විවිධ අංශ කෙරෙහි විහිදී ගිය දක්ෂතා ඇති මිනිසුන් අපට හමුවන්නේ කලාතුරකිනි. ඔහු එවැනි මිනිසකු විය. නිර්මාණශීලීත්වයේ ධාරිතාවය වැඩි නිසාම දෝ ඒ අපූරු කලාකරුවා ඉක්මනින්ම ජීවිත ගමනෙන් යන්නම යන්නට ගියේය. චිත්‍ර කතාවෙන් පටන්ගෙන දැන්වීම්කරණයට අවතීර්ණව, දහසක් නිර්මාණශීලී දේ කිරීමට දායකත්වය ලබාදුන් ඔහු ගී තනු ඉපැද්ද වූ සොඳුරු සංගීත ශිල්පියකුද විය. ආශාවරී සමග සිනමාවද ජයගත් නිසා හෙට දින සිනමාවට අවැසිම දැවැන්තයකු වග ඔහු පසක් කළේය. ඒත් දැන් ඉතිරිව ඇත්තේ සොඳුරු නිර්මාණශීලීත්වයෙන් ඔහු දායාද කළ දේ පමණෙකි. කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනා සිටි ඒ මිනිසා තේජා ඉද්දමල්ගොඩය. ඔහු යන්නම යන්නට ගියේද යන්න සැබැවින්ම සිතාගත නොහැකි තරමට අප විමතියට පත් කරවන්නකි. ඒත් තේජා යන්නම යන්නට ගොසිනි. ඔහු නැවතූ තැන් සිට නිර්මාණකරණයේ යෙදීමට සංගීත් ඉද්දමල්ගොඩ සුදානමින් සිටී... සංගීත් යනු තේජාගේ දෙවැනි පුතුය. ගහේ කටු උල් කළ යුතු නොවන සේ තම පියාගෙන් ලැබූ ජානමය ආභාෂය සමග කලා ක්ෂේත්‍රයේ නියැලෙන නිර්මාණශීලී තුරුණු ශිල්පියකු ලෙස සංගීත් ඉද්දමල්ගොඩ නම් කළ හැකිය. අපේ හිතාදර තේජා ඉද්දමල්ගොඩට උපහාර පිණිස ඔහු ගැන කතා කිරීමට, තාත්තයි-පුතයි විශේෂාංගය වෙනුවෙන් අපි අද සංගීත් ඉද්දමල්ගොඩට ඇරියුම් කළෙමු!
- සංගීත් ඔබගෙ තාත්තා ගැන අපට පොත් පිරෙන්නට තරම් දේ ගැන කතා කළ හැකියි. ඒ ගැන කතා කරන්නට පෙර ඔබ ගැන පුංචි හැඳින්වීමකින් අපි පිළිසඳර අරඹමු.!
මම දැනට කටයුතු කරන්නෙ නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු ලෙස මගේම ප්‍රචාරක හා නිෂ්පාදන ආයතනය වන රෝලිං ඇන්ඩ් ඇක්ෂන් ආයතනයේ. ඒකත් පටන් ගැනීමට මට අඩිතාලම ලබා දුන්නේ තාත්තා විසින්. ප්‍රචාරක ක්ෂේත්‍රයේදි මාත් ලංකාවේ ප්‍රකට ආයතන කීපයක සන්නාම ප්‍රවර්ධනයට සහ නිර්මාණය කිරීමට කටයුතු කරනවා. ඒ හැර ශබ්ද පරීක්ෂකවරයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ ගී පද රචකයෙක් ලෙසත් කටයුතු කරනවා.
- තාත්තා පැමිණි ගමන ගැන මීලඟට සඳහනක් කරමු?
‘‘තාත්තා එයාගේ කලාත්මක ගමන පටන් ගෙන තිබුණෙ චිත්‍ර ශිල්පියකු විදිහටයි. තේජා ඉද්දමල්ගොඩ නමින් චිත්‍ර කතා නිර්මාණය කරද්දි පාඨකයින් හිතලා තියෙන්නෙ තාත්තා ගැහැණු ළමයෙක් කියලයි. ඒ දිනවල ගෙදරට රසිකයින්ගෙන් ලිපි ලැබිලා තියෙන්නෙ ‘‘සුදු අක්කියෝ කොහොමද ඔයාගේ චිත්‍ර කතා වගේම ඔයත් ලස්සන ඇති නේද?’’ කියලයි. ඒත් තාත්තා කවුද කියලා කියන්න ගිහින් නැහැ. චිත්‍රකතා ශිල්පියකු ලෙස අතිශය ජනප්‍රිය වෙද්දි ඊළඟට එයා පියවර තබලා තියෙන්නෙ. ප්‍රචාරක දැන්වීම් අංශයට. දැන්වීම් ප්‍රචාරක අංශයේදි චිත්‍ර ශිල්පියකු, කලා අධ්‍යක්ෂවරයකු සහ ඊළඟට නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන්න පටන් ගෙන තිබුණා. ලංකාවේ ප්‍රධාන සහ ප්‍රකට දැන්වීම් ප්‍රචාරක ආයතන සියල්ලකම පාහේ කටයුතු කරන්න ලැබුණේ තාත්තා සතු වූ විවිධ අංශ කෙරෙහි තිබූ දක්ෂතා නිසයි. JWT, මෙල් ඇඩ්ස්, රිබ්ස්, ග්‍රේස්, බේස්, වැනි සෑම ප්‍රචාරක ආයතනයකම සිටි තාත්තා මෙරටදි වැඩිම කාලයක් වැඩ කළේ ෆීනික්ස් ඇඩ්වර්ටයිසිං ආයතනයේ. ඉන්පසුව තමයි තාත්තාට ලැබුණු ඔෆර් එකකට අනුව අබුදාබියේ මැමැක් ඇඩ්වර්ටයිසිං ආයතනයට ගිහින් සේවය කරලා තියෙන්නෙ. ලෝ ප්‍රකට සන්නාම කීපයක් සඳහාම එහිදී නිර්මාණශීලී දායකත්වය ලබාදී තිබෙනවා. අබුඩාබියේ වසර හතරක අත්දැකීම් සමග නැවත තාත්තා ලංකාවට පැමිණ තිබෙන්නෙ. එයාගෙම දැන්වීම් ප්‍රචාරක ආයතනය වන ‘‘මීඩියා විෂන්’’ පටන් ගන්න. තාත්තා ඒ ගමන ආවේ එක් රැයකින් නොවෙයි. දැන්වීම් කලාවේ පොඩිම තැනින් පටන් ගෙන අත්දැකීම් ලබමින් ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් දක්වා පොඩිම වයසින් ක්ෂේත්‍රයට ආ කෙනෙක්.
- ඔහුගේම ‘මීඩියා විෂන්’ පටන් ගැන්මත් එක්ක නේද ප්‍රචාරක ක්ෂේත්‍රයේ ඔහුගේ හැරවුම් ලක්ෂ්‍යය ඇති වුණේ.
අබුදාබියේ මැමැක් ඇඩ්වර්ටයිසිං ආයතනයේ සිට ජාත්‍යන්තර වෙළඳනාම කීපයකම නිර්මාණ කටයුතු කරමින් සිටියදී නන්දන වික්‍රමගේ මහතාගෙන් තාත්තාට ඇරයුමක් ලැබිලා තියෙන්නෙ ලංකාවට ඇවිත් ‘මන්චි’ වෙළඳ නාමයේ නිෂ්පාදන වෙනුවෙන් නිර්මාණ කර දෙන්න කියලා. ඒ විදිහට ලංකාවට ආවට පස්සේ තමයි තාත්තා මීඩියා විෂන් පටන් ගත්තෙ. මන්චි ‘බ්‍රෑන්ඩ් එක ගැන ඒ වනවිට ලංකාවේ වැඩි දෙනෙක් දැනගෙන ඉඳලා නැහැ. ‘මන්චි’ බ්‍රෑන්ඩ් එහි ප්‍රවර්ධනය සඳහා ප්‍රචාරක කටයුතු පටන් ගන්නෙ ඉන් පසුවයි. ‘‘මන්චි’’ ප්‍රමෝට් කිරීම විතරක් නෙවෙයි. ‘CBL’ නාමය යටතේ ලංකා සෝයි, සේරා, රිට්ස්බරි, රෝලෝ, ටියාරා යන සියලු නිෂ්පාදන වෙනුවෙන් නන්දන වික්‍රමගේ මහතා සමග එක්වී වෙනමම ගමනක් යන්න පටන් ගත්තා. ඒ සියලු වෙළඳනාම සැදීම විතරක් නොවෙයි අලෙවි කිරීම සඳහා වූ උපාය මාර්ග, ඇතුළු සියලු දේ වෙනුවෙන් දායකත්වය දෙන්න පටන් ගත්තා. ඉන්පසුව ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් කීපයක නිෂ්පාදන වෙනුවෙන් දැන්වීම් නිර්මාණ කටයුතු කරන්නත් පටන් ගත්තා. ‘කැලණි කේබල්’ ආයතනයට ‘වයර් නම් කැලණි’ සංකල්පය ගෙනාවේ තාත්තා. එතැනින් එහාට ලංකාවේ ප්‍රධානම ආයතන සඳහා අවසානය වන විට මැක්ටයිල් මල්ටිලැක් දක්වා නිර්මාණ කටයුතුවල නිරත වුණා.
- එතකොට ‘මියුසික්’ වලට ආවේ කොයි කාලයේදීද?
තාත්තාගෙ ජීවිතේ මුල් කාලයේ ඉඳලම සංගීතය බැඳී තිබුණු දෙයක්. එහි උච්චතම අවස්ථාව වුණේ ශිහාන්ට කළ මිහිරාවියේ ගීතය. ශිහාන්ට අමතරව නලින් පෙරේරාට, හෙක්ටර් ඩයස්ට, අමිලා නදීෂානි, සංඛ දිනෙත් ඇතුළු බොහෝ පිරිසකගේ ගී නිර්මාණ සංගීතවත් කළේ සහ සමහර ඒවා රචනා කළෙත් තාත්තා. රියැලිටි වේදිකාවෙන් ආ ගායක ගායිකාවන්ගෙ පළමු ගීතය බොහෝ විට නිර්මාණය වුණේ තාත්තාගෙ අතින්. ඒ අතරින් වඩාත්ම හිට් වුණේ ශිහාන්ගෙ මිහිරාවියේ සහ අමිලා නදීශානිගේ ‘ඔබ දන්නවාද දන්නෙ නෑ’ ගීතය.
- ලංකාවේ වැඩිම T.V දැන්වීම් සංඛ්‍යාවක් නිර්මාණය කළ චරිතය ඔහු නේද?
මම ඒ ගැන මිනුම් දන්නෙ නැහැ. ඒත් තාත්තා දහසකට වඩා දැන්වීම් නිර්මාණය කර තිබෙනවා.
- එතැනින් ද නොනැවතුණු ඔහු ඊළඟට අත ගැහුවෙ සිනමාවට නේද?
හරියටම හරි. ඉස්සෙල්ලා කිව්ව විදිහට චිත්‍රශිල්පියෙක්. දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්ට අමතරව සංගීත අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සිට තාත්තා ඊළඟට හිතුවෙ දැන් තමයි සිනමාවට අත ගැසිය යුතු කාලය කියලයි. ඒ අනුව තමයි ආශාවරී චිත්‍රපටය කළේ. එය අධ්‍යක්ෂණය වගේම නිෂ්පාදනයටත් එක් වුණේ තාත්තා. ඒ ෆිල්ම් එකේ සාර්ථකත්වය එක්ක ඊළඟට දෙවැනි වැඩේ ලෙස කරන්න පටන් ගත්තෙ. අසහාය සංගීත වේදියකුවූ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව අලලා සිනමා නිර්මාණය. මියාමට පෙර තාත්තා කටයුතු කරමින් සිටියේ ඒ චිත්‍රපටයේ වැඩ. ඒකෙ නම ‘සිහින ලොවින්’ එය එළැඹෙන පෙබරවාරියේදී රිලීස් වීමට නියමිතයි. මේ විදිහට කලා ක්ෂේත්‍රයේ විවිධ අංශවල නියැලී සිටි ‘ඕල්රවුන්ඩර්’ කෙනෙක් සහ අසාමාන්‍ය විදියෙ නිර්මාණ කුසලතාවයක් තිබු චරිතයක් තමයි අපේ තාත්තා.
- ‘තේජා’ කියන්නෙ බොහොම ආදරණීය චරිතයක්නෙ. එයාගේ ප්‍රේමය ගැන ඔබලාට කියලා තියෙනවද?
තත්තාට අම්මව මුණ ගැහිලා තියෙන්නෙ. මාබෝලෙ පල්ලියෙදි. ඒ හමුව තමයි. විවාහය දක්වා දුරදිග ගිහින් තියෙන්නෙ. එදා ඒ හමුවූ මුල් දින සිට තාත්තාගෙ මුළු ජීවිතයම වුණේ අපෙ අම්මා. තාත්තා කොච්චර නම් ආදරණීය චරිතයක්ද කිව්වොත් එයාගේ සහෝදර සහෝදරියන් සියලු දෙනා ප්‍රශ්නයක් ආවාම වුණත් මුලින්ම කිව්වෙ තාත්තට. එයාගෙ දරුවන් පවා ඕනෑම දෙයක් කිව්වෙ තාත්තාට. තාත්තා ඒ පවුල වටා සිටි මහා ව්‍යාක්ෂයක් වගෙයි. තාත්තා නිර්මාණය කළ ගීත වල අම්මි ඉන්නවා. අම්මි තාත්තාට එයාගෙ නිර්මාණ කටයුතු කරන්න දුන්නෙ ලොකු නිදහසක්. ඒ නිදහස නිසා තමයි ආදරණීය නිර්මාණ රැසක් කිරීමේ අවකාශය තාත්තාට ලැබුණෙ.
- ඒ ආදරණීය යුවළට පුතුන් දෙදෙනෙයි. ඔබ දෙවැනියා?
ඔව් මම දෙවැනියා. අයියා උසස් අධ්‍යාපනය හැදෑරුවෙ ඕස්ට්‍රේලියාවෙ සිට. නිර්මාණ අධ්‍යක්ෂවරයකු ලෙස එයත් කටයුතු කරනවා. අයියගෙ නම ඩිල්ෂාන් ඉද්දමල්ගොඩ. අයියා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ.
- ‘සංගීත්’ වෘත්තීය වශයෙන් කරන්නෙ.
තාත්තා නියැලී සිටි සියලුම අංශවල වගේ මාත් නිරත වෙනවා. මට තාත්තාගෙන් ගන්න බැරි වූ එකම දේ එයාගේ චිත්‍ර හැකියාව. මම ක්ෂේත්‍රයට ආවේ ලංකාවේ ලාබාලතම ශබ්ද පරිපාලකවරයා ලෙස. ඒ අංශයෙන් හොඳටම හැදෑරූ ශබ්ද පරිපාලන ඉංජිනේරුවරයකු ලෙස පසුව කටයුතු කරන්න පටන් ගත්තා. අමතරව සගීත නිර්මාණය සහ ගායකයකු ලෙසත් කටයුතු කරනවා.
- සංගීත් තාත්තා ඔබට සහ අයියාට කොතරම් සමීප වූවාද? කොතරම් දුරස්ථ වුවාද!
අපි දෙන්නාට බෙහෙවින්ම සමීපයි. එයාගේ සෑම දෙයකදීම මුල්තැන තිබුණේ අයියාගෙ කටයුතු වෙනුවෙන්. එයාව ඕස්ට්‍රේලියාවට යැව්වෙත් තාත්තාගෙන් පසුව ඒ කලාව ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් දැණුම ලබා ගැනීමටයි. අයියාට තාත්තා සෑහෙන ආදරෙයි. මම රට යන්න තීරණය නොකළේ තාත්තාගෙන් මට ඉගෙන ගන්න තිබූ දේ බොහෝ නිසයි. ඇත්තටම අපේ තාත්තා කියන්නෙ ඇවිදින පුස්තකාලයක් වගේ මිනිසෙක්. මහ බර සොඳුරු චරිතයක්.
සඳුන් ගමගේ