පසුගියදා අවසන් වූ Hiru Star රියැලිටි ගීත තරගාවලියේ ජයග්රාහි කිරුළ දිනාගැනීමට සමත් වුණේ අනුරාධපුර පදිංචි චමෝද් කවිශ්ක. ඒ වැඩිම ප්‍රේක්ෂක මනාපයක් දිනාගනිමින්.
ඔහු ලබාගත් ඒ ජයග්‍රහණයේ සතුට සැඳැල්ල අප හා බෙදාගත්තේ මෙලෙසින්.
- චමෝද් ලැබූ ජයග්‍රහණයේ සතුට වචනවලට පෙරළුවොත්?
ඒක ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි තරම්. මොකද මේ සැබෑ වුණේ මම පුංචි කාලේ ඉඳන් දැකපු හීනයක්. ගායකයෙක් වෙන්න දැකපු හීනයට මුල්ම අඩිතාලම වැටුණා කියලා තමයි මට හිතුණෙ ජයග්‍රාහී කිරුළ අතට ගද්දි. ඉතින් මේ ජයග්‍රහණය ලබාගන්නට අපට වේදිකාව නිර්මාණය කරලා දුන්නු ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතාට මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනැ. ඒ වගේම අපිව ඉදිරියට ගෙනාපු ආදරණීය විනිශ්චය මණ්ඩලය ඇතුළු Hiru Star මුළු කණ්ඩායම ආදරෙන් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔවුන්ගේ ශක්තිය එක්ක තමයි මම මේ වගේ ගමනක් ඉදිරියට ආවෙ.
- ඉතින් කියන්නකො චමෝද් Hiru Star තරගයට සම්බන්ධ වුණේ කොහොමද කියලා?
ගායකයෙක් වෙන්න ඕනැ කියලා මට හීනයක් තිබුණා. රියැලිටි තරගයකට සම්බන්ධ වෙන්න නම් මගේ කැමැත්තක් තිබුණේම නැහැ. මාව මේ වෙනුවෙන් සම්බන්ධ කළේ මගේ අප්පච්චි තමයි. ඒ මම අහම්බෙන් වගේ කරපු වීඩියෝ Clip එකක් අප්පච්චි මේ තරගයට යවලා තිබුණා. මට හොරෙන් තමයි මේ වීඩියෝ Clip එක තරගයට යොමු කරලා තිබුණෙත්. ඉතින් ඒ විදියට තමයි මම මේ වෙනුවෙන් සම්බන්ධ වුණේ.
- චමෝද්ට නොදන්වා යවපු වීඩියෝ Clip එක හොඳට පත්තු වුණා ඒ කියන්නෙ?
අනිවාර්යයෙන්ම ඔව්. ඇත්තටම මගේ අම්මා, අප්පච්චි තමයි මේ ජයග්‍රහණයට මූලිකම හේතුව. ඒ දෙන්නා තමයි උපරිම ශක්තිය, සහයෝගය මට නිරතුරුවම ලබා දුන්නෙ.
- මේ ජයග්‍රහණය බලාපොරොත්තු වුණු දෙයක්ද?
ඇත්තටම කිව්වොත් මේ තරගය තුළ කරට කර තරග කරන්න හිටියෙ දක්ෂතා රැසක් සපිරි ඉතා දක්ෂ තරගකරුවන්. ඉතින් ඒ එකිනෙකාට වෙනස් වුණු දක්ෂතා මුල සිටම අභියෝගයක්ව තිබුණා. නමුත් මම ඒක අභියෝගයක් විදියට ගත්තෙ නැහැ. මට මාවම අභියෝග කරගෙන මගේ ඉදිරිපත් කිරීම හරි විදියට කරන්නයි මම උත්සාහ කළේ. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට දැනෙන්න ගායනා කරන්නයි මට ඕනෑ වුණේ. ඉතින් ඒ දේ සාර්ථක වුණා කියලා
හිතෙනවා. ලැබුණු ප්‍රතිචාර සහ ඒ ජයග්‍රහණයත් එක්ක. මොකද මට හිතාගන්න බැරි තරමට ජනතා ප්‍රතිචාරයක් ලැබුණා. ඉතින් ඒ හැමදෙනාටම මම ස්තූතිවන්ත වෙනවා.
- මේ ගායන හැකියාව චමෝද්ට පුංචි කාලේ සිටම තිබුණද?
අපේ අම්මා කියන විදියට මම පුංචිම කාලෙ ඒ කියන්නෙ මුනු මුනු ගාන කාලේ ඉඳලම සින්දු කිව්වලු. ඒ කාලෙ මට මතකයි අම්මා මාව නිදිකෙරුවෙ නැළවිලි ගී කියලා. මම ඒවා අහගෙන ඉන්න හරිම ආසයි. මුලින්ම සංගීතය මගේ කනට වැටුණේ ඒ විදියට. එතැනින් පසුව ඉතින් මට මතක විදියට පෙර පාසලේ තිබුණු විවිධ ප්‍රසංගවල ගීත ගායනා කළා. එතැනින් පසුව ප්‍රාථමික අධ්‍යාපනය ලබද්දි පාසල් මට්ටමේ ගායන තරගවලට වගේ මට සම්බන්ධ වෙන්න ලැබුණා. ඒ තුළින් ජයග්‍රහණ එහෙමත් ලැබුවා. මම මුලින්ම එක වසරේ සිට O/L දක්වා පාසල් ගියේ අනුරාධපුර කලැත්තෑව මහා විද්‍යාලයට. ඉන්පසුව අනුරාධපුර මිහින්තලේ ජාතික පාසලට. ඒ පාසල් දෙක තුළම සංගීතය පැත්තෙන් අත්දැකීම් ලබලා තියෙනවා. ඒ වගේම ජයග්‍රහණත් අරගෙන තියෙනවා.
- ඒ පාසල් තුළත් චමෝද් ජනප්‍රිය චරිතයක්ද?
ඇත්තටම පාසල් දෙකේම මම ගොඩක් ජනප්‍රිය චරිතයක්. බාල, වැඩිමල්, සමවයස් හැමෝම අතරම. ඒ දැනගැනීමට හේතු වුණේ මම පාසලේ. සංගීතය වගේම ඩ්රාමාත් කළා. ඒවා නිසාම විතරක් නෙමෙයි මාව පාසලෙ තවත් ගොඩක්ම කට්ටිය දැනගත්තෙ මම දඩබ්බර, දඟ චරිතයක් විදියට.
- එහෙනම් ඒ කාලේ පාසලෙන් චෝදනා එහෙමත් තියෙන්න ඇති?
අම්මෝ ඔව්. ගොඩක් වෙලාවට පාසලේ පැවැත්වෙන දෙගුරු හමුවලදි එහෙම ගොඩක්ම මට චෝදනා තමයි ආවෙ. ඒ එක වතාවක අපේ අම්මට කියලා තිබුණා ‘මේ කොල්ලව අපට හදන්න බැහැ හරිම විසේ’ කියන දෙයක් අහන්නෙ නැහැ. පන්ති කට් කරනවා එහෙම කියලා. තවත් ඉතින් චෝදනා ගොඩයි. ඒවා පත්තරවල කියන්න බැරි තරම් තියෙනවා.
- ඉතින් ඒ අවස්ථාවල අම්මා කියනවා ඇති අද යමංකො ගෙදර කියලා නේද? කොහොමත් ඒ වචන පාසල් යන කාලේ හුරු පුරුදු වචනනෙ නේද?
අම්මෝ ඔව්. අනිවාර්යයෙන්ම ඒකම තමයි කියන්නෙ. ඒ මොහොතෙ ටිකක් රවාගෙනත් ඉන්නවා. ඊටපස්සෙ පාරෙ යන ගමනුත් බනිනවා. පිළිවෙළකට ඉන්න බැරිද තමුන්ට කියලා. ඒ වගේ ඉතින් කතන්දර ගොඩයි. ඒත් දවසක් දෙකක් ගියාම ඒක ෂේප්.
- ඒ විදියට දඟකාර, විසේකාර හදන්නත් බැහැ කියපු පුතාට අද රටම ආදරය කරනවා නේද?
ඔව් ඉතින්. ඒවා එක්ක දැන්නම් අම්මාට සතුටු ඇති. අම්මා නම් අදටත්කි යන්නෙ වැරදි වැඩ නොකර හරි විදියට ජීවත් වෙන්න කියලා රටේ කොයිතැනක හිටියත්.
- චමෝද්ට එතකොට පවුලෙ ඉන්නෙ කව්ද?
මට ඉන්නෙ නංගියි, මල්ලියි. ඒ දෙන්නා තවම පාසල් යනවා. නංගි මෙතුලි පූර්නිමා, මල්ලි ඔවින් පූජිත.
- ඒ දෙන්නටත් ගායන හැකියාව තියෙනවද?
තවම නම් එහෙම කියන්න බැහැ. විශේෂයෙන්ම කියන්න ඕනැ මගේ නංගිගේ උපන්දිනය දවසෙ තමයි මට මේ කිරුළ ලබාගන්න හැකි වුණේ. ඒ නිසා එදා ගොඩක්ම සතුටු වුණා මගේ පවුලේ හැමෝම.
- ඒ කියන්නේ නංගි අයියාට වාසනාව ගෙනාවා?
අපේ නංගිට ගෙදරට කියන නම ‘කිරුළි’ නංගිගෙ නම මෙතුලි වුණත් කියන්නෙ කිරුළි. ඉතින් කිරුළිගෙ උපන්දිනයට අයියාගේ අතට කිරුළක් ලැබුණා. ඒක ඉතින් මට කොහොමත් විශේෂයි.
- එතකොට චමෝද්ගේ වයස?
මට අවුරුදු 19 යි.
- ඒ කියන්නෙ තවම පොඩි ළමයෙක්නෙ?
ඔව්. මට මේ තරගයත් එක්ක A/Lකරන්න බැරි වුණා. ඉදිරියේදී පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඩිප්ලෝමාවක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ අතරතුර සංගීතය පැත්තෙන් ගොඩක් දේවල් කරන්න ගුණාත්මක භාවයෙන් යුක්ත හොඳ නිර්මාණ කරන්න තමයි තියෙන ලොකුම සැලසුම වෙලා තියෙන්නෙ.
- ගායනයට අමතරව චමෝද්ට තියෙන වෙනත් හැකියාවන් මොනවද?
මට ක්‍රීඩා කුසලතා තියෙනවා. ජවන හා පිටිය තරග ඔස්සේ පාසල් මට්ටමින්. පළාත් මට්ටමින් ජයග්‍රහණ එහෙමත් ලබාගෙන තියෙනවා. ඒවා තමයි වෙනත් හැකියාවන්.
- චමෝද්ගෙ ගම් ප්‍රදේශය ගැනත් කියමු නේද?
මගේ ගම අනුරාධපුර කලැත්තෑව කියන්නෙ හරිම සුන්දර නිස්කලංක ප්‍රදේශයක්. මනුෂ්‍යයෙකුට ජීවත්වෙන්න හොඳම පැත්තක් ඇත්තටම. මම ලංකාව වටේ ගිහින් තියෙනවා. නමුත් මේ වගේ ලස්සන පැත්තක් තවම දැකලා නැහැ.
- අනුරාධපුර කලත්තෑෙව චණ්ඩි ඉන්නවා කියන්නෙ ඇත්තද?
ඒ මීට කලකට ඉහත කියපු කතානෙ. ලංකාවෙ ගොඩක් බයවුණු කාලයක් තිබුණා. මේ ගමේ නම කියද්දි මොකද මීට වසර ගණනකට ඉහත චණ්ඩි මෙහෙ ඉඳලා තියෙනවා. දැන්නම් එහෙම නැහැ. ගොඩක් දෙනෙක් දැන් මටත් ආදරේ කරනවනෙ.
- චමෝද් චණ්ඩි නැහැනෙ නේද?
අනේ නැහැ. මම හරිම සුහදශීලිව ඉන්න තමයි කැමැති ඕනැම කෙනෙක් එක්ක. මම ලේසියෙන් තරහ ගන්න චරිතයකුත් නෙමෙයි. තරහ ගියොත් නම් ටිකක් පාලනය කරන්නත් අමාරුයි.
ධනු විජේරත්න