​ලෙස්ටර් සහාය අධ්‍යක්‍ෂගේ වැඩ තහනම් කරයි


 

‘සන්දේශය’ චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයේ සන්ධිස්ථානයකි. එය වසර හැට ගණනක් පුරාවට බිහි වූ හොඳම ඓතිහාසික සිංහල චිත්‍රපටයයි. එය අද ද ප්‍රේක්ෂක සිත් තුළට ආනන්දය ගෙන දෙන්නකි.   


‘සන්දේශය’ වාණිජ වශයෙන් සාර්ථක වුව ද ලෙස්ටර් ජේම්ස් පීරිස්ට ඉන් පසුව වසර කිහිපයක් යනතුරුම චිත්‍රපටයක් ලැබුණේ නැත.   


එකල වාණිජ චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන් විසින් ලෙස්ටර් හඳුන්වනු ලැබූයේ වාර්තා චිත්‍රපට හදන අධ්‍යක්‍ෂවරයකු ලෙසයි. මෙයට බොහෝ සේ ඉවහල් වූයේ ලෙස්ටර් වෙළෙඳ සිනමාවට දැඩි ලෙස ප්‍රහාර එල්ල කිරීමයි.   
1960 දී තිරයට ආව ද ‘සන්දේශය’ චිත්‍රපටය රූපගත කිරීම් සඳහා ගත කළ කාලය පුරා මාස පහක් බව සුමිත්‍රාගේ මතකයයි.   


එහි සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ තිස්ස ලියනසූරිය පවසන්නේ “අපෝ, අපි මාස අටක් විතර බෙල්හුලිඔය හිටියා කියාය.”   


“ඇයි එච්චර කාලයක් හිටියෙ?”   


“බෙලිහුල්ඔය දේශගුණික තත්ත්වය හැම තිස්සෙම වෙනස් වෙනවා. ඒ නිසා කැමරාගත කිරීම් සඳහා ඉර අව්ව වැටෙනකම් බලා ඉන්න වෙනවා. අනෙක් එක සන්දේශය චිත්‍රපටයේ විශාල පිරිසක් සහභාගි වුණා. පෘතුගීසි හමුදාව විධියට රඟපාන්න විතරක් තිහකටත් වැඩි බර්ගර් ජාතිකයන් පිරිසක් කොළඹින් ඇවිත් බෙලිහුල්ඔය දිගටම නැවැතිලා හිටියා...” ඔහු කියයි.   


සන්දේශයේ උප ප්‍රධාන චරිතයක් රඟපෑ ගාමිණී ෆොන්සේකා එහි නිෂ්පාදන අංශය භාරව සිටියේය.   


සහාය අධ්‍යක්‍ෂවරුන් වූයේ සුමිත්‍රා ගුණවර්ධන (පසුව සුමිත්‍රා පීරිස්), විජය අබේදේව හා තිස්ස ලියනසූරිය ය.   
මෙයින් විජය අබේදේව පසු කල ‘තිසාහාමි’ නමින් චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කළ ද එය අතරමඟ නැවැතිණ. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ ෂේන් ගුණරත්නය. ගාමිණී, ඩේවිඩ් ලීන්ගේ ‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්‍ෂවරයකු ලෙස වැඩ කරද්දී විජය අබේදේව ද ඊට සම්බන්ධ විය.   


ගාමිණී පසු කලෙක මා සමඟ කීවේ විජය අබේදේව බොහෝ විටෙක රළු වැඩවලට සහභාගි නොවූ බවයි.   
“මම කැලණි ගඟේ බැහැලා කොට අදිද්දී විජය ඒවාට සම්බන්ධ වෙන්න කැමැත්තක් පළ කළේ නෑ” ගාමිණී මේ බව පැවැසුවේ මා සමඟ කළ සාකච්ඡාවකදීය.   


(‘බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ චිත්‍රපටය කිතුල්ගලදී රූගත කළ බව ප්‍රකට කරුණකි.)   


තිස්ස ලියනසූරිය ‘සන්දේශය’ චිත්‍රපටයේ තිර නාටකය සම්බන්ධව කටයුතු කළ සහාය අධ්‍යක්ෂවරයා වූ​යේය.   
මෙහි තිර නාටකය ලියූවේ ලෙස්ටර්, කේ.ඒ.ඩව්ලිව්. පෙරේරා සහ බෙනඩික්ට් දොඩම්පෙගම ය. ​කේ.ඒ.ඩබ්ලිව්. සන්දේශයේ දෙබස් ලීවේය.   


එහෙත් එකල කේ.ඒ.ඩබ්ලිව්. ගුවන් විදුලියට බැඳුණ අලුතම නිසා ‘සන්දේශය’ රූගත කිරීමේ දී  බෙල්හුල්ඔයට පැමිණීමට කැමැති නොවීය. මේ දර්ශන තලයේ දෙබස් සම්බන්ධ සම්පූර්ණ වගකීම තිස්සට පැවැරිණි.   
වරෙක ප්‍රධාන නළු ආනන්ද ජයරත්න සමඟ ගැටුණු තිස්ස ඔහුට තිර පිටපතෙන් දමා ගැසුවේය.   


‘මොකද ඒකට හේතුව?’ පසුගියදා මම තිස්සගෙන් ඇසුවෙමි.   


“සුමනා (කාන්ති ගුණතුංග) ගැබිනියක වූ පසු බණ්ඩාර (ආනන්ද ජයරත්න) හමුවීමට එන දර්ශනයක් පසු දින රූගත කිරීමට සැලසුම් කරලා තිබුණා. සුමනා පෘතුගීසි ඔත්තුකරුවන්ගෙන් මිදී බණ්ඩාර හමුවීමට රාත්‍රියේ ගල්ගුහාවට පැමිණීම ගැන බණ්ඩාර දොස් කියනවා. හදිසියේවත් අසු වූවා නම් පෘතුගීසීන්ගෙන් සුමනාට වෙන ඉරණම ගැන හිතන්නටවත් බෑ කියලා.   


මේ දර්ශනයට ටිකක් දිග දෙබස් තිබුණා. මම කලින් දවසෙ කීවා ‘ආනන්ද අපි මේ දෙබස් ටික බලාගෙන ටිකක් රිහර්ස් කරමු’ කියලා. ආනන්ද කිව්වා ‘ඕනෙ නෑ මම එතැනදි ඒක කරන්නම්’ කියලා. කිහිප වරක් කිව්වත් ආනන්ද ඊට කැමැති වුණේ නෑ.   


පස්සෙන්දා රාත්‍රීයේ තමයි රූගත කළේ. දර්ශනය සූදානම්, ලෙස්ටර් ‘ඇක්ෂන්’ කීවා.   


ආනන්දට දෙබස් කියා ගන්න බැරි වුණා. අතරමග හිර වුණා. පස්සේ ආනන්දම ‘කට්’ කියනවා. මෙහෙම තුන් හතර පාරක්ම ආනන්දට දෙබස් මතක නැතිව එයාම කට් කියනවා.   


දැන් ලෙස්ටර් මා දිහා රවල බලනවා. මම ආනන්දට කීවා අපි පොඩ්ඩක් පැත්තකට ගිහින් මේ දෙබස් ටික බලා ගනිමු කියලා. ආනන්ද කීවා ‘නෑ මට දැන් පුළුවන්’ කියලා. ඒ පාරත් වැරැද්දුවා. මට​ කේන්ති ගිය පාර මම ස්ක්‍රිප්ට් එකෙන් ආනන්දට දමලා ගැහුවා...” ඒ තිස්සගේ කතාවය.   


එයින් සිදු වූයේ ‘සන්දේශයේ’ සහාය අධ්‍යක්‍ෂ තිස්සට ලෙස්ටර් සතියක වැඩ තහනමක් පැනවීමය.   
“මම දන්නවනෙ ලෙස්ටර්ගෙ හැටි. සතියක් යන්න ඉස්සරම දැන් ලෙස්ටර් මා දිහා බලනවා. දවස් කිහිපයකට පස්සෙ ලෙස්ටර් මට කතා කරලා කීවා ‘තිස්ස මට තව ඩයලොග් ටිකක් ලියාගන්න තියෙනවා, වැඩට එන්න’ කියලා.” ඒ සන්දේශයේ සතියකට වැඩ තහනම් වූ තිස්ස කියූ කතාවයි.   


මේ දිනවල ආනන්ද ජයරත්න ද නළුවකු ලෙස ජනප්‍රියත්වයේ බැබළුණු කාලයයි.   


වරක් ආනන්ද ලෙස්ටර් සමඟ ද මත ගැටුමක් ඇති කරගත්තේය.   


ඒ පාන්දර යාමයේ ගත් දර්ශනයකදීය. එහි එක් දර්ශනයක ඇත්තේ බණ්ඩාර (ආනන්ද) පෘතුගීසි සතුරෙකු මරා ගල්ගුහාවට එන දර්ශනයකි.   


පාන්දර එන නිසා හිරු එළිය වැටෙන්නට පෙර ඒ දර්ශනය රූගත කිරීම සැලසුම විය. මුල් දිනයේ දර්ශනයේ අඩක්, පාන්දර රූගත කරද්දී ඉර එළිය පතිත විය. කැමරාගත කිරීම නවතා දැමිණ.   


ආනන්ද කියා සිටියේ එම දර්ශනය එදිනම අවසන් කරන ලෙසටයි. ලෙස්ටර් කියා සිටියේ පසුදා පාන්දර එහි ඉතිරිය රූගත කරන බවයි.   


ආනන්ද එය ප්‍රතික්​ෂේප කළේය. තරහා නොයන ලෙස්ටර්ට එදින නම් තරහා ගියේය.   
ආනන්ද කීවේ පසු දා ඔහු බණ්ඩාරවෙල යන බවයි.   


කෙසේ හෝ ලෙස්ටර් කීවේ ගුණරත්නම්ට (නිෂ්පාදක) සිද්ධිය කියා ආනන්ද රඟපෑ දර්ශන සියල්ල නැවත වෙන නළුවකු යොදා රූගත කරන බවයි. ආනන්ද එයින් මඳක් පසුබා ගියේය.   
පසුදා යළි කිසිදු කතාවකින් තොරවම පාන්දර දර්ශන ගැනීම් සඳහා ආනන්ද පැමිණ සිටියේය.   
ලෙස්ටර් සුමිත්‍රා ආදර කතාව ගත් කල ද සන්දේශය වැදගත් වෙයි.   


සුමිත්‍රා පසු කල කියා තිබුණේ ‘සන්දේශයේ’ සහාය අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කිරීමේදී ඔවුන් අතර සුහද ඇසුරක් ඇති වූ බවයි. පිරිමින් ගණනාවක් මැද වැඩ කිරීම ඇයට අමුත්තක් නොවිණ.   
මාස ගණනාවක් එකම දර්ශන තලයක වැඩ කර යළි කොළඹ බලා එද්දී සුමිත්‍රාගේ සිතේ අනාගතය පිළිබඳ හැඟීමක් මතු වී තිබිණ.   


ඇය එකල නැවතී සිටියේ ගවර් වීදියේ අක්කලාගේ ගෙදරය. ලෙස්ටර් නිතර එහි යන්නට එන්නට විය. බොහෝ විට හැන්ඳෑ වරුවේ කැමරා ශිල්පි විලී බ්ලේක් සමඟ සාකච්ඡා පැවැතුණේ ඒ නිවෙසේදීය.   
ආගම ආදී බාහිර වෙනස්කම් හැර ලෙස්ටර්ත් සුමිත්‍රාත් හරියටම ගැළැපුණහ. ඒ නිසා විවාහකයකදී වැඩිහිටි තීරණ පිළිබඳව ඇයට බාධකයක් එන බව නොසිතිණ.   


ලෙස්ටර් එකල ජීවත් වූයේ ඔහුගේ මව සමඟය. සුමිත්‍රා ඇගේ අක්කාගේ ගෙදරය.   


එදිනෙදා ජීවිතය ගෙනයාම සඳහා ආහාර පාන ඇඳුම් පැලඳුම් ආදිය පිළිබඳව ගැටලුවක් නොතිබුණ ද ඔවුන් දෙදෙනාටම රැකියාවක් හෝ වෙනත් ආදායමක් නොවීය.   


මේ කාලයේ ලෙස්ටර්ට වාර්තා චිත්‍රපට කිහිපයක් ලැබුණත් ඒවා ස්ථිර ආදායම් මාර්ග නොවූ බව සුමිත්‍රා පසු කල පුවත්පත් සාකච්ඡාවකදී පවසා සිටියාය.   


යුගදිවි ඇරැඹීම සඳහා ආදායම් මාර්ගයක් හෝ රැකියාවක් අවශ්‍ය වුව ද ඔවුනට තෘප්තියක් ගෙන දෙන රැකියාවක් සොයාගත නොහැකි විය.   


අන්තිමට ලෙස්ටර් යෝජනා කළේ ‘ගම්පෙරළිය’ චිත්‍රපටයක් හැටියට කරමු යන්නය. ඇන්ටන් වික්‍රමසිංහ ඒ සඳහා යන මුදලින් කොටසක් දෙන බවත්, ඉතිරි මුදල අප සොයාගත යුතු බවත් ඔහු පැවැසීය.   
සූර ව්‍යාපාරිකයකු වූ ඇන්ටන් වික්‍රමසිංහ සම්බන්ධ වීම ශක්තියට කරුණක් වුවත් ඉතිරි මුදල් සොයා ගැනීම අතිශය දුෂ්කර විය.   


සුමිත්‍රාට තමා සතුව ඇති ඉඩම් කැබැල්ලක් පිළිබඳව සිහිපත් වූයේ එවිටය. ඇය ඒ වනවිටත් ඇය සතු සෑම දේපළක්ම තම වියදම් සොයා ගැනීම සඳහා විකුණා දමා තිබිණ. ඒ ද සිනමාව වෙනුවෙනි.   
අන්තිම ඉඩම් කැබැල්ල ද ඇය ‘ගම්පෙරළිය’ වෙනුවෙන් විකුණා දමන්නට තීරණය කළාය. ඒ සඳහා ඇයට ලැබුණු මුදල රුපියල් පහළොස් දහසකි. 

 
ඇන්ටන් වික්‍රමසිංහ රුපියල් පනස් දහසක් යෙදවූ අතර, ඒ නිසා ඔහුට ‘සිනෙ ලංකා’ චිත්‍රපට සමාගමේ සභාපති ධුරය හිමිවිය. ඉතිරි හවුල්කරුවන් වූයේ සුමිත්‍රා, අර්ල් අබේසේකර හා පර්සි සිල්වාය. අවශ්‍ය හිඟ මුදල බැංකුවෙන් ලබාගත් අතර, චිත්‍රාගාර පහසුකම් ලබාදෙන්නට කේ. ගුණරත්නම් එකඟ විය.   
‘ගම්පෙරළිය’ රූගත කරන කාලය වනවිට ඇතුළත දර්ශන සියල්ල රූපගත කළේ චිත්‍රාගාර දර්ශන තලවලදීය. එහෙත් ලෙස්ටර් ඒ සඳහා බලපිටියෙන් මහා කප්පින වලව්ව සොයා ගත්තේය. සියලු කැමරාගත කිරීම් ඒ ප්‍රදේශයේදී අවසන් කරන්නට සැලසුම් කෙරිණ.

   
ප්‍රශ්නය ආවේ එවිටය. ශ්‍රී ලංකාවේ කිසිදු චිත්‍රාගාරයකින් කැමරාගත කිරීම් සඳහා විදුලි බුබුළු පිටතට ගෙන යන්නට චිත්‍රාගාර හිමියෝ ඉඩ නොදුන්හ.   


අන්තිමේදී නායගම් විසින් දෙන ලද එකම විදුලි බුබුළක් රැගෙන ගම්පෙරළිය කැමරාගත කිරීම සඳහා ඔවුහු බලපිටියේ මහා කප්පින වලව්ව කරා පිටත් වූහ.

   
එහෙත් ‘ගම්පෙරළිය’ වාණිජ වශයෙන් සාර්ථක නොවීය. සුමිත්‍රා පවසන්නේ ඔවුන් ‘ගම්පෙරළිය’ සඳහා ශ්‍රමය වැය කළේ නොමිලේ බවය.   


වාණිජ වශයෙන් එතරම් සාර්ථක නොවුණ ද කලා කෘතියක් ලෙස ලද ප්‍රශංසා නිසා ඔවුහු අතිශයින් සතුටට පත්වූහ.   


සන්දේශයත්, ගම්පෙරළියත් ලෙස්ටර්-සුමිත්‍රා යුවළගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ගෙන ආවේය. ඔවුන් ඒ වනවිට දෙදෙනාම හොඳ හැටි තේරුම් ගෙන සිටි නිසා විවාහ වන්නට බාධාවක් නොවීය.   
1981 වසරේදී ඩී. කීරගල ආරච්චි විසින් ලියන ලද සුමිත්‍රා පීරිස්ගේ මතක සටහන් අනුව ඒ සඳහා දිනය යෝජනා කළේ ‘ගම්පෙරළිය’ නිෂ්පාදක ඇන්ටන් වික්‍රමසිංහය.   


“ජුනි 14 හොඳ නැකතක් තියෙනවා. ඒ තරම් බලවත් නැකතක් මේ අවුරුද්දටම ඇත්තෙ නෑ. මොනවට ද තව බල බලා ඉන්නේ. මංගල්‍යය කටයුතු සේරම මගෙ ගෙදර ලෑස්ති කරන්නම්. ඔය දෙන්නාට තියෙන්නේ වෙලාවට ඇවිල්ලා අත්සන් කරන්න විතරයි.”   


පවුල් දෙකේම අවශ්‍ය ඥාතීන් පිරිසක් මධ්‍යයේ උත්සවයකින් තොරව ලෙස්ටර්ත් සුමිත්‍රාත් 1964 ජුනි 14 වැනිදා සිය විවාහය ලියාපදිංචි කළහ.   


තමන් සතු දේපළ විකුණා දමමින් ඒ මුදල් සිනමාව වෙනුවෙන් යොදමින් ඔවුහු තෘප්තියට පත්වූහ. ඔවුන් මුදල් වැය කළ බො​හෝ චිත්‍රපට මුදල් සොයන ආකාරයේ ජනප්‍රිය රැල්ලේ චිත්‍රපට නොවීය. එක් චිත්‍රපටයක් නිමකර වසර ගණනාවක්ම කිසිම ආදායම් මාර්ගයක් නැතිව ඔවුනට කල් ගත කරන්නට සිදු විය. ජීවිතයේ අවසන් කාලය දක්වාම ඔවුනට කුලී ගෙයක ජීවත් වන්නට සිදු විය.   


ලෙස්ටර්ගේ අභාවයත් සමඟ ‘සිංහල සිනමාවේ මහගෙදර’ නමින් හැඳින්වූ ඩික්මන් පාරේ (දැන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවත) කුලී නිවෙස හැර යන්නට සුමිත්‍රාට සිදු විය.   


එහෙත් ලෙස්ටර්-සුමිත්‍රා යුවළ සිය දේපළ විකුණමින්, ආර්ථික දුෂ්කරතා විඳ ගනිමින් නිර්මාණය කළ රේඛාව, ගම්පෙරළිය, නිධානය ඇතුළු සිනමා කෘති ගණනාවක් ශ්‍රී ලංකා සිනමාවේ ඉතිහාසය වර්ණවත් කරන්නට සදා රැඳී තිබෙනු ඇත. මන්ද ලෙස්ටර්ගේ චිත්‍රපටවලින් තොර ශ්‍රී ලාංකික සිනමාවක් අපට නැති බැවිනි. 

 

 

රොඩ්නි විදානපතිරණ