

1993 මාර්තු 6 වැනිදා උතුරු නැගෙනහිර හැර අනෙකුත් පළාත් සභා හත විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා 1993 මැයි 17 වැනි සඳුදා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා එම මැතිවරණ පවත්වන බව නිවේදනය කළේය. ඉදිරිපත් වූ අපේක්ෂකයන් 2,351 අතරින් මන්ත්‍රීවරුන් හෝ මන්ත්‍රීවරියන් 366ක් හා එක් පළාතකට මන්ත්‍රීවරු 2 බැගින් ප්රතිලාභ මන්ත්‍රීන් 14 දෙනකු මේ මගින් තෝරාගත යුතු විය.
මැයි 17 වැනි දින පළාත් සභා හතේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වූ පසු කාගේත් කතාබහට ලක්වූයේ වයඹ හා දකුණු පළාත් සභා ප්‍රතිඵල දෙකය. මධ්‍යම ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂ පාලන බලය යටතේ පවතිද්දී සියලු පළාත් සභා ඔවුන්ගේ පාලනය තුළ පවත්වා ගැනීම අරමුණ වී තිබිණ.
පළාත් සභා පනතට අනුව යම් පළාතක් සඳහා සංස්ථාපිත පළාත් සභාවේ කිසියම් මන්ත්‍රීවරයකු එම පළාත් සභාවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට සමත් වන්නේ යැයි ආණ්ඩුකාරවරයා කල්පනා කෙරේද, ආණ්ඩුකාරවරයා විසින් එම මන්ත්‍රීවරයා එහි ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්කළ යුතු නමුත් පළාත් සභාවට තෝරා පත්කරගනු ලැබූ මන්ත්‍රීවරුන්ගෙන් දෙකෙන් එකකට වැඩි සංඛ්‍යාවක් එක් දේශපාලන පක්ෂයකට අයත් සාමාජිකයන්ගෙන් යුක්ත වන අවස්ථාවක ආණ්ඩුකාරවරයා විසින් එම පක්ෂයේ කණ්ඩායම් නායකයා, ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්කළ යුතු බවට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි 4 වැනි වගන්තියේ ‘අ’ පරිච්ඡේදයේ 154 ඊ වගන්තියට අයත් 4 වැනි උප වගන්තියේ සඳහන් වේ.
වයඹ පළාත් සභා මැතිවරණයේදී මුළු මන්ත්‍රීන් 50 දෙනා පහත සඳහන් පක්ෂවලින් තේරී පත්වූහ.
එක්සත් ජාතික පක්ෂය 23
පොදු ජන එක්සත් පෙරමුණ 18
ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ 09
මීට අමතරව, ජයග්රාහි පක්ෂයට (වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් පක්ෂයට හෝ කණ්ඩායමට) අපේක්ෂකයන් අතරින් තවත් දෙදෙනකු ප්රතිලාභ (බෝනස්) මන්ත්‍රීවරුන් ලෙස පත්කරවා ගැනීමට 1988 අංක 2 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනතේ 61 ‘අ’ වගන්තියේ 2 වැනි උප වගන්තිය යටතේ හිමිකම ඇත.
එම හිමිකමට අනුකූලව කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් වයඹ පළාත් සභාවට ඇම්.යූ. හේරත් මහතාත්, එච්. එල්. ඩී. ඒ. ලීටස් හිලේරියන් ගුණවර්ධන මහතාත් නම් කළ අතර, 1993 මැයි 21 අංක 767/12 දරන අති විශේෂ ගැසට්පත්රයෙන් මැතිවරණ කොමසාරිස් එය ප්‍රකාශයට පත් කළේය.
මේ ආකාරයටම දකුණු පළාත් සභා මැතිවරණයේදී ඒ ඒ පක්ෂවලින් මහජන ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීන් සංඛ්‍යාව මෙසේය.
එක්සත් ජාතික පක්ෂය 25
පොදු ජන එක්සත් පෙරමුණ 22
ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණ 06
එක්සත් ජාතික පක්ෂය විසින් බෝනස් මන්ත්‍රීන් ලෙස නම් කළ ජයසිරි නානායක්කාර මහතාත්, අබේදීර සිරිමල් මහතාත් මැතිවරණ කොමසාරිස් ප්‍රකාශයට පත් කළේය. මේ පළාත් සභා දෙකේදීම පළාත් සභාවට තෝරා පත්කරගත යුතු මන්ත්‍රීන් සංඛ්‍යාවෙන් දෙකෙන් පංගුවට වැඩි සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂයට දිනාගත නොහැකි විය.
මේ අතර, පොදු ජන එක්සත් පෙරමුණේ හා ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණේ ලේකම්වරුන් වන දි.මු. ජයරත්න හා ජී. එම්. පේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ අත්සනින් වයඹ හා දකුණු පළාත් සභා ආණ්ඩුකාරවරුන් වෙත 1993 මැයි 21 දින ලිපි දෙකක් යොමු කරනු ලැබූ අතර, ඒ සමඟ පොදු පෙරමුණේ ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීන් ඒකාබද්ධව එම පළාත් දෙකෙහි පාලනය පිහිටුවීමට තම තමන්ගේ කැමැත්ත පළ කර සිටීමේ ලිපි හා දිවුරුම් ප්‍රකාශයක් ද ආණ්ඩුකාරවරුන් වූ මේජර් මොන්ටේගු ජයවික්‍රම (වයඹ), එම්. ඒ. බාකීර් මාකර් (දකුණ) යන අයවලුන් වෙත යොමු කරන ලදී.
ඒ අනුව, පක්ෂ දෙකේ එකතුව මත වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරු 27ක් වූ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 25කි. දකුණු පළාත් සභාවට පක්ෂ දෙකේ එකතුවෙන් 28ක් වූ අතර, එක්සත් ජාතික පක්ෂයට හිමි වූයේ මන්ත්‍රී ධුර 27කි. ඒ අනුව, ආණ්ඩුකාරවරුන්ගෙන් ඉල්ලා සිටියේ වයඹ පළාත් සභාවට මන්ත්‍රීවරු බහුතරයක බලය ලබන ජී. එම්. පේමචන්ද්‍ර මහතාත්, දකුණු පළාත් සභාවට මන්ත්‍රී බහුතරය ඇති අමරසිරි දොඩංගොඩ මහතාත් පත් කරන ලෙසය.
නමුත් මේ අතර, 1993 මැයි 21 වැනිදා පෙරවරු 10.00ට ආණ්ඩුකාරවරුන්ගේ නිල නිවාස තුළදී වයඹ පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත්, දකුණු පළාත් සභාව සඳහා එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක එම්.එස්. අමරසිරි මහතාත් සුභ මොහොතින් දිවුරුම් දුන්හ. බහුතරයේ කැමැත්තට පිටුපා සිදු කළ මෙම දිවුරුම් දීම පිළිබඳව විපක්ෂ නායිකා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංග හමු වී උද්ගත විය හැකි තත්වයන් පිළිබඳව සාකච්ඡා කළාය.
තත්වය මෙසේ තිබියදී වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත්, දකුණු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී සිටි එම්.එස්. අමරසිරි මහතාත් එම ධුරයේ කටයුතුවලින් වැළැක්වීමේ “සර්ටියෝරාරි මැන්ඩාමුස්” රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වැනි වගන්තියට අනුව ජී.ඇම්. පේමචන්ද්‍ර හා අමරසිරි දොඩංගොඩ යන මහත්වරුන් 1993 මැයි 24 වැනිදා අභියාචනාධිකරණය වෙත පෙත්සම් දෙකක් ඉදිරිපත් කළහ.
ජී. එම්. පේමචන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ ආණ්ඩුකාර, මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතා සහ ප්‍රධාන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතා වූ අතර, අමරසිරි දොඩංගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වූයේ දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් හා ප්‍රධාන අමාත්‍ය එම්. එස්. අමරසිරි මහත්වරුන්ය. ඒ අතර, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ජයවික්‍රම පෙරේරා මහතාගේ පත්වීම නීත්‍යනුකූල නොවන බවත්, පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට ඔහු සුදුසු නොවන බවත් ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලමින් වයඹ පළාත් සභාවට ප්රජාතන්ත්රවාදි එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් වී ජයගත් මහව පොල්පිතිගම එච්.බී. අබේරත්න මහතා විසින් 1993 ජුනි 8 වැනි දින අභියාචනාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළ අතර, පළාත් සභා මැතිවරණයකදී සිදු වූ තේරී පත්වීමකට විරුද්ධව ඉදිරිපත් කරන ලද මුල්ම ඡන්ද පෙත්සම ද මෙය විය.
ආණ්ඩුකාරවරුන් දෙදෙනා වයඹ හා දකුණු පළාත් සභා සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් පත්කරන ලද ආකාරය පිළිබඳ විරෝධතා ගොනු කරමින් එම පළාත් දෙකෙහි ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනාගේ අධිකරණයට ඉදිරිපත් කළ සෙත්සම් පුරා මාස 4ක් මුළුල්ලේ විභාග කර බැලූ විනිසුරු මඬුල්ල, 1993 ඔක්තෝබර් 8 වැනිදා එම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේය.
අභියාචනාධිකරණයේ සභාපති කේ. පාල කිඩ්නර්, සරත් එන්. සිල්වා, ඩී. පී. එස්. ගුණසේකර යන විනිසුරු තුන්කට්ටුවේ ඒකමතික තීරණය අනුව දකුණු හා වයඹ පළාත් සභාවල ආණ්ඩුකාරවරුන් විසින් එම පළාත් සභාවලට ප්‍රධාන අමාත්‍යවරුන් පත්කර ඇති ආකාරය අයුක්ති සහගත සහ නීති විරෝධි බවත්, එම පත්වීම් අවලංගු කොට නීත්‍යනුකූලව ප්‍රධාන අමාත්‍යවරුන් පත්කිරීමට නැවත කටයුතු යොදන ලෙසත් නියෝග කරමින් එම ආණ්ඩුකාරවරුන් දෙදෙනා වෙත “කෝ වොරොන්ටෝ” ආඥාවක් නිකුත් කළේය.
ඊට පෙර, ආණ්ඩුකාරවරයකුගේ මතයක් අභියෝගයට ලක්කළ හැකි ද යන්න පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ ගැටලුවක් මතු වූයෙන් ඒ පිළිබඳව අර්ථ නිරූපණයක් ලබා ගැනීමට අභියාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගැටලුව යොමු කර තිබුණි. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම කරුණ පිළිබඳව ආපසු අභියාචනාධිකරණ වෙත එවමින් පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන් පත්කළ ආකාරය පිළිබඳව කිසියම් ගැටලුවක් මතු වුවහොත් ඒ පිළිබඳව තීන්දුවක් ගැනීමේ බලය අභියාචනාධිකරණයට ව්‍යවස්ථාපිත විධිවිධාන ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.
වයඹ හා දකුණ පළාත් ආණ්ඩුකාරවරුන් දෙදෙනා ප්‍රධාන අමාත්‍ය පත්වීම් ලබා දීමේදී ක්‍රියා කර ඇත්තේ තමා අසා දැනගත් කරුණු මත බවත්, තමා පත්කරගත් ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනා සඳහා සභාවේ වැඩි දෙනකුගේ සහාය ලැබෙන බවට සහතික කරගෙන නොවන බවත්, ආණ්ඩුකාරවරු සිය අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මහජනතාව විසින් සිය ඡන්දයෙන් මන්ත්‍රීවරුන් තෝරා පත්කරගෙන සිටි ආකාරයට ගරු කළ යුතු බවත්, නඩු තීන්දුවේ සඳහන් කර තිබුණි.
මේ අනුව, දකුණු පළාත් සභා ආණ්ඩුකාරවරයා එම්. එස්. අමරසිරි මහතාට ලබා දෙන ලද ප්‍රධාන අමාත්‍ය ධුරය ද, වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රධාන අමාත්‍ය ලෙස ජයවික්‍රම පෙරේරා වෙත ලබා දෙන ලද ධුරය ද අහෝසි වී ගියේය.
මේ අනුව, 1993 ඔක්තෝබර් 11 වැනි දින වයඹ පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ජී. එම්. පේමචන්ද්‍ර මහතා වයඹ ආණ්ඩුකාර මොන්ටේගු ජයවික්‍රම මහතා ඉදිරියේ කොළඹ වෝඩ් පෙදෙසේදී දිවුරුම් දී වැඩ භාරගන්නා ලදී.
1993 ඔක්තෝබර් 12 වැනි දින දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් මහතා ඉදිරියේ ගාල්ලේ ආණ්ඩුකාර නිල නිවෙසේදී දිවුරුම් දී ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් අමරසිරි දොඩංගොඩ මහතා වැඩ භාරගන්නා ලදී.
පළාත් සභා ප්‍රධාන අමාත්‍ය ධුරයක් උසාවිය මගින් ලබා දෙන ලද ප්‍රථම හා එකම අවස්ථාව ද මෙය විය.
බණ්ඩාරගම සමරසේන මුදලිගේ