හවුපේ ලියනගේ අතුකෝරාල මොරිස් ජෝශප් රණබාහු අප හොඳින් දන්නා ෆ්‍රෙඩී සිල්වාගේ මුල් නමය. ඔහු ඉපදුණේ 1938 පෙබරවාරි 06 වැනිදා. අප අතරින් සමුගත්තේ 2001 ඔක්තෝබර් 29 වැනිදාය.
1960, 1970, 1980 දශකවල ඉමහත් ජනප්‍රියත්වයක් ලැබූ ෆ්‍රෙඩී චිත්‍රපට 400ක පමණ රඟපා ඇත. චිත්‍රපට දෙකක් නිෂ්පාදනයකර ඇත.
සර් ජෝන්කොතලාවල ඉදිරියේ ‘‘බාර් බාර්’’ නම් ගීතය ගැයීමෙන් සර් ජෝන්ගේ අවධානය දිනාගත් ෆ්‍රෙඩීට රේඩියෝ සිලෝන්හි ගුවන් විදුලි ශිල්පියකු වීමට අවස්ථාව ලැබුණේ, සර් ජෝන් රේඩියෝ සිලෝන් හි සේවය කළ ලිවි විජේමාන්නයන්ට ලිපියක් දී ෆ්‍රෙඩී රෙකමදාරු කිරීම නිසාය.
ඔහුගේ මුල්ම ගීතය ‘‘මොට්ටපාල’’ බව කියැවේ. ෆ්‍රෙඩී නළුවකු වූයේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ කේ.ඒ.ඩබ්ලිව්. හමුවීමේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ සුහද සොහොයුරෝ චිත්‍රපටයට ‘‘දිය රැල්ල වෙරළෙ’’ ගීතයේ රඟපෑමටය.
මොරටුවේ පුවක්අරඹේ උපන් ෆ්‍රෙඩී පවුලේ එකම දරුවා වෙයි. පියා සේවය කළේ මොරටුව නගර සභාවේ ඕවර්සියර් කෙනෙකු වශයෙනි. මව ගැලවීමේ හමුදාවේ සාමාජිකාවක වූවාය. මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ෆ්‍රෙඩී කුඩා කල සිටම නැටුමට හා ගැයුමට ආශා කළේය.
ඔහු හැම දෙනාටම කතා කළේ මහත්මයා කියාය. එහෙත් ස්ත්‍රී පක්ෂයට කතා කළේ කෙසේදැයි මට නිච්චියක් නැත.
එක් දිනෙක ඔහුගේ මිත්‍ර නළුවකු දියවැඩියා රෝගයෙන් පෙළෙන බව මා කී විට ඔහු කීවේ අපුරු කතාවක්
‘‘ඇයි මහත්මයා ඕකාට දියවැඩියාව නැහැදි ඉඳියිද? ඕකා හැම ජරාවක්ම කනවා. අයිස් ක්‍රීම්, චොක්ලට්, පුහුල් දෝසි, බිබික්කන්, ලොලිපොප්’’ ආදී වශයෙන් පැණි රස කෑම නම් වැලක්ම කීවේය.
‘‘ඕකා නොකන්නෙ බෝල සබනුයි තාරයි විතරයි’’ මේ උපමා උපහැරණ එක්වරම මුවට නැගෙන්නේ කොහොමදැයි විමතියකි.
කොහේ ගියත් ඔහුට රසිකයන්ගෙන් අඩුවක් නැත. ඔවුහු පැමිණ මුහුණ දිහා බලාගෙන ඉඳිති. සංගීත සන්දර්ශනයකදී ඔහු එවැනි අකරතැබ්බකට මුහුණ පෑවේය.
‘‘බලන්නකො මහත්මය ඇවිල්ල මගෙ මූණ දිහා බලාගෙනම ඉන්නවා. මගෙ මූණේ පෙරහැරක් යනවද බලාගෙන ඉන්න’’ ඔහු මට කීවේය.
බොහෝ රසිකයෝ ඔහුගෙන් විවිද ප්‍රශ්න අසති. එක් රසිකයෙක් ‘‘යන්නං ෆ්‍රෙඩී මහත්තයා’’ කියමින් යන්නට සූදානම් විය.
‘‘ආයෙත් එන්න එපා’’ ෆ්‍රෙඩී කීවේය. එකල විමල් කුමාර කොස්තාද කවුරු හෝ ‘‘යන්නම්’’ යයි කී විට කියන්නේ ‘‘තෑන්ක් යූ’’ කියාය.
ඔහුට ප්‍රසිද්ධියේ යමක් කියන්නට වුවමනා වූ විට ‘‘මහත්මයා මට හොඳ ආටිකල් එකක් කරගන්න ඕනෑ යි කියයි.’’
‘‘මහත්මයා අපේ ගෙදර එන්න’’
ඒ දිනවල ෆ්‍රෙඩී පදිංචිව හිටියේ හෝමාගමය. හෝමාගමිනුත් කිලෝමීටර් දෙකක් පමණ ඈත පාරකය.
‘‘දුර වැඩියි’’ මම කීවෙමි.
‘‘මහත්මයා හෝමාගමට ඇවිල්ල ටැක්සියකට කියන්න ෆ්‍රෙඩී සිල්වගෙ ගෙදරට යන්න ඕන කියලා. මහත්මයා සල්ලි දෙන්න එපා.’’
ඔහු කී විධියටම මම දිනක් හෝමාගමට ගියෙමි. ඒ කාලයේ ත්‍රිරෝද රථ නොවීය තිබුණේ මොරිස් මයිනර්ය. ටැක්සිය හෝමාගම ටවුමේ සිට රබර්වතු පසුකරමින් වටවංගු ගසමින් ගියේය.
එය විශාල ගෙයක් නොවීය. ඉදිරිපස කුකුල් ගොවිපොළකි. අප ඇතුළු වන විටම කුකුලන්ගේ හඬලීම් හා ශබ්ද ඇසෙන්නට විය.
මම සම්මුඛ සාකච්ඡාව ලියාගෙන ආවේමි. ටැක්සිය යළිත් වරක් අප කියූ වෙලාවට ඇවිත් මා යළිත් හෝමාගමින් බැස්සවීය. ඊට ටික කලකට පසු ෆ්‍රෙඩී හමුවූ විට තාම හෝමාගමදැයි විමසුවෙමි.
‘‘නෑ මහත්මයා. එහෙන් ගියා’’
‘‘එතකොට කුකුල් ෆාම් එක’’
‘‘කුකුල්ලුයි ගෙදර ඉන්න එළුවොයි සේරම විකුණුවා’’ යි ඔහු කීවේය.
දිනක් රාත්‍රියක දුර බැහැර ප්‍රදේශයක චිත්‍රපට රූගත කිරීමක නිරත වී ෆ්‍රෙඩී ඇතුළු පිරිස කොළඹ පැමිණෙමින් සිටියහ. ඔවුන් ඒ අවස්ථාවේ සිටියේ තොටළඟ කිට්ටුවය.
සාමාන්‍යයෙන් අවේලාවේ යන වාහන පරීක්ෂා කිරීම පොලිස් නිලධාරීන් අතින් සිදුවන්නකි. ෆ්‍රෙඩී ඇතුළු පිරිස පැමිණි වාහනයටද නවත්වන්නට අණ ලැබිණ. වාහනය නැවැත්විණ.
‘‘කොහෙද මේ මහ රෑ යන්නෙ?’’ නිලධාරියෙක් විමසීය.
‘‘අපි චිත්‍රපටියක ෂූටින් ගිහිල්ලා එනවා’’ ෆ්‍රෙඩී පිළිතුරු දුන්නේය.
නිලධාරින්ට රාත්‍රී අඳුර නිසා ෆ්‍රෙඩී හඳුනාගන්නට බැරි වුණාද? එහෙමත් නැනිනම් හඳුනාගෙනත් නීතිය අනුව කටයුතු කරන්නට සිතා ගත්තාද යන්න පැහැදිලි නැත. තවත් ප්‍රශ්න කීපයක් අසන්නට ඇත.
‘‘කෝ අයිඩෙන්ටි කාඩ් එක තියෙනවද? අන්තිමට ඇසූ ප්‍රශ්නය එයය.
ෆ්‍රෙඩී තොටළඟ හන්දියේ යමකට තම ඇඟිල්ල දිගු කළේය.
‘‘අර තියෙන්නෙ මහත්මයා’’ තොට ළඟ හන්දියේ තිබුණේ ෆ්‍රෙඩී රඟපෑ ඒ කාලයේ තිරගතවන චිත්‍රපටයක යෝධ කටවුට් එකක්. එහි ෆ්‍රෙඩීගේ ඡායාරූපය විශාල ලෙස පෙනෙන්නට තිබුණි. නිලධාරියාට සිනා යන්නට ඇත.
‘‘දැන් එහෙනම් යන්න’’ යයි නිලධාරියා කියන්නට ඇත.
‘‘බොහොම ස්තුතියි මහත්මයා’’ ෆ්‍රෙඩී ටටා කියා කිවේදැයි නොදනිමු.
ඔහු බොහෝ සම්මුඛ සාකච්ඡාවලදී කීවේ විකට නළුවන්ට සම්මානයක් දිය යුතු බවයි
‘‘මහත්මයා මිනිස්සු හිනස්සන එක අමාරු වැඩක්. ඒක නිසා අනිවාර්යෙන්ම විකට නළුවන්ට සම්මානයක් දෙන්න ඕනෑ’’
1970, 80, 90 චිත්‍රපටවලට ෆ්‍රෙඩී නැතිවම බැරිවිය. ඔහු රඟපෑවේ වීරයාගේ සහායක චරිතය වුවද ඔහුගේ විහිළුවලට වෙනම ප්‍රේක්ෂකාගාරයක් තිබිණ. ඒ නිසාම ඔහු හිතගියම නළුවා වූ කාලයක්ද තිබිණ.
‘‘තරුණයා’’ පුවත්පත පටන්ගත් මුල් අවධියෙදි ජාතික රූපවාහිනිය හා එක්ව සංගීතමය වැඩ සටහනක් ඉදිරිපත් කරන්නට සැලසුම් කෙරිණ. ඒ සඳහා ෆ්‍රෙඩී හා කලාවතීගේ ජනප්‍රියම ගීතයක් වූ ‘‘තේ කූඩය පිටේ බැඳන්’’ ගීතයද තෝරා ගැනිණ. එය නැවත රූපවාහිනි මැදිරියෙදී රූපගත කර එම වැඩසටහනට යොදා ගන්නට අදහස් කළේ එකල රූපවාහිනිය ජනප්‍රිය නිෂ්පාදකයකු වූ අබේවර්ධන බාලසූරිය විසිනි. එම ගීතය එකල ජනප්‍රිය වී තිබුණේ ෆ්‍රෙඩී හා සමන්ති ලැනරෝල්ගේ රූප රාමු සහිතවය. අපගේ වැඩ සටහනටද සමන්ති ලැනරෝල් සමග එම ගීතය යොදා ගන්නට අපට සම්බන්ධ වූ අනුග්‍රාහකයෝ කැමැත්තෙන් සිටියහ. එහෙත් ෆ්‍රෙඩී එයට විරුද්ධ විය. ඔහු කීවේ කලාවතී ඊට කැමැති නැති බවය.
‘‘ඇයි මහත්මයා ඒ ළමය කියන සින්දුව වෙන කාව හරි දාල කියවන කොට හිතට අමාරුයිනෙ’’ ඔහු කීවේය.
‘‘ඒ වුණාට වැඩි දෙනෙක් කැමැති අර විෂුවල් එකටනේ’’ ‘‘බෑ මහත්මය මම වගකීම ගන්නවනෙ ඒ ළමය කියයි’’
එක පැත්තකින් එහි සාධාරණත්වයක්ද තිබේ. කලාවතී ගයන ගීතයකට වෙනත් ශිල්පිනියක් රූපවාහිනි වැඩසටහනකදී යොදවන විට ඇයට සිත් අමාරුවක් ඇති වන්නට පුළුවන. කෙසේ හෝ ෆ්‍රෙඩීගේ ඉල්ලීම අනුව රූපවාහිනි වැඩසටහන එම ගීතය ගායනා කළේ ඔහු සමග කලාවතීය.
ෆ්‍රෙඩීගේ විහිළු එකල අල්ලන්නේම නැති ජ්‍යෙෂ්ඨ ගායකයකු සිටියේය. ඔහු එම ගායකයාගේ ගෙදරට ආවිට බොහෝ විටෙක කළේ ඔහු කේන්ති ගැස්සවීමය. වැඩියෙන්ම කරන්නේ දුරකථන ඇමතුම් ඉල්ලීමය - වැඩි හරියක්ම ඒවා ඉල්ලන්නේත් විහිළුවටය. ඕනෑ කමකට නොවේ. ඒ නිසා ෆ්‍රෙඩී එනවා දකින විට මාස්ටර් දුරකථනය සඟවයි.
එදිනද ෆ්‍රෙඩී පැමිණ ‘‘මාස්ටර් කෝල් එකක් ගත්තදැයි ඇසුවේය.’’
‘‘නෑ නෑ ටෙලිෆෝන් නෑ’’
ඒ වනවිට ෆ්‍රෙඩී එනවා දැක සංගීත මාස්ටර් ටෙලිෆෝනය මේස ලාච්චුවකට දමා සඟවා ඇත.
‘‘අනේ මාස්ටර්’’
‘‘නෑ නෑ ටෙලිෆෝන් වික්කා’’ මාස්ටර් කියා ඇත.
‘‘ටෙලිෆෝන් කොහොමද මාස්ටර් විකුණන්නේ?’’
ඒ සමගම මේස ලාච්චුවේ තිබුණු දුරකථනය නාද වූයේ ඇමතුමක් පැමිණීම නිසාය.
‘‘මාස්ටර් බොරුනෙ කිව්වෙ’’
‘‘නෑ නෑ ෆ්‍රෙඩී මම උඹට කෝල් දෙන්නෙ නෑ. පලයන් යන්න. මාස්ටර් කීවේ දැඩි හඬකිනි’’
මේ මොන විහිළු තහළු තිබුනද ඔවුන් සන්දර්ශනවලට ගියේ එකම බස් රථයේය. ආවේ එකටය. ඇතැම් විට ෆ්‍රෙඩී සන්දර්ශනවලට ගියේ මාස්ටර්ගේ මෝටර් රථයේය. එකල සුප්‍රකට ට්‍රම්ප්‍රට් වාදකයෙක් විය. ඔහු බොහෝ විටෙක සන්දර්ශන හැම එකකටම පාහේ සහභාගී වන්නෙකි.
ඔහු එකල සංගීත ලෝලීන් අතර මෙන්ම ක්ෂේත්‍රයේ වාදකයන්, ගායකයන් අතරද ජනප්‍රිය චරිතයක් විය. ඇත්තෙන්ම ඔහු ඉතා දක්ෂ වාදකයෙකි. විහිළුකාරයෙකි. එකල වාදක මණ්ඩලය, ගායක ගායිකාවන් මෙන්ම නැටුම් ශිල්පී ශිල්පිනියන්ද සංගීත සන්දර්ශනවලට ගියේ එකම බස් රථයකය. මහ රෑ දෙගොඩහරි යාමයේ දුර බැහැර සිට කොළඹ බලා එද්දි මධුවිත සමග ඇතිවන ඇතැම් වාදවීම් ඉතා රසවත්ය.
එදිනද ෆ්‍රෙඩී ඇතුළු ශ්‍රී ලංකාවේ එකල සිටි ජනප්‍රිය ශිල්පීන් රැසක් දුර බැහැරක සංගීත සන්දර්ශනයකට ගොස් යක්කු ගස්යන යාමයේ කොළඹ බලා එමින් සිටියහ. එක දිගටම රෑ නිදිමරාගෙන සන්දර්ශනවලට සහභාගි වීම නිසා බොහෝ දෙනා මෙන්ම වාදකයාද බසය තුළ නිදාගෙන සිටියේය.
ෆ්‍රෙඩී වාදකයාට කතා කළේය.
‘‘මචං’’
‘‘මට ටිකක් නිදාගන්න දියන් ෆ්‍රෙඩී දවස් ගාණකින් හරියකට නින්දක් නෑ’’
‘‘හරි මචං’’
තවත් විනාඩි පහක් පමණ යද්දි ෆ්‍රෙඩී යළිත් වාදකයාට කතා කළේය.
‘‘කරදර කරන්න එපා මචං’’
‘‘නෑ මං මේ බැලුවෙ උඹ නිදිද කියලා’’
‘‘ඔව් ඔව් මං නිදි’’
තවත් විනාඩි හත අටක් යද්දී යළි ෆ්‍රෙඩී වාදකයාට කතා කළේය.
‘‘මම නිදි මචං වද දෙන්නෙ නැතිව හිටපන්කො’’
‘‘නෑ මචං උඹ මට අර දීපු බලු පැටියා’’
වාදකයාට එකල බලු රැලක්ම සිටි බව කියැවේ. වාදකයා ෆ්‍රෙඩීට බලු පැටවකු දී ඇත.
බලු පැටවාගේ කතාව කී විට බල්ලන්ට බොහෝ ආදරය කළ වාදකයාගේ නිදිමත පහව ගියේය.
‘‘ඔව් මචං ඉතින් බලු පැටියා’’
‘‘ඌ බුරන්නෙ නෑනෙ මචං’’
‘‘ඌ තාම පැටියනෙ ඌ බුරයි. මට ටිකක් නිදාගන්න දියං’’
‘‘හරි හරි මචං’’
තවත් විනාඩි දහයක් පමණ යත්ම ෆ්‍රෙඩී යළි මිතුරා අවදි කළේය.
‘‘හරි හරි මචං ඌ බුරයි’’
‘‘නෑ මචං ඌව නාවන්න හොදද?’’
මේ මහ රෑ අහන ප්‍රශ්න නම් කදිමය.
‘‘කමක් නෑ නාවපන් මට කරදර කරන්න එපා මචං’’
‘‘නෑ නෑ’’
තවත් ටික දුරක් යත්ම ෆ්‍රෙඩී යළිත් වාදකයාට කතා කළේය.
‘‘මචං’’
‘‘අනේ මචං උෟ නාවපන්’’
‘‘නෑ මචං මම මේ අහන්නෙ ඌ නාවන කොට මමත් නාගන්නද?’’
එතැන් සිට හුවමාරු වූ දෙබස් පුවත්පතක සඳහන් කළ නොහැකි යැයි කියැවේ.
විමල් කුමාරද කොස්තා මේ සිදුවීම ගැන කියන්නේ වාදකයා ෆ්‍රෙඩීට දී ඇත්තේ ගොළු බලු පැටියකු බවය. ඌ කට ඇරියාට හඬ පිටවෙන්නේ නැත. ඒ නිසා හොරු එන වෙලාවට ෆ්‍රෙඩී පටිගත කරන ලද බුරන හඬක් යොදා ගන්නා බව කොස්තා කියයි.
මේ කතා ඉතා නිර්මාණශීලිය. මේ බොහෝ දෙනා ජනප්‍රියත්වයේ හිනිපෙත්තේ වැජඹුණද ඉතිරි කරගත් ධනයක් නොවීය. ඉතිරි කරගත්තේ නම් පමණි.
ෆ්‍රෙඩීගේ පුතුද ජනේෂ් සිනමාවට පැමිනියද ඔහුද අකාලයේ අප අතරින් වෙන්විය. දැන් ඔහුගේ දියණිය චාන්දනී චිත්‍රපට ගණනාවක රඟපායි. සන්දර්ශනවල ගී ගයයි. ඉදිරියේ තිරගතවීමටද ඇගේ චිත්‍රපට කීපයක් ඇත. ඇයගේ නම චාන්දනී ෆ්‍රෙඩී සිල්වාය. ෆ්‍රෙඩී යන්න තාත්තා සිහිපත්වීමට දැමූ නාමයයි.
රොඩ්නි විදානපතිරණ