‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලෝකය බැටකද්දී, චීනය ඔවුන්ගේ බලය සහ හපන්කම් ලෝකයට පෙන්වමින්, අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කිරීම ආරම්භ කර තිබේ. එම කටයුතු සඳහා ගගනගාමීන් තිදෙනකු පෘථිවි කක්ෂයට යැවීම පසුගිය 17 වැනිදා සිදුවිය. එම ගගනගාමීන් තිදෙනා රැගත් ‘ෂෙන්චෞ -12’ ගගන කැප්සියුලය, ‘ලොංග් මාච්2එෆ්.වයි12’ රොකට්ටුවේ ආධාරයෙන් අභ්‍යවකාශය බලා ගියේය. චීන ගගනගාමීන් මෙසේ අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ වසර 5 කට පසුවය. ඇමෙරිකාවට නොදෙවැනි වෙමින් චීනය කළ මෙම වික්‍රමය සැබැවින්ම අපූරුය.
17 වැනිදා උදෑසන, 9.22කට චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ‘ෂෙන්චෞ -12’ ගගන කැප්සියුලය ගුවන්ගත කෙරුණි. කැප්සියුලය ‘ලොංග් මාච්2එෆ්.වයි12’ රොකට්ටුවට සම්බන්ධ කර තිබුණු අතර, පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පෘථිවි කක්ෂයට ‘ෂෙන්චෞ -12’ කැප්සියුලය තල්ලු කිරීම සිදු කළේ ‘ලොංග් මාච්2එෆ්.වයි12’ රොකට්ටුවය. චීනය, ඔවුන්ගේ ගගන මෙහෙයුම් සඳහා නැවත නැවතත් භාවිතයට ගන්නා ‘ලොංග් මාච්’ රොකට් වර්ග කිහිපයකි. ගගනගාමීන් රැගෙන යෑමට නිර්මාණය කළ ‘ෂෙන්චෞ -12’ කැප්සියුලය මෙන්ම ‘ලොංග් මාච්’ රොකට්ටු ද චීනයේ ඉන්ජිනේරු විස්කම් ලෙස සැළකෙයි.
17 වැනිදා සවස 3.54 වනවිට, රොකට්ටුවෙන් මිදී වෙන් වුණු ‘ෂෙන්චෞ -12’ කැප්සියුලය, පෘථිවි කක්ෂයේ පහළින් රඳවා ඇති ‘ටියැන්හේ’ නමැති සිලින්ඩරාකාර කොටස එසේත් නැතිනම් මොඩියුලය සමඟ සම්බන්ධ විය. චීනය ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ප්‍රධාන කොටස මෙයයි. ‘ෂෙන්චෞ -12’ කැප්සියුලයට නැගී, පෘථිවි කක්ෂයට ගිය ගගනගාමී වීරයන් තිදෙනා වන්නේ නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය. 56 හැවිරිදි නී හෙයිසිං, චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ අයෙකි. අත්දැකීම් බහුල ගගනගාමියෙකි. චීනය නියෝජනය කරමින් අභ්‍යවකාශයට ගිය වයස්ගතම ගගනගාමියා වන්නේ ද මොහුය.
පෘථිවි කක්ෂයේ මේ වනවිටත් දැවැන්ත අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකර රඳවා තබනු ලැබ ඇත. එය ‘ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ’ ය. පළමුවෙන්, පෘථිවි කක්ෂයේ නැවැතුම්පොළක් ඉදිකළේ සෝවියට් දේශයයි. එය ‘මීර්’ අභ්‍යවකාශ නැවැතුම්පොළය. 1986 වසරේ සිට 2001 තෙක් ‘මීර්’ නැවැතුම්පොළ ක්‍රියාත්මක විය. ඇමෙරිකාවේ නාසා ආයතනය, රුසියන් අභ්‍යවකාශ ආයතනය (රොස්කොස්මොස්), යුරෝපා අභ්‍යවකාශ ආයතනය, ජපාන අභ්‍යවකාශ ආයතනය එක් වී, මොඩියුල රැසක් පෘථිවි කක්ෂයට ගෙන ගොස් එකලැස් කරමින්, වසර ගණනක් තිස්සේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කළ අතර, එහි කටයුතු ආරම්භ වූයේ 1998 දීය. ඇමෙරිකාවේ නාසා ආයතනය ඔවුන්ගේ ෂටල වැඩසටහන පවත්වාගෙන ගියේ ද මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කිරීම සඳහා පමණි. අද වනවිට මාස 6 කට වරක් ගගනගාමීහු මාරුවෙන් මාරුවට මෙම නැවතුම්පොළේ රැඳී සිටිති. ඔවුහු එහිදී විවිධාකාරයේ පර්යේෂණවල නියැලෙති.
චීනයේ අභ්‍යවකාශ කටයුතුවලට රුසියාවේ සහාය නොඅඩුව ලැබේ. චීනයත් රුසියාවත් සමීපතම මිතුරන්ය. බටහිර රටවල් සමඟ පවතින මත ගැටුම් හේතුවෙන්, චීනය, බටහිර ලෝකයේ උදහසට ලක්වී සිටී. මේ නිසා චීන අභ්‍යවකාශ ආයතනය සහ බටහිර අභ්‍යවකාශ ආයතන අතර සම්බන්ධය අඩුය. චීනය තමන්ටම කියා අභ්‍යවකාශ නැවතුම්පොළක් ඉදි කිරීමට තීරණය කළේ ඒ අනුවය. එපමණක් නොව මෙය ආසියානු රටක් ඉදි කරන පළමු අභ්‍යවකාශ නැවැතුම්පොළ වීම විශේෂත්වයකි. කෙසේ නමුත්, චීනය මෙම අභ්‍යවකාශ නැවතුම්පොළ ඔවුන්ට පමණක් අයිති යැයි පවසා නැත. චීනය මෙය හඳුන්වා දී ඇත්තේ ‘අභ්‍යවකාශ නිවස’ යනුවෙනි.
චීනය ඔවුන්ගේ මෙම ‘අභ්‍යවකාශ නිවස’ නම් කර ඇත්තේ ‘ටියැංගොන්’ යන නමිනි. එහි අර්ථය ‘ස්වර්ගයේ මාලිගය’ යන්නය. චීනය, ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ ඉදි කරන්නේ ප්‍රධාන කොටස් (මොඩියුල) 3 ක් එකිනෙක සම්බන්ධ කිරීමෙනි. නැවැතුම්පොළේ ප්‍රධාන කොටස වන ‘ටියැන්හේ’ මොඩියුල පෘථිවි කක්ෂයට යැවීම සිදු වූයේ පසුගිය අප්‍රේල් 29 වැනිදාය. පසුගිය 17 වැනිදා ගගනගාමීන් තිදෙනා ගියේ මෙම ‘ටියැන්හේ’ මොඩියුලයටය.
‘ටියැන්හේ‘ මොඩියුලය සමඟ ඉදිරියේ දී එක් කිරීමට නියමිත සෙසු මොඩියුල වන්නේ ‘වෙන්ටියැං’ සහ ‘මෙංග්ටියැං’ ය. ඊට අමතරව ‘සුන්ටියැං’ නමැති අභ්‍යවකාශ දුරේක්ෂය ද සවි කිරීමට චීනය අපේක්ෂා කරයි. ‘ටියැන්හේ’ මොඩියුලය යනු මීටර් 16.6 ක් දිග සිලින්ඩරාකාර කොටසකි. එහි පළල මීටර් 4 කි. ගගනගාමීන් තිදෙනා මාස 3 ක කාලයේ මොඩියුලයේ රැඳී සිටිමින්, එහි එකලැස් කිරීමේ කටයුතුවල යෙදෙනු ඇත. මෙම නැවැතුම්පොළේ කටයුතු ලබන 2022 වසර අවසන් වෙද්දී සම්පූර්ණ කිරීමට චීනය අපේක්ෂා කරයි. ඉන්පසු මාස හයෙන් හයට මාරුවෙන් මාරුවට චීන ගගනගාමීන් තිදෙනකු බැගින් නැවැතුම්පොළට යෑමටත් ඒමටත් නියමිතය. ඉදිකිරීම් සම්පූර්ණ කෙරෙන ‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළේ ආයු කාලය අවුරුදු 15 කි. ‘ටියැංගොන්’ නැවැතුම්පොළ රැඳී පවතිනු ඇත්තේ පෙළෝ මට්ටමේ සිට කිලෝ මීටර් 340 ත් 400 ත් අතර උසකිනි. ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ඇත්තේ කිලෝ මීටර් 408 ක් උසකිනි. ‘ටියැංගොන්’ නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ තරම් දැවැන්ත එකක් නොවෙයි. ‘ෂෙන්චෞ -12’ ගගන කැප්සියුලයෙන් ‘ටියැන්හේ’ මොඩියුලය හා සම්බන්ධ වුණු ගගනගාමීන් තිදෙනා ආපසු පෘථිවිය බලා පැමිණෙන්නේ ද ‘ෂෙන්චෞ -12’ කැප්සියුලයෙනි. නැවැතුම්පොළ ඉදිකිරීම සඳහා ඉදිරියේ දී සිදුවන මෙහෙයුම්වලින් මෙහෙයුම් 4 කට ගගනගාමීන් සම්බන්ධ කර ගන්නා බව ද චීනය පවසා තිබේ.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි