ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය තරුපති මුණසිංහ රචිත ‘ශබ්ද මානවවංශවේදය’ සහ ප්‍රවීණ රංගනවේදිනී ගයනි ගිසන්තිකා රචිත‘ගලන දියේ හංගා’ කෘති ද්විත්වය දෙසැම්බර් මස 20 දා සවස 3.30ට මහවැලි කේන්ද්‍රයේදී දොරට වඩී.
ශබ්‍ද මානවවංශවේදය කෘතියේ සංවාද මණ්ඩපයට එක්වන්නේ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, විචාරක භූපති නලින් වික්‍රමගේ හා මහාචාර්ය ප්‍රභා මනුරත්නයි. ගලන දියේ හංගා කාව්‍ය සංග්‍රහය පිළිබඳව ආමන්ත්‍රණයෙහි යෙදෙන්නේ බිම්සරා ප්‍රේමරත්නයි.
ප්‍රවීණ මාධ්‍යවේදී ඉන්ද්‍රසිරි සුරවීර උත්සව සභාව මෙහෙයවනු ලබන අතර, ගැයුම් මහිර දිසානායකයි. කෘති ද්විත්වයම සරසවි ප්‍රකාශනයකි.
ශබ්ද මානවවංශවේදය කෘතියේ අන්තර්ගතය පිළිබඳව අපි මුලින්ම කතා කරමු.
ශබ්ද මානවවංශවේදය කියන්නේ ලංකාවට ආගන්තුක විෂයක්. ඒ වගේම තමයි මානව වංශවේදය කියන්නේ මානව විද්‍යාවේ පර්‌යේෂණ ක්‍රමවේදය. සාමාන්‍යයෙන් අපි මිනිස්සු එක්ක කතා කරනවා. සාකච්ඡා පවත්වනවා. මේ ක්‍රියාවලියේදි අපි කොයිතරම් දුරට ඒ අය ජීවත්වන ශබ්ද පරිසරය ගැන මොනතරම් දුරට සැලකිලිමත් වනවාද කියන එක තමයි මෙහි මූලික ම කාරණය.
මේ විෂය සම්බන්ධව බටහිර රටවලනම් දශක කිහිපයක පර්‌යේෂණ ඉතිහාසයක් තිබෙනවා. මේ මොහොතෙත් මේ විෂය පිළිබඳ පර්‌යේෂණ සිදුවනවා. මෙම කෘතිය සමන්විත වන්නේ එවැනි පර්‌යේෂණ ලිපිවලින්. ඇත්තටම මේ කෘතිය පර්‌යේෂණ ලිපි එකතුවක්. බටහිර ශබ්ද මානවවංශවේදය පිළිබඳව පළවූ පර්‌යේෂණ පත්‍රිකාවල එකතුවක්.
ඒ වගේම තමයි මේ ග්‍රන්ථයේ පර්ච්ඡේදය ඇතුළත කිව්. ආර්. සංකේතයක් තිබෙනවා. එම සංකේත භාවිතයෙන් ඒ නිර්මාණ ශ්‍රවණය කිරීමේ පහසුකමත් තිබෙනවා. එය සිංහල පාඨකයාටත් අලුත් අත්දැකීමක් වේවි කියා විශ්වාස කරනවා.
මෙවැනි පර්‌යේෂණාත්මක කෘතියක් රචනා කිරිමේ අරමුණ කවරාකාරද?
ඇත්තටම මේ විෂයට විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ බටහිර පර්‌යේෂකයො. අපි යම් මොහොතක යම් ප්‍රදේශයක ජිවත්වන ජන කොට්ඨාසයක් පිළිබඳව පර්‌යේෂණ කාර්යයක නිරතවනවිට මොනතරම් දුරට ඒ අය ජීවත්වන පරිසරය පිළිබඳව සැලකිලිමත්ද යන්න සහ ඒ ශාබ්දික පරිසරය ගැන තමයි මෙහිදී අවධානය යොමු කරන්නෙ. මෙම කෘතියේ මූලික පරමාර්ථය ඒක.
යම් අයකුට ප්‍රශ්නයක් නැගෙන්න පුළුවන් මේ වගේ කෘතියක් මානව විද්‍යාව හදාරණ අයට පමණක් සීමා වූ කෘතියක්ද කියන කාරණය. ඇත්තටම එහෙම නෑ. මම මෙහිදී මූලිකව බලාපොරොත්තු වූයේ මේ විෂය පිළිබඳව නිරන්තරයෙන් කටයුතු කරන පර්‌යේෂකයන්. අනෙක සාමාන්‍ය පාඨකයා.
අපි මොනතරම් දුරට අපි ඉන්න පරිසරයට සංවේදී වනවාද? අහනවා සහ ඇහෙනවා කියන්නේ මොකද්ද? ඒ දෙකේ වෙනස කුමක්ද? අපි යමක් ශ්‍රවණය කරනවා කියන්නේ මොනවගේ ක්‍රියාවලියක් ද, මොනතරම් දුරට ශ්‍රවණය කිරීම සඳහා අපට පුහුණුවක් තිබෙනවාද අපේ ජීවිතය ඇතුළේ. මෙන්න මේ කාරණා ගැන විශේෂ අවධානයක් යොමු කරලා තමයි මම මෙවැනි කෘතියක් පාඨකයා අතරට පත්කරන්න පෙළඹෙන්නේ. ක්‍රමානුකුල ශ්‍රවණය කියන්නේ මුළු ශරීරයම භාවිත කරන ක්‍රියාවක්. මේ කරුණු කාරණා එක්ක ලංකාව වගේ රටක පාඨකයාට මේ විෂය ගැන අවබෝධයක් ලබාදීම තමයි මගේ මූලික අවශ්‍යතාව වුණේ.
සංගිතය හා මානව විද්‍යාව අතර ඇති බැඳීම කවරාකාරද? එය සාමාජීයව බලපාන්නේ කොහොමද?
මානව විද්‍යාව කියන්නේ මිනිසුන්ගෙ චර්යා රටාවන් ගවේශනය කරන විෂයක්. මානව විද්‍යාවයි සංගීතයයි අතර මොනතරම් සම්බන්ධයක් තියෙනවද කියලා කියන්න පුළුවන් හොඳම උදාහරණය තමයි අපේ ගම්වල එදිනෙදා ජීවිතය. එහි කෘෂි කාර්මික ජීවිතය, ඉතිහාසය, ආර්ථිකය එක්ක සංගීතය තදින් බැඳී තිබෙනවා. පාරු කවි, පතල් කවි, ගොයම් කවි ආදී නොයෙකුත් දේවල් මේ ජීවිත ඇතුළේ තියෙනවානෙ. ඒක අද ඊයෙ පටන් ගත්ත එකක් නෙමෙයි.
සංගීතය කියන දේ හැම ජීවිතයකම කොටසක් වෙලා තියෙන්නෙ. මේ වගේ සංගීතමය කටයුතු එක්ක ගනුදෙනු කරන මට සංගීතය දැනෙන්නේ සූක්ෂම කලාවක් ලෙසයි. මොකද අපට කොයි මොහොතේවත් ස්වර සංඛ්‍යාත පේන්නේ නෑ. අල්ලන්න බෑ. එහෙමනම් ස්වර සංඛ්‍යාත පිළිබඳව කෙනකුට අවබෝධයක් ගන්න පුළුවන් හැදෑරීමෙන් පමණයි.
මම විශ්වාස කරනවා සංගීතය වගේ විෂයකට යම් කෙනෙක් දක්ෂ වනවානම් ඔහු විශේෂ හැකියාවක් තිබෙන කෙනක් කියලා. මේ දෙක අතර තියෙන බැඳීම ඉතා සූක්ෂ්ම ලෙස සමාජයට බලපානවා.
මෙවැනි පර්‌යේෂණාත්මක කෘතියක් රචනා කිරීමේදී මුහුණදුන් අභියෝග හා මූලාශ්‍ර කවරාකාරද?
මම මේ විෂය එක්ක විෂයානු බද්ධව ජීවත්වෙන්න පටන් ගත්තෙ 2010 වසරේ සිට. එය හැදෑරීම් අරඹන්නේ මෙල්බන් විශ්ව විද්‍යාලයේදි. ඒ තමයි ශබ්ද සැලසුම්කරණ විෂය. මෙහිදි මම මේ විෂය හැදෑරීමට පෙර හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ මේ විෂය සම්බන්ධව බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. එහිදී තමයි මට දැනුණේ මේ මොනතරම් වැදගත් විෂය ධාරාවක් ද කියා.
ඇත්තටම Sound Design විෂය මූලිකවම සම්බන්ධ වෙලා තියෙන්නෙ දෘශ්‍ය මාධ්‍ය එක්ක. මම මේ විෂය 2010 දි හදාරද්දි යම් අවබෝධයක් තිබුණා. නමුත් මෙම විෂය මහත් පුළුල් විෂයක් ලෙස පැහැදිලි කර දුන්නේ මගේ නිබන්ධන භාරව සිටි මෙල්බන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රොජර් මහතා. එය හැදෑරීම ඇත්තටම අභියෝගයක්‍්. මොකද ඒ සඳහා සංගීතය පිළිබඳව මෙන්ම මානව විද්‍යාව පිළිබඳවත් යම් අවබෝධයකින් කටයුතු කළයුතුයි.
ඒවගේම තමයි මේ විෂය පිළිබඳව බටහිර පර්‌යේෂණ මොනතරම් තිබුණත්, මූලාශ්‍ර තිබුණත්, සිංහල භාෂාවෙන් නැතිතරම් නේ. එහෙම වුණාම ඒකත් අභියෝගයක්‍්. ඒ වගේම තමයි මේ කෘතිය රචනා කිරීමේදී ඒ විෂය සම්බන්ධ ග්‍රන්ථ රාශියක් පරිශීලනය කළා. එහි නාමාවලිය ද මෙම කෘතියට එක්කළේ මේ විෂය පිළිබඳව වැඩිදුර හදාරණ අයකුට උපකාර වන නිසයි.
ඔබේ සෙසු කෘතිත් සංගීත විෂයට සම්බන්ධයි. ඒ පිළිබඳවත් කතා කරමු
ඇත්තටම මම මේ කෘතියට කලින් ශාබ්ධික සිනමාව නමින් ග්‍රන්ථයක් රචනා කළා 2020 දි. එයට 2021 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම පර්‌යේෂණ කෘතියට හිමි සම්මානයත් ලැබුණා. ඊට පෙර නාද සංකථන කෘතිය ජනගත කර තිබෙනවා. අභිනවයෙන් මේ කෘතිය හරහා මේ විෂය පිළිබඳව යම් කතාබහක් සිංහල පාඨක සමාජය ට දෙන්න යි මට අවශ්‍ය වුණේ.
මෙවැනි කෘතියකට සාහිත්‍ය සමාජය තුළ ඇති ඉඩකඩ කවරාකාරද?
ඇත්තටම මේ වගේ පර්‌යේෂණාත්මක කෘති සඳහා පාඨක සමාජය තුළ විශාල ඉඩක් වෙන්වන්නේ නෑ. නමුත් මේ කෘතිය විශ්වවිද්‍යාලීය සිසුන්ට මෙන්ම මේ විෂය පිළිබඳව ප්‍රායෝගිකව උනන්දුවක් දක්වන පිරිසට ඉතා වැදගත් කෘතියක් වේවි. ඒ වගේම තමයි මේ වගේ පර්‌යේෂණාත්මක කෘති මුද්‍රණයට බොහෝ ප්‍රකාශකයන් මැලිකමක් දක්වනවා. එහෙම කාලයක ලාබයක් නොලැබෙන බව දැන දැනම මෙවැනි කෘතියක් මුද්‍රණය සඳහා බාරගත් සරසවි ප්‍රකාශයන්ට මම හදවතින්ම ස්තුතිවන්න වනවා.
සුජිත් ප්‍රසංග