මහා කවි විලියම් ශේක්ෂ්පියර්ගේ උපන් දිනය පිළිබඳ ලිඛිත සාක්ෂි නැත. එහෙත් එංගලන්තයේ ස්ට්‍රැට්ෆර්ඩ්හි ශුද්ධ වූ ත්‍රිත්ව දෙව් මැදුරේ තවමත් ඇති ලියාපදිංචි කිරීමේ ලේඛනය අනුව විලියම් 1564 අප්‍රියෙල් 26 දා බෞතීස්ම කළ බව සඳහන් වෙයි. ඒ අනුව විලියම්ගේ උපන් දිනය 1564 අප්‍රේල් 23 බව බොහෝ දෙනා කියති. එහෙත් විලියම්ගේ මරණය ද අප්‍රේල් 23 දා යෙදීම නිසා එය කිසියම් ආකාරයකින් විලියම් ශේක්ෂ්පියර්ට ගෞරවය ලබා දීම සඳහා කරන ලද්දකැයි ඇතැම්හු සැක පහළ කරති. මෙය තවත් සැකමුසු වන්නේ මේ දිනයටම ශුද්ධ වූ ජෝර්ජ් මුනිතුමාගේ මංගල්‍යය ද යෙදී තිබීම නිසාය.
කෙසේ වුවද විලියම් කුඩා කාලයේ දී ස්ට්‍රැට්ෆර්ඩ්හි පැතිර ගිය දරුණු වසංගතයකින් ඔහු බේරීම විමතිය දනවන කරුණකි. මන්ද මේ වසංගතයෙන් මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් අහිමි වී යැයි සැලකෙන බැවිනි.
විලියම්ගේ සීයා රිච්ඩ් ස්ට්‍රැට්ෆර්ඩ් කිට්ටුවට පැමිණ පදිංචි වී ප්‍රභූන්ට අයත් ඉඩ කඩම්වල අඳේට ගොවිතැන් කර ඇත. රිචඩ් ගේ පුතකු වූ ජෝන් එනම් විලියම් ශේක්ෂ්පියර්ගේ පියා ද ගොවියකු ලෙස සඳහන් වෙයි. එහෙත් ඔහු සම් පදම්කරන්නකු ලෙසත්, ලොම්, දැව හා බාර්ලි වෙළෙඳාම් කළ බවත් අත්මේස් මසන්නකු ලෙසද ව්‍යාපාර කටයුතුවල යෙදුණු බවත් කියැවෙයි. එසේම පළාත් පාලන ආයතනවල රැකියාවේ යෙදුණ බවට ද සාක්ෂි ඇත.
විලියම්ගේ මව වූ මේරි ආර්ඩත් බොහෝ වතුපිටි ඉඩ කඩම් අයත් පවුලකින් පැවත එන්නියකි. ඔවුන්ගේ නිවෙසට නොදුරින් වූ ආර්ඩන් වනාන්තරයේ නමින්ම ඇගේ පෙළපත් නාමය ද හැඳින්විණ. ඇගේ වත් පොහොසත්කම් නිසා විලියම්ගේ පියා ජෝන් ඇයට කැමති වන්නට ඇත.
ඉංග්‍රීසි සාහිත්‍යයේත් නාට්‍ය කලාවේත් මහා කවියා ලෙස සැලකෙන විලියම් ශේක්ෂ්පියර්ගේ මවුපියන් මළ පොතේ අකුරක් නොදන්නවුන් බව ටෝනි රණසිංහ පරිවර්තනය කළ ජුලියස් සීසර් නාට්‍ය ප්‍රස්තාවනාවේ සඳහන් කරයි. එසේ නම් ජෝන් පළාත් පාලන ආයතනවල රැකියාව කළේ කෙසේද? ඒ සඳහා ලිපිකරු සහය ලබා ගන්නට ඇත.
විලියම් ශේක්ෂ්පියර් මියගොස් වසර හාරසියයක් පමණ ගත වුවද ඔහුගේ කෘති විවිධ මාධ්‍ය ඔස්සේ ලොව පුරා දැනුදු දැක ගත හැකිය. ලෝකයේ සෑම ප්‍රධාන භාෂාවකටම පරිවර්තනය වී නාට්‍ය, ඔපෙරා, ගීත නාටක ලෙස පමණක් නොව චිත්‍රපට, රුපවාහිනි මාධ්‍යයෙන් පවා ඒවා ඉදිරිපත් වෙයි. ඔහු ලෝක සාහිත්‍යයට කොතරම් බලපෑමක් කළ කවියෙක් ද යන්න ඉන් අපට සිතා ගත හැකිය.
මේ කෙටි සටහන උපුටා දැක්වූයේ අද ද එංගලන්තයේ ස්ට්‍රැට්ෆර්ඩ් හි හෙන්ලි වීදියේ දැක ගත හැකි විලියම් ශේක්ෂ්පියර් උපන් ගෙදර ගැන කියන්නටය.
ශේක්ෂ්පියර්ලාට මේ නම ලැබී ඇත්තේ ඔවුන් යුද්ධවල දී දක්වන ලද සටන් ශූරත්වය නිසා බව කියැවෙයි.
ලන්ඩන් නුවර සිට වෝර්වික්ෂයර් ප්‍රාන්තයේ ස්ට්‍රැට්ෆර්ඩ් ගම්මානයට සැතපුම් 99 ක් ලෙස දැක්වෙයි. කිලෝ මීටර්වලින් නම් එය 160 ක් පමණ වෙයි. එංගලන්තයේ දුර මනින්නේ සැතපුම්වලින් බව සිහි තබා ගත යුතුය. මේ දුර ගෙවන්නට මෝටර් රථයකින් නම් පැය දෙකකට කිට්ටු කාලයක් ගත වෙයි. ශේක්ෂ්පියර් ගම්මානයට කෙලින්ම දිවෙන බස් රථ හෝ දුම්රිය නැත. කඩින් කඩ යන්නට සිදුවීම නිසා පොදු ප්‍රවාහන සේවයකින් යාමේදී ගත වන කාලය වැඩිය.
සාමාන්‍යයෙන් ලන්ඩනයේ එක් දුම්රිය ස්ථානයක සිට තවත් දුම්රිය ස්ථානයකට යෑමට පමණක් රුපියල් 850 ක් පමණ වැය වෙයි. එනම් පවුම් තුන හමාරකි. සැතපුම් සියයකට යන මුදල මින් අපට සිතා ගත හැකිය.
සැතපුම් සියයක් පමණ ගමන් කිරීම වෙහෙසකරය. එහෙත් ශේක්ෂ්පියර් ගම්මානයට යන පාර වැටී අත්තේ නිල් තුරු ලතා මැදිනි. කලබලකාරී පරිසරයෙන් මිදී ඈතට ඇදී යත්ම තුරු ලතා සිතටත් නෙතටත් සහනයකි. ස්ට්‍රැට්ෆර්ඩ් හි හෙන්ලි වීදියේ පරිසරය ද නිස්කලංකය. බොහෝ සංචාරකයන් පැමිණිය ද කලබලයක් නැත. වාහන නවතන ස්ථානය පවා නිස්කලංකය.
ශේක්ෂ්පියර් නිවෙස නැරඹීම සඳහා වැඩිහිටියකුගෙන් පවුම් 15 ක් අය කෙරෙයි. ළමයින්ට පවුම් එකොළහකි. පවුලේ ප්‍රවේශ පත්‍රයකට වැඩිහිටියන් දෙනෙකු දරුවන් තිදෙනෙකු පවුම් 39 කි. තනි ප්‍රවේශ පත්‍රයකින් පවුම් දෙකක් ද පවුලේ ප්‍රවේශ පත්‍රයකින් පවුම් හතරක් ද ස්වේච්ඡාවෙන් කෙරෙන පරිත්‍යාග සඳහා ඇතුළත්ය. ස්ටර්ලින් පවුමක් මේ දිනවල රුපියල් 245 කට කිට්ටු වෙයි.
16 වැනි සියවසේ ඉදි කරන ලද ශේක්ෂ්පියර් නිවෙස අඩක් නිමවා ඇත්තේ ලීයෙනි. සරල ආකෘතියකින් නිර්මාණය වුවද එය කාලයේ හැටියට සැලකිය යුතු තරමේ ගෘහ නිර්මාණ ශිල්පීය වටිනාකමින් යුතු නිවෙසකි.
එය වර්තමානයේ සංචාරක ස්ථානයකි. කුඩා කෞතුකාගාරයකි.
නිවෙස පිහිටා ඇත්තේ සෘජු කෝණාශ්‍රාකාරවය.
පදිංචියටත් වූල් හා අත්මේස් මැසීමේ ව්‍යාපාරයටත් සුදුසු ආකාරයෙන් බිම් මහල කොටස් දෙකකට බෙදා තිබේ. එයින් හැඟෙන්නේ විලියම්ගේ පියා ශීත කාලයේදී වුවද කරදරයකින් තොරව තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට මෙම නිවෙස යොදාගත් බවයි. එය වඩාත් පැහැදිලි වනුයේ කුඩා කවුළුවක් හරහා ගැනුම්කරුවන්ට අත්මේස් මිලදී ගැනීමට අවස්ථාව ලබා දීමෙනි. දැනුදු ශෙක්ෂ්පියර් උපන් නිවෙසේ එම කවුළුව දැක ගත හැකිය.
දැව රාමුවලට මැටි තෙත පස් ගොම හා පිදුරු යොදා ගනිමින් මෙහි බිත්ති නිමවා ඇත. එය එකල ප්‍රචලිතව තිබූ ක්‍රමයකි. මෙය බොහෝ විට වරිච්චි බිත්ති තාක්ෂණය විය යුතුය.
අසල ආර්ඩන් වනපෙතෙන් සපයා ගන්නා ලද ඕක් ලී ද විල්මිකෝට් ගම්මානයෙන් ගෙනෙන ලද නිල් අළු කුඩා ගල් ද නිවෙසේ ඉදි කිරීම් සඳහා යොදාගෙන ඇත.
බිම් මහලේ විශාල ගිනි උඳුන් තනා ඇත්තේ ගල් හා ළා ගඩොල්වලිනි.
විලියම් මෙම නිවෙසේ උපත ලබා අසල පිහිටි පාසල කරා අධ්‍යාපනය සඳහා යන්නට ඇතැයි විශ්වාස කෙරේ. එය රජුගේ නව පාසල ලෙස හැඳින්වෙයි. පාසලට නිවෙසේ සිටි දුර ප්‍රමාණය මීටර් 400 ක් පමණය. ශේක්ෂ්පියර් උපත ලදයි සැලකෙන ස්ථානය පමණක් නොව ඔහුගේ ජිවිතයේ විවිධ සිදුවීම් හා සම්බන්ධ ස්ථාන මෙම නිවෙසේ ප්‍රති නිර්මාණය කර ඇත. ඒ සඳහා විවිධ අනුරූ යොදා ගෙන නරඹන්නන්ගේ ආකර්ෂණය පමණක් නොව ශේක්ෂ්පියර් හදාරන්නන්ගේ දැනුම ද වැඩි දියුණු වන ආකාරයට ඉදිරිපත් කර තිබේ. නිවෙස තුළ ඇවිද යද්දි තැනින් තැන ශේක්ෂ්පියර් නාට්‍ය නිර්මාණ සඳහා විවිධ වකවානු වල දී යොදා ගත් ඇඳුම් ආයිත්තම්, නාට්‍ය භාණ්ඩ නාට්‍යවල මුල් පිටපත් ආදිය දැක ගත හැකිය.
ඔතැලෝ, ජුලියස් සීසර්, රෝමියෝ ජුලියට්, වැනිසියේ වෙළෙන්දා, හැම්ලට්, දොළොස්වැනි රාත්‍රිය ආදී නාට්‍ය සඳහා වෙන වෙනම ඒවා තැන්පත් කර තිබීම විශේෂයකි.
තවත් තැනක ශේක්ෂ්පියර් ගැන කියැවෙන වීඩියෝ දර්ශනය අපට මතක හිටින ස්ථාන අතර ශේක්ෂ්පියර් නිතර ආගිය බව සැලකෙන අවන් හල් විශේෂිතයි. එම අවන් හල ද ප්‍රති නිර්මාණය කර ඇත. සංචාරකයන්ට ශේක්ෂ්පියර්ගේ ප්‍රසිද්ධ නාට්‍ය නැරඹීමට අවස්ථාව ලබා දීමට ද ශේක්ෂ්පියර් උපන් බිම භාරය පියවර ගෙන තිබේ. තමන් නරඹන්නට කැමැති නාට්‍යයක් තෝරා ගෙන ඒ ඒ වෙලාව අනුව සහභාගී විය හැකිය.
විලියම් මෙම නිවෙසේ කුඩා කාලය ගත කළ ද පසුව ඔහු වෙනත් නිවෙසකට හිමි කම් කීවේය. ඒ නිසා මෙම නිවෙස ලුවිස් හයිකොක්ස් නමැත්තකුට බදු දී තිබේ. ඔහු එම නිවෙස තානායමක් බවට පරිවර්තනය කළේය. එහි නම මේඩන්ස් හෙඩ් නම් විය. පසු කාලයේදී එය ස්වෝන් මේඩන්ස් හෙඩ් නමින් හැඳින්විණ.
අවුරුදු 52 ක් ආයු වළඳා ශේක්ෂ්පියර් මිය ගියේ 1616 අප්‍රියෙල් 23 වැනිදා බව කියැවේ. මේ කාලය වන විට නිවෙස අයත්ව තිබුණේ විලියම්ගේ වැන්ඳඹු සොහොයුරිය වූ ජෝන් හාට්ටය. ඉන් පසුව විලියම් කැමැතිව සිටි පරිදි ඔහුගේ දියණිය වූ සුසානාට නිවෙසේ හිමිකාරිත්වය ලැබිණ.
සුසානාගේ එකම දරුවා වූ එලිසබෙත්ට මේ නිවෙස පරම්පරාවෙන් ලැබුණ අතර 1806 දක්වා අයත්ව තිබුණේ තෝමස් හාට් නම් පවුලේ ඥාතියෙකුටය. වසර ගණනාවක් තිස්සේ ශේක්ෂ්පියර් පරම්පරාවට අයත් ව තිබූ මේ නිවෙස ඉන් පසුව මිල දී ගන්නා ලද්දේ තෝමස් කෝට් නම් මස් ව්‍යාපාරිකයකු විසිනි. නිවෙසේ කුඩා කොටසේ තවත් මස් ව්‍යාපාරිකයකු 1820 දක්වාම නැවතී සිටියේය.
පවුල් පෙළපත් අවසානයත් සමගම මෙම ඓතිහාසික නිවෙස අලුත් වැඩියා කිරීම් ආදිය නොකිරීම නිසා ගරා වැටෙන්නට විය.
කීර්තිධර කවීන්, චිත්‍ර ශිල්පීන් මෙම නිවෙසට පැමිණ මෙහි බිත්තිවල තැබූ සටහන් අදත් එසේම පවතී. ඒ අතරින් චාල්ස් ඩික්න්ස් විශේෂිතය.
මෙම නිවෙසේ අමුත්තන්ගේ සටහන් පොතේ බයිරන්, ටෙනිසන්, ජෝන් කීට්ස් වැනි ප්‍රකට කවීන් සටහන් තබා ඇත.
1846 දී මෙම දේපළ විකුණන්නට දැමූ විට කලා කටයුතුවලට සම්බන්ධ ඇමෙරිකානු ව්‍යාපාරිකයකු එය මිලදී ගන්නට සූදානම්ව තිබිණි.
මෙහිදී මෙම නිවෙස ශේක්ෂ්පියර් කොමිටිය මගින් ඩිකන්ස් වැනි ලේඛකයන්ගේ ආධාර ඇතිව පවුම් 3000 කට මිලදී ගැනිණ. එය පසුව ශේක්ෂ්පියර් උපන් ස්ථානයේ භාරය නමින් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ පෞද්ගලික පනතක් මගින් නීතිගත කෙරිණ.
ශේක්ෂ්පියර් භාරය මෙම නිවෙස මිලට ගත් පසුව එහි අලුත්වැඩියා කටයුතු පටන් ගැනිණ. 16 වැනි සියවසේ ස්වරූපය නොමැරෙන සේ නිවෙස ප්‍රතිසංස්කරණය කිරීමටත්, එකල භාවිත කරන ලද ගෘහ භාණ්ඩ මගින් එම පෙනුම වඩාත් තීව්‍ර කරන්නටත් තීරණය කෙරිණ. විලියම්ගේ පියා වූ ජෝන් ශේක්ෂ්පියර්ගේ අත්මේස් වැඩපොළ ප්‍රතිනිර්මාණය කෙරිණ.
නිවෙසට පිටුපසින් 16 වැනි සියවසේ වඩාත් ප්‍රචලිත මල් හා පැළෑටි වලින් උද්‍යානය අලංකාරවත් කෙරිණ.
වොරික්ෂයර් ප්‍රාන්තයේ ස්ට්‍රැට්ෆර්ඩ් හි පිහිටි මේ ඓතිහාසික නිවෙස දැක ගැනීමට පමණක් නොව එංගලන්තයේ ජාතියේ මහා කවීන්ද්‍රයා ලෙස සැලකෙන ශේක්ෂ්පියර්ගේ ජීවන තොරතුරු දැන ගැනීමටත් ඔහුගේ නාට්‍ය නැරඹීමටත් සංචාරකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් සුවිශේෂිය.
රොඩ්නි විදානපතිරණ