‘නත්තල් තරුව’


තැනින් තැන පත්තුවෙන රතිඤ්ඤා හඬ මොනිකාගේ හිතට ගෙනාවේ මහත් වදයකි. මීට වසර හතරකට කලින්නම් ඇය රතිඤ්ඤා හඬට ප්‍රිය කළාය. එහෙත් එයින් පසු ඒ හඬ ඇයට දැනුනේ මහත් කරදරයක් ලෙසිනි.


රතිඤ්ඤා හඬත් සමග නත්තල් දා රාත්‍රියේ පල්ලියේ හැඬවෙන සීනු නාදයද පැතිරයන්නට විය. මොනිකා ද තම දරුවා සමග රාත්‍රී දේවමෙහෙයට යෑමට සූදානම් වූවාය. අළුතින් ගෙනා පුංචි ගවුම් පොඩිය ගෙන දිගහැර බැලුවේ එය පුංචි දුවට ගැලපේ දැයි හරියටම සැකහැර දැනගන්නටය. ගමේ තැනින් තැන පුපුරායන රතිඤ්ඤා කරලක හඬත්, විටෙක රතිඤ්ඤා කරල් රොත්තක් පුපුරා යන හඬත් නැවත ඇසෙන්නට විය. මෙයට වසර කීපයකට පෙරනම් තම නිවසේත් රතිඤ්ඤා පුපුරණ හඬ ඇසුනත් දැන් වසර හතරක සිට එම හඬ තම නිවසින් ඈත්ව ගොස් ඇත.


නිමල් සමග තමා විවාහ වූයේ දෙමව්පියන්ගෙන් වූ යෝජනාවක් මතය. තමා සමග විවාහ වන විට නිමල් කුඩා කඩ පොඩ්ඩක් පවත්වාගෙන ගියේය. ලැබෙන ආදායම එතරම් සතුටුදායක නොවුනත්, දෙදෙනාට කා බී ඕනෑ එපාකම් ඉටුකරගෙන යුතුකම්ද ඉටුකරමින් සතුටින් ජීවත්වීමට ඒ ආදායම සෑහිණි. එහෙත් කල්යත්ම ඒ ආදායම මදි බවක් නිමල්ට දැනී තිබුණි. ඔහු එය නිතර නිතර මොනිකාට පැවැසීය.
‘මට හිතෙනව මොනික කඩේ කරන ගමන් තවත් මොනව හරි බිස්නස් එකක් පටන් ගන්න. මොකද තව ටික දවසකින් අපේ පවුලට පැටියෙක් එනවා. ඒකට හොඳ අනාගතයක් හදල දෙන්න ඕනෑ’
මොනිකාද සෙමෙන් සෙමෙන් ඉදිරියට නෙරා එන තම කුස අතගෑවාය. ‘නිමල් කියන එකෙත් ඇත්තක් තියනවා. පැටියට හොඳට සැප දෙන්න ඕන.


හැම අම්මා කෙනෙකුගේම බලාපොරොත්තුව මොනිකාගේ හිතටද ඇතුළු විය.
‘ඉතිං හෙටම වැඩේ පටන් ගන්න පුළුවන්නෙ’ ඇය පැවැසුවේ පටන් ගන්න පුළුවන් ව්‍යාපාරය කුමක්ද යන්නවත් විමසන්නේ නැතිවමය.


‘සල්ලි ටිකක් දෙනවනම් අදම පටන් ගන්නම්’ නිමල් ඉවත බලාගෙනම පැවැසුවේය.
‘මම ඔයත් එක්ක එනකොට තාත්ත දීපු ගානක් මගේ බැංකු පොතේ තියනවා. හෙටම අරන් දෙන්නම්.’
මොනිකා පසු දිනම ගොස් බැංකු පොතේ තිබූ මුදල ගෙනවිත් නිමල් අත තැබුවාය.
නිමල් ආරම්භ කරන්නේ කුමන ව්‍යාපාරයක් දැයි ඇය විමසුවේ නැතත් ඒ පිළිබඳව ඇය අවධානයෙන් සිටියාය. නිමල් ආරම්භ කර තිබුණේ මුදල් පොලියට දීමේ ව්‍යාපාරයක්ය. එය දැනගත් විට මොනිකා එයට තරම් කැමැත්තක් දැක්වූයේ නැත. එහෙත් නිමල් පැවැසුවේ එය හොඳ ආදායමක් ලැබිය හැකි ව්‍යාපාරයක් බවය. ටික දිනක් යද්දී නිමල් පැවැසූ කරුණ සත්‍යයක් බව මොනිකාට පැහැදිලි විය. හන්දියේ ත්‍රිවිල් පාක් එකේ ත්‍රීවිල් රියදුරන් මෙන්ම පොළේ එදිනෙදා වෙළෙඳාම් කරන වෙ​ෙළඳුන්ද නිමල්ගේ ගනුදෙනු කරුවෝ වූහ. කඩ පොඩ්ඩෙන් ලැබෙන ආදායමට වඩා මුදල් පොලියට දීමේ ව්‍යාපාරය සාර්ථක බවත් දැන් එම ව්‍යාපාරයෙන් සැලකිය යුතු මුදලක් ලැබෙන බවත් මොනිකා, ඒ ගැන නිමල්ගෙන් විමසද්දී ඔහු පැවැසුවේ මහත් උජාරුවකිනි. ලබාදෙන මුදල කොපමණ වුවත් ඔහු අයකළ පොලිය සියයට විස්සකි. නිමල්ට කෙසේ වෙතත් ගමේ ගනුදෙනු කරුවන්ට එය අධික පොලියකි. පොලියට මුදල් ගත් පුද්ගලයින් තැනින් තැන නිමල්ට දෙස් තබන බවද මොනිකාට ආරංචි විය. ඒ නිමල් අය කරන අධික පොලිය නිසාය. මොනිකා ඒ පිළිබඳව නිමල්ට පැවැසුවත් එහු එය ගණනකටවත් ගත්තේ නැත.


‘ගන්න කෙනෙක් ඒ පොලියට ගත්තදෙන්. නැත්තන් නිකන් හිටපුදෙන්. මොකද මම බලෙන් දෙන්නෙ නෑනෙ.’ නිමල්ගේ පිළිතුර එය විය. බොහෝ දෙනෙකු නිමල්ට දොස් පැවැරුවත් හදිසි අවශ්‍යතාවක් ඇතිවූ විට මුදල් ගැනීමට ඔවුන් නිමල්ව සොයා ආවේය. කලක් ගතවෙත්ම නිමල්ගේ නම ඉදිරියට විශේෂණ පදයක්ද එක්විය. එළි පිට නොකීවද ඔහු නැති තැන ඔවුන් නිමල් හැඳින්වූයේ ‘පොලී නිමල්’ යනුවෙනි.
කඩ පොඩ්ඩේත්, පොලී ව්‍යාපාරයේත් දියුණුව වෙනුවෙන්ම කැපවී සිටි නිමල්ගේ හැසිරීමද කල්යත්ම වෙනස් වන බව මොනිකාට වැටහුනි. වෙනදා දිනපතා රාත්‍රියට නිවසට පැමිණෙන නිමල් දැන් නිවසට පැමිණෙන්නේ දින දෙක තුනකට වරක්ය. ඒ ගැන විමසන විට ඔහු නිදහසට කරුණු ලෙස කියා සිටියේ කඩේ ආරක්ෂාවට එහි නවතින බවය. එපමණක් නොව තමන් ගෙදර නාවත් මොනිකාටත් දරුවාටත් අවශ්‍ය දේ සපයන බවය.
එක් දිනක් සවසක ගමේ එකියකගෙන් මොනිකාගේ කනට වැටුන ආරංචියකින් ඇගේ සිත සසලවී ගියාය. දෙපා වෙව්ලන්නට විය. එහෙත් ඒ ආරංචිය ඇය විශ්වාස නොකළාය. නිමල්ගේ දියුණුව දැක එය ඉවසාගන්නට නොහැකිවූ ඔවුන් කතාවක් හදන්නට ඇතැයි ඇය සිතුවාය. එහෙත් ගත වූයේ ටික දිනකි. මුලින් ලැබුණු ආරංචිය ඇත්තක් බව ඇයට දැනගන්නට ලැබුණි. ඒ ගමේ තරුණ වැන්දඹුවක සමග නිමල් අනියම් සම්බන්ධතාවක පැටලී ඇති බවය.


‘සල්ලියි ගෑණුයි ඕනැවට වඩා ළං වුණාම මිනිස්සු මං මුලා වෙනවා.’
නිමල්ට මොනිකා අවවාද කළාය. මේ ආරංචියේ ඇත්ත නැත්ත ඇය ඇඬූ කඳුළින් යුතුව නිමල්ගෙන් විමසුවාය. නිමල් එදා රාත්‍රියේ ගෙදර ආවේ යක්ෂයා ආවේශවූවෙකු ලෙසය. බිමත්ව සිටි ඔහු නිවසේ බඩුමුට්ටුද පොලොවේ ගසා මොනිකාටද පහර කීපයක් ගසා නිවසින් පිටව ගියේය.
පසුවදා ඇයට ලැබුණු ආරංචිය මොනිකාගේ ආත්මයම කඩා බිඳ බිම හෙළන්නට තරම් විය. එනම් කඩය පිටස්තරයෙකුට විකුණා දමා තම අනියම් බිරිය සමඟ නිමල් ගමෙන් පිටව ගොස් ඇති බවය. ආරංචියේ ඇත්ත නැත්ත දැන ගැනීමට කඩයට ගිය මොනිකාට දැක ගන්නට ලැබුණේ පිටස්තරයෙකු කඩය අරක්ගෙන සිටින බවය. සිදුවූ දේ දරාගත නොමැකිවූ ඇය ආපසු නිවසට පැමිණියේ සිතින් වැළපෙමිනි.
එතැන පටන් නත්තල් දින හතරක්ම පසුවී ඇත. නත්තල කෙසේ වෙතත් එදා පටන් මොනිකාට ජීවිතය ගැටගසා ගැනීමටද මහත් අරගලයක යෙදෙන්නට සිදුවිය.


‘පුතේ ඉක්මන් කරන්න දැන් පූජාව ළඟයි.’ මොනිකා පැවැසුවාය.


අම්මා ගෙනවිත් දුන් දුඹුරු කොට කලිසමත් අත්කොට කමිසයත් ඇඳ ගැනීමට දරුවාට වැඩි වේලාවක් ගත නොවුණි. රබර් සෙරෙප්පු දෙකද ඉක්මනින් පැළඳගත් ඔහු මිදුලට බැස්සේ අම්මාට කලිනි. මොනිකාද වසර ගණනකට පෙර ගත් එහෙත් වැඩිපුර ඇඟ නොදැමූ සාරියක් ඇඳගත්තාය.
දොර වසා යතුර අතට ගත් ඇය කුඩා පාරට පිවිසියේ දරුවාගේ අතින් අල්ලාගෙනය. පාරේ ඇතැම් තැන්වල විදුලි ලාම්පු දිප්තිමත්ව දැල්වේ. තවත් ඒවායේ ආලෝකය මද වශයෙනි. තවත් ඒවා නිවීගොස් ය. හරියට ඒවාත් මිනිසුන්ගෙන් ජීවිත වගේ, සමහර ජීවිත බොහොම එළියයි. සමහර ජිවිත මළානිකයි. සමහර ඒවා නිවිලම ගිහිල්ල ඇය සිතුවාය. තමාගේ ජීවිතය ඉන් කුමන කොටසට අයත්දැයි ඇය සිතමින් ගමන් කළාය.
පල්ලියට ඇතුළුවත්ම වෙනත් දිනවලට වඩා සෙනගක් අද පල්ලියට පැමිණ ඇති බව ඇය දුටුවාය. පල්ලිය පුරා එල්ලා ඇති ලයිට් වැල්වල ආලෝකය නිසා පරිසරයද විවිධ වර්ණගැන්වී ඇත.
එල්ලා ඇති ලයිට් වැල්වල ආලෝකය නිසා පරිසරයද විවිධ වර්ණ ගැන්වී ඇත. වයසක ගැහැණුන් කිහිප දෙනෙක් අල්තාරය ඉදිරියේ කොන්ත ඇතිව දණ ඔබාගෙන සිටිති.
පල්ලියේ පිටුපස බංකුවක වාඩිවීමට සූදානම් වූ මොනිකා එම බැංකුවේ අනෙක් කෙළවර වාඩිවී සිටින පුද්ගලයා දුටු සැණින් ඇගේ සිරුර පුරා විදුලි ධාරාවක් ගමන් කරනවාක් මෙන් ඇයට දැණුනි. දරුවාද එම පුද්ගලයාගේ මුහුණ දෙස බලා මොනිකාගේ මුහුණ දෙස බැලුවාය. එහෙත් ඇය කිසිදු වෙනසක් නොපෙන්වා වෙනත් බංකුවක් වෙත ගොස් වාඩි වූවාය.


නිමල් තවමත් එදා වගේම කඩවසම්ය. ඒ සමග සිතට ආ සිතුවිල්ලක් සමග මොනිකා නිමල් සිටි බංකුව දෙස හොරැහින් බැලුවේ ඔහුගේ අනියම් බිරිඳත් එතැන සිටිනවාදැයි ස්ථිර කර ගැනීමටය. එහෙත් බංකුව කෙළවරේ ඉඳගෙන සිටියේ නිමල් පමණකි.
නත්තල් දේව මෙහෙය ආරම්භවී මදවේලාවක් ගෙවී පියතුමාගේ දේශනාවද ආරම්භවී ඇති බව මොනිකාට දැනුනේ මද වේලාවකට පසුවය. ඇය ඒ තරමටම කල්පනාවේ නිමග්නව සිටියාය.
පියතුමා නත්තල් දේශනාවෙන් පවසන්නේ ජේසු උපත ගැනය. නත්තල ජේසු උපත සිහිකිරීමට පමණක් සීමා නොකර තම ජීවිතවලද අලුත් උපතක් ඇති කරන්නා ලෙස ඉල්ලා සිටී. සිදුවූ සියලු වැරැදිවලට මනස්තාපවී පව් කමා කොට සිය ජීවිත නිවැරැදිව ඉදිරි වසරේ ගතකිරීමට අදිටන් කරගන්නේ නම් නත්තල සාර්ථක බව පවසයි. මොනිකා තමාද එවැනි ජීවිතයකට අද සිට පා තබන බව සිතින් සිතාගත්තාය. සිතේ තිබෙන සියලු කිලිටු සිතුවිලි මකා ගන්නා බව ඇය ඇයටම සපථ කරගත්තාය. තම ජීවිතයේ තමා අතින් සිදුවූ සියලු වැරැදි ඇය මෙනෙහි කළාය. ඒවාට ජේසුගෙන් සමාව ඉල්ලා සිටියාය. තමා හැරගියදා සිට තමාගේ සිතේ නිමල් පිළිබඳව තිබුණේ පිළිකුල් සහගත සිතුවිල්ලක් බව ඇයට සිතුනි. පියතුමාගේ දේශනයත් සමග ඇයගේ සිතට දැනුණේ එම සිතුවිල්ල වැරැදි බවය. ඒ නිසා ඇය සිතින් නිමල්ට සමාව දුන්නාය. ඇගේ සිතට දැනුණේ මහත්වූ සැහැල්ලුවකි.


ඒ සමගම ඇය නැවත නිමල් සිටි බංකුව දෙස හොරැහින් බැලුවාය. නිමල් නිසොල්මනේ ඉදිරිය බලාගෙන සිටී.
‘කොහේ ඉඳන් මොකටද දන්නැ ආවේ.... ඒත් තනියම?’ බොහෝ සිතුවිලි ඇය අවුල් කරන්නට විය. නැවැත මොහොතකටවත් සිත එකඟ කරගන්නට නොහැකි විය.
නත්තල් දේව මෙහෙය අවසාන වීගෙන යන බව මොනිකාට හැඟුනේ ‘සාමය රැගෙන යන්නැයි’ පියතුමා පැවැසූ අවසාන වගන්තිය ඇසීමෙනි.
නිමල් මුණ නොගැසී ඔහු මග හැර ගෙදර යෑමට ඇය තීරණය කළාය. යා යුත්තේ කොයි පැත්තෙන්දැයි සොයා ගැනීමට ඔහු සිටි දිසාවට ඇය හොරෙන් ඇස් යැවීය. ඔහු එතැන පෙනෙන්නට නැත. අවට බැලුවත් ඒත් ඔහු පෙනෙන්නට නැත.


මොනිකා දරුවාද වඩාගෙන පල්ලිය බිමෙන් පිටවූවාය. මුදල් අත වැඩිවන විට තමන්ගෙන් ඈත්වී නිමල්ගේ සිත අන් ළඳකට සමිප විය. මෙවන් දෙයක් ඕනෑම පිරිමියෙකුගෙන් සිදුවීමට බැරි නැත. ඔහු සමග ඈත පළාතකට ගොස් ජීවත්වීමේ අදහසට ඒ වැන්දඹු ගැහැණියද සම්මාදම් වූවාය. මෙබඳු දේ මිහිපිට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ.


නිමල් අද පල්ලියට ඇවිත් සිටියේ ඇයි? ආ ලෙසින්ම ඔහු නොකියාම ගියේ ඇයි? තමා ලොකු වරදක් කර ඇතුවාක් මෙන් ඇගේ සිත දොස් පවරයි. යළිත් කවදාවත් ඔහු ආපසු නොඑන්නටද ඉඩ ඇත. ඔහු සොයා යන්නටද විදිහක් නැත. ඔහු සිටින දිසාවක් කවුරුත් දන්නේ නැත. තම කම්මුලක් තෙත් වන්නේ මුහුණට වැටුණ පිනි බිඳුවකින්ද නැතිනම් නෙත්වල ගැටලුවකින්දැයි ඇයට නිනව්වක් නැත.
මිදුලෙන් ගෙට ගොඩවනවාත් සමග හඳ එළියෙන් ඇය දුටුවේ ඉස්තෝප්පු බිමේ ඔහු ඉඳගෙන සිටිනා හැටිය. තිගැස්සී ගියත් ඇය නතර නොවී කෙළින්ම ගෙට ගොඩවී දොර ඇරියාය. බිත්තිය දිගේ අඳුරේම අත යැවූ ඇය ස්වීචය විවර කර විදුලි බල්බය දැල්වූවාය.


මඳක් තැන් ඉස්තෝප්පුවේ නතර ව සිට අම්මා වෙත පැමිණි ළමයා යමක් කීමට සූදානම් වුවත් ඇය ඊට පෙර මෙසේ කීවාය.


‘පුතේ තාත්තට කියන්න ඇතුළට එන්න කියලා’. ළමයා ඉස්තෝප්පුවට ගොස් තාත්තාට පණිවිඩය කියා අනතුරුව අම්මාට කෑ ගසා මෙසේ කීවේය.
‘අම්මේ මෙතැන්ට ඇවිත් බලන්නකෝ ලොකු තරුවක් අහසේ පායලා නත්තල් තරුව වෙන්ට ඇති.’

 

 

 

චන්ද්‍රසේන රංගේ
කෑගල්ල.