T-10 ක්‍රිකට් ලීග ක්‍රීඩකයන්ටද නරඹන්නන්ටද?



සුදු ජාතිකයන් විසින් 18 වැනි සියවස තුළ ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදීමේ සිට මේ දක්වා ගතව ඇති කාල සීමාව තුළ ඒ සඳහා විවිධ ආකාරයේ ආකෘතීන් බිහිවිය. 1877 වසරේදී එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් වසර 94 කට පසුව එනම් 1971 වසරේදී එම රටවල් දෙක අතරම පළමු එක්දින ක්‍රිකට් තරගය පැවැත්විණ. 

ටෙස්ට් තරගයක් දින 5 ක් පුරා පැවැතීම හේතුවෙන් ක්‍රීඩකයන්ට සහ නරඹන්නන්ට ඒ වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවීමත්, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ පැවැති උදාසීන බව සහ අල්මැරුණු ස්වභාවයත් හේතුවෙන් එක්දින ක්‍රිකට් තරග රටාව ලොවට බිහිවිය. එක්දින ක්‍රිකට් තරගයක්ද පැය 8 ක පමණ කාලයක් පැවැතීම හේතුවෙන් පසුකාලීනව විස්සයි-20 තරග බිහිවූ අතර මේ වන විට එය දහයයි-10 තරග දක්වාද පරිනාමය වී තිබේ. 

පැය 4 කට සීමා වූ විස්සයි-20 තරග රටාව බිහිවීමත් සමග ක්‍රිකට් ක්‍රීඩාවට උද්වේගකර බවක් සහ ප්‍රවේගකාරී බවක් එක්වූ නමුත් පෙර එහි තිබූ තාක්ෂණය සහ ජීව ගුණය ටිකෙන් ටික පිරිහීමට ලක්වූ බව දැකගත හැකි විය. ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හඳුන්වා දී ඇති නවතම ආකෘතිය නැතහොත් තරග රටාව වන දහයයි-10 තරග මේ වන විට කෙමෙන් කෙමෙන් ලොව පුරා රටවල් කිහිපයක්ම ව්‍යාප්ත වෙමින් පවතී. 

පළමුව අබුඩාබි දහයයි-10 ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ආරම්භ වූ මෙම තරග රටාව පසුව කටාර් රාජ්‍යය, යුරෝපය, බටහිර ඉන්දීය කොදෙව් දූපත්, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ සිම්බාව්වේ දක්වා පැතිර ගියේය. ලංකා දහයයි-10 තරගාවලියේ ආරම්භයත් සමග මේ වන විට ශ්‍රී ලංකාවද ඉහත කී නම් අතරට එක්ව තිබේ. 

කණ්ඩායමකට ඕවර 10 කට නැතහොත් පන්දු 60 කට සීමා වූ මෙම දහයයි-10 තරග රටාවට අනුව එක් තරගයක් පැය 2 ක පමණ කාලයකින් නිමාවට පත්වනු ඇත. ඒ අනුව එක්දින තරගයක්, විස්සයි-20 තරගයක් මෙන් නොව මෙම දහයයි-10 තරග 3 ක් එක්දිනක් තුළ පැවැත්වීමට හැකියාව තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා (19) නිමාව දුටු ලංකා දහයයි-10 තරගාවලියේදීද එක් දිනක් තුළ තරග 3 ක් පැවැත්විණ. 

කෙසේ වුවත් ක්‍රීඩා ලෝලීන් අතර විස්සයි-20 තරග රටාව ප්‍රචලිත වූ තරමටම මෙම දහයයි-10 තරග රටාව ප්‍රචලිත වී නොමැති බව එම තරග නැරඹීම සඳහා ක්‍රීඩාංගණ වටා එක් රොක්වන නරඹන්නන් දෙස බැලූ කළ පෙනී යනු ඇත. ලංකා දහයයි-10 ලීගය පමණක් නොව දහයයි-10 තරග රටාවේ ආරම්භය සනිටුහන් කළ අබුඩාබි දහයයි-10 ලීගයද ඊට කදිම නිදසුන් සපයනු ඇත. 

ප්‍රේක්ෂකයන් අතලොස්සකගෙන් පමණක් සමන්විත වූ, වැඩි ඉඩ කඩක් හිස්ව පවතින ක්‍රීඩාංගණ තුළ තරග පැවැත්වීමෙන් දහයයි-10 තරග රටාව ප්‍රචලිත වන බවක් නම් පෙනෙන්නට නැත. කෙසේ වුවත් එම තරගාවලීන්හි විකාශන අයිතිය ලබාගැනීම සඳහා විද්‍යුත් මාධ්‍ය ආයතන අතර දැඩි තරගකාරීත්වක් පවතින බව නම් දැකගත හැකිය. ඊට හේතුව ක්‍රීඩාංගණ වෙත නොගියද නිවසේ සිට හෝ අන්තර් ජාලය ඔස්සේ හෝ මෙම තරග නැරඹීමට ක්‍රීඩා ලෝලීන් ඇල්මක් දක්වන බව යැයි යමෙකුට කිව හැකිය. 

එහෙත් එහි නොපෙනෙන තවත් පැති දෙකක් තිබේ. ඒ ක්‍රීඩකයන්ගේ පැත්ත සහ සූදුකරුවන්ගේ පැත්තය. ජාතික කණ්ඩායමට ඇතුළත්වීමට අවස්ථාවක් නොලද ක්‍රීඩකයන් බොහොමයක් මෙවැනි ෆ්‍රැන්චයිස් ලීග (පුද්ගලික හිමිකාරීත්වයන් සහිත ලීග) වලට සහභාගිවී එහිදී දක්වන ලද දස්කම් හේතුවෙන් ජාතික කණ්ඩායම්වලට ඇතුළු වී ඇති අවස්ථා එමටය. එමෙන්ම ජාතික කණ්ඩායම්වල සිටින ක්‍රීඩකයන්ද ඔවුන්ගේ වටිනාකම ඉහළ දමාගන්නනේ මෙවැනි තරගාවලි තුළ දක්වන දස්කම් අනුවය. 

උදාහරණයයක් ලෙස ගතහොත් සූර්යකුමාර් යාදව්, යසස්වි ජයිස්වාල්, රිංකු සිං වැනි ක්‍රීඩකයන් ඉන්දීය කණ්ඩායමට ඇතුළු වීමට වරම් හිමිකර ගත්තේ ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙනි. එමෙන්ම වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ද ඔවුන්ගේ වටිනාකම (තරගාවලියකට සහභාගි වීම වෙනුවෙන් ඔවුන්ට ගෙවන මුදල) ඉහළ දමාගන්නේද ෆ්‍රැන්චයිස් ලීග තුළ දස්කම් දක්වමිනි. 

විස්සයි-20 තරග රටාවටත් වැඩියෙන් දහයයි-10 තරග රටාව තුළ අඩු ලකුණු සංඛ්‍යාවක් ලබාදෙමින් කඩුලු දවාගැනීමේ හැකියාව පවතින පන්දුයවන්නන්ට මෙන්ම, අඩු පන්දු සංඛ්‍යාවකදී වේගයෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස්කිරීමේ හැකියාව පවතින පිතිකරුවන්ටද ඉතා ඉහළ වටිනාකමක් හිමිවනු ඇත. එබැවින් දහයයි-10 තරග රටාව ලොව පුරා සිටින එවැනි ක්‍රීඩකයන් සොයා ගැනීම සඳහා කදිම වේදිකාවක් ලෙස හැඳින්විය හැකිය. 

එහෙත් ජාතික කණ්ඩායම් තේරීමේදී මෙන් නොව මෙම ෆ්‍රැන්චයිස් ලීග වලදී කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරා ගැනීමේදී එම කණ්ඩායම්වල හිමිකරුවන්ගේ සිතැඟි පරිදි ක්‍රීඩකයන් තෝරා ගැනීමටත්, ඔවුන්ට අවැසි ලෙස නායකයන් පත් කිරීමටත් අවස්ථාව හිමිවන බැවින් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ දස්කම් දැක්වීම සඳහා නිසි ලෙස අවස්ථාවන් හිමිවනවාද යන්න තරමක් සැක සහිතය. 

එමෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය ක්‍රීඩකයන් මෙවැනි තරගාවලි සඳහා සහභාගි කරවා ගැනීම තුළින් ජාතික කණ්ඩායම්වල දොරට තට්ටු කරමින් සිටි දක්ෂ යොවුන් ක්‍රීඩකයන් රැසකට අවස්ථාවන් අහිමිවනවා සේම තරගාවලීන්හි ගුණාත්මක භාවය තරමක් හීන වනු ඇතැයිද යමෙකුට උපකල්පනය කළ හැකිය. ලංකා දහයයි-10 ලීගය සඳහාද මේ වන විට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය දෙස් විදෙස් ක්‍රීඩකයන් 12 දෙනෙක් ක්‍රීඩා කරන බැවින් එම උපකල්පනය අපට එක හෙළා බැහැර කිරීමටද නොහැක. 

දහයයි-10 ලීගයන්ගේ අපට බැලූ බැල්මට නොපෙනෙන තවත් පැත්තක් වන්නේ සූදුකාරයන්ගේ පැත්තය. බැලූ බැල්මට නොපෙනුනද, දහයයි-10 පමණක් නොව විස්සයි-20 තරගද ඇතුළුව ෆ්‍රැන්චයිස් ලීග බොහොමයක් මේ වන විට සූදුකරුවන්ගේ විමාන බවට පත්ව තිබේ. ලංකා දහයයි-10 ලීගයට ක්‍රීඩා කරන කණ්ඩායමක හිමිකරුවකුද මේ වන විට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයන් පොළඹවාගැනීමට තැත්කිරීමේ වරදට පොලිස් අත්තඩංගුවේ පසුවේ. 

ඔහු එම පොළඹවාගැනීම කර ඇතැයි පැවසෙන්නේ ලංකා දහයයි-10 ලීගයේදී නොව අබුඩාබි දහයයි-10 ලීගයේදීය. එහෙත් කැලේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වන්නේ නැතැයි කියමනක් තිබේ. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇන්ඩි්‍ර ෆ්ලෙචර් මෙම තරගාවලිය අතරතුර හදිසියේම ආපසු සිය රට බලා ගියේ ඇයි දැයි සොයා බලන්නෙකුට ඒ පිළිබඳව වැඩි යමක් දැනගැනීමට හැකි වනු ඇත. 

වැඩි දෙනෙක් නොදන්නා නමුත් මෙවැනි ෆ්‍රැන්චයිස් ලීග වලදී පන්දු යවන්නකු යවන පන්දුවක් පන්දුවක් පාසා මෙන්ම පිතිකරුවකු එල්ල කරන පහරක් පරහක් පාසා කෝටි ප්‍රකෝටි ගණනින් ඔට්ටු දැමෙනු ඇත. මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ලෙස හැඳින්වූ ක්‍රිකට් ක්‍රීඩාව මෙම කෙටි ආකෘතීන් බිහිවීමත් සමග ක්‍රම ක්‍රමයෙන් සූදුකරුවන්ගේ ක්‍රීඩාවක් බවට පරිවර්ථනය වෙමින් තිබෙන බව නම් දැකගත හැකිය. එබැවින් මෙම දහයයි-10 තරග රටාව ක්‍රීඩකයන් සඳහාද, නරඹන්නන් සඳහාද නැතහොත් වෙනත් පාර්ශ්වයකට ද යන්න පිළිඹඳව ඉදිරියේදී ඕනෑම අයෙකුට ගැටලුවක් පැන නැගෙනු ඇත. 


 ශානුක අරවින්ද