාගත නොහැකි විය.
ඩේසිගෙත් එඩීගෙත් ආදර සම්බන්ධය රහසක් කර ගන්නට ඔවුහු අසමත් වූහ. එහෙත් එඩීගේ පැත්තෙන් කිසිදු බාධාවක් නොවන ලකුණු පහළ වී තිබිණ. එඩීගේ මව මේ සම්බන්ධය පිළිබඳව දැන ගත් විට දී පවා කලබලයක් කළේ නැත. මව සුපුරුදු පරිදිම ඩේසිටත් ඇගේ කටහඬටත්, රඟපෑමටත් ප්‍රිය කළාය.


සියලු තහංචි හා බාධා නොසිතූ ලෙස ඇතිවූයේ ඩේසිගේ පාර්ශ්වයෙනි. ඩේසිගේ පියා බෙහෙවින් දැඩි සිත් ඇති පුද්ගලයකු විය.


ඩැනියෙල් මහතා කීප වරක්ම මේ සම්බන්ධ නවත්වන ලෙස ඩේසිට අවවාද කර තිබිණ. එයින් පලක් නොවුණු තැන ඔහු ඩේසිට පහර දෙන්නට පටන් ගත්තේය.


තමා නිසා ඩේසි පහර කෑම්වලට ලක්වන බව ඇසු එඩී බෙහෙවින් කම්පනයට පත් විය. ඔහු දින ගණනක් මේ පිළිබඳව සිතුවේය. මේ නිසා එක් දිනෙක මේ සියලු කරදරවලින් මිදී අවසානයක් දකින බලාපොරොත්තුවෙන් එඩී ඇය හා හොරෙන් පැන ගොස් විවාහ වන්නට දිනයක් නියම කර ගත්තේය. එකම සහනය වූයේ එයයි. එදින ඔහු නියමිත වේලාවටම තම මෝටර් රථයෙන් ඩේසිගේ නි​ෙවස අසලට ගියේ පොරොන්දු වූ පරිදි ඇය හා පලා යන්නටය. දැන් ඉතින් කරදර ඉවරයි. ඔහු එදා සිතුවේය.


එවේලේ ඩේසි තම බාල නැගනිය වූ ස්ටෙලා වඩාගෙන සුරතල් කරමින් ආලින්දයේ සිටි බව එඩී එදා පිළිසඳරේ දී මා හා කීවේය. එඩී හා එන්නට ඇගේ කිසිදු සූදානමක් නොතිබිණි.
එඩී තම රථය ගේට්ටුව අසල නවත්වා එහි දොර හැරියේ දැඩි බලාපොරොත්තුවකිනි.
‘‘ඩේසි එන්න...’’


ඔහු නොඉවසිල්ලෙන් කෑ ගැසුවේය. ඇගේ දෙනෙත් විමතියෙන් මහත් විය. ඇය කිසිවක් තීරණය කර ගන්නට බැරිව මෙන් වික්ෂිප්තව බලා සිටියාය.
ඩේසි එඩී සමග එන්නට කිසිදු සූදානමක් හෝ කැමැත්තක් නැත.
එඩී තවත් වරක් කෑ ගැසුවේය. එහෙත් ඇගේ මව සාලය හරහා ආලින්දයට එමින් සිටියෙන් ඩේසි වහා ගෙතුළට ඇදුණාය.
එඩීට කිසිවක් සිතා ගන්නට නොහැකි විය. ඔහු දැඩි ලෙස කම්පනයට පත් විය. එඩී මෝටර් රථය ආපසු හරවා ගත්තේ ඉවසිය නොහැකි වේදනාවකින් යුතුවය.
‘‘මම පණ වාගේ ආදරය කළ ඩේසි මට එහෙම කළේ ඇයි ?’’ එඩීට එවෙලේ සිතුණු බව ඔහු කීවේය.
ඔහු තම නි​ෙවස බලා ගියේ උමතුවෙන් මෙනි. අල්මාරි ලාච්චුව ඇර එහි තිබූ පිස්තෝලය රැගෙන ඔහු සාක්කුවට දමා ගත්තේය.
එහෙත් ඔහු රථයට යළි නගින්නට සැරසෙන විටම ශක්තිමත් අත් හතරක් ඔහු අල්ලා ගනු දැනිණි.
‘‘එඩීට පිස්සු ද? මොනවද මේ කරන්න හදන්නෙ?’’ ළබැඳි මිතුරන් දෙදෙනෙකු වූ හර්බට් සිල්වා හා හර්මන් සිල්වා ඔහු සනසාලන්නට වූහ.
‘‘ඩේසි වෙනස් වෙලා නෑ. එයා කැමැතියි උඹ එක්ක එන්න..’’ එක් මිතුරෙක් කීවේය.
‘‘එහෙනම් එයා නාවේ...’’


‘‘ඩේසි නෑවිත් ඉන්නෙ නෑ. ඒ කෙල්ල උඹට ආදරෙයි. පොඩ්ඩක් ඉවසිල්ලෙන් හිටපන්කො...’’
මීළඟ වාරයේදී නම් ඩේසි එඩී සමග පැන යන්නට එන බව දිවුරා පොරොන්දු වී තිබිණි. මද සහනයක් හෝ ලැබුණේ ඉන් පසුවය.
එම සිදුවීම් පෙළ නම් චිත්‍රපටයක අවසන් දර්ශන පෙළ මෙනි. සටන්, ගැයුම්, ගීත බොරු සාද සියල්ල එහි ඇත.
මේ පැන යාම සඳහා යොදා ගත්තේ බොරු උපන්දින සාදයකි. එය පැවැත් වූයේ එඩීගේ මිතුරකු වූ මාක් සෙබස්තියන් ප්‍රනාන්දුගේ නිවසේය.
මේ සාදයට විශේෂයෙන්ම ඩේසිටත් ඩැනියල් පවුලටත් ආරාධනා ලැබිණ. එඩීට මතක තිබුණේ එය නත්තල් මාසයේ මැද හරියේ දිනයක් බවය. එඩී උපන් දින සාදයට ආවේ නැත. ඒ තීරණාත්මක සැඳෑවේ බොරු උපන්දින සාදයේ දී ඩේසි ගීත කිහිපයක්ම ගායනා කළාය.
වේලාව රාත්‍රී එකොළහට ආසන්නව තිබිණ. එඩී මීගමුවේ දළුවකොටුවේ සොහොන් පිටියක් අසලට වී තම මිතුරකු වූ මැවී තිසේරාත් සමග සැඟවී සිටියේය.
මැවීගේ තවත් යහළුවන් කීප දෙනෙක්ද ඒ කිට්ටුව තැනින් තැන සැඟවී සිටියහ. එපමණක් නොව ඩේසිලාගේ රථය පදවන රියැදුරාට ද මේ සිදුවීම් දන්වා ඔහුගේ සහාය ද ලබා ගත්තේය. රියැදුරා ද ඊට කැමැති විය.


මේ අතරේ සාදයට සහභාගි වූ ඩේසි ඇගේ පියා හා සොහොයුරිය තම නි​ෙවස බලා යන්නට රථයට නැගුණහ.
රථය මහ රෑ අන්ධකාරයේ කෙමෙන් දළුවකොටුව අසලට ළංවන්නට විය. රථය කනත්ත පසු කළා පමණි. අද්භූත පුද්ගලයකු සේ හිස වටා ජටාවක් බැඳ වෙස් වළාගෙන සිටි මැවී රථයේ ඉදිපසට පැන රථය නවත්වා රියැදුරාට බොරුවට පහරක් එල්ල කෙළේය. රියැදුරා ද ඇදගෙන වැටිණ.
මේ අතරේ තවත් දෙදෙනෙක් ඩේසිගේ පියා හා සො​හොයුරිය අල්ලා ගත්හ. එඩී ඒ සමගම සැඟවී සිටි තැනින් පැමිණ රුක්මණීව අතින් ඇදගෙන ඊට එහායින් නවත්වා තිබූ රථයට ඉක්මනින් දිව ගියේය. ඔවුන් මහ රෑ පැන ගියේ එසේය.


එඩී - රුක්මණී මුල් දිනයේ මිතුරකුගේ නිවෙසේද පසුදා කලින් දැන හඳුනාගෙන සිටි ජේ.ආර්. ජයවර්ධන (ජනාධිපති ජේ.ආර්.) මහතාගේ කොළඹ නිවෙසේද නතර වූහ.
එඩී - රුක්මනි ආදර පුවතින් එවිටත් මුළු රටම ගිනිගෙන හමාරය. ලංකාවේ සෑම පොලිසියකටම මේ දෙදෙනා අල්ලන්නට නියම විය.
මේ අතරේ නීතිඥ උපදෙස් ලබා ගන්නට නීතිඥ ක්‍රිෂෝ අබේවර්ධන මහතා හමුවන්නට එඩී ඔහුගේ කාර්යාලයට ගියේය.
එහිදී එවකට ගම්පහ පොලිස් මූල්ස්ථාන පරීක්ෂක ලයනල් ගුණතිලක මහතා ඔහු දුටුවේය.
එහිදී ඩේසිට ජයවර්ධන මහතාගේ ගෙදරින් ලයනල් ගුණතිලක මහතාගේ ගෙදරට එන ලෙසත් පසුවදාට ගම්පහ පොලිසියට බාරවන ලෙසත් අවවාද දුන්නේය.
එදින රාත්‍රියේම ඩේසි ලයනල් ගුණතිලක මහතාගේ ගෙදර නවත්වන ලදී.
පසදා ලයනල් ගුණතිලක විසින් එඩී - රුක්මන් ගම්පහ උසාවියට ඉදිරිපත් කරන ලදී.
එඩී - රුක්මණී ප්‍රවෘත්තිය සැළවූ රසික පිරිස් එදා උසාවිය අසල පොරකන්නට වූහ. සෙනග පිරී යාම නිසා අන්තිමේ දී නඩු ඇසීම කල් දමන්නට සිදු විය.
ඊළඟ සතියේ එඩී රුක්මණී නඩුව ඇසුවේ රසිකයන්ට නොදැනෙන සේ රහස් කාමරයකය.
ඩැනියෙල් පාර්ශ්වයෙන් කීවේ එඩී නරක චරිතයකින් යුතු පුද්ගලයකු බවත් හරි හැටි රැකියාවක් නැති බවත්, එමෙන්ම ඇය දෙමළ කාන්තාවක් බවත් දෙමළ කාන්තාවක් නිසා ජාතිය වශයෙන් ද නොගැළපෙන බවය. එහෙත් ඩේසි එඩී සමග එන්නට එක හිතින්ම කැමැත්ත පළ කළාය. එපමණක් නොව තම කැමැත්තෙන්ම එඩී සමග පැමිණි බවට ලිපියකින් ද දන්වා සිටියාය.
එඩීගේ චරිතය යහපත් නිසා එවකට නැෂනල් තියටර් අධිපති පී. ද ඇස්. කුලරත්න මහතා මේ දෙදෙනා විවාහ වුවහොත් රුපියල් 750ක මාසික පඩියකට තම ආයතනයේ රැකියාවක් දෙන බවට ​පොරොන්දු විය. එයින් ඩේසිගේ පාර්ශ්වයේ සියලු විරෝධතා නිෂ්ප්‍රභා විය.


එපමණක් නොව නඩු ගාස්තු වශයෙන් ඩේසිගේ මව්පියන්ට එඩීට රුපියල් 52යි ශත 50ක මුදලක් ගෙවන්නට උසාවියෙන් නියම කෙරිණ.
සියල්ල සිතූ ලෙසම විසඳා ගත් එඩී - රුක්මණී හරියටම ඊට තුන් මසකට පසුව 1943 අවුරුද්දේ දී තම මංගල්‍යය උත්සවකාරයෙන් පැවැත් වූහ. එහි විශේෂත්වය වන්නේ මංගල්‍ය උත්සවය පැවැත්වූයේ එඩීගේ උපන් දිනය පෙබරවාරි 15 වැනිදා වීමය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව තිරගතවී නොතිබිණ. එය තිරගත වන්නේ 1947 ජනවරි 21 වැනිදාය.

 

රුක්මණී සිය මව සහ පියා සමග

 


එහෙත් මිනර්වා නාට්‍ය තුළින් එඩී - රුක්මනි කොතරම් ජනප්‍රියත්වයක් එකල ලබා තිබුණේ දැයි රසිකයන් උසාවියේ පිරී යාමෙනුත්, ජේ.ආර්. ජයවර්ධන වැනි දේශපාලකයන් ඔවුනට උදව් උපකාර කිරීමෙනුත් අපට පෙනී යයි.


ඔවුන්ගේ ජනප්‍රියත්වය එකල සමාජයට කොතරම් බලපෑමක් කරන්නට සමත් වී තිබෙන්නට ඇද්දැයි අපට මේ කරුණු ඔස්සේ සිතා ගත හැකිය. ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුවේ රඟපෑමෙන් ඉතිහාසයේ අමරණීය නළු නිළි යුවළක් වූ එඩී රුක්මණී කඩවුණු පොරොන්දුව චිත්‍රපටයක් ලෙස තිරගත වීමත් සමග තිබූ ජනප්‍රියත්වය දෙගුණ, තෙගුණ කරගත්හ.
එකල වැඩිම මුදලක් ලෙස සැලකෙන රුපියල් 60,000 ක් අය කළ ඔවුහු අපරිමිත ගෞරවාදරයට පත් වූහ. ඔවුන් ගත කළේ සුඛෝපභෝගී දිවියකි. එහෙත් පසු කාලයේදී මුදල් පරිහරණයෙන් පරිස්සම් නොවීම නිසා ඔවුහු ආර්ථික දුෂ්කරතාවලට ලක් වූහ.


එඩී ජයමාන්න විජය චිත්‍රාගාරයෙත්, ජාතික චිත්‍රපට සංස්ථාවෙත් විවිධ තනතුරු ඉසුළුවේය. චිත්‍රාගාර පාලක, මහජන සම්බන්ධතා නිලධාරි එම තනතුරුය.
රුක්මණී දේවිය දිගටම සිය ගායනය හා රඟපෑමේ නියුතු වූවාය.


ඇය 1978 ඔක්තෝබර් 28 දා පාන්දර ජාඇලදී සිදුවූ වෑන් රථ අනතුරෙන් ​ඛේදනීය මරණයකට ලක්වූයේ ද මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශනයකට ගොස් ආපසු පැමිණෙමින් සිටියදීය. එවිට ඇගේ වයස අවුරුදු 55 කි. ඇය පසුකාලීනව පවා කොතරම් ජනප්‍රිය කලාකාරිනියකදැයි සිතෙන්නේ ඇගේ අවමඟුලට සහභාගි වූ අති විශාල ජනගඟ දැකීමෙනි. එඩී ජයමාන්න 1981 ජුලි 25 වැනිදා හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. එවිට ඔහුගේ වයස අවුරුදු 66 කි. එඩී - රුක්මනි යුවළ කෙතරම් ජනප්‍රියත්වයක් ලැබුවද ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසයේ අමරණීය නළු නිළි යුවළක් වුවද ඔවුන්ගේ නිහතමානිත්වය සිහිපත්වන මේ මොහොතේදී මගේ දෙනෙත් සිහින් කඳුළකින් තෙමී යයි. ඔවුහු එතරම්ම මාධ්‍යකරුවන්ට ගරු කළහ. ආදරය කළහ.

 

 

රොඩ්නි විදානපතිරණ