​ලොව වැනසූ මහා වසංගත


 

ලෝක වසංගතයේ ඉතිහාසය පිළිබඳව විමසා බැලීමේදී පෙනී යන්නේ, වරින් වර විවිධ වසංගත මඟින් ලක්‍ෂ සංඛ්‍යාත ජීවිත හානි වී ඇති බවයි. ක්‍රිස්තු පූර්ව 5 දී ලිබියාව, ඉතියෝපියාව, ඊජිප්තුව පුරා පැතිරුණු ටයිෆොයිඩ් උණ අතීත ලෝකයේ පැවති වසංගත පිළිබඳව දෙස් දෙයි. ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේදී වසූරියේ මූලික අවස්ථාවක් ලෙස සැලකිය හැකි වසංගත රෝගයක් හන්ගේරියන් වරුන්ගෙන් ආරම්භ වී රෝමාන්වරුන් හා ජර්මානුවන් අතර ව්‍යාප්ත විය. රෝම මාර්ක්ස් අවුරේලියස් ද ඊට ගොදුරු වූ බව සඳහන් වේ.   


කාලයේ ඇවෑමෙන් සයිප්‍රියන් වසංගතය, ලාදුරු වසංගතය ආදිය ද මෑත කාලයේ ඩෙංගු මදුරුවන්, එච්.අයි.වී. ඒඩ්ස්, සාර්ස්, මර්ස් ආදී වසංගත රාශියක් ලොව පුරා ව්‍යාප්ත විය. බහුල වශයෙන්, මීයන්, ඌරන්, වවුලන්, මදුරුවන්, කුකුළන්, වඳුරන්, සර්පයන් ආදී නොයෙකුත් සතුන්ගෙන් වැළදෙන හා ව්‍යාප්ත වන බව සැලකෙන මෙම රෝග ඉතා ඉක්මනින් මිනිසුන් අතර පැතිරී, ලෝක ව්‍යාප්ත වසංගත බවට පත් වූ බව පෙනේ.   


මහාමාරිය හෙවත් කළු මරණ වසංගතය   


විටින් විට ඉතිහාසය පුරා විවිධ ව්‍යාප්ත වූ වසංගත අතරින් මහාමාරිය හෙවත් කළු‍ මරණ වසංගතය ඉතා භයානක වසංගතයකි. ඉතිහාසයේ අවස්ථා තුනක මෙම මාරාන්තික වසංගතය පැතිරුනු අතර මුලින්ම එය ක්‍රිස්තු වර්ෂ 541 දී බයිසැන්තියන් අධිරාජ්‍යයේ අගනුවර වූ කොන්ස්තන්තිනෝපලයෙන් වාර්තා විය. මෙම වසංගතය වැළඳීමෙන් අනතුරුව ශරීරය විරූපීව කළු ගැසී මරණයට පත්වීම නිසා කළු මරණ වසංගතය වශයෙන් ද හඳුන්වන ලදී. ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු වන තෝමස් මැකයිටීස් පවසන පරිදි මෙහි වඩාත්ම අවාසනාවන්ත තත්ත්වය වූයේ වසංගතයෙන් ඇතිවූ රෝග තත්ත්වයන්ට එරෙහිව සටන් කිරීමට ශක්තියක් හෝ දැනුමක් නොවූයෙන් නිරෝගී පුද්ගලයන් රෝගීන් මඟ හැර සිටීම නිසා බවයි. අනෙක් අය ඉන් ජීවිතය බේරා ගැනීමට සමත් වුවද එය ඉතා කෲර ක්‍රමවේදයක් විය. කෙසේ වුවද මෙම ක්‍රමය රෝගය පාලනය කිරීමට සමත් වූවද, නිරෝධායනය යන නව වචනය බටහිර ලෝකයට හඳුන්වා දීම ද ඉන් සිදුවිය.   


ඉන් වසර 800කට පසු එනම් ක්‍රිස්තු වර්ෂ 1341 දී මහාමාරිය වසංගතය නැවතත් පැතිර ගිය අතර සිවු වසරක් තුළ යුරෝපයේ මිලියන 200ක ජනතාවකගේ දිවි අහිමි කිරීමට සමත් විය. මෙම මරණ නිසා යුරෝපීය සමාජයේ ආර්ථික හා ආගමික කටයුතු කෙරෙහි ඍජු බලපෑමක් ඇති කළේය. යුරෝපයට එම තත්ත්වයෙන් මිදීමට සැලකිය යුතු කාලයක් ගත වූ බව පෙනී යයි. මූලාශ්‍ර සඳහන් කරන්නේ මෙම මරණ නිසා එංගලන්තයේ පමණක් අවම තරමින් ගම්මාන දහසක ජනතාවක් මියගිය බවයි. යුරෝපයේ ජනගහණයෙන් තුනෙක් එකක් මෙම වසංගතයෙන් මියගිය බව සඳහන් වේ. සමීප ආශ්‍රිතයන්ගෙන් බෝවන මෙම රෝගය වළක්වා ගැනීම පිණිස අවශ්‍ය විද්‍යාත්මක දැනුමින් ඒ වන විටත් පොහොසත්ව නොසිටිය ද, දුරස්ථභාවය පවත්වා ගැනීමෙන් රෝගය පැතිරීම අවම කළ හැකි බව ඔවුන් දැන සිටියහ. එම නිසා එවකට රගුසා නම් වරාය නගරයට පැමිණෙන නාවිකයන් දින 40ක කාලයක් හුදෙකලාකොට තැබීමට කටයුතු කරන ලදී. මීට අමතරව නිවසේ රැඳී සිටීමෙන් එනම් ස්වයං නිරෝධායනයකට ලක් වීමෙන් රෝගයෙන් ආරක්ෂා වීමට ඔවුහු සමත් වූහ.   
චීනයෙන් ආරම්භ වූයේ යැයි සැලකෙන මීයන්ගේ ශරීරයෙහි වෙසෙන මැක්කන්ට ආසාදනය වූ බැක්ටීරියාවක් මඟින් වැළඳුන වසංගතය ඉතා වේගයෙන් යුරෝපය ඇතුළු ලෝකය පුරා ව්‍යාප්තව ගියේය. එතැන් පටන් වසර තුන්සීයක් තිස්සේ අඩුම වශයෙන් වසර 10කට වරක්වත් ලන්ඩනය මහාමාරිය වසංගතයට ගොදුරු විය. මිනිසුන් විසින් සිදු කළ පාපයන්ට දෙවියන් දුන් දඬුවමක් ලෙස මෙම වසංගතය එකල හැඳින්විණි. එම නිසා පව් තැවීම පිණිස ඔවුන් විසින්ම දඬුවම් පමුණුවා ගැනීම බහුලව සිදු විය. මහාමාරිය වසංගත කාලයේදී ද බල්ලන් හා බළලු‍න් රෝග වාහකයන් සේ සලකා සමූහ වශයෙන් ඝාතනය කරන ලදී.   


වසංගතය පැතිරීම අවම කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීම ක්‍රිස්තු වර්ෂ 1500 වනවිට අරඹන ලදී. ඒ අනුව හුදෙකලා කිරීම හා රෝගාතුර වූවන් වෙන්කොට තැබීමේ ක්‍රම නීති රීති වශයෙන් ක්‍රියාත්මක විය. රෝගීන්ගේ නිවෙස් ඉදිරිපිට පිදුරු කට්ටයක් එල්ලා තැබීම සිදු කෙරුණු අතර, යමෙකුගේ නිවසෙහි රෝගීන් සිටී නම් ඔවුන් ප්‍රසිද්ධ ස්ථානයන්හිදී සුදු පැහැති පොල්ලක් අත දැරිය යුතු විය. 1665 වනවිට මහාමාරිය වසංගතය එහි උච්ඡතම අවස්ථාව පෙන්නුම් කරමින් මාස හතක කාලයක් තුළ ලක්ෂයක පිරිසකට මරු කැඳවීය. රෝගය පැතිරීම වළක්වනු වස්, රෝගීන් නිවෙස් තුළම වසා තැබුණු අතර, ඔවුන් මියගිය පසු සමූහ මිනී වළවල්වල තැන්පත් කරන ලදී. රෝගීන් රඳවා තබා, වසා දැමුණු නිවෙස් ඉදිරිපිට රතු පැහැ කුරුසයක් ඇඳ “දෙවියන් වහන්සේ අපට කරුණා කරනු මැන”‍ යනුවෙන් ලියා තබන ලදී. 13වන ශත වර්ෂයේ සිට 17 වන ශත වර්ෂය දක්වාම පැවති මෙම වසංගතයෙන් ලෝක ජනගහණයෙන් මිලියන 200-400 අතර මියගොස් ඇත.   


වසූරිය   


ලොව පුරා පැතිරුණු වසූරිය වසංගතය වැළඳුණු සෑම මිනිසුන් දහයෙන් තුන් දෙනකුම මරා දැමීමට සමත් විය. මෙම රෝගය සඳහා ප්‍රතිශක්තිය අවම වූ මැක්සිකෝවේ හා එක්සත් ජනපදයේ ආදිවාසී ප්‍රජාව තොග වශයෙන් මිය ගියහ. 18වන ශත වර්ෂය අග භාගයේදී එඩ්වර්ඩ් ජෙනර් නම් බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා සොයාගත් වසූරිය එන්නත වයිරසයක් සඳහා නිපදවූ ලොව ප්‍රථම එන්නත බවට පත්විය. ඉන් වසර දෙසීයකට පසුව වසූරිය රෝගය මිහිමතින් තුරන් කොට ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනු ලැබ ඇත.   

 


කොළරාව   


බැක්ටීරියාව මගින් අපිරිසිදු ජලය පානය කිරීමෙන් වැළඳෙන මෙම රෝගයෙහි ලක්ෂණ වන්නේ වමනය හා පාචනය වේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ දිවි අහිමි කළ කොළරා වසංගතය ඉන්දියාව මූලික කොටගෙන ව්‍යාප්ත වූ බවත් අනතුරුව ආසියාතික රටවල්වල ශීඝ්‍රයෙන් පැතිරුණු බවත් පෙනේ. 1885 දී මේ සඳහා බෙහෙතක් සොයා ගත්ත ද, ලොවින් තුරන් වී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.   
කොළරා රෝගයේ බලපෑම එවකට ලංකාවට ද තදින්ම දැනී තිබුණේ 1840 ගණන්වල සිට 1950 වනවිට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඉන් මිය ගිය බැවිනි. ඉන්දියාවෙන් පැමිණි කම්කරු ජනතාවගෙන් හා බ්‍රිතාන්‍ය හමුදාවන්ගෙන් මෙම රෝගය පැතිර යාම වළක්වා ගැනීම සඳහා නිරෝධායනය නීති රීති අනුගමනය කළ ද, එහි පැවති අඩු පාඩු නිසා රෝගය රට තුළ පැතිර ගිය බව ඒ පිළිබඳව සිදු කළ අධ්‍යයනයන්ගෙන් පෙනී යයි. කෙසේ වුවද ලංකාවේ කොළරා රෝගය වසංගතයක් සේ පැතිරීම වළක්වා ගැනීමට අඩුපාඩු සහිතව වුවද නිරෝධායන ක්‍රියාමාර්ගයන් අනුගමනය කිරීම, පොදු සෞඛ්‍ය සේවාවන්ගේ ක්‍රමික වර්ධනය හා සෞඛ්‍ය සේවකයන්ගේ සුපරික්ෂාකාරී බව යන කරුණු මත රඳා පවතී.   


ස්පාඤ්ඤ උණ 

 
1918, 1919 සහ 1920 වසරවල ලොව පුරා ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ නමින් හැඳින්වූ මෙම රෝගය, කොවිඩ්-19 රෝගයට සමානකම් කියයි. උණ, කැස්ස, මාංශ පේශී වේදනාව හා ශ්වසනයේ අපහසුතා රෝග දෙකටම පොදු ලක්ෂණ වේ.   


ලොව පුරා ව්‍යාප්ත වූ අවසාන වසංගතය ලෙස සැලකෙන මෙම ව්‍යසනයේ දී මිලියන 50-100 දක්වා පිරිසකට ජීවිත අහිමි වූ බව සැලකේ. උග්‍ර නියුමෝනියාවෙන් රෝගීන් මරණයට පත් කළ මෙම වසංගතයේ උපත පිළිබඳව කරුණු මතභේදය ලක්ව ඇති වුවත්, එහි උපත සිදු වූයේ චීනයේ බව බොහෝ පර්යේෂකයන්ගේ අදහසයි.   


ස්පාඤ්ඤයේ උපත නොලැබුවත් එනමින් හඳුන්වන මෙම රෝගය ලොව පුරා මිලියන 500කට අධික පිරිසකට වැළඳුන බැවින්, එහි පැතිරීම පාලනය කිරීම සඳහා මුහුණු ආවරණ පැළදීම සිදු කළ අතර, තම තමන්ගේ නිවෙස්වල ඇති දැඩි කළ සුරතලු‍න් සඳහා ද ගැළපෙන පරිදි මුහුණු ආවරණ සකසා පැළඳ වීමට එකල ජනයා කාරුණික විය. රෝගය පැතිරීම වැළක්වීමට නීති සම්පාදනය කළ එක්සත් ජනපදය 1918 දී මුහුණු ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත් කළෙන් රතු කුරුස සංවිධානය එය දිරිමත් කළ අතර, මුහුණු ආවරණ පැළඳීමේ අගය හුවා දක්වමින් ගීත පවා නිර්මාණය විය. මෙහිදී නිවෙස්වල නිපද වූ මුහුණු ආවරණ ස්ථර දෙකකින් පමණක් සමන්විත වීම නිසා එහි ඵලදායිබව අවම වූයෙන්, රෙදි භාවිතකොට ස්ථර හයකින් යුතු මුහුණු ආවරණ නිපදවීමට පියවර ගෙන තිබේ.   


ලංකාව පුරා පැතිරුණු මෙම වසංගතයෙන් ජීවිත 21,000ක් අහිමි වූ අතර එයින් වැඩි බලපෑමක් සිදු වූයේ වයස 25-30 අතර යෞවනයන්ටය. මෙම රෝගයෙන් කාන්තාවන් මිය යෑම වැඩි අගයක් ගත් අතර රෝගය වැළඳුණු පසු නියුමෝනියාවෙන් පෙළුණු ගර්භණී මාතාවන් 1350කට වැඩි පිරිසකගෙන් 52%කටම කළලය විනාශ වීම හෝ අඩු වයසින් දරු උපත් සිදුවීම දැකිය හැකි විය. 

 
ලොව පුරා මිලියන ගණනක් ජීවිත අහිමි කළ ස්පාඤ්ඤ උණ හෙවත් ඉන්ෆ්ලු‍වෙන්සා වසංගතය දෙවරක් ඉතා ප්‍රබල ලෙස මිනිස් වර්ගයාට බලපෑමක් ඇති කළේය.  

 

 

සටහන 
සිසිර කුමාර බණ්ඩාර