​ගෙදර ළමා නිවාසයකට දුන් ‘නපුරු අත්තම්මා’


‘අඹ යහළුවෝ’ ටෙලි නාට්‍යය නැරඹු බොහෝ දෙනා එහි ‘නපුරු අත්තම්මා’ට අකැමැතිය. එහෙත් ඇය සමග චිත්‍රපට හා ටෙලිනාට්‍ය දර්ශන තලවල වැඩ කළ බොහෝ දෙනා ඇයට තවමත් ආදරය කරති. ඒ ඇය තම ද‌ායකත්වය රංගනය වෙනුවෙන් උපරිමයෙන් කැප කළ කරදරයක් නැති රංගන ශිල්පිනියක බැවිනි.


ශ්‍රී ලාංකික සිනමාව පෙරළාගෙන රූපවාහිනී මාලා නාටක ප්‍රේක්ෂකයා අතරට යද්දී රූබි ද මැල් නොහොත් ‘අඹ යහළුවෝ’ නපුරු ආත්තමාගේ සිනමා දිවියද බොහෝ දෙනකුට අමතකවන්නට ඇත.


1917 දෙසැම්බර් 4 වැනිද‌ා මොරටුවේ උපන් ඇය 2004 නොවැම්බර් 8 වැනිද‌ා අප අතරින් වෙන්ව ගියේ රාජගිරියේ වැඩිහිටි නිවාසයකදීය. ඇය තමන්ට හිමි නිවස ළමා නිවාසයක් ලෙස පවත්වාගෙන යන්නට පවරා නිස්කලංකව නිදහස්ව ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නට වැඩිහිටි නිවාසය වෙත යෑම නිසාය.
ඇය අධ්‍යාපනය ලැබුවේ මොරටුවේ වේල්ස් කුමරි විද්‍යාලයෙන් හා මීගමුවේ නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයෙනි.
රූපවාහිනී හා සිනමා රංගනයෙන් ඉවත් වූ රූබි ඇතැම් උදයක රාජගිරියේ වැඩිහිටි නිවාසයේ ආලින්දයේ පුවත්පත් කියවනු දැකියහැකි විය. තවත් ඇතැම් සැඳෑවක ඇය කීප දෙනකු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනු දැකිය හැකි විය.


එක් අතකින් ඒ දසුන් මගේ සිත සංවේගයෙන් පුරවාලන්නට විය. ඒ ඇය අසරණ වූවා යන හැඟීමෙන් නොවේ. ඇතැම් චිත්‍රපට දර්ශනතල වල ඇය සමග ගත කළ ඒ සොඳුරු අතීතය යළිත් නොඑතැයි යන සතුවිල්ල නිසාය.
ඇය මා දන්නා කාලයේ පටන්ම පදිංචිව සිටියේ කොළඹ කොල්ලුපිටියේ ශාන්ත මයිකල් රෝහල ආසන්නයේ පිහිටි සොඳුරු සුඛෝපභෝගී නිවසකය. දුප්පත් ගැහැනුන්ගේ චරිත නිරූපණය කළද ඇය ඉතා චතුර ලෙස ඉංග්‍රීසි භාෂාව කතා කළාය. සමාජශීලි වූවාය. එක් දිනෙක මට ඇය අහම්බෙන් මෙන් හමුවූයේ කොළඹ ධර්මපාල මාවතේදීය. ඇය පදවාගෙන ආ මෝටර් රථයේ ටයරයක හුළං බැස ​ගොස් තිබිණ. ඇය ‘ජැක්’ එක ගසා මහපාරේ අයිනක තනිවම ටයරය මාරුකරමින් සිටියේ පිරිමියකු මෙනි. එවකටද ඇය බොහෝ දෙනා හඳුනන ජනප්‍රිය නිළියකි.


මට ඇය සමඟ මාසයක පමණ කාලයක් දර්ශන තලයක ගත කිරීමට ඉඩ ලැබුණේ ෂර්ලි පී. විජේරත්නගේ ‘වැල්ලෙ තැනූ මාලිගා’ චිත්‍රපටයේදීය.


ඇය එහි රඟපෑවේ කැතරින් නම් ධීවර මවක ලෙසය. ඇයගේ දියණිය වූයේ ඉසබෙලා (මාලිනී ෆොන්සේකා)ය. මේ චරිතය බොහොදුරට ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘බමරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් (මාලිනී)ගේ මවට සමාන චරිතයකි.


ධීවර ගම්මානයක කතාවක් නිසා රූපගත කෙරුණේද කල්පිටියේ කන්දකුලිය ප්‍රදේශයේය. ‘බමරු ඇවිත්’ රූගත වූයේද කල්පිටියේය.

 

 

මාලිනීගේ පෙම්වතා ලෙස රඟපෑවේද විජය කුමාරතුංගය. සෙසු චරිත අමරසිරි කලංසුරිය, විමල් කුමාරද කොස්තා, ඩී.ආර්. නානායක්කාර, බන්දු සමරසිංහ, මියුරි සමරසිංහ, තෙරේසා සමරසිංහ ආදීහු රඟපෑහ.
අප නැවතී සිටියේද කන්දකුලියේය. රූපගත කිරීම් සඳහා අපට යාමට තිබූ වාහනය ට්‍රැක්ටරයක ට්‍රේලරයයි. වෙනත් වාහනවලට මුහුදු වැල්ලේ යෑමට අපහසු නිසාත් ගමනාගමනයට ට්‍රැක්ටරයක් තෝරාගෙන තිබිණ.
නළු නිළියන් ඇතුළු කැමරා කණ්ඩායමේ සියල්ල ගමන් ගත්තේ මේ ට්‍රේලරයේය. ඩොනල්ඩ් කරුණාරත්න මෙහි කැමරා අධ්‍යක්ෂ වූ අතර කලා අධ්‍යක්ෂවරයා වූයේ ලයනල් සිල්වාය. උදේට ට්‍රේලරයට උදේ කෑම, පානීය ජලය පිරි කළගෙඩි, නළු නිළි ඇඳුම් බෑග් පමණක් නොව විශාල ඩීසල් භාජනයක්ද පැටවෙයි.
ට්‍රැක්ටර ට්‍රේලරය මුහුදු වැල්ලේ උඩ පැන පැන ගමන් ගනිද්දී එය අපට විනෝදයකි. මාලිනී, රූබි හෝ වෙනත් කිසිම රංගන ශිල්පිනියක ට්‍රැක්ටරයේ ගමනට විරුද්ධ නොවූහ. එක් දිනෙක රූගත කිරීම් සඳහා යද්දී ට්‍රේලරයේ තිබූ විශාල ඩීසල් බඳුන පෙරලී ගියේය. ඩීසල් හැලුනේ ට්‍රේලරයේ ඇඳුම් බෑගයක් මත වාඩි වී සිටි රූබිගේ ඇගටය. ඇය ඩීසල්වලින් නෑවිණ. අනෙක ඩීසල් සමෙහි තැවරුණු විට දැවිල්ලය. ඇය ට්‍රේලරයෙන් බැස අසල තිබු කුඩා ධීවර නිවාසයකට ගොස් ඇඟ සෝද‌ා ගත්තාය. ඇඳුම් මාරුකර ගත්තාය. යළි සිනාවෙමින් ට්‍රේලරයට නැග රූපගත කිරීම්වලට සහභාගි වූවාය. එය ඇයට කෝපයට කරුණක් නොවීය. ඇය එතරම්ම සිනමාවට භක්තිමත් නිළියකි. එම දර්ශන තලයේදී පමණක් නොව ඊට පසුව හමු වූ අවස්ථාවලද ‘‘මතකද මගේ ඇඟේ ඩීසල් හැළුණු හැටි මෙන්න මෙයත් ළඟ හිටියා’’ ඇය මාද සාක්ෂිකාරයකු කර සිනාවෙමින් කියන්නීය.


“සමහරද‌ාට මට හොඳටම නින්ද ගිහින් තියෙන වෙලාවට ටෙලිෆෝන් එක රිං වනවා. වෙලාව බලන කොට රෑ දෙකහමාර විතර වෙලා. මම ඉතින් අමාරුවෙන් ටෙලිෆෝන් එකට කතා කරනවා.
‘‘හලෝ රූබි, මම ටෝනි. (ටෝනි රණසිංහ)’’
‘‘ඇයි ටෝනි මේ මහ රෑ’’


‘‘කොහොමද රූබි, මට නිකං රූබිට කතා කරන්න හිතුණා’’
‘‘මං ඒ වෙලාවට ටෝනි ළඟ හිටියනං ගහන්න තරමට කේන්තියි. නයිට් ෂූටින් තියෙනද‌ාට ටෝනි මහරෑට ඔය විදියට කෝල් දෙන එක තමයි කරන්නේ.’’ ඇය කියයි. රූබි විහිළුවලට අමනාප නොවෙයි. රුක්මනී දේවියගේ ජීවිතයේ අතිශය පෞද්ගලික තොරතුරු පවා ඇය දැන සිටියාය. ඒවා කාටවත් නොකීවද ඇය රුක්මණී ගැන ඇත්තටම දුක් වූවාය.


තවත් දිනෙක අප කොළඹ සිට නුවර එළිය බලා යමින් සිටියේ තවත් චිත්‍රපටයක රූගත කිරීම් වෙනුවෙනි. ඒ, එච්.ඩී. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කිරීමට ගිය එහෙත් අතරමග නැවතුණු ‘අභිෂේක’ චිත්‍රපටයයි.
​කොළඹදී අප වෑන් රථයට නංවා ගත්තේ රූබි, තවත් ජනප්‍රිය නිළියක වූ රීටා රත්නායක හා එකල විකට නළුවකු ලෙස ප්‍රකටව සිටි නවනන්දන විජේසිංහය. කොළඹ රවුම් ගසා එන විට රාත්‍රී හත හමාර පමණ විය. ඊලඟට අපට රථයට නංවා ගත යුතු වූයේ අමරසිරි කලංසුරියවය.


ඔහු එකල පදිංචිව සිටියේ ගම්පොළ ගෙලිඔය ගෙදරය. කොළඹදී රථයට ඉන්ධන ලබා ගන්නැයි මම රියැදුරුට කීප වරක්ම මතක් කළෙමි. ඔහු තව තියෙනවා තව යන්න පුළුවන් කියමින් ගියා විනා ඒ ගැන සැලකිල්ලක් නොවීය. ගෙලිඔයට යනවිට රෑ එකොළහමාර පමණ විය. කලං නංවා ගෙන අපි නුවරඑළිය කරා ගමන් කරමින් සිටියෙමු.


රූබීත් රීටාත් සිටියේ ඉදිරිපස අසුණේය. කළං නවනන්දන සහ මම පිටුපස අසුනට වී සිටියෙමු. රූබිත් රීටාත් ඉංග්‍රීසියෙන් ද සිංහලෙන් ද නොකඩවා කතා කරමින් සිටියහ. හරි හැටි රාත්‍රී ආහාරයක් නොවීය.
රෝල්ස්, කට්ලට් වගයක් රාත්‍රී ආහාරයට ගන්න දැයි ඇසූ විට සියල්ලෝම එයට කැමැති වූහ.
රාත්‍රී එක හමාර පමණ වනවිට නුවරඑළිය කඳු තරණය කරන්නට සිදු විය. මුළු පළාතට මීදුමෙන් වැසී ගොස්ය. ඒ මදිවාට පාර පාළුය. දෙපැත්තේම තේ වතු යායවල්ය. රියැදුරු එක වරම මා දෙස බැලුවේය.
ඔහු හස්ත මුද්‍රාවෙන් කීවේ වාහනයේ ඉන්ධන අවසන් වේගෙන එන බවය. තියෙන ප්‍රමාණය නුවරඑළියට යාමට ප්‍රමාණවත් නොවන බව ඔහු කීවේය.
එකම පිහිට ගම්පොල ප්‍රදේශය ගැන දන්නා කලං ය. ඔහු කීවේ දැන්නම් නුවරඑළියෙන් මෙහා පෙට්‍රල් ෂෙඩ් එකක් නැති බවය.


රීටා හා රූබිගේ කතාව කොතරම් සරුද යත් මේ කිසිවක් ඔවුන්ට නෑසිණ.
අපි මේ බව ඔවුන්ට නොකියන්නට තීරණය කළෙමු.


‘‘කඳු ටික ඇදල පල්ලම් ටික නියුට්‍රල් එකේ යමු.’’ තිබෙන එකම විසඳුම එයය. රියැදුරුද කඳු ටික ඇද ඇන්ජිම නිවා හෙමිහිට පල්ලම් බසින්නට විය. හෙමෙන් හෙමෙන් පැය දෙකක් පමණ කාලයක් පල්ලම් බැස යම්තම් නුවරඑළියට ළඟාවීමු. අපේ සිරුරට ලේ ඉනුවේ ඉන් පසුවය. ඒ වනවිට උදෑසන පහමාර පමණ විය. තවත් පැය බාගයක් පමණ ඉන්ධන පිරවුම් හළ විවෘත කරන තුරු අපට බලා සිටින්නට සිදුවිය. එහෙත් මේ කිසිවක් රූබි හා රීටා ට දැනෙන්නට ඉඩ නොහැරියෙමු.
නුවරඑළියේ නවාතැනට ගිය රූබිත් රීටාත් උදෑසන රූ ගත කිරීම් වලට සහභාගී වීම ප්‍රතික්ෂේප නොකළහ.
නවාතැන ළඟින් ගලා යන කුඩා දිය පහරක පිපුනු ලිලී මල් දැක රීටා කෑ ගසන්නට වූවාය.
‘‘රූබි කම් කම් බලන්න අනේ ලිලීස්’’ රූගත කිරීම් අවසාන වී කොළඹ එන විට නුවරඑළියෙන් ගලවා ගත් මල් පඳුරු ගොන්නකින් වෑන් රථයේ පසුපස පිරී තිබිණ. ඒවා කොළඹදී පැළ වූවාදැයි දන්නේ ඔවුන්ම පමණි.
‘‘මම ඩී.ඇම්. කොළඹගේ වැනි ශිල්පීන් සමග ඒ කාලේ ගුවන් විදුලියේ සේවය කළා. ඒ කාලේ සිනමා නිළියන් ගැන අපේ ගෙදර සහෝදර සහෝදරියො අතර කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. මේ කාලේ ලැඩි රණසිංහ මට මුළින්ම ‘රදළ පිළිරුව’ චිත්‍රපටයෙ රඟපාන්න කතා කළා. මම බෑ කිව්වා.’’
මේ කාලෙදිම මට ටී.බී. ඉලංගරත්නගේ ‘හඳහන’ නාට්‍යයෙ රඟපාන්න ලැබුණා. ‘හඳහන’ නරඹන්නට බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නන් ඇවිල්ලා හිටියා. ඔහු මට චිත්‍රපටයක රඟපාන්න කතා කළා. මම කැමැති වුණා හැබැයි ගෙදරට කිව්වේ නෑ. 1955 දී මම බී.ඒ. ඩබ්ලිව්, රුක්මණී දේවි ඇතුළු පිරිස සමග ඉන්දියාවට ගියේ ගෙදරට ​බොරු කියලා. නිවාඩුවකට ඉන්දියවෙ යන බව කියමින්. ඒත් ගෙදර මේ ගැන දැන ගත්තා. පිටු පහක ලිපියකින් මට ගෙදර අය බැනලා තිබුණා. එම චිත්‍රපට වලට ඒ කාලේ නම දැම්මේ රසාංජලී කියලා බොරු නමක්.


“මතභේදයේ මම රඟපෑවේ වළව්වක ළමයි බලා ගන්න නැනී කෙනෙක් විදියට. ගෙදර අයත් එකිනෙකාට හොරෙන් ගිහින් ‘මතභේදය’ බලල තිබුණා. ඇය වරෙක මා සමග කීවාය. ඇය ‘කවට අන්දරේ’ චිත්‍රපටයේ රජ බිසව ලෙස රඟ පෑ චරිතයට බෙහෙවින් ප්‍රිය කළාය. ඒ වගේම බඹරු ඇවිත් චිත්‍රපටයේ ධීවර බිරිඳක්​ ලෙස රඟපෑ චරිතයට මම හුඟක් කැමැතියි. රන් එතනා චිත්‍රපටයේ දුප්පත් ගැමි ගැහැනියක ලෙස කළ රඟපෑමත් මගේ හිත් ගත් චරිතයක්’’ ඇය කීවාය.


එකල ද ඇය මොරටුවේ විශේෂ අවශ්‍යතා සහිත බාලිකාවන් ඉගෙන ගන්නා පාසලක් බාරව සිටියා. සිනමාවෙන් සමුගත් දිනෙක ඇයගේ බලාපොරොත්තුව තිබුණේ එම පාසලේ වැඩකටයුතු කෙරේ සම්පූර්ණ කාලයම යොදවන්නටය.


සුමනා අමරසිංහ සිනමාවට හඳුන්වා දුන්නේ ද රූබිය. ඒ ඇය අධ්‍යක්ෂණය කළ පිපෙන කුමුදු චිත්‍රපටයෙනි.
‘‘මම ‘ලස්සන මුහුණු’ තරගයෙන් දිනුවා. ඒ වගේම ඒ කාලේ තරගයක් තිබුණා. මිස් මේරේලාල් කියලා. ඒ සෙයින්ස්ටාන් සිනමා හලේ පෙන්නපු ‘මේරේලාල්’ චිත්‍රපටය බලන්න ආපු අය අතරින් ලසන්න අය තෝරලා. මම ඒ තරගයෙනුත් තේරුනා. එයින් මට විශාල ප්‍රසිද්ධියක් ලැබුණා.
‘ලස්සන මුහුණු’ තරගයේ ජූරියේ රූබි අක්කත් හිටියා. ඒ හරහා තමයි ඇය මාව ‘පිපෙන කුමුදු’ වලට තෝරා ගත්තේ. ‘‘රූබි අක්කා අවසාන කාලේ වැඩිහිටි නිවාසයෙ සතුටින් ජීවත්වුණා. එයාට වෙනම කාමරයක් තිබුණා. එයා හිතන්න ඇති කාටවත් කරදරයක් නොවී නිදහසේ ජීවත් වෙන්න. රූබිට සල්ලි වලින් ප්‍රශ්නයක් තිබුණෙ නෑ. මා දන්නා තරමින් එයාගෙ ළමා නිවාසෙ තාමත් තියෙනවා.’’ සුමනා කියන්නීය.

 

 

රොඩ්නි විදානපතිරණ