ඉන්දියාවෙන් ලැබෙන අලුත්ම ආරංචිය මෙයයි. මේ පුවතට අදාළ ව පළවන රූපවල කොටා ඇති අකුරු කියවීමට සමත් වුවහොත් - ඉන්දීය රජයෙන් ඔබට මුදල් ත්‍යාගයක් හිමිවෙයි. එම මුදල් ත්‍යාගයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර්වලින් නම්, ඩොලර් මිලියනයකි. ඉන්දීය රජයේ මෙම මුදල් ත්‍යාගය සම්බන්ධයෙන් පසුගිය දා කරුණු පැහැදිලි කළේ තමිල්නාඩු මහ ඇමැති මුතුවේල් කරුණානිධි ස්ටාලින් ය.
|
මේ අක්ෂර - එසේත් නැතිනම් අකුරු අයත් වන්නේ, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයටය. මේවා මීට වසර 5000 කට පමණ පෙර, එකල ලොව ඉතා දියුණු ජන කොට්ඨාසයක් වූ පුරාණ ඉන්දුවරුන් විසින් භාවිත කළ භාෂාවක අකුරු බව ඉන්දියානු පුරාවිද්‍යාඥයෝ පැහැදිලි කරති. වර්තමාන පාකිස්තානයක්, උතුරු ඉන්දියාවත් එක්ව ගත් කල සෑදෙන භූමි ප්‍රදේශයේ, අතීතයේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැවැතිණි. ඉන්දුවරුන් ජීවත් වූයේ එම ප්රදේශයේය.
මේ අකුරු වර්තමාන ලෝකයේ කිසිම හෝඩියක අකුරුවලට සමාන නොවෙයි. එහෙයින් භාෂා සම්බන්ධ ජාත්‍යන්තර විශේෂඥයන්ට පවා මේවා කියවීමට නො හැකි වී ඇත. මේවායේ හැඩතල අනුව මේ අකුරු කිසියම් පැරණි භාෂාවකට හෝ රූපාක්ෂර භාෂාවකට අයත් යැයි සිතිය හැකි බවත්, මේ ගුප්ත අකුරු විශේෂය ඇතුළත් ගල් පුවරු, ලෝකඩ හා තඹ තහඩු ආදිය 4000 ක් පමණ දැනට සොයාගෙන ඇති බවත්, ඉන්දීය පුරාවිද්‍යාඥයෝ පැහැදිලි කරති. අකුරු යැයි සිතිය හැකි මෙම සංකේත අතරට මිනිස් රූප හා සත්ත්ව රූප පවා ඇතුළත් කර තිබෙනු දක්නට ලැබෙන බව පුරාවිද්‍යාඥයෝ වැඩිදුරටත් කියති.
පසුගිය අවුරුදු 100 ක කාලයක් පුරාවට, විවිධ විශේෂඥයෝ මෙම අකුරු කියවීමටත්, ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හිටිහැටියේ අතුරුදන් වූයේ කෙසේදැයි යන්නත්, විසඳීමට උත්සාහ ගනිමින් සිටිති. එහෙත්, තවමත් කිසිවකුට මෙය කළ හැකි වී නැත. යම්හෙයකින් මේ අකුරු කියවීමට හැකි වුවහොත්, ඉන්දු වැසියන් ගැන අප නොදන්නා කරුණු කාරණා සහ නොවිසඳුණු රහස් රැසක් අනාවරණය කර ගැනීමට හැකි වනු ඇත.
පුරාවිද්‍යා විශේෂඥයන් සෑහීමකට පත් වන ආකාරයට, මේ අකුරු කියවන්නට සමත් වන ඕනෑම ආයතනයකට හෝ පුද්ගලයකුට මෙම ත්‍යාග මුදල දීමට සූදානම් බව තමිල්නාඩු මහ ඇමැතිවරයා පැහැදිලි කර ඇත. මේ සා විශාල ත්‍යාග මුදලක් පිරිනැමීමට, මහ ඇමතිවරයා ඉදිරිපත් වී සිටින්නේ, ඉන්දු ජාත්‍යන්තර පර් යේෂණ පදනම වෙනුවෙනි.
මේ අකුරු කියවීම සම්බන්ධයෙන්, දැනට තියෙන තවත් එක් ගැටලුවක් වන්නේ මේවා කුඩා ප්‍රමාණයේ කැබලි වශයෙන් පැවතීමය. ඇතැම් කැබැල්ලක අකුරු තුන හතරකට වඩා නැත.
අකුරු යැයි සිතිය හැකි ඒවා අතරට - රූපත් ඇතුළත් කර තිබේ. එක දිගට එක පෙළට තිබෙන්නේ නම්, ඒවා කියවීම පහසුවක් වීමට ඉඩ තිබේ. ඒත් එය එසේ නොවේ. අකුරු සහිත දිගම තඹ තහඩුවට, අකුරු 34 ක් අතුළත් වෙයි. මේවා භාෂාවක අකුරු ද, නැතිනම් ආගමික හා දේශපාලන කටයුතුවලට අදාළ රූප පෙළක් ද, යන්න ගැන දෙගිඩියාවක් පවතින බැව් ඇතැම් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
මෙම අකුරු මොනවා දැයි හරිහැටි දැන නොගත්තත්, ඉන්දු ශිෂ්ටාචාරය ගැන පුරා විද්‍යාඥයන් දැනගත් කරුණු කීපයක් ද වෙයි. ඒවා අනුව ඉන්දු නිම්න ශිෂ්ටාචාරයට අයත් වන්නේ හරප්පා ජන සමාජය යි. ඔවුන්, ක්‍රිස්තු පූර්ව 2600ත් 1900ත් අතර කාලයේ දී වර්තමාන පාකිස්තානයත් උතුරු ඉන්දියාවත් අතර භූමි භාගයේ ජීවත් වුණු ජන කොට්ඨාසයකි. අරාබි මුහුදේ සිට ගංගා නම් ගංගාව තෙක් විහිදුණු ඉන්දු ගංගාව දිගේ පැතිර පැවති දියුණු මානව ශිෂ්ටාචාරය බිහිවූයේ මොවුන් ගෙන් යැයි විශ්වාස කෙරේ.
මේ ජනාවාස වත්මන් පකිස්තානය, ඊසානදිග ඉන්දියාව හා නැගෙනහිර ඇෆ්ඝනිස්තානය යන ප්‍රදේශවල පැතිර පැවැතිණි. හරප්පා ශිෂ්ටාචාරය හදිසියේ ම ගුප්ත විධියට අතුරුදන් වී ඇත. වසර 4000ක් යන තෙක් මේ ශිෂ්ටාචාරය ගැන කිසි දෙයක් දැන ගන්න ලැබුණේ ද නැත. හරප්පා ශිෂ්ටාචාරය ගැන කතාබහක් නිර්මාණය වූයේ - 1920 වසරේ දී පමණ කැණීම් කළ බ්‍රිතාන්‍ය හා ඉන්දියානු පුරාවිද්‍යාඥයන් විසින් ශිෂ්ටාචාරයේ විස්මිත නටබුන් සොයා ගැනීමත් සමගය.
මේ වන විට ඉන්දු ගඟ ආශ්රිත ඉපැරණි මොහෙන්ජොදාරෝ හා හරප්පා වැනි ප්‍රධාන නටබුන් හැරුණු විට, පාකිස්තානයේ මෙන්ම ඊසානදිග ඉන්දියාවේ පැවති ඉන්දු ජනාවාස 1000ක් පමණ සොයාගෙන ඇත. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂඥයකු වූ ඇන්ඩෲ රොබින්සන් 2015 දී නේචර් සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් සඳහන් කළේ, එය ඒ කාලයේ දියුණු නාගරික සංස්කෘතියක් පැවති ප්‍රදේශයක් වශයෙනි. එහි ජනගහනය මිලියනයක් විතර පමණ සිටින්නට ඇතැයි අනුමාන කෙරේ.
“එහි සිට ගල්ෆ් ප්රදේශයටමෙන් ම මෙසපොටේමියාවේ උර් වැනි නගර දක්වා නාවික වෙෙළඳ බඩු ප්‍රවාහන ක්‍රමයක් පැවති බවට පුරා විද්‍යාත්මක සාක්ෂි හමු වී තියෙනවා, මේ ඉන්දු සංකේත ඒ ප්‍රදේශවලින් හමු වූ නටබුන් අතරින් හමු වී තියෙනවා. පුදුමයක් නම් මේ කිසිම පුරාවිද්‍යා සාක්ෂියක හමුදා හා යුද ගැටුම් තිබුණු බවක් හමුවී නැහැ.” ඔහු ඒ ලිපියෙන් විස්තර කර ඇත.
පුරාවිද්‍යා සාක්ෂිවලින් හෙළිවී ඇති පරිදි මෙසපොටේමියාව හා ඉන්දු ප්‍රදේශය අතර සක්‍රිය සම්බන්ධයක් පැවතියේ - ක්‍රිස්තු පූර්ව 3 වැනි සහස්‍රයේ සිටය. මෙහි දී හමුවී ඇති අභිලේඛන මෙන්ම මේ ශිෂ්ටාචාරය හදිසියේ අතුරුදන්වීමත් අබිරහසක්ව පවතී. මෙය අතුරුදන්ව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1300 දී පමණ යැයි අනුමාන කෙරේ.
මේ ශිෂ්ටාචාරයේ අතුරුදන්වීම ගැන මත දෙකක් පළ වී ඇත. එකක් නම්, 2012 වසරේ දී මතු වූ අදහසකි. ඒ අනුව, ඔවුන් අතුරුදන්ව ඇත්තේ මෝසම් වැසි කාලයන් අඩු වී යාම නිසාත්, ප්‍රදේශයේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහළ යාමත් නිසාත් ය. මේ ශිෂ්ටාචාරය යැපුණේ මෝසම් වැසිවලින් ජලය ලබාගැනීමෙන් හා ගොවිතැනින් ය.
අනෙක් හේතුව - 2006 දී අධ්‍යයනයකින් හෙළි වූවකි. එනම්, හරප්පා නගරවලට දරුණු භූමිකම්පාවලට මුහුණ දීමට සිදු වන්නට ඇති යන්නය. එමෙන්ම ජලසම්පාදනය කඩා වැටීමත්, මුහුදු මට්ටම ඉහළ යෑමත්, ඔවුන්ගේ විනාශයට හේතුවන්නට ඇත. කෙසේ වෙතත්, මේ ලෝකයේ කිසිවෙකුට හෝ මෙම අකුරු කියවීමට හැකි වුවහොත් ඔහුට මුදලට අමතරව විශාල කීර්තියක් ද අත්කරගත හැකිවෙනවා නො අනුමාන ය.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි