අතීතයේ විසූ මහා සම්මත රජුගේ බිසවට සිනහ උපදවන යමක් දැකීමේ දොළදුකක් හටගෙන තිබේ. තම බිසවගේ දොළදුක සංසිඳ වීමට කිසිවක් කරකියාගත නොහැකිව සිටි මහා සම්මත රජු පත්ව තිබෙන අපහසුතාව දුටු ශක්‍ර දේවේන්ද්‍රයා ධාර්මිෂ්ඨ රජකු වූ මහා සම්මත රජුට පිහිටවීමේ අදහසින් රජු උයනේ පුස්කොළ සන්නසක් තබා තිබේ. මේ අනුව කෝලම් නාට්‍ය නැතහොත් කෝලම් නැටුම බිහි වූ බවට උපන් කථාවක් ජනප්‍රවාදයේ සඳහන් වේ.
කෝලම් නැටුම් කලාව අප රටේ කවදා කොහේ ආරම්භ වූවාදැයි ස්ථිරවම කිව නොහැකි වුවත් අම්බලන්ගොඩ, බෙන්තර, රයිගම් කෝරලය, අලුත්ගම, මිරිස්ස, ගම්පහ විගඩ යන ප්‍රදේශවල කෝලම් නැටුම් කලාව මුල්බැසගත් ප්‍රදේශ ලෙස මහාචාර්ය එම්.එච්. ගුණතිලකයන්ගේ ගවේෂණ අනුව පැහැදිලි වේ.
කෝලම් නැටුම් මෙරට පහතරට මුහුදුකරයෙ පැතිර තිබූ කලා ශිල්පයක් බව මහාචාර්ය ගුණතිලකයන්ගේ අදහසය.
අම්බලන්ගොඩ කෝලම් නැටුම් කලාවට වසර දෙසීය පනහක අතීතයක් ඇති බව කීමට සාක්ෂි තිබේ. එදා සිංහල අවුරුද්දට කෝලම් මඩුවක් නොවරදවාම පැවැත්වුණි. අද මෙන්ම රූපවාහිනිය, ගුවන්විදුලිය, වේදිකා නාට්‍ය නොතිබූ එදා ගැමියාගේ රසවින්දනයට තිබුණේ පහතරට කෝලම් නැටුම් හා උඩරට සොකරි යන කලා මාධ්‍ය පමණි. කෝලම් නාටකවල කාන්තා චරිත සඳහා රඟපෑවේ ද පිරිමින්ය.
මහා සම්මත රජුගේ දේවියට සිනහ උපදවීම සඳහා දොළදුක සංසිඳවීමට පිහිට වූ කෝලම් නැටුම පසුකාලයේ අප රටේ වැඩවසම් යුගයේ පාලනය හා පාලන තන්ත්‍රය මෙහෙය වූ නිලතල දැරූ නොයෙකුත් චරිතවල අඩුපාඩු දුබලතා සියුම් ලෙස උපහාසයට ලක්කර අප්‍රසාදය පළකර සමාජ විවරණයක් කර ඇති බව පැහැදිලිය.
වැඩවසම් යුගයේ පාලන තන්ත්‍රවල විවිධ නිලතල දරමින් වැජඹුණ චරිත කෝලම් නැටුමට යොදා ගනිමින් රජුගේ පිරිස, සේවකයන් හා පළාත් හා ප්‍රාදේශීය පාලකයන් වූ මුදලි මුහන්දිරම්වරුන්ට අප්‍රසාදය පළකිරීමට කෝලම් නැටුම්කරුවා සමත් වී තිබේ.
මුදලිවරුන්ගේ උද්දච්ඡකම නිරූපණය කර ඇත්තේ කෝලම් වෙස් මුහුණෙනි. ඔවුන්ගේ තේජස හා ආඩම්බරකාර ගමන් විලාසය හාස්‍යය හා උපහාසය ඉස්මතු වන අයුරින් නිරූපනය කිරීමට මුදලි කෝලම යොදාගෙන තිබේ.
වසර දෙසීය පනහකට ඉහත දී ආරම්භ වූ කෝලම් නැටුම් කලාවේ ජාතික හා ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් අද වන විට ඇත්තේ අම්බලන්ගොඩට බවට කිසිදු විවාදයක් නැත.
සිංහල වෙස්මුහුණු කලාව හෙවත් කෝලම් නැටුම් කලාව ලංකාවේ සම්ප්‍රදායික ජන කලාවකි. වසර දෙසීය පනහකට එහා ගිය අතීතයකට උරුමකම් කියන අම්බලන්ගොඩ කෝලම් නැටුම් ගුරුකුල දෙකකි. අම්බලන්ගොඩ (තුඩුවමුල්ල) ගුරුකුලය සහ හිරේවත්ත (නම්බිමුල්ල) ගුරුකුලය එම ගුරුකුල දෙක වේ.
මහ අම්බලන්ගොඩ ගුරුකුලය ටුක්කාවඩු පරම්පරාව විසින් හා නම්බිමුල්ල ගුරුකුලය ජුවන්වඩු පරම්පරාව විසින් පවත්වා ගෙන එනු ලබනුයේ දිගු කාලයක් සිටවීම කැපීපෙනෙන කරුණකි.
1829 වසර වන විටත් මහ අම්බලන්ගොඩ කෝලම් නැටුම් කණ්ඩායමක් තිබූ බවට සාක්ෂි තිබේ. 19 වන සියවසේ මුල් භාගය තුළ ගාල්ල - මාතර ප්‍රදේශවල ආගමික කටයුතුවල නිරතව සිටි වෙස්ලියානු පූජකවරයෙකු වූ ජෝන් කැලැමේ පියතුමා විසින් රචිත ‘යකුන් නටනවා - කෝලම් නටනවා යන ඉංග්‍රීසි ග්‍රන්ථයේ එහි කෝලම් පිටපතට අනුව මුලින්ම ඇතුළත් කර ඇති ප්‍රාරම්භ ශ්ලෝක මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරපුරේ තුන්වැනි පුරුක වූ කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපතේ එලෙසම සඳහන් වීම ඊට හොඳම නිදසුන වේ. කෝලම් නැටුම් පිළිබඳ විවිධ පර්යේෂණ කර ඇති කැලණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා සෞන්දර්ය අධ්‍යයනාංශයේ හිටපු අංශාධිපතිවරයකු මෙන්ම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වූ මහාචාර්ය එච්.එම්. ගුණතිලකයන් සිය කෝලම් නැටුම් පර්යේෂණ සඳහා යොදාගෙන ඇත්තේ කලාගුරු ගුණදාස ගුරුන්නාන්සේගේ අත්පිටපත් හා ඔහු ලබාදුන් මූලාශ්‍ර බව ද සඳහන් කරයි. දේශීය අනන්‍යතාව දේශීය මෙන්ම විදේශීය පර්යේෂකයන් ඉදිරියේ ප්‍රදර්ශනය කළ ටුක්කාවඩු ගුණදාස ගුරුන්නාන්සේ වෙස් මුහුණට වෙස්ගැන්වූ ප්‍රදේශයම විවෘත කොට පළාතට පමණක් නොව රටට කීර්තියක් ගෙන ආ අභිමානවත් කලාකරුවකු බව ද මහාචාර්ය ගුණතිලක ශූරීන් සඳහන් කරනුයේ අප්‍රමාණ ගෞරවයෙන් යුතුවය.
දේශීය මෙන්ම විදේශීය සිසුන් කීපදෙනෙකුගේ ගුරුවරයා බවට කලාගුරු ගුණදාස ගුරුනාන්සේ හඳුන්වා දිය හැක. ප්‍රංශයේ පැරිස් නගරයේ තියාතුදු ශොද්රේ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයකු ශිල්පියකු වූ ඇමෙරිකානු ජාතික ටෙරී රෙනී නමැති තරුණයා 1975 වසරේ දී මහ අම්බලන්ගොඩට පැමිණ කලාගුරු ගුණදාස ගුරුනාන්සේගෙන් ශිල්පශාස්ත්‍ර හැදෑරීම මීට එක් නිදසුනක් ලෙස ගෙනහැර දැක්විය හැක.
ටුක්කාවඩු ගුණදාස ගුරුනාන්සේගේ ශිෂ්‍යයන් හත්දෙනකුම කලාභූෂණ රාජ්‍ය සම්මාන හිමිවීම විශේෂ සිද්ධියකි. ලංකාවේ යම් ගුරුකුලයකට මෙවන් රාජ්‍ය සම්මාන හතක් හිමිවී ඇත්දැයි දැනගන්නට නැත. කේ.එම්. ප්‍රේමදාස, ටී.ඩබ්ලිව්. සුමනසේන, ටී.ඩබ්ලිව්. ආරියරත්න, එම්.එච්. සෝමපාල, ඩබ්ලිව්. ඩැනිපාල, පී.ඩී. ලීලරත්න යන කෝලම් නැටුම් කලාකරුවන් හා කලාගුරු ගුණදාස ගුරුනාන්සේ පුතකු වන ටුක්කාවඩු හරිස්චන්ද්‍ර කලාකරුවන් කෝලම් නැටුම් කලාව වෙනුවෙන් කලාභූෂණ රාජ්‍ය සම්මාන ලැබූ අම්බලන්ගොඩ කලාකරුවන් හත්දෙනාය.
මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු කෝලම් නාට්‍ය පරපුරේ සිව්වන පුරුක වන ටුක්කාවඩු හරිශ්චන්ද්‍ර මහතා මුණගැසීමට අම්බලන්ගොඩ කෝලම් නැටුම් පරපුරේ මහගෙදර සේ සැලකෙන නිවසට ගියේ මේ ගැන වැඩිමනත් තොරතුරු දැනගැනීමේ අදහසිනි.
ටුක්කාවඩු පරපුරේ මහගෙදරට පසෙකින් ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු හා නැටුම් සංරක්ෂණ කේන්ද්‍රය පිහිටා තිබේ. ටුක්කාවඩු ගුණදාස කෝලම් වෙස්මුහුණු හා නැටුම් අනුස්මරණ කමිටුවේ ඉල්ලීම අනුව මෙම සංරක්ෂණ කේන්ද්‍රය මතු පරපුර උදෙසා ගොඩනැගීමට පළාත් සභා ප්‍රතිපාදන ලබා දෙමින් සිය යුතුකම නොපිරිහෙලා ඉටුකළේ එවකට දකණු පළාතේ ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කළ ෂාන් විජයලාල් ද සිල්වා මහතා බව ඊට කෘතවේදීව සිහිපත් කළ යුතුමය. දෙස් විදෙස් පර්යේෂකයන්ට විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට හා දේශීය විදේශීය සංචාරකයන්ට නැරඹීමට මෙන්ම දැනුම ලබාගත හැකි පරිදි විශාල වියදමක් දරා තාක්ෂණය යොදා ගනිමින් අලංකාර ලෙස මෙම සංරක්ෂණ කේන්ද්‍රය ඉදිකර ඇත.
ටුක්කාවඩු පරපුරේ හතරවැනි පුරුක කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී ටුක්කාවඩු හරිශ්චන්ද්‍රයන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ පසුතල නිර්මාණශිල්පියකු ලෙස විසිවසරකට වැඩි කාලයක් සේවය කර ඇති ශ්‍රී ලංකාවේ කෝලම් නැටුම් කලාව පිළිබඳ පරිණත දැනුමක් මෙන්ම පරිණත කලාශිල්පියෙකි.
හරිශ්චන්ද්‍ර මහතාගේ පියා වූ ටුක්කාවඩු ගුණදාස මහතා විසින් ටුක්කාවඩු පරම්පරාවට අයත් පැරණි කෝලම් මුහුණු කට්ටලය කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එම වෙස්මුහුණු කට්ටලය යළි ප්‍රතිනිර්මාණය කොට අම්බලන්ගොඩ පිහිටි සංරක්ෂණ කේන්ද්‍රයේ ප්‍රදර්ශනය කිරීමට කැපවුණේ හරිශ්චන්ද්‍ර මහතාය. ඊට ද දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතාගෙන් ලැබුණේ නොමද සහයෝගයක් මෙන්ම අනුග්‍රහයකි.
කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී ටුක්කාවඩු හරිශ්චන්ද්‍ර මහතා කෝලම් නැටුම් කලාව පිළිබඳ අතීත මතක ආවර්ජනයක යෙදෙමින් මෙසේ කීය.
‘මහ අම්බලන්ගොඩ කෝලම් නැටුම් පරපුරේ මුල්පුරුක ටුක්කාවඩු ඩයිනිස් ගුරුනාන්සේ. ඒ වර්ෂ එක්දහස් අටසීය දක්වා ඉතිහාසයකට. ටුක්කාවඩු පරම්පරාවේ දෙවන පුරුක ටුක්කාවඩු පෑලිස් ගුරුනාන්සේ.
පෑලිස් ගුරුනාන්සේ වන මගේ සීයා ඉපදුනේ 1856 වර්ෂයේ දී. පෑලිස් ගුරුනාන්සේගේ පියා ඩයිනිස් ගුරුනාන්සේ. පෑලිස් ගුරුනාන්සේ මියයන්නේ 1955 වර්ෂයේ දී. ටුක්කාවඩු පරපුරේ තෙවන පුරුක තමයි මගේ පියා ගුණදාස ගුරුනාන්සේ. මම හතරවැනි පුරුක මගේ පුතුන් දෙදෙනා හා ලේලිය රංග හසන්ත, චන්දික තුෂාර හා චලනි රූපිකා පස්වන පරම්පරාව’ යි කීවේ සතුටෙන් යුතුවය.
‘ලංකාවේ කෝලම් නැටුම් කලාව පැරණි ගැමි නාට්‍ය කලාවක් ලෙස ඇතමුන් අවතක්සේරු කළ ද ජපානයේ කබුකි හා නෝ නාට්‍ය කලාවන්ට වඩා උසස් මට්ටමක තිබෙන බවත් ඒ අනුව කෝලම් නැටුම් කලාව සම්භාව්‍ය නැටුම් කලාවක් ලෙස නොබියව හඳුන්වා දිය හැකි’ බවට මහාචාර්ය ප්‍රැට්‍රික් රත්නායකයන්ගේ මතය බවට ටුක්කාවඩු හරිස්චන්ද්‍ර මහතා අප සමග කතාබහට එක්වෙමින් පැවසුවේ ඊට නිදසුන් රැසක් ද ගෙනහැර පාමිනි.
වෙස්මුහුණු වර්ග දෙකකි. එක් වර්ගයක් කෝලම් නැටුම් සඳහා යොදාගන්නා වෙස්මුහුණු හා ශාන්තිකර්ම සඳහා යොදාගන්නා වෙස්මුහුණු වශයෙනි. විවිධ චරිත සඳහා යොදාගන්නා කෝලම් වෙස්මුහුණු සියයක් පමණ තිබේ. කෝලම් වෙස්මුහුණු කොටස් තුනකි. චරිත වෙස්මුහුණු, සත්ව වෙස්මුහුණු හා අතිමානුෂික වෙස්මුහුණු ලෙස හැඳින්විය හැක.
අණබෙර කෝලම, හේවා කෝලම, ලියනාරච්චි කෝලම, කාපිරි කෝලම, ආඬි කෝලම, ජස ලෙන්චිනා හා මුදලි කෝලම චරිත වෙස්මුහුණු අතර කෝලම් මුහුණු කීපයකි. සිංහයා, වළහා, කොටියා සත්ව වෙස්මුහුණුවලින් නිරූපනය කෙරේ. එසේම අතිමානුෂික වෙස්මුහුණු වර්ග අතර නාග රාක්ෂ, මරු රාක්ෂ, ගුරුළු රාක්ෂ වැනි වර්ග අයත්ය.
මෙම කෝලම් නැටුම් සඳහා වාද්‍ය භාණ්ඩ ලෙස පහතරට බෙරය හා හොරණෑ යොදා ගැනේ. එසේම පහතරට ශාන්තිකර්ම සඳහා වෙස්මුහුණු භාවිතා කෙරේ. ගොලු සන්නිය, පිත සන්නිය, වාත සන්නිය, නාග සන්නිය හා පාළි නැටුම් වේ. පන්දම් පාලිය, සළුපාලිය, දලුමුල පාලිය පාලි අතර වේ. මෙම පාලි හා දහඅට සන්නි පහතරට ශාන්තිකර්ම සඳහා යොදාගන්නේ අමනුෂ්‍ය බලවේග ඉවත් කිරීම සඳහාය.
වෙස්මුහුණක් කපා නිර්මාණය කරන්නේ කෙසේදැයි හරිස්චන්ද්‍ර මහතා විස්තර කළේ මෙලෙසිනි.
‘මේක කර්මාන්තයක් නෙවි කලාවක්. මම එහෙම කරන අයට දොස් තියන්නේ නැහැ. එහෙම නැති උනොත් මේ ඓතිහාසික කලාවත් අපෙන් නැතිවෙලා යන්න පුළුවන්. අද වගේ ලැකර් පේන්ට් ගාලා නෙවි පැරණි ශිල්පීන් වෙස්මුහුණු නිර්මාණය කළේ. දැන් කාලේ වෙස්මුහුණු කැපීම අරුමයක් නෙවි. හැබැයි සම්ප්‍රදායික ශිල්පීන් වෙස්මුහුණු කැපුවේ සුභ නැකත් වේලාවකට. මේ වෙස්මුහුණු කලාව ආරම්භ වුණ අතීතයේ වෙස්මුහුණු කපන්න යොදා ගත්තේ මාදම්පාගේ ගඟේ ඉවුරු අසබඩ වැවෙන ‘ඩීං’ නැතහොත් ගිම්පොල් Nipa Fructicans) ගහේ අතුවලිනි. එහෙත් පසුකලෙක වෙස්මුහුණු කැපීමට යොදාගත්තේ වෙල්කදුරු (Strychnos nus Vomica) ලීයෙන්.
‘ඒ කාලේ වෙස්මුහුණ කපන්න ඒකට ගැලපෙන කදුරු කොටයක් හොයාගත්තා. එහෙම නැතිව තියෙන කදුරු කොටයෙන් වෙස්මුහුණු කැපුවේ නැහැ. තුණුරුවන් දෙවියන් සිහිකර මුහුණු කපන්න පටන් ගන්නේ. මුලින්ම පොළොවට සමාන්තර ලෙස කදුරු කොටයේ එක පැත්තක පාදම සකස්කර ගන්නවා. බරමානම් ගැසීම කෙරෙන්නේ ඉන් අනතුරුවය. ඒ කියන්නේ හැඩතල මතුකර ගැනීමය. පසුව වෙස්මුහුණේ පිටුපස පැළඳීමට හැකි සේ එහි කොටස් හාරා ඉවත් කරනවායි හරිස්චන්ද්‍ර මහතා කීවේ
තම පියාගෙන් ලත් මඟපෙන්වීම මෙන්ම අත්දැකීම්වලින් ලත් පරිණත බව විදහා දක්වමිනි. ‘ඉන් පස්සේ සියුම් කැටයම් මතුකර ගන්නවා. ඊට පස්සේ වෙස්මුහුණ මදින්න කලින් දුම්මැස්සේ දමා පදම් කරගන්නවා. එදා වෙස්මුහුණු මදින්න ගත්තේ දේශීය ශාඛ වර්ගයක් වන මොටදැලියා කොළ. එසේ මාස කීපයක් දුම්ගසා පදං කරගන්නා වෙස්මුහුණක් වසර දෙසීයකට වැඩි කාලයක් සුරක්ෂිතව තබා ගැනීමට හැකි බව කියනුයේ තමා සතු හසල දැනුමෙනි.
මෙම වෙස්මුහුණු වර්ණ ගැන්වීම සඳහා එදා පැරණි ශිල්පීන් යොදාගෙන ඇත්තේ දේශීය අමුද්‍රව්‍ය වේ. කොස්ගහේ මුල් කහ වර්ණය සඳහා යොදාගෙන ඇති අතර නිල් ඇවරිය, සාදලිංගම්, ගුරුගල් හා කළුපාට සඳහා රෙදි පුච්චා ලබාගත් අලු භාවිතා කර ඇත. විශේෂය වන්නේ මේ වෙස්මුහුණු දොරන තෙල් මිශ්‍රයෙන් වර්ණ ගැන්වීමය.
කෝලම් නාට්‍ය මඩු දැකිය හැක්කේ අවුරුදු කාලයටය. ඒත් රාත්‍රියේය. ගැමි ජනයාට කෝලම් නැටුම් බැලීමට විවේකය ඇත්තේ රාත්‍රී කාලයටය. කෝලම් රඟ දක්වන්නේ එළිමහනේය. කවාකාර ලෙස සකස්කර ගන්නා භූමිය කරළිය ලෙස හැඳින්විණි.
කෝලම් නැටුමක් කොටස් දෙකකට බෙදේ. උපන් කථාවට අදාළ රැඟුම් සහිත මුල්කොටස හා අනතුරුව තෝරාගත් කතා පුවත රඟ දක්වති. කෝලම් මඩුවක් ආරම්භ කරනුයේ ද ආගම සිහිකර දෙවියන්ට මල්පහන් පිදීමෙන් අනතුරුවය.
ශිව දෙවියන්ට හා මහා බ්‍රහ්මයාට නමස්කාර කිරීම අගස්ති සෘෂිවරයාට, කතරගම දෙවියන්ට නමස්කාර කර එම දෙවි දේවතාවන්ගේ ආශිර්වාදය පතා සංස්කෘත ශ්ලෝකයක් තෙරුවන් නමදින කෙටි කවි කීපයක් ගායනා කර කෝලම් උපත දක්වා චරිත සභාවට පිවිසේ. ටුක්කාවඩු පරපුරේ අත්පොතෙහි දැක්වෙන පරිදි කෝලම් නැටුමේ පාත්‍රවර්ගයා මෙසේය.
පළමුවෙන්ම සභාපති පැමිණ සභාවට නමස්කාර කර සභාව පිළිගෙන කෝලම් නැටුම් ගුරුවරුන් ගැන විස්තර කරන අතර සභාපති මුහුණු පළඳින්නේ නැත. ඔහු නික්ම ගියපසු පිළිවෙළින් පොලිස් භටයන්, විදානආරච්චි සහ ලියනප්පු, හේවායන් පැමිණීම, නොංචි අත්තා හා ජසයා පැමිණීම, ලෙන්චිනාගේ පැමිණීම, මුදලි සමග රජකට්ටුව පැමිණීම හා අනතුරුව නාග රාක්ෂ, ගුරුළු, මරුකඩ යන නැටුම් රඟ දැක්වේ. අනතුරුව රඟදැක්වෙන්නේ මනමේ, සඳකිඳුරු, ගෝඨයිම්බර හා ගොන්තොටි කතාවලින් තෝරාගත් කතා පුවතක් රඟ දැක්වීමෙන් පසු කෝලම් මඩුවේ වැඩ අවසන් වන්නේ පසුදා හිමිදිරි පාන්දර යාමයේය. ටුක්කාවඩු පරම්පරාවට ආවේණික අංගයක් වන්නේ මුදලි කෝලමය. මුදලි කෝලම රඟදැක්වීමට ටුක්කාවඩු පරම්පරාවේ අය දක්වන්නේ සුවිශේෂ කැමැත්තක් හා දක්ෂතාවකි.
ටුක්කාවඩු ඩයිනිස්, පෑලිස් ගුරුනාන්සේලා ඉදිරියට ගෙන ආ කෝලම් නැටුම් ජාත්‍යන්තරයට ගෙනගියේ කලා ගුරු ගුණදාස ගුරුනාන්සේය.
ජර්මනියේ තොලොං නගරයේ (Rautensstranch Joest museum) නැතිනම් රුවන්ස්ට්‍රෝච් ජොයස්ට් කෞතුකාගාරයේ ‘අම්බලන්ගොඩ’ නමින් ලිපිගොනුවක් තිබේ. එහි ටුක්කාවඩු ගුණදාස ගුරුනාන්සේ පිළිබඳ විස්තර ද එතුමා ගැන ඉංග්‍රීසි හා ජර්මන් භාෂාවෙන් පළවූ පුවත්පත් ද තිබේ. එසේම 1962 වසරේ රුසියාවේ ටෂ්කන් නුවර මැයි දිනය වෙනුවෙන් පැවැති ජාත්‍යන්තර කලා ප්‍රදර්ශනයට ශ්‍රී ලාංකික කලාභාණ්ඩ වෙනුවෙන් වෙස්මුහුණු ප්‍රදර්ශනය කිරීම සඳහා එවක රජයෙන් අවසර ලබා දුන්නේ ගුණදාස ගුරුනාන්සේටය.
ලංකාවේ ගැමිනැටුම් පිළිබඳ පළමු ශාස්ත්‍රීය පර්යේෂණය කළ මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර ශූරීන් රචිත සිංහල ගැමි නාටක ග්‍රන්ථයේ හා එහි ඉංග්‍රීසි පිටපත් මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස කලා ගුරුනාන්සේගේ නැටුම් විලාස හා කෝලම් නැටුම් පිටපත් ද පාදක කරගෙන තිබේ.
1953 වසරේ දී ලංකාවට සැපත් වූ දෙවන එළිසබෙත් රැජින ඉදිරියේ මෙන්ම චීන අගමැති චෞඑන්ලායි මහතා ඉදිරියේ කෝලම් නැටුම් රඟදක්වා සම්මාන ප්‍රශංසා හිමිකර ගැනීමට ටුක්කාවඩු ගුණදාස ගුරුනාන්සේ ඇතුළු මහ අම්බලන්ගොඩ කෝලම් නැටුම් කණ්ඩායම දක්ෂතා දක්වා ඇත.
එසේම මහ කවි රවින්ද්‍රනාත් තාගෝර්තුමා ලංකාවට පැමිණි අවස්ථාවේ දී කලා ගුරු ගුණදාස ගුරුනාන්සේගේ කණ්ඩායමේ නොන්චි කෝලම් මුහුණ දමා නැටු කේ.ඒ. ප්‍රේමදාස මහතාගේ කෝලම් රංගනයට වශී වූ රවින්ද්‍රනාත් තාගෝර්තුමාට නොන්චි මුහුණ පරිත්‍යාග කර තිබේ. එම නොන්චි මුහුණු අදටත් ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ ප්‍රදර්ශනයට තබා තිබේ. එසේම තම කෝලම් නැටුම් කණ්ඩායම ඕස්ට්‍රේලියාව, හොංකොං වැනි රටවල් ගණනාවක අන්තර් ජාතික කෝලම් නැටුම් තරග සඳහා ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා තිබූ බව හරිස්චන්ද්‍ර මහතා කීවේ මෙම කලාව ඉදිරියට ගෙන යාමට රට කරවන ඇත්තන්ගේ අවධානය යොමුවිය යුතු බව සඳහන් කරමිනි.
‘කාලයක් යන විට මේ කලාව කරන්න අය නැතිව යනවා. මේ ශිල්ප ඥානය ඇත්තේ කීප දෙනෙක් ළඟ පමණයි. සම්ප්‍රදායික වෙස් මුහුණක් කපන්න, නැටුම්, ගායනා, පසුතල සියල්ල කරන්න මට පුළුවන්. කෝලම් මඩුවට අයත් කරළිය, වෙස්අත්ත, මල්යහන ඒ වගේම සම්ප්‍රදායික පැරණි වෙස්මුහුණක් කපන හැටි දුම්මැස්සේ දාල පදම් කරන හැටි වර්ණ ගන්වන හැටි මේ ටික ඇතුළත් කරන මේ සංරක්ෂණ කේන්ද්‍රය හා මහගෙදර ඉඩ නැහැ. මේ සඳහා ගඟ අයිනේ නිදහස් පරිසරයක ඉඩකඩක් දුන්නොත් කෝලම් නැටුම් කලාව ගැන දෙස් විදෙස් මතු පරපුරට කියාදෙන්න හැකිවේවි.’ යැයි කලාභූෂණ රාජ්‍ය සම්මානලාභී ටුක්කාවඩු හරිස්චන්ද්‍ර මහතා කීවේ බලාපොරොත්තු සහගත සිතකිනි.
එසේම වෙස්මුහුණු කලාවෙන් ලංකාවට කීර්තියක් ගෙන ආ අම්බලන්ගොඩ ජුවන්වඩු ආරියපාල ගුරුනාන්සේගේ හා හිරේවත්තේ කෝලම් පරපුරේ ආරම්භකයා ජුවන්වඩු ඔන්දිරිස් ද සිල්වා ගුරුනාන්සේගේ ද මෙහිදී සිහිපත් කළ යුතුමය.
අතට සැරමිටියයි
උරයට දවුල් බෙරයයි....
ආ.....ආ.....ආ......
තද මහලු වයසයි
වරෙන් ගුරුනේ.......
රාජ......
අා.....ආ.....
සටහන හා ඡායාරූප -
අම්බලන්ගොඩ හේමන්ත ද සිල්වා