කෝට්ටේ රාජධානිය පිහිට වූ හයවැනි පරාක්‍රමබාහු රජු (ක්‍රි.ව. 1412-1467) කෝට්ටේ මෙන්ම ශ්‍රී ලංකාවේද රජ කළ ශ්‍රේෂ්ඨම රජවරුන් කීප දෙනාගෙන් එක් අයෙකි. අවසාන වරට මුළු ශ්‍රී ලංකාවම එක්සේසත් කළේ මේ රජතුමාය. මුළු ලංකාවම එක්සත් කර පිටරටවල් සමඟ යුද්ධ තුනක් කර ජය ලබා අවුරුදු 55 දිගු කාලයක් ඔහු රටේ සාමයෙන් රජ කළේය. එමෙන්ම ඔහු කල රටේ විශාල ආගමික, සංස්කෘතික, සාහිත්‍ය ප්‍රබෝධයක් මතු විය. පැරැණි ශිලා ලිපි අතර කුඩා අකුරින් ලියා තිබී මහාචාර්ය පරණවිතාන කිය වූ හයවැනි පරාක්‍රමබාහු රජුගේ වංශාවලි සටහන් වලින් හයවැනි පරාක්‍රමබාහු රජු හා ඒ පරපුරේ යටගියාව දැන වංශකතාවල නොඑන වටිනා සත්‍ය තොරතුරු එළිවෙයි. මේ ඒ තොරතුරුවලින් හෙළිවෙන හයවැනි පරාක්‍රමබාහු රජුගේ එකම දියණිය වූ ලෝකනාථ හා බෑනා වූ සුන්දර පාණ්ඩ්‍ය කුමරු ගැන එක් අනුවේදනීය කතාවකි.
ඒ වන විට අද මැලේසියාව ලෙස මුස්ලිම් බලය පැතිර ඇති රට එදා බෞද්ධ බලය වූ සිංහල රජ පරපුරුවලට නෑදෑකම් ඇති මලය රාජ්‍යය නමින් ප්‍රකට විය. තරුණ වයස වන විට හයවැනි පරාක්‍රමබාහු කුමරු හැදුණේ වැඩුණේ ඈත පෙරදිග මලය රාජ්‍යයේදීය. 1410 චීන ආධාර ඇතිව ලංකාවට අවුත් ඔහු රජ විය. ඒ වන විට රට මැද තිබූ දැදිගම රාජ්‍යයේ ඪකූර රජුගේ දූ වූ ස්වර්ණමාණික්‍යා හෙවත් රන්මැණිකා කුමරිය හයවැනි පැරකුම්බා රජුගේ අගබිසව විය. රාජාවලිය වංශකතාවේ කීරවැල්ලේ කුමරිය ලෙස හඳුන්වන්නේ මේ ස්වර්ණාමාණික්‍යා බිසවයි. හයවැනි පරාක්‍රමබාහු රජුට දාව ස්වර්ණාමාණික්‍ය බිසවට පළමුව ලැබුණේ ‘පුරන්දර’ නම් පුත් කුමරෙකි. එහෙත් පුරන්දර කුමරු කුඩා කලම අකාලයේ මළේය.
ස්වර්ණාමාණික්‍යාට දෙවනුව ලැබුණේ දූ කුමරියකි. අපේ වංශකතා හා සාහිත්‍ය ග්‍රන්ථවලට මේ කුමරිය නම් තුනකින් හඳුන්වයි. (ශ්‍රී රාහුල හිමි ලිවූ පරෙවි සන්දේශයේ ඇය ‘චන්ද්‍රාවතී’ ලෙස එයි. රාහුල හිමි ලිවූ සැළලිහිණි සන්දේශයේ ‘උලකුඩ’ දේවිය ලෙස දක්වයි. සීතාවක කල ලියැවුණු ‘අලකේශ්වර යුද්ධය’ වංශකතාවේ ඇය ලෝකානාථ හා උලකුඩය දේවී යන නම් දෙකින්ම දක්වයි.) රජුගේ මේ එකම දූ කුමරිය චන්ද්‍රාවතී ලෝකනාථා උඩකුඩය දේවී යන නම් තුනෙන්ම හඳුන්වා ඇත. මේ කුමරිය තරුණ වියට පත් කල විවාහ කර දීමට සුදුසු කුමරෙකු සොයා දීම අතිශය දුෂ්කර කරුණක් විය. හේතුව මේ වන විට ලංකාවේ රජකම සඳහා පාණ්ඩ්‍ය හා සවුළු (මැලේ හෙවත් ජා) රජ පරපුර අතර පැවැති උග්‍ර ගැටුමයි. එත් පරපුරක කුමරෙකුට ඈ පාවා දුන්නොත් අනෙක් පරපුර හා ඔවුන්ගේ විශාල අනුගාමික පිරිස එයට විරුද්ධ වන බැවිනි. මේ අනුව හයවැනි පරාක්‍රමබාහු රජු තම දියණිය සඳහා පාණ්ඩ්‍ය හා සවුළු යන රාජ පරම්පරා දෙකටම අයිති රජ කුමරෙකු තම දියණිය පාවා දීමට සෙවීමට විය. ඒ මගින් පාණ්ඩ්‍ය හා සවුළු යන රජ පරම්පරා දෙකේ ගැටුම නතර වන බව රජු කල්පනා කළේය.
කලක් යන විට පැරකුම්බා රජුට රජ පරම්පරා දෙකටම සම්බන්ධ රජ කුමරෙකු ගැන තොරතුරු හමු විය. ඒ අම්බලන්තොට රාජධානියේ සුන්දර පාණ්ඩ්‍ය කුමරුය. (සැළලිහිණි සන්දේශයේ ‘නන්නුරුතනයාර්’ ලෙස දැක්වූයේ ඔහුය.) හයවෙනි පැරකුම්බා රජුගේ දූ වූ චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු ඇයට කැමැති වී ඇය විවාහ කර දීමට එකඟ විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු චන්ද්‍රාවතී සමඟ ප්‍රේමයෙන් බැඳී විවාහ තීන්දුවට ආවේය. මේ අතරතුර හදිසියේ ඔහුට ඈත පෙරදිග මලය රාජ්‍යයට යාමට සිදුවිය. හේතුව ලංකාව හා මලය රාජ්‍යය රජ පරපුර අතර නිරන්තර සම්බන්ධතා තිබීමයි.
සුන්දර පාණ්ඩ්‍ය කුමරු මලය රටට ගොස් කලක් ගතවනතුරු මලය රාජ්‍යයේ රජුගේ දුව වූ සුන්දරී කුමරි ඔහුට හමුවිය. පාණ්ඩ්‍ය කුමරුට ලංකාවේ චන්ද්‍රාවතී කුමරිය අමතක විය. ඔහු මලය රට රජුගේ දුව සුන්දරී කුමරිය සමඟ ප්‍රේමයෙන් වෙලී එහි ජීවත් විය. කෝට්ටේ හයවෙනි පරාක්‍රමබාහු රජුට මේ සිද්ධිය සැල වී රජු බෙහෙවින් කලබල විය. සුන්දර පාණ්ඩ්‍ය කුමරු ලංකාවට ආවේ නැත. ඉන්පසු කෝට්ටේ රජු අම්බලන්තොට විසූ සුන්දර පාණ්ඩ්‍ය කුමරුගේ පියා වූ මහින්ද කුමරුට හසුනක් යැවීය. එය ද නිෂ්පල විය. දැන් චන්ද්‍රාවතී කුමරිය වියෝගයෙන් තැවෙයි.
ලංකාවේ රාජ පරම්පරා දෙකටම සම්බන්ධ චන්ද්‍රාවතී කුමරියට විවාහ පොරොන්දු දී දැන් ඒ අමතක කර මලය රටට වී සිටින තම අණට අකීකරුව මලය රටේ රජුගේ දූ හා ප්‍රේමයෙන් වෙලී සිටීම නිසා කෝට්ටේ රජුට සුන්දර පාණ්ඩ්‍යගේ ක්‍රියාකලාපය මදිපුංචිකමක් විය. හයවැනි පරාක්‍රමබාහු රජු මලය රටට යාමට හමුදාවක් හා නැව් සමූහයක් සූදානම් කළේය. නාවුක හමුදාව සමග හයවැනි පරාක්‍රමබාහු රජු තම එකම දූ කුමරිය ද කැටුව මලය රටට යාමට සූදානම් විය.
සැතපුම් දහස් ගණනක් ඈත සැඩ කුණාටු සහිත දරුණු මුහුදේ දිගුකලක් නැව් හමුදාවක් සමඟ යාම ඉතා අන්තරාදායක කාර්යයක් විය. රජු සමග සියුමැලි රාජකුමරිය ද රැගෙන යාමට ඔහුට අවශ්‍ය විය. (මෙහිදී හයවෙනි පැරකුම්බා රජු ළඟ කුඩාකල සිටම පුතෙකු ලෙස හැදුණු වැඩුණු මේ වන විට තොටගමුවේ ශ්‍රී රාහුල නමින් පැවිදිව සිටි හිමි පැරකුම්බා රජු හා දූ කුමරිය යන දීර්ඝ මුහුදු ගමනේදී මුහුදට අධිපති උපුල්වන් හෙවත් වරුණ දෙවිඳුගේ පිහිට පතා පරෙවි සන්දේශය ලිවීය. චන්ද්‍රාවතී කුමරියට සුදුසු සැමියෙකු සොයා දෙන ලෙස පරෙවියා උපුල්වන් දෙවිඳුගෙන් අයදියි.)
නැව් හමුදාව සමග මලය රටට ගිය කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු සටන් වැද මලය රට රජු පරාජය කළේය. සිංහල රජු ජයග්‍රාහීව මලය රටට ඇතුළු විය. චන්ද්‍රාවතී කුමරිය දුටු සුන්දර පාණ්ඩ්‍ය කුමරු යළිත් ඇය හා ආදරයෙන් බැඳුණේය. මේ අතරතුර මලය රට රජුගේ දූ වූ සුන්දරී එරට වෙනත් රජ කුමරෙකුට විවාහ කර දෙන ලදී. මලය රට විජයග්‍රහණය කළ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු චන්ද්‍රාවතී කුමරිය සුන්දර පාණ්ඩ්‍ය කුමරු නාවික හමුදා කැටුව ලංකාව බලා පිටත් විය.
රූමත් සියුමැලි දූ කුමරිය සමඟ මලය රටට ගොස් මලය රජු පරදවා විජයග්‍රාහීව ආපසු ලංකාවට ආ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු රජු මහත් උත්සවයක් මැද ඉතා ශුභ හෝරාවකින් ක්‍රි.ව. 1448 අප්‍රේල් 10 බදාදා උදෑසන 6.45 අනුරාධපුර රුවන්වැලිසෑ මළුවේදී සුන්දර පාණ්ඩ්‍ය කුමරු හා ලෝකනාථා කුමරිය අතර විවාහය සිදුකළ බව ශිලා ලිපි පාඨවල එයි.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ
එස්.කේ. ජයවර්ධන