2019-12-22 දින ඉරිදා ලංකාදීප පත්‍රයේ රසවිත අතිරේකයේ විශ්‍රාමික ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේන මහතා විසින් ලියා ඉදිරිපත් කර ඇති කුල භේදය ලංකාවේ සමාජගත වුණේ මෙහෙමයි යන ලිපියේ පිළිගත හැකි සත්‍ය කරුණු මෙන්ම පිළිගත නොහැකි අසත්‍ය කරුණු ද ඇතුළත්ව ඇත.
එම ලිපියේ ලංකාවේ පුරාණයේ පැවැති ආර්ය සමාජයේ කුලයක් විනා කුල භේදයක් නොතිබුණි යනුවෙන් දක්වා ඇත. එය පිළිගත හැකි වන අතර සෑම කුලයකින්ම ඉටු වූ කාර්ය භාරයේ රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වූවක් විය. එබැවින් එක් කුලයක් අනිත් කුලයට වඩා උසස් වූවාක් හෝ පහත් වූවක් ලෙස හුවා දැක්විය නොහැක. ගම්ලදුවන්, ගමරාළ ගම්පති වූ අතර ගමරාළගේ නිවස, ගමගේ මහගේ විය. උඩරට රාජධානිය වකවානුවේදී ප්‍රභූ නිවාස වලව් යනුවෙන් හැඳින්වුණි.
පුද්ගලයන්ගේ නම් ගම් මෙන් ඉඩම්වල නම් ගම් හිතු මනාපයට වෙනස් නොවන නිසා ඉඩම් හිමියන් හා දැසි දස්සන් ගැන වැටහීමක් ලබාගැනීමට පුද්ගලයෙකු උපන් පදිංචි ඉඩමේ නම ගැන විමසා බැලීමෙන් හැකි බව පෙනේ.
පොළොන්නරුවේ රාජ්‍ය කළ නිශ්ශංකමල්ල රජු ඉන්දියාවෙන් පැමිණි කුමාරයෙකි. ලංකාවේ ගොවි වංශිකයන් රාජ්‍යත්වයට පත්වීම වැළැක්වීමට එතුමා උත්සාහ කළ බව එතුමාගේ පුවරු ලිපිවලින් පෙනේ. බුදුන් උපන් දේශයේ උපන් අයෙකුට මෙරට රජකම ලැබිය යුතුය යන මතය නැගී ආ නිසා ඉන්දියාවෙන් පැමිණෙන ඕනෑම හයිහත්තිය ඇති අයෙකුට මෙරට රජ විය හැකි විය. බුදුන් වහන්සේ උපන් භූමියට ගරු කිරීමට පූජ්‍ය පක්ෂය ද සැදී පැහැදී සිටි බැවින් සසුනට වැඩ ඇති බෞද්ධ සිද්ධස්ථාන දියුණු කරන ඉන්දීය කුමාරවරුනට මෙරට සිහසුනට පත්වීම අපහසු නොවීය. ඉන්දීය රාජකීයයන් නෙරපා දමා සිහසුනට පත්වීමට සියවස් ගණනාවක් ගොවි වංශික රදළවරුන් ගත් උත්සාහය 1815 දී කෙළවර වූයේ සිහසුන ඉංග්‍රීසි රාජකීයන්ට අත්වීමෙන් සහ ඒ සඳහා සටන් කළ සිංහල ප්‍රභූවරුන් සිරමැදිරියට යාමෙනි.
ජයසේන මහතාගේ ලිපියේ මුදියන්සේවරු යනුවෙන් ජන කොටසක් හෝ කුලයක් ඇති බැව් හැඟවීමට උත්සාහ කර ඇත. එය සාවද්‍යය. පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමියන් පැවසුවේ මුදියන්සේ යනු නිල නාමයක් බවත්, එය ගොවි වංශික ප්‍රභූවරුන්ට උඩරට රාජධානියේ ලැබුණු තනතුරක් බවත්ය. පැරණි ලේකම් මිටිවල මුදලි යනුවෙන් හඳුන්වන රාජ්‍ය නිලධාරී ප්‍රභූවරුන්ගෙන් පැවතෙන්නන් සිය වාසගම ලෙස මුදියන්සේලාගේ යන්න පසුගිය සියවස් තුනක පමණ කාලයක සිට භාවිතා කරන බැව් පැරණි හා වර්තමාන ලේඛන අනුව පෙනේ.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතාගේ උඩරට සමාජ ක්‍රමය සහ කුල ක්‍රමය ගැන ලියවුණු ග්‍රන්ථ මගින්ද පැහැදිලි වන්නේ මුදියන්සේ යනුවෙන් දුරාතීතයේ සිටම ගොවි වංශික ප්‍රභූවරුන් හැඳින්වෙන බවයි. ලංකාවේ ගොවි වංශය තුළ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ වෛශ්‍ය වංශිකයන් ඇතුළත්ව ඇති බව එතුමන් සඳහන් කර ඇත. ඉන්දිය ප්‍රභූන්ගේ සුළු සේවකයන් දැසි දස්සන් වූ මුඩියන්වරු මුඩියෝ වී පසුව මුදියන්සේලාවීම කිසිසේත්ම පිළිගත හැකි කාරණයක් නොවේ. එය ලේඛකයාගේ හිතලුවකි. එබැවින්ම ලේඛකයා තම හිතලුව ජනප්‍රවාදයට අනුව මෙන්ම පිළිගත් මතය වන්නේ යනුවෙන් වෙසෙසා දක්වයි. ලංකාවේ කුල ක්‍රමය සහ උඩරට රාජධානිය සම්බන්ධව දේශීය විදේශීය ලේඛකයන් ලියා ඇති කිසිම ග්‍රන්ථයක හෝ සාමාන්‍ය මහජනයා අතර හෝ උගතුන් (ලේඛකයා හැර) කිසිවකු අතර මුදියන්සේවරු ගැන එබඳු මතයක් ඇති බවක් මෙතෙක් වාර්තා වී හෝ ශ්‍රවණය කර නැති බව කියමි. එය මේ ලේඛකයාගේ නිෂ්පාදනයක් බව සඳහන් කළ යුතුය.
සිංහල රාජ්‍යත්වයේ සංකේතය වූ ශ්‍රී දන්තධාතූන් වහන්සේගේ ගිහි භාරකාරත්වය සිංහලයේ රජවරුන් විසින් දරනු ලැබිණි. 1815 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රාජ්‍යත්වයෙන් බැහැර කළ දා සිට එකී උසස් පදවිය දරනුයේ මුදියන්සේ වාසගම දරන ප්‍රභූ පිරිස්ය. මේ සිංහල බෞද්ධ රාජ්‍යයේ මුදියන්සේවරුන්ට ඇති තත්ත්වය කුමක් දැයි ලියුම්කරු එයින් වටහා ගත යුතු බව කියමි.
සිංහල බෞද්ධ සංස්කෘතිය සියවස් ගණනාවක් නොනැසී පැවතියේ භික්ෂූන් වහන්සේ සහ ගැමි ප්‍රභූන්ගේ පැවැත්ම තුළිනි. ගැමි සංස්කෘතියට පහර ගැසීම පසුගිය දශක හතරක පමණ කාලයක තුළ අඛණ්ඩව සිදු විය. බෞද්ධයන් උතුම් කොට සලකන තෙරුවන දෙරුවන ලෙස හැඳින්වීමත්, සිංහල බෞද්ධ මුදියන්සේවරු සොළී දාසයන්ගෙන් පැවත එන්නන් ලෙස හැඳින්වීමත් එකම කාසියේ දෙපැත්ත මෙන් පෙනේ. අප සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට උත්සාහ කරන බටහිර අධිරාජ්‍යවාදී ගැත්තන්ට ඒ සඳහා ඉඩ නොතැබීමට අපි වගබලා ගත යුතු බව කියමු.
නීතිවේදී ජීම් මාරඹේ