අපි නොදන්න පෙකෝ ට්‍රේල් The Pekoe Trail


 

Trail යන ඉංග්‍රීසි වචනයේ අදහස, මංපෙත් යන්නය. මෙම ට්‍රේල් යන වචනය නේක තැන්හි සැරිසරන්නන් හට අමුතු වචනයක් නම් නොවේ. ඊට හේතුව, වත්මනෙහි බොහෝ දෙනා අතර, මෙම ට්‍රේල් සංචාර වඩාත් ජනප්‍රිය වී ඇති නිසාය. අපි දැන් විපරම් කර බලමු මෙම ට්‍රේල් සංචාර මොන වගේ ද? සහ ඇයි මෙම සංචාර මෙතරම් ජනප්‍රිය වීමට හේතු යන කාරණා කියලා. 

ලංකාවේ මෙම සංචාර හැඳින්වෙන්නේ, පෙකෝ ට්‍රේල් (Pekoe Trail) යනුවෙනි. පෙකෝ යන වචනයද ඔබට අමුතු වචනයක් නොවෙන්නේ, තේ වර්ගීකරණයක් ද වෙන බැවිනි. ‘සිලෝන් ටී’ ගැන දන්නා අය මෙන්ම ලංකාවේ තේ පානය කරන්නන් හට, පෙකෝ වර්ගයේ තේ ගැන අමුතුවෙන් කිවයුතු නොවේ. වර්ගීකරණය අනුව, පෙකෝ අනර්ඝ තේ වර්ගයකි.  පෙකෝ ට්‍රේල් ලෙස මෙම සංචාර නම් වී ඇත්තේ, ඇයි?  ඒ ගැන ජාතික සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමයේ දේශකයකු ලෙස කටයුතු කරන, රම්ලි රබාන් බොහෝ විස්තර දන්නා අයෙකි.

 පෙකෝ ට්‍රේල් හැදුණ විදිහ  

බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේදී, මෙරට තේ වගාව සුදු ජාතිකයින් විසින් ව්‍යාප්ත කළ පසු, ඊළඟ කාර්යය වුණේ නෙළන තේ දලු බ්‍රිතාන්‍යට යැවීමට කටයුතු කිරීමයි. ඒ අනුව, ෆැක්ටරිවල සිට කොළඹ වරායට එවලා තියෙන්නෙ දුම්රියෙන්. හැබැයි නෙළූ දේ දලු රැස් කරන්න නුවරඑළියේ සිට කරත්ත පාත්තියක් හදලා තියෙනවා. ඒ විදිහට ඒ කරත්ත පාත්තිය හදලා තියෙන්නෙ මධ්‍යම කඳුකරයේ සියලු තැන් යාවෙන පරිදි නුවරඑළියේ සිටයි. නුවරඑළියේ සිට ගැල්වල ගෙන ආ තේ දලු ගොඩ බෑවෙ මහනුවර. එතැනින් දුම්රියෙන් කොළඹට ප්‍රවාහනය කර තිබෙනවා. පසු කලෙක මේ කරත්ත පාත්තිය භාවිත වුණේ නැහැ. එය අගාධයට ගිහින් තිබුණෙ. පසුව මෑතකදී එය ‘‘හයිකින් පාත්’’ එකක් විදිහට පාවිච්චි කරන්න පටන් ගෙන. ඒක තමයි මේ විදිහට අද ‘පෙකෝ  ට්‍රේල්’ නමින් භාවිත කරන්නෙ. නුවරඑළියේ සිට සම්පූර්ණ දුර ගත්තොත් ට්‍රේල් එක වටා කිලෝමීටර 273ක් විතර තියෙනවා. එම කිලෝමීටර 273ක ප්‍රමාණය කොටස් 23කට, හෙවත් අධියර 23ක් ලෙස යොදා ගන්නවා. 


රම්ලි සඳහන් කරන පරිදි, මේ එක් අදියරකට කිලෝ මීටර 16ක් පමණ ඇතුළත්ය. එනම් එක් දිනකදී පෙකෝ මග ඔස්සේ කිලෝ මීටර 16ක් යා හැකිය. නිතර හයිකින් යන්නන් නම් ඊටත් වඩා දුරක් යාමට පුරුදුව සිටී. කෙසේ හෝ මෙම අපූරු සංචාරක අත්දැකීම ලබාගැනීමට රිසි ඔබ කළ යුත්තේ, මුලින්ම මහනුවරට යාමය. එතැනින් හන්තාන වෙත ගොස් ගමනාරම්භයට ප්‍රවේශ විය හැකිය. පළමු අදියර ලෙස කිලෝමීටර 16 ක් ලෙස සඳහන් කළද, වැඩි දෙනෙක් ගලහ දක්වා ගොස් පළමු දින නිම කිරීමට පෙලැඹ සිටී. ඒ සඳහා ඇත්තේ කිලෝමීටර 12 ක දුරකි.   

තේ කෞතුකාගාරය පළමු අදියරේ ආරම්භක ස්ථානය වේ.  ඒ මග ඔස්සේ ඉදිරියට ගමන් කළ විට හන්තාන තේ වතු යාය හමුවේ. එහි හරිත පහස ලබමින් යනවිට, ඊළඟට හමුවෙන්නේ කටුසු කොන්දය.  කටුස්සකුගේ හැඩයට සමාන උස් ගල් පර්වතය තරණය කරන විටදී, එහි මුදුණත සිට දසත අසිරිය රිසි සේ විඳගත හැකිය. එය ඉතාම මනරම් ස්ථානයකි. ‘‘ඉන්ඩියානා ජෝන්ස් සහ ටෙම්පල් ඔෆ් ද ඩූම්ස්’’ චිත්‍රපට එදා රූගත කළ මනරම් දර්ශන තල ඊළඟට ඔබ මවිතයට පත් කරවයි. ‘ස්ටේජ් ටූ’ හෙවත් දෙවැනි අදියර පටන් ගන්නේ ගලහ සිටය.  දෙල්තොට පසු කොට ලූල්කඳුර දක්වා ගොස් එම අදියර නිම කළ හැකිය. ස්ටේජ් එකින් එක හෙවත් පියවරෙන් පියවර යා යුත්තේ එලෙසින්ය. 

අදියරෙන් අදියර ගමනාන්තයට අනුව, ඊට නුදුරු ස්ථානයක ඇති නවාතැනක් කලින්ම වෙන්කරවාගෙන තිබීම පහසුවක් වේ. එක් අධියරක් යද්දී වතුර බෝතලයක්, ශක්තිජනක පානයක්, චොක්ලට් ස්ලැබ් එකක්, ගෙන යාම ඔබගේ විඩාව දුරු කරවයි.  ඇවිද යාමට සහ ආරක්ෂාවට ගැළපෙන අයුරින් සාදා ඇති සපත්තු යොදාගැනීම උචිත වේ. කූඩැල්ලන් බහුල කාලවලදී, කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට අවැසි දේ රැගෙන යාමටත්, අවශ්‍ය ආල්පන භාවිත කිරීමත් අමතක නොකළ යුත්තකි. එමෙන්ම මෙම මංපත් ඔස්සේ ඔබට මග නොදැන යා නොහැකි බැවින්, මග පෙන්වන්නකුගේ සහාය ලබා ගැනීම ද කළ යුතුය. ජී.පී.එස්. (GPS) ඔස්සේ මග සොයාගැනීම අසීරු කරුණක් වෙන්නේ, තැනින් තැනට අනුව සිග්නල් සබඳතා නිසි ලෙස නොමැති නිසාවෙනි.
මෙම පෙකෝ ට්‍රේල් ගමන් සඳහා, සමහර අධියර ඔස්සේ යාමට නම් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට සිදුවේ. උදාහරණයකට, හෝර්ටන්තැන්න කලාපය ඔස්සේ යන විට, ප්‍රවේශ පත්‍ර නොමැතිව ගමන් කළ නොහැකිය. 

හන්තානෙන් පටන් ගෙන සම්පූර්ණ ගමන නිම කිරීමට, එනම් ස්ටේජ්‍ 23 ගොස් අවසන් කිරීමට දින 23 ක් ගතවේ. පළපුරුදු සැරිසරන්නන් හට නම් එතරම් කාලයක් ගත නොවේ. 

ශ්‍රී ලංකාව යනු ලොව අනර්ඝ තේ ඇති රටකි. එසේ වූවද, තේ ගැන වූ බොහෝ කරුණු - කාරණා අප දන්නේ අල්ප වශයෙනි. මෙවැනි ගමනක් යාමෙන් පසුව, අපේ තේ හැදෙන විදිහේ සිට, දලු නෙළන ක්‍රමයේ සිට තේ බීම දක්වා  බොහෝ දේ ගැන  අත් විඳ ගත හැකි වෙන්නේය. එමෙන්ම තේ ෆැක්ටරියකට ගොඩවදින විට, රසම රස තේ පානයක රසයද විඳ ගත හැකිය.  බොහෝ විට තේ වතු මැදින්  මංපෙත් පසු කරමින් යාමට ඇති මෙම ගමනේදී, ඔබට හමුවෙන තේ වතු වසර සිය ගණනක් පැරණි ඒවාය.  එම තේ වතු ගැන බොහෝ විස්තර මෙන්ම පළාත් ගැන විස්තර ද දැන ගනිමින් යන මෙම ගමනේදී හමු වෙන්නේ තේ වතු පමණක් නොවේ. කඳු, බෑවුම්, තැනිතලා, නිම්න, අඩි පාර, ඇළ-දොළ, කැලෑ වැනි විවිධ තැන් පසු කරමින්, විවිධ මාර්ග ඔස්සේ යාමට සිදුවේ. 

පෙකෝ ට්‍රේල් යාම සඳහා මෝටර් රථ භාවිත නොකරයි.  ගමනාරම්භක ස්ථානයේ සිට යා යුතු වෙන්නේ පා ගමනින්ය. බොහෝ තරුණ පිරිස් අතර මෙම පෙකෝ ට්‍රේල් වඩාත් ජනප්‍රිය වී ඇත්තේ ද එනිසාය. විටෙක ත්‍රාසය මෙන්ම කුතුහලය ගෙන දෙන අවස්ථාවලට මුහුණ දීමට සිදුවේ. ඒවා තාරුණ්‍යයේදී ලබන අමතක නොවෙන අත් දැකීම් නිසාවෙන්, තරුණ පිරිස් රංචු ලෙස පෙකෝ ට්‍රේල් යාම සිදු කරයි. ජීවිතය ප්‍රීති සංචාරයක් කරගත් සැරිසරන්නන් මෙන්ම මෙවැනි ගමන් පුරුද්දක් කරගත් සැරිසරන්නෝ තනිව හෝ දෙන්නා තුන්දෙනා ලෙසත්, කණ්ඩායම් හැටියටත් පෙකෝ ට්‍රේල් යන අයුරු දැක ගත හැකිය. 

ලාංකික සැරිසරන්නන්ට අමතරව, සමහර විදේශීය සංචාරකයින් අතර  ලංකාවේ මෙම පෙකෝ ට්‍රේල් සඳහා වත්මනෙහි ඇත්තේ ඉහළ රුචිකත්වයක් යැයි පෙකෝ ට්‍රේල් සංවිධානය කරන අය​ පවසන්නකි. අද ලෝකය බෙහෙවින් සුඛෝපභෝගී වී ඇති අතර, එනිසාම විටෙක දනවන්නේ යාන්ත්‍රික බවකි. පවුලේ අය සමග එක්ව තරු හෝටලවල සති අන්තය ගත කිරීම ද දැන් අරුමයක් නොවන බැවින්, වෙනස් වෙනස් දේ අත්හදා බැලීමට වැඩි දෙනා කැමතිය. එනිසා මෙවැනි සංචාර අමුතු ආස්වාදයක් ගෙන දෙන වග බොහෝ දෙනාගේ අදහසය. එමෙන්ම සොබා දහමේ අසිරිය ආස්වාදය කරමින්, ස්වභාවධර්මයට අවනතව සංචාරයක යෙදීම ජීවිතයට ගෙන දෙන්නේ නැවුම් උත්තේජනයකි.


සඳුන් ගමගේ