​ෙ​දයියෝ ඉන්නේ මොණර කොළේ


 

“පළතුරු වට්ටියක් රුපියල් දෙසිය පනහේ ඉඳන් විසිපන්දාහ තිස්දාහ වෙනකම් තියෙනවා. පළතුරු වට්ටියට ඒ වගේ ගාණක් ගෙවලා යනකොට දෙවියන්ට දෙන ගාණත් ඒවගේ ලොකුයි. දෙයියන්ට කීවට ඉතින් ඔව්වා යන්නේ සාමිලගේ සාක්කු වලට නැත්නම් වෙන කොහොමද?”   


ඒ වෙන්නප්පුවේ සිට පැමිණි රමේෂ්ගේ හඬය. 


දෙවොල් බිමේදී හමුවූ රමේෂ් අවසානයට කීවේ ‘මෙහේ දෙයියෝ කුටිවල හිරවෙලා ඉන්නේ. සාමිල දෙයියෝ වෙලා ඉන්නේ.” ‘මොණරා නැත්නම් දෙයියෝ අහක බලනවා.’ යනුවෙනි. 


‘රුපියල් විසිපන්දාහේ පළතුරු වට්ටි’ මා සමඟ සිටි කුලියාපිටියේ වියපත් කාන්තාවක් එසේ ඇසුවේ දෙනෙත් නලලේ තබාගෙනය. “විසිපන්දාහේ නොවේ නෝනා පනස්දාහට හැත්තෑපන් දාහටත් පළතුරු වට්ටි යනවා. ඒවා ගේන්නේ නෝනල වගේ පොඩි අය නොවේ ලොකු ලොකු බිස්නස්කාරයෝ, ඇමතිලා, මන්ත්‍රිලා, වාගේ අය. කළු සල්ලි හම්බ කරන අයට ඔව්වා මහ ලොකු ගාණක් ද නොනේ.” රමේෂ් ආපසු කට ඇරියේය. 
රටම දන්න එම දෙවොලේදී හමුවූ රමේෂ් අපට කීවේ ඔහුගෙන් හඳුන්කූරු මිලට ගනිමින් අප ඇසූ දේකට පිළිතුරු දෙමිණි. 


දෙවොලට යෑමට බසයෙන් බැස්ස තැන සිට කාක්කන් මෙන් පසුපස රැදෙන මිනිසුන්ය. කාක්කන් නොවූ ගිජුලිහිණියන් මෙන්ය. කෙසේ හෝ ඔවුන්ගේ වෑයම ඔවුන්ව නම්මවා ගැනීමය. මා සමඟ කළුතර කාන්තාවන් දෙදෙනාගෙන් ගාණක් කඩා ගන්නට ඔවුන් නොසැහැන්න වලි කෑහ. 
‘මැඩම් බාරහාර ඔප්පු කරන්න නම් පළතුරු වට්ටි රුපියල් 250 ගානේ ගන්න පුළුවන්. මිස්ලට සාධාරණව අලුත් පළතුරු ගන්න පුළුවන්. එන්න මිස් මෙහෙන් යමු.” කියා ඔවුන් දෙදෙනාවම කැඳවාගෙන යන්නට තරම් පොරයකි. 


“පුතේ අපි පළතුරු ගෙනත් තියෙන්නේ.” යැයි ඔවුන්ගෙන් වැඩිහිටි කත කීවාය. 
“එහෙනම් යමු මැඩම් අර කඩේකින් හදාගමු. අඩුවට කැවිලි වර්ග, අඩුපාඩුවට පළතුරු එහෙම ගන්න පුළුවන්. පූජා තැටිත් ගන්න පුළුවන්. සෝදලා කපලා සේරම හරිගස්ස ගන්න පුළුවන් යමු මිස්.” කියා නැවතත් කන්නලව්වය. 


ඔහු ගණන් නොගෙන අප දේවාලයේ ඉදිරි පසට යන්නට ගියවිට ඔහු යළිත් අප වළකන්නට හැදුවේය. 
“ඉස්සරහ දොර වහලා. ඒ පැත්තෙන් යන්න බැහැ. රෙපයාර් නිසා වහල තියෙන්නේ ගමේ පැත්තෙන් යන්නයැයි ඔහු අප පසුපස ඇදෙමින් කියවන්නට විය. මා සමඟ පැමිණි වියපත් කතුන් දෙදෙනා අහිංසකය. ඔවුන් දෙදෙනා මොහුගේ බේගලයට රැවටී ඔහු කියන දෙසින් යන්නට සූදානම් වූයේය. ඔහුට නොඇසෙන්නට.” ‘ඔය බොරු කියන්නේ, අපි ගිහින් බලලම එමු.’ යැයි කීවෙමි. 
එවර ඔහු අපූරු යෝජනාවක් ගෙනාවේය. 


“මිස් දේවාලේ බිමට සෙරෙප්පු දාගෙන යන්න දෙන්නේ නැහැ. අර කඩවල් වලින් එකක ගලවල තියල යන්න. මේ පැත්තේ හොරු ඉන්නවා.” ඔහු එවර කියූ දෙයට කතුන් දෙදෙනා යම් බියපත්කාරී බවක් පෙන්වන්නට වූහ. ඒ දුටු මම ඔවුන්ට ඔහුගේ තත්ත්වය පැහැදිලි කර දුන්නෙමි. 
මෙම පුද්ගලයාගේ කාර්යය වන්නේ මහා දේවාලයට පිවිසෙන මාර්ගයේත්, කාලි දේවාලයට යන පාර දෙපසත්, රථ ගාල දෙස සිට එන පාර දෙපසත් සිටින වෙළෙඳුන් හට. “බිස්නස් අල්ලා දීමය.” එලෙස “බිස්නස්” එකක් ගෙනවිත් දුන්පසු ඔහුට “සමිතින්” එකක් ලැබේ. ඒ කඩහිමියාගෙනි. පළතුරු වට්ටියේ සිට සියලු දේ එම වෙළෙඳ සල්වල අලෙවියට තිබේ. ආරක්ෂාවට “සෙරප්පු තියන්න” ගියවිට එම කඩයෙන් යමක් මිලට ගත යුතුමය. 


“අපි තව ඩිංගෙන් ඒ මනුස්සයට අහුවෙනවා දුව නොහිටින්න. අනේ දුව අපි මේ දෙවැනි වතාවට මෙහේ ආවේ. අපි මහා දේවාලයට ගිහිනුත් නෑ. මේ වගේ මනුස්සයෙක් ගිය පාරත් අපි පස්සේ ඇවිත් කැරකිලා කතා කරලා අපෙන් සල්ලිත් අරන් ගියේ. අපි රැවටුණා. මේ පාර හිතුවෙත් ඇත්තමයි කියලා.” ඔවුහු විස්තර කීහ. 
ඔවුන් සමඟම දෙවොලේ ඉදිරිපසට ඇවිද ගිය අපහට හමුවූයේ දේවාලයේ ආරක්ෂක නිලධාරියෙකි. ඔහුගේ උපදෙස් පරිදි පඩිපෙළ පාමුල පාවහන් ගලවා අපි දෙවොලට ගියෙමු. 


අප එහි යනවිට සාමිවරයෙකු යාතිකාවක් කරමින් සිටියේය. සමහරු දරුපල ඉල්ලීමටය. තව අය අළුත් වාහන ගෙනවිත් ආරක්ෂාවක් කර ගැනීමටය. තව අය විභාග ජය ලැබීමටය. තව අය විභාග ජය ලබා පැමිණ බාර ඔප්පු කිරීමටය. තව අය විවිධ ව්‍යාපාරවලින් සාර්ථක වන්නටය. සමහරු ලෙඩ රෝගවලින් සුව වන්නටය. මෙකී නොකී රැසකට සහනය පතා ඔවුහු දෙවොලට එති. යති. 


අප පාවහන් ගලවා ගොස් පැය භාගයකට පසු දොවොලෙන් එළියට පැමිණියත් අපේ පාවහන් සුරක්ෂිතව තිබිණි. ඉදිරිපස සිටි ආරක්ෂක නිලධාරිහුත්, ආවතේවකරුවනුත්, දේවාල බිමෙහි ඉදිකිරීම් කරන කම්කරුවනුත්, බැතිමතුහුත් තම තමන්ගේ කාර්යයන්වල නිරත වෙමින් සිටි අයුරු දැකගත හැකිවිය. 
දෙවොල් දොර අබියසදී අපට හමුවූ තරුණ කාන්තාවක් බාරයක් වීමට පැමිණි බවත් ඒ සඳහා කළයුතු වත්පිළිවෙත් ගැන නොදත් බවත් කීවාය. පෙරදී කාන්තාවකගේ දුක් ගැනවිල්ල අසා ඇයට ඔවදන් දුන් පුද්ගලයා දෙවොල් බිමේ සිටි නිසා ඔහු වෙත ගොස් ඇගේ අවශ්‍යතාව දැනුම් දුනිමි. ඔහු ඇගේ විස්තරය නැවතත් අසා මාවත් ඇයවත් කැඳවාගෙන දේවාලය තුළට ගොස් රෙදි පටියක්ද අප වෙත ලබාදී දේවාලයේ බටහිර දොරටුව දෙසට කැඳවාගෙන ගොස් එහිදී බාරහාර වන ලෙස උපදෙස් දුන්නේය. ඔහු දේවාලයේ ආවතේව කරුවෙකි. කූට උපක්‍රමිකයන්ගෙන් බේරි සිය කටයුතු කරගත යුතු ආකාරය ඔහු විසින් අර කී කාන්තාවට කියා දෙනු පසුව දුටුවෙමි. 
අපි ඉන්පසුව කාලි දේවාලය වෙත යන්නට පිටත් වුණෙමු. කාලි දේවල දොරටුව අබියසම විශාල දිය කඩිත්තකි. ඒ අවට රැඳුනු ගවයන් දෙවොලෙන් එළියට එන බැතිමතුන්ගෙන් පළතුරු කෑමට හුරුවී ඒවා දෙනතෙක් බලාසිටී. 


කාලි දෙවොලට එනමග දෙපසද පළතුරු කැවිලි වෙළෙන්දන්ගෙන් අපට කිසි ගැලවුමක් නොවීය. ඔවුන්ගේ ද උපදෙස වූයේ දොවොල තුළ කිසිදු පහසුකමක් නොමැති නිසා ඒවා වෙළෙඳසැලවලින්ම කරගන යා යුතු බවකි. එහෙත් ඒවා සැබෑ නොවන බව පෙනීගියේ. දෙවොල ආසන්නයේම පළතුරු වට්ටි සකස් කිරීමට වෙනම කුටියක් නිමවා තිබෙණු දැකීමෙනි. පෙරකී කාන්තාවන් දෙදෙනාහට මාගේ සහය අවැසි යැයි කියු නිසා ඔවුන් පළතුරු වට්ටි සැකසීමේ කාර්යය කරන තුරු මම දෙවොල පුරා විමසුම් සහගත බැල්මක් හෙළුවෙමි. 
කාලි දේවාලයේද පිටත කුටියකි. එහි සිටි ස්වාමිවරයකු බැතිමතකුට “මේකට ශාන්ති අරකට පලි”යැයි කියනු ඇසිණි. එය මාහට ද තේරුම් ගැනීමට මද වේලාවක් ගතවූ අතර ඔහු කියා ඇත්තේ දුර්ගා දෙවියන්ගේ දෙවොලෙහි සෙත් ශාන්ති හෝ බාරහාර වීමටත් කාලි කෝවිලෙන් පලි ගැසීම හදි හුනියම් කර ගැනීමටත්, කොඩිවින, අණවින කැපීම් කර ගැනීමටත් යායුතු බවත්ය. 


දෙවිදුන්ගේ දෙයක් ඉල්ලීමට පෙර එවැනි වතාවත් අනිවාර්ය වේ. මෙම ඉල්ලීම තමන්ට ද සිතින් සිතා පොරොන්දු විය හැකිය. එය වෙනම දෙයකි. අප මේ කියනුයේ දෙවිදුන් එම ඉල්ලීම ඉටු කළවිට එය ඔප්පු කිරීමට කළ යුතු වත්පිළිවෙත්ය. එයට පළතුරු වට්ටියක් මල් මාලයක් යනාදි පොරොන්දු භාණ්ඩ අනිවාර්යය. ඒවා පමණක් තිබීමෙන් බාරය ඔප්පු කළ නොහැකිය. මාල ගිරවෙක් හෝ මොණරෙක් තිබිය යුතුමය. නැතහොත් දෙවිදුන්ගේ නියෝජිතයන්ගේ සිත් හරිමදිය. දෙවියන්ට පණිවිඩය ලබාදෙන අය සතුටු නැත්නම් ඒ බාර ඔප්පු කිරීමෙන් පලක් නැත. දේව නියෝජිතයා ප්‍රිතියෙන් ස්ත්‍රෝත්‍ර ගයා දෙවියන්ට යාඥාව කරවීමට නම් මොණර කොළ වැඩි වැඩියෙන් අවැසිය. ඇතැම් නැතිබැරි මිනිසුන් මයිනන් කිහිප දෙනෙකු අමාරුවෙන් එකතු කරගෙන බුලත් කොළයක රදවා පළතුරු වට්ටියේ බහා පුද කරයි. එවිට දේව දූතයින් සිත් හරි නැත. දෙවියන් උසස් කුලවල ඔවුන් අසනුයේ දූතයන්ගේ පණිවිඩ පමණකැයි සිතන බැතිමතුන් මයිනා අතහැර මොණරුන් පිළිගැන්වීමට පසු නොබසියි. 


“කොයි දෙයියත් දැන් මයිනා දිහා බලන්නේ නෑ ළමයෝ මාල ගිරවටත් දැන් ගානක් නෑ. මොණරෙක් දෙන්නෙක්වත් අඩුම ඕනෑ. එහෙම නැතිව දෙයියෝ ඔව්වා කරන්නේ නැහැ. දැන් කාලේ හැමදේම ගාණන් ගිහින්. දෙයියෝ ගණන් උස්සන එක අහන්නත් දෙයක් නෑ” කෝවිලේ සිට ආපසු එද්දී හමුවූ විලත්තව සේන මාමා අය ගේ කුරුලු ශබ්ද කෝෂය අසා එසේ කීවේය. 

 

 

සටහන 
පුෂ්පා වීරසේකර