ඩග්ලස් හර්ලි සහ බොබ් බෙන්කන් ගමනට සූදානම් වෙමින් .
‘කොවිඩ් 19’ වයිරස වසංගතය මැද ඇමෙරිකාව අභ්‍යවකාශ ගමන් බිමන් සම්බන්ධයෙන් නව පරිච්ඡේදයක් ආරම්භ කළේය. ඒ, ‘ස්පේස් එක්ස්’ නමැති ඇමෙරිකන් පෞද්ගලික සමාගම, ඔවුන් විසින් නිර්මාණය කර වසර ගණනාවක් තිස්සේ හත්හදා බැලූ, ‘ෆෝල්කන් 9’ නමැති රොකට්ටුව සහ ‘ඩ්‍රැගන්’ නමැති ගගන කැප්සියුලය යොදාගනිමින් නාසා ආයතනයේ ගගනගාමීන් දෙදෙනකු අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හරිමිනි. ඒ අනුව, ඇමෙරිකාවේ පෞද්ගලික සමාගමක්, මිනිසුන් සහිත රොකට්ටුවක් උඩුගුවනට යැවූ පළමු අවස්ථාව මෙය විය. ස්පේස් එක්ස් සමාගමේ සිහිනය වන්නේ අනාගතයේ දිනෙක සංචාරකයන් අභ්‍යවකාශයට ගෙන යෑම සහ ආරක්ෂිතව ආපසු පෘථිවියට ගෙන ඒමය. එම සිහිනය සැබෑ කර ගැනීමට ද මෙම ගගන චාරිකාව මඟපාදා දුන්නේය.
සඳ තරණයෙන් පසු, ඇමෙරිකාවේ නාසා ආයතනයේ ඉලක්ක වූයේ පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකිරීමය. එය ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළක් බවට පරිවර්තනය වූයේ රුසියානු අභ්‍යවකාශ ආයතනය ඇතුළු ලොව සෙසු අභ්‍යවකාශ ආයතන සම්බන්ධකරගැනීමෙනි. අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකිරීමේ දී නාසා ආයතනය පෘථිවි කක්ෂයට ගගනගාමීන් සහ භාණ්ඩ රැගෙන ගියේත් ආපසු ආවේත් අභ්‍යවකාශ ෂටල යොදා ගනිමිනි. නාසා ආයතනය ෂටල කිහිපයක් භාවිතයට ගැනුණු අතර, ඒවා භාවිතය ඉතා මිල අධික විය. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදිකර අවසන් වූ පසු ෂටල විශ්‍රාම යැවුණි. ඒ, 2011 වසරේදීය. ඉන්පසු, නාසා ආයතනයට අභ්‍යවකාශයට යෑමට යානාවක් තිබුණේ නැත. නාසා ගගනගාමීන් අභ්‍යවකාශ නැවැතුම්පොළට ගියේත් ආපසු පෘථිවිය බලා පැමිණියේත් රුසියානුවන්ගේ උදව්වෙනි. ඒ, රුසියානු ‘සෝයූස්’ රොකට්ටු සහ ගගන කැප්සියුල භාවිත කරමිනි.
‘ස්පේස් එක්ස්’ සමාගම නාසා සමඟ අත්වැල් බැඳගැනීමේ ප්‍රතිඵලයක් ලෙස, වසර නවයක විරාමයකින් පසු ඉකුත් 31 වැනිදා, ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ආධාරයෙන්, ඊට සම්බන්ධ ‘ඩ්‍රැගන්’ කැප්සියුලයට ගොඩ වී අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා ගියේ නාසා ගගනගාමීන් වන ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් දෙදෙනා ය. ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවෙන් ‘ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් 9’ රොකට්ටුව ගුවන්ගත වූයේ ඇමෙරිකාවේ වේලාවෙන් සවස 4.33 ට ය. නාසා ආයතනය ඔවුන්ගේ රොකට්ටු ගුවන්ගත කිරීම සිදුකරන්නේ කැනවරල් තුඩුවේ පිහිටි මෙම ගගන මධ්‍යස්ථානයෙනි. ‘ෆෝල්කන් 9’ රොකට්ටුව අඩි 229.5 ක් උස ය. 1969 වසරේ නීල් ආම්ස්ට්‍රෝන් ප්‍රමුඛ ගගනගාමීන් සඳට ගියේ ‘සැටර්න් වී’ රොකට්ටුවේ ආධාරයෙනි. ‘සැටර්න් වී’ රොකට්ටුයේ උස අඩි 363 ක් විය. උඩුගුවනට යෑමටත් ඒමටත් නාසා ආයතනය භාවිතයට ගත් අභ්‍යවකාශ ෂටලයක උස අඩි 184 කි. දැනට රුසියානුවන් භාවිතයට ගන්නා ‘සෝයූස්’ රොකට්ටුවක උස අඩි 150 කි.
රොකට්ටුව ගුවන්ගත වෙමින්
‘ඩ්‍රැගන්’ කැප්සියුලය, ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ඉහළින් සවි කෙරෙන අතර, අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යෑම සිදුවූයේ මෙම කැප්සියුලය පමණය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවෙන් කෙරුණේ ඊට තල්ලුවක් දීමය. රොකට්ටු කැප්සියුලයට තල්ලුවක් දී උඩුගුවනට යද්දී කැබැලි වශයෙන් කැඩී වෙන් වී එහි කොටස් පහළ මුහුදට පතිත වෙයි. සාමාන්‍යයෙන් නාසා ආයතනය මීට පෙර යොදා ගත් ‘සැටර්න් වී’ වැනි රොකට්ටුවල එසේ මුහුදට වැටෙන කොටස් එකතු කිරීම ඇමෙරිකන් නාවික හමුදාවට පැවැරෙයි. රොකට් කැබලි යළි භාවිතයට ගැනෙයි. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවෙන් වෙන් වී වැටෙන කොටස් නිරුපද්‍රිතව පහළට පතිත වීමක් සිදුවන අතර, ඒවා ද යළි යළි භාවිතයට ගැනීම සිදු කෙරේ. උඩු ගුවනට ගිය ‘ඩ්‍රැගන්’ කැප්සියුලය, අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ විය. එහි රැඳී සිටින ගගනගාමීන්ගෙන් ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් ට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. ගගනගාමීන් අභ්‍යාවකාශ නැවැතුම්පොළේ රැඳී සිට ආපසු පෘථිවියට පැමිණෙනු ඇත්තේ ද ‘ඩ්‍රැගන්’ කැප්සියුලයෙනි. ඒ අධික වේගය පාලනය කර ගැනීමට පැරෂුට් භාවිත කරමිනි.
ස්පේස් එක්ස් පෞද්ගලික සමාගම නාසා ආයතනය සමඟ අත්වැල් බැඳගෙන සිටින්නේ ඇමෙරිකන් ඩොලර් බිලියන 2.6 ක ගිවිසුම් කීපයකට අත්සන් තබමිනි. ‘ස්පේස් එක්ස්’ සමාගමේ හිමිකරු බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ය. මොහු දකුණු අප්‍රිකාවේ උපත ලබා ඇමෙරිකාවට පැමිණ අති නවීන තාක්ෂණය යොදාගනිමින් නිර්මාණ කර බිලියනපතියෙකු වූ අයෙකි. ඉලොන් මස්ක් ඉන්ජිනේරුවෙකි. නව නිර්මාණකරුවෙකි. අද ලොව අංක එකේ විද්‍යුත් මෝටර් රථ සහ බැටරි නිපදවන ‘ටෙස්ලර්’ සමාගමේ හිමිකරුවන්නේ ද මස්ක් ය. ඉලොන් මස්ක් කැලිෆෝනියාව කේන්ද්‍රකොට ගනිමින්, ස්පේස් එක්ස් සමාගම ආරම්භ කළේ 2002 දීය. ඒ, අභ්‍යවකාශ ගමන් බිමන් වාණිජකරණයට ලක් කිරීමේ අරමුණ ඇතිවය. බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධුරය හොබවද්දී, ඇමෙරිකාවේ පෞද්ගලික සමාගම් කිහිපයක් නාසා ආයතනයට සම්බන්ධ කළේ නාසා ආයතනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කිරීම ඇමෙරිකන් රජයට බරක් වූ බැවිනි. ඒ අනුව, ‘ස්පේස් එක්ස්’ සමාගම නාසා ආයතනය සමඟ එක් විය. ස්පේස් එක්ස් ‘ෆෝල්කන් 9’ රොකට්ටුව සහ එම රොකට්ටුවට සම්බන්ධ කෙරෙන ‘ඩ්‍රැගන්’ ගගන කැප්සියුලය අත්හදා බලමින් නිර්මාණය කෙරුණේ ඉන්පසුවය.
මේ වෙනවිට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇති රට ඇමෙරිකාවය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේ ගුවන් ගමන සිදුවූයේ නිරෝධායන නීතිවලට අනුවය. ගගනගාමීන් බොබ් සහ ඩග් දෙදෙනා ගමනට කලින් නිරෝධායනය කෙරුණි. නිරෝධායන ක්‍රියාවලිය ආරම්භ වූයේ මැයි 13 වැනිදා සිටය. ගගනගාමීන් දෙදෙනා පළමුවෙන් ඔවුන්ගේ නිවෙස්වලත් පසුව නාසා අයතනයේ විශේෂ කුටියක් තුළත් නිරෝධායනය කර තැබුණි. ඒ, අභ්‍යවකාශ නැවැතුම්පොළට වයිරසය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමටය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවට ගොඩවෙද්දී පවා බොබ් සහ ඩග් දෙදෙනාගේ උෂ්ණත්වය පරීක්ෂාවක් සිදුවිය. බොබ් සහ ඩග් දෙදෙනාට සුබපැතීමට ඉලොන් මස්ක් පැමිණ සිටියේ මුහුණු ආවරණයක් පැලඳගනිමිනි. ඉලොන් මස්ක් ‘ස්ටාර් වෝර්ස්’ අභ්‍යවකාශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට ලෝලියෙකි. ස්ටාර් වෝර්ස් කතා මාලාවේ ‘මිලේනියම් ෆෝල්කන්’ අභ්‍යවකාශ යානයට තමන් බෙහෙවින් කැමැති බවත්, එම නිසා තම සමාගම නිර්මාණය කළ රොකට්ටුව ‘ෆෝල්කන්’ යන නමින් නම් කළ බවත් ඉලොන් මස්ක් මාධ්‍ය හමුවේ පවසා තිබේ. ඩග් හර්ලි සහ බොබ් බෙන්කන් වෙනුවෙන් විශේෂ ගගන ඇඳුමක් නිර්මාණය කර තිබුණු අතර එය හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට සඳහා ඇඳුම් නිර්මාණ කරන නිර්මාණ ශිල්පීන් සහ මස්ක් එක් වී සකසනු ලැබූවකි.
නාසා ප්‍රධානී ජිම් බ්‍රයිඩන්ස්ටයින් ද මීටරයේ දුර ආරක්ෂා කරමින් ගගනගාමීන් දෙදෙනා සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ද අමතක නොකළේය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුවේත් ගගන කැප්සියුලයේත් ඓතිහාසික ගුවන් ගමන දැකගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පැමිණියේය. උපජනපති මයික් පෙන්ස් ද ට්‍රම්ප් සමඟ සිටියේය. ‘ෆෝල්කන් 9’ රොකට්ටුව සාර්ථකව ගුවන්ගත වෙද්දී රැස්ව සිටි මාධ්‍යවේදීන් වෙත හැරෙමින් ජනපති ට්‍රම්ප් කියා සිටියේ, වසර නවයකට පසු ඇමෙරිකාව යළි ඇමෙරිකාවේ නිපදවූ රොකට්ටුවකින් ගගනගාමීන් උඩු ගුවනට යැවීම සැබැවින්ම ආඩම්බරයක් බවය.
ලුසිත ජයමාන්න
ඒ.එෆ්.පී. ඇසුරිනි