​බෙරහඬින් රටක් අවදි කළ බද්දේගම ගිරංචියා


 

රටක ලිඛිත ඉතිහාසයකට වඩා අලිඛිත ඉතිහාසය ඉතා ආකර්ෂණීය ය. එසේ වීමට හේතුව ලිඛිත ඉතිහාසය තුළ සාක්ෂි සහ සාධක ඉතිරි නොකර සැඟව යන බොහෝ චරිත සහ සිද්ධීන් අලිඛිත ඉතිහාසය තුළ අමරණීයව ජීවත්වන බැවිනි. ලංකාවේ යටත් විජිත සමයේ බෞද්ධ පුනරුදයේ ලිඛිත ඉතිහාසයේ වීරයන් ගැන අප අනේක වාරයක් කියවා ඇති නමුත් අලිඛිත ඉතිහාසයේ සැඟව ගිය වීරයන් පිළිබඳව වූ කතා එමෙන් සිය දහස් ගුණයක් ආකර්ෂණීය ය.   

බද්දේගම ගිරංචියා පිළිබඳව ඉතිහාසයේ සටහන් තුළින් සොයාගත නොහැකිවුවත් පොලිස් වාර්තාවල සහ ජනප්‍රවාදයේ ඔහුට තැනක් ලැබී ඇත. ප්‍රබන්ධ ඉතිහාසය සැලකූවිට බද්දේගම ගිරංචියාට හිමි තැනදී ඇත්තේ කොළඹ ආනන්ද විදුහලට වසර 100 පිරීම නිමිත්තෙන් ප්‍රවීණ නාට්‍යකරු දයානන්ද ගුණවර්ධනයන් විසින් රචිත ‘ආනන්ද ජවනිකා’ නම් නාට්‍ය කෘතියේ පමණකි. ඒ අනුව ආනන්ද ජවනිකා නාට්‍ය රචනා කිරීමට ගිරංචියා පිළිබඳව කරුණු සොයා බැලූ දයානන්ද ගුණවර්ධනයන්ගේ පර්යේෂණ පිටපත පසුගියදා කියවන්නට ලැබුණි. එයින් ලබාගත් රසවත් සිදුවීමකි මෙය.   


1818 සහ 1848 කැරලි දෙකට සමාන කැරැල්ලක් ගාලු නගරයේ දී සිදුවී ඇත. මෙය එතරම් ප්‍රසිද්ධවී නැත්තේ එය අවිගත් කැරැල්ලක් නොවීමත් සාමකාමී බෞද්ධ පෙරහරක් වීම එම සිද්ධියේ ආකර්ෂණය තවත් දෙගුණ තෙගුණ කරලීමට සමත් වේ.   


මෙම පෙරහැර සංවිධානය කර තිබුණේ ගාල්ල පරමානන්ද විහාරයේ විහාරාධිපති හිමියන් ලෙස වැඩ විසූ බුලත්ගම ධම්මානන්ද හිමියන් විසින් ය. මෙම හිමියන්ට සියම් රාජ්‍යයේ එවකට රාජ්‍යත්වය දැරූ චූලාලොංකෝන් (චූලාලංකාර) රජු සමග ඉතා කිට්ටු සම්බන්ධයක් තිබුණු බව ඉතිහාසයේ සඳහන්වේ. සියම් බස හෙවත් තායි බසද ඇතුළු භාෂා හතක් කියවීමේ හා ලිවීමේ හැකියාව තිබුණු බුලත්ගම හිමියන් කෙරෙහි පැහැදුණු චූලාලොංකොන් රජතුමා විසින් උන්වහන්සේ වෙත පුද පඬුරු රාශියක් නැවකින් එවන්නට කටයුතු කර තිබුණු අතර එම භාණ්ඩ සියල්ල ගාලු වරායෙන් බා ගෙන ගාලු නගරය වටා උත්සවාකාර පෙරහරින් පරමානන්ද විහාරය දක්වා වඩම්මවාගෙන ඒම සංවිධායකයන්ගේ අරමුණු විය.   


මෙම පෙරහැර පිටත්ව ටික වේලාවක් ගතවෙත්ම ගාලු පොලිසිය විසින් පෙරහර වටලන ලදී. අවසර පත්‍රයක් නැතිව මහජන උත්සව පැවැත්වීම සහ ප්‍රධාන මාර්ගය භාවිත කිරීමේ වරද හේතුවෙන් එම පෙරහර අයුතු ජනරාශියක් සේ සලකා විසුරුවා හැරීමට පොලිසිය උත්සාහ කළේය. බැද්දේගම ගිරංචියා ප්‍රමුඛ හේවිසිකරුවන් පස්දෙනා මෙහිදී අපූරු වැඩක් කළහ. එනම් පොලිසියට සෙනඟ අතරට යාමට ඉඩ නොදී පොලිසිය වටකරමින් බෙර සහ හේවිසි වැයීමට පටන් ගත්තේය. ඒ හේතුව නිසා පොලිසියට සෙනග අතරට යාමට නොහැකි විය. මේ නිසා පොලිසියට පෙරහරට සම්බන්ධ වූ කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය. අවසානයේ පොලිසිය බෙරකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගන්නා ලදී. එම හේවිසිකරුවන් පස්දෙනා මෙ​සේය.   


බද්දේගම ගිරංචියා   
අක්මීමන ජයසි   
ගිරවාන බබානිසා   
කපුගම සිංගක්කාරගේ හින්නියා   
කලේගානේ අදිරියන්   


මෙම සිද්ධිය සුළු සිද්ධියක් ලෙසදකින්නට පුළුවන. එහෙත්​ මෙය සුළු සිද්ධියක් නොව වීරක්‍රියාවක් ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ, එම වකවානුවේ ඉංග්‍රීසි පොලිසිය ඉතා බලවත්වූ අතර, පොලිසියට විරුද්ධව වචනයක් හෝ පැවසීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන වකවානුවක ඉහත සඳහන් ගිරංචියා ඇතුළු පිරිස සිදුකළ මෙම ක්‍රියාව දකුණේ පිරිස් වීරක්‍රියාවක් ලෙස සලකති.   


එහෙත් ගිරංචියා ඇතුළු පිරිස ඉතිහාසගත වන්නේ මෙම ක්‍රියාව නිසා පමණක් නොවේ. අත්අඩංගුවට ගැනීමෙන් පසු ගිරංචියා පොලිසියට පවසා අැත්තේ 1815 උඩරට ගිවිසුමේ 5 වැනි වගන්තියේ ප්‍රකාරව බෞද්ධයන්ට පෙරහැර පැවැත්වීමට අවසර ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව ය. ඇත්ත වශයෙන්ම මෙය නෛතික පැත්තෙන් බැලූ කල ප්‍රබල තර්කයකි. 1815 මාර්තු 8 දින මහනුවර මඟුල් මඩුවේ දී අත්සන් කරන්නට යෙදුණු උඩරට ගිවිසුම ප්‍රකාරව​ බෞද්ධයන්ගේ චාරිත්‍ර වාරිත්‍ර කිසිදු බාධාවකින් තොරව කරන්නට ඉඩ ලබාදෙන බවට ලංකාවේ බ්‍රිතාන්‍යය ආණ්ඩුකාරවරයා පො​රොන්දු වී තිබුණි. සියවස් ගණනක් පුරා ස්වාධීන රාජ්‍යයක්ව පැවැති ලංකාව ඉතිහාසයේ පළමු වතාවට මුළු දිවයිනම යුරෝපීය අධිරාජ්‍යයක යටත් විජිතයක් බවට පත් ​ෙවන්නේ එම කොන්දේසිය යටතේය. මුළු මහත් ලෝකයම බ්‍රිතාන්‍යය අධිරාජ්‍ය සමග මෙවැනි ගිවිසුමක් අත්සන් කරමින් යටත්වූ එකම රට ලංකාව වීම එම කොන්​දේසියේ බර තවත් වැඩි කිරීමට හේතු වේ. එමනිසා පෙරහැර පැවැත්වීමට ​පොලිසියේ අවසර ගත යුතු බවට වන නීතියක් පැනවීම උඩරට ගිවිසුමේ 5 වගන්තිය ඍජුවම උල්ලංඝනය කිරීමකි.   


මෙම තත්ත්වය කෙසේ වෙතත් ගිරංචියාගේ නීතිමය තර්කය ගාලු දිසා අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. දඬුවම ලෙස රුපියල් හැත්තෑවක දඩයක් නියම කරන ලදී. එකල මෙය ඉතා ඉහළ මෙන්ම සාමාන්‍ය බෙරකරුවකුට දරාගත නොහැකි මුදලක් විය. එබැවින් මෙහි අරමුණ මෙම පිරිස සිරගත කිරීම බව පැහැදිලිය. එහෙත් ඔවුන්ට සිරගතවීමට ඉඩ නොතැබූ බුලත්ගම හිමියන් මෙම දඩ මුදල ගෙවා දමන ලදී. එතෙකින් නොනැවතුණු බුලත්ගම හිමියන් චූලාලෝංකෝන් රජුට ලිඛිතව පැමිණිල්ලක්ද යැවූහ. 


මේ කරුණ සැලකිල්ලට ගත් එම රජු ලංකාලෝකය නම්වූ ලංකාවේ පළමු පුවත්පත පටන් ගැනීමට පළමු ආධාරය ලෙස පගෝදි පනහක මුදලක් පරිත්‍යාග කරන ලදී. 
ඒ අනුව බද්දේගම ගිරංචියා ඇතුළු පිරිසගේ විරෝධතාවය නොවෙන්නට ලංකාවේ පළමු සිංහල පුවත්පත ආරම්භ නොවීමටද ඉඩ තිබුණි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයාට එරෙහිව එමෙන්ම ලංකාවේ නිදහස වෙනුවෙන් මහත් මෙහෙයක් කළ ලංකා ලෝකය පුවත්පත ඇරැඹුණේ ගිරංචියා සිදුකළ මෙම ක්‍රියාව නිසාවෙනි. 

 

 

කොත්මලේ
රංජිත් සිසිර කුමාර සූරියආරච්චි