අවසන් ඡායාරූපය බිරිඳට දී සමුගත් විරුවා


යුද බිමේ බොහෝ අඳුරු කතා යට වුවද සොඳුරු  මතක ඉතිරිය. අද කල් ඉකුත් වී ඇති ලෙස පෙනුණද, එම සිද්ධි හමුවේ ඊට මුහුණ දුන් අය තුළද එම කතා අසා සිටින්නකු තුළද හද දවන රිදුමක් ද හිත හැදෙන අස්වැසිල්ලක් ද ජනිත වීම නවතාලිය නොහැක. මෙහි දිග හැරෙන දීපාගේ කතාව ද එවැන්නකි. එය විරු බිරිඳක පිළිබඳ කියැවෙන හුදු කතාවකින් ඔබ්බට දිව යන්නකි. වරක් දෙවරක් නොව, කිහිපවර සොයා බැලීමෙන් අනතුරුව මෙම සටහන ලියනුයේ, එය කරළියට දැමිය යුතු වඩා ගැළපෙනම වටපිටාව මෙය වූ බැවිනි.

ඒ 1987 වසරයි. රට තුළ පැවති යුද්ධය වඩා උත්සන්නව පැවති එසමයෙහි ඉන් පීඩාවට ලක් නොවූ අයකු සොයාගත නොහැකි තරම් විය. බෝයගනේ රත්ගල්ල ප්‍රදේශයේ පදිංචි 24 වියැති දීපා චාන්දනී කුමාරි කෝරාල ද එලෙස යුද ගැහැට විඳිවුන් අතර වූ කොටස්කාරියකි. දෙමාපියන් ඇතුළු හතර දෙනකුගෙන් යුත් පවුලක ඇය වැඩිමලාය. දීපාගේ නැඟණිය නමින් ප්‍රදීපා චාන්දනී කෝරාල වූවාය. ඇය ඒ වනවිට රඹුක්කන ප්‍රදේශයේ පදිංචි යුද හමුදා සෙබළකු සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් සිටියේ තම දෙමාපියන්ගේ ද අනුදැනුම ඇතිවය. නමින් නිහාල් රූපසිංහ වූ ඔහු ශ්‍රී ලංකා පාබළ හමුදාවට අයත් සෙබළෙකු වූ අතර, හෙතෙම පල්ලේකැලේ ප්‍රදේශයේ කඳවුරක සේවය කරමින් සිටියේය. මෙලෙස ඔවුනගේ ප්‍රේමය දිනපතා දළුලා යද්දී ඔහු තම පෙම්වතියගේ නිවසට යන්නට තරම් විශ්වාසයක් ද දිනා සිට තිබුණි. 

ඒ වනවිට දීපා කුරුණෑගල ෆාමසියක සේවය කරමින් සිටි අවදියයි. තම නැඟණියගේ පෙම්වතා ඇයව බලන්නට නිවසට පැමිණෙන අවස්ථාවල ඔහුගේ වැඩිමහල් සොහොයුරා ද පැමිණීම ඉඳහිට සිදුවිය. අවිවාහක යුද්ධ හමුදා කෝප්‍රල්වරයකු වූ ඔහු නමින් නිමල් ආනන්ද සෙනෙවිරත්න විය. හෙතෙම රාජකාරි කරන ලද්දේ නැගෙනහිර පළාතේ තඹලගමුව කඳවුරේය. මුලදී දෙදෙනාගේ හමුව සාමාන්‍ය සිදුවීමක් වුවද කල්යත්ම දීපාගේ නෙත් වැඩිපුර ඔහු වෙත යොමුවන්නට වූවාය. අවසානයේ දෙදෙනා එකිනෙකා මගනොහරින තත්ත්වයක් උද්ගත වූයේ ඔවුනොවුන්ගේ හදවත් තුළ නොදැනීම ප්‍රේමයක් මෝදු වෙමිනි. මෙලෙස කෙටි කාලයක් තුළ එකිනෙකා අතර සමීප සබඳතාවක් ගොඩනැගෙද්දී - එය දීපාට තම දෙමාපියන්ගෙන් වසන් කළ නොහැකි විය. නමුත්, එහිදී ඒ පිළිබඳව ඔවුන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. ඊට ප්‍රධානය හේතුව වූයේ තම දියණියන් දෙදෙනාම යුද හමුදාවේ දෙදෙනකු සමග සබඳතා පැවැත්වීමය. විශේෂයෙන්ම ඒ වනවිට රට තුළ පැවති යුද ගැටුම් හමුවේ හමුදා සාමාජිකයන්ගේ ජීවිතවල පැවති අවදානම ඊට මුල් විය. 

සැරයන් නිමල් ආනන්ද, දීපා චාන්දනී සමග අතිනත ගත් දින


 

මෙලෙස කාලය තවදුරටත් ගතවිය. දීපාගේ ප්‍රේමය ද ඇගේ නැඟණියගේ ප්‍රේමය ද දලු ලන්නට වූයේ එකම ආකාරයකටය. නමුත්, වෙනස වූයේ දීපා වෙනුවෙන් පමණක් ඇයගේ දෙමාපියන් තුළ වූ අකමැත්තයි. කෙසේවුව තම පෙම්වතියගේ පාර්ශ්වයෙන් එල්ල වූ විරෝධය මායිම් නොකළ කෝප්‍රල් නිමල් සිය සබඳතාවය පවත්වාගෙන යන්නට වූයේ කිසිදු හේතුවක් මත එය අත් නොහරින බවට වූ පොරොන්දුව ද සමඟිනි. මෙලෙස දීපාගේ ප්‍රේමය වසරක පමණ කාලයක් ගලා යද්දී ඇයට මෙන්ම ඇයගේ නැඟණියට ද අනාගතය පිළිබඳ ස්ථිර තීරණයක් ගැනීමේ මොහොත උදාවිය. එහිදී, දෙදෙනාගේම විවාහය සඳහා එකවර කටයුතු සූදානම් කෙරුණු අතර ඒ අනුව 1987 ජනවාරි 14 වන දින රිදීගම රම්බොඩගල පිහිටි මහගෙදර දී දීපාගේ විවාහය ද නැඟණියගේ විවාහ ලියාපදිංචිය ද එකවර සිදු කෙරුණි. එය වූ කලී එහි සැමට නැවුම් අත්දැකීම් ලැබදුන් අවස්ථාවක් වූයේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු තවත් එකම පවුලගේ සහෝදරියන් දෙදෙනකු අතර වූ දුලබ ගණයේ විවාහයක් වූ බැවිනි. විවාහයෙන් පසු දීපා හා නැඟණිය සිය නව ජීවිත අරඹනුයේ කුරුණෑගල රත්ගල්ල ප්‍රදේශයේය. එහි තම මව් පාර්ශ්වයෙන් ලද ඉඩමක එකම නිවසක ඔවුන් පදිංචි වනුයේ දහසක් බලාපොරොත්තු දල්වාගෙනය. මෙලෙස දින සති මාස ගත විය. එම කාලවකවානුවෙ තුළ වැඩිම පීඩනයකට හසු වූ තැනැත්තිය වූයේ දීපාය. දිනපතා උත්සන්න වන යුද ගැටුම් හමුවේ තම ස්වාමියා රාජකාරී කළ නැගෙනහිර ප්‍රදේශයේ තත්ත්වය කිසිසේත් යහපත් නොවීම එලෙස ඈ තුළ නොසන්සුන් බව වැඩි කරලීමට හේතු විය. ඒ කෙසේ වුවද කෝප්‍රල් නිමල් ක්‍රියාන්විත රාජකාරීවලින් ලද මඳ අස්වැසිල්ලක දී වුව බිරිඳ දීපා වෙත ඒමට අතපසු නොකළේ ඇය වෙනුවෙන් වූ අසීමිත සෙනෙහස නිසාමය. 

මෙලෙස කල් ගතවෙද්දී ඔවුන් අතරට නව සාමාජිකයකු ද එකතු වූයේ තවදුරටත් එම කැඳැල්ලේ සතුට උතුරා යමිනි. එනම්, 1988 ඔක්තෝබර් 06 වන දින ඈ සිය කුලුඳුල් පුත් රුවන බිහිකරමිනි. මේ අයුරින් ඔවුනගේ ජීවිත තවදුරටත් ඉදිරියට ගලා යද්දී දීපාගේ නැඟණිය ද දියණියක බිහි කළාය. මෙලෙස තව දුරටත් කාලය ගත විය. එකම නිවසක සහෝදර සහෝදරියන්ගේ පවුල් දෙක වාසය කළ ද පැවැති රාජකාරී ස්වභාවය මත කෝප්‍රල් නිමල් ආනන්දට හා සෙබළ නිහාල් රූපසිංහට බොහෝවිට එකට මුණගැසීමේ අවස්ථා විරල විය. මේ අතර උතුර නැගෙනහිර ක්‍රියාන්විතයන්හි නියැළි ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට එම කාලවකවානුව වඩාත් කාර්ය බහුල විය. එම ප්‍රදේශවල ත්‍රස්තවාදීනට එරෙහිව ක්‍රියාන්විත රැසක් ද අරඹා තිබු අතර එම ගැටුම් හේතුවෙන් දෙපාර්ශ්වයේම මියෙන තුවාල ලන ජීවිත ද සුලබ විය. මෙලෙස තවදුරටත් කාලය පියඹායන්නට විය. ඒ අතර පැවති යුදමය තත්ත්වය නිසාම දීපාගේ හා නැඟණියගේ ජීවිත තුළ විවිධ උස් පහත්වීම් සිදුවන්නට වූයේය. ඒ අතරම දීපාගේ හා කෝප්‍රල් නිමල්ගේ කැඳැල්ල තුළ තවත් පරිවර්තනයක් සිදුවිය. එනම්, දීපා යළිත් ගැබ්බර වීමයි. එම කාලවකවානුව කෝප්‍රල් නිමල්ගේ සතුට දෙගුණ තෙගුණ වන්නට වූයෙන් ඔහු ක්‍රියාන්විතයෙහි නියැළෙමින් වුව වැඩි බරක් බිරිය වෙනුවෙන් ද තබන්නට වගබලා ගත්තේය. 

රාජකාරි අතරතුර


 

මේ අතර 1995 සැප්තැම්බර් 18 වන දින කෝප්‍රල් නිමල් නිවාඩු ලැබ නිවසට ආවේ වෙනදාට වඩා වගකීම් සහගත හැඟීමෙනි. ඒ වනවිට ඔහු සිය වෘත්තීය දිවියේ සුවිශේෂී කඩ ඉමක් ද පසුකොට සැරයන් නිලයට උසස්වීමක් ද ලබා තිබුණි. එසේම, සිය වැඩිමහල් පුතු ඒ වනවිට හත් හැවිරිදි වියේ පසු වූ අතර අලුතින් එකතුවීමට යන සාමාජිකයාට යාන්තම් මාස 7 ක් වීම ඊට හේතුවයි. එහිදී ඔහු බිරිඳ දීපා වෙනුවෙන් සිය නිවාඩුවේ උපරිමව වෙහෙසෙන්නට වගබලා ගත්තේ ක්‍රියාන්විතයේ හැටි සොබා හොඳින් අවබෝධ කොටගෙන තිබූ බැවිනි. ඒ වනවිට දීපාගේ නැඟණියගේ එකම දියණියට වයස අවුරුදු දෙකක් වී තිබිණ. ඈගේ උපන් දිනය යෙදී තිබුණේ ද එම සැප්තැම්බර් 19 වන දිනය. නමුත් කෝප්‍රල් නිමල්ගේ සොහොයුරා නිවාඩු නොපැමිණ තිබූ හෙයින් ඔහුගේ දියණියගේ උපන්දින සැමරුම් වෙනුවෙන් නිවසේ අවශ්‍ය කටයුතු සූදානම් කෙරුණේ දීපා හා නිමල් එකතුවය. එහිදී, තම සහෝදරයා නොමැති අඩුව සපුරාලමින් ඔහුගේ දියණියගේ උපන්දින සැමරුම් කටයුතු පිළිවෙළකට සිදු කරන්නට ඔවුන් වගබලා ගත්තේ එකිනෙකා අතර වූ සහෝදරත්වය හා බැඳීම කොතරම්දැයි පසක් කරමිනි. මෙලෙස සැරයන් නිමල්ගේ නිවාඩුවේ හරි අඩක් ගතවෙද්දීම නිවසට පැමිණි පොලිස් නිලධාරියකු මාර්ගයෙන් ඔහුට පණිවුඩයක් ලැබිණ. එමගින් කියවුයේ ක්‍රියාන්විත අවශ්‍යතාවය මත ඔහුට වහාම යළි රාජකාරියට වාර්තාකරන ලෙසය. ඒ වනවිට භූමියේ තත්ත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයෙන් පසු වූ සැරයන් නිමල් පැකිළීමකින් තොරව යළි සේවයට යාමට සූදානම් වූයේ අකමැත්ත හෝ පැකිළීම තම වෘත්තියට තරම් නොවන හෙයිනි. තවද එතෙක් කලක් ඔහු සිය දීර්ඝ සේවා කාලය තුළදීම කුමන හෝ හේතුවකට එක් දිනක්වත් සේවයට ප්‍රමාද වී වාර්තා කර නොතිබූණි. සැරයන් නිමල් ආනන්ද යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම සොල්දාදුවෙක් විය. එදින ඉරිදා දිනයක් වූ බැවින් දීපා උදෑසනින්ම සූදානම් වූයේ තම පුතු දහම් පාසල වෙත ඇරලවීමටය. ඒ වනවිට සැරයන් නිමල් ද රාජකාරී සඳහා පිටත්වීමට සූදානමින් සිටි අතර ඔහු දීපා වෙත පැමිණ යමක් පෙන්වන්නට වූයේ ඈ පුදුම කරවන අටියෙනි. ඒ ඔහුගේ ගමන් මල්ලේ එතෙක් සඟවාගෙන සිටි යමකි. දීපා වහා එය ඉවතට රැගෙන බලද්දී දුටුවේ එහි ඉටිකවරයක බහාලූ යමකි. එහි වූයේ විශාල කරන ලද තම සැමියාගේ ඡායාරූප දෙකකි. ඔහු නිවාඩු පැමිණි දිනයේ අතරමඟදී නගරයේ ඡායාරූපාගාරයෙන්ම සකස් කොටගෙන තිබූ එය පසුව හොර රහසේම නිවසට ගෙන්වාගෙන තිබිණ. කෙසේ වුව එතෙක් ඒ පිළිබඳ ඈට නොපෙන්වා සිටීම හේතුවෙන් දීපා පෙන් වූයේ නොරිස්සුම් සහගත බවකි. ඒ අතර සැරයන් නිමල් බිරිඳ දීපා හමුවේ පවසන්නට වූයේ ඇය කිසිසේත් බලාපොරොත්තු නොවූ වදනකි. “ඔය පොටෝවල මම පණපිටින් ඉන්නවා වගේ. දැන් මම නැතිවුණත් කමක් නැහැ” නිමල්ගේ වදන් එලෙස විය. එය කන වැකෙත්ම දීපාට ඉහිලුම් නොදුන්නේය. “ඇයි ඔයා එහෙම කියන්නේ. ඔයා එහෙමනම් යන එකේ තේරුමකුත් නැහැ. ඔයා අද නොගිහින් ඉන්න” දීපා එහිදී සැමියා හමුවේ බලවත් සේ බැගෑපත් වූවාය. “බැහැ සුදූ... ඔයා දන්නවනේ මම ඔයාටත් ගෙදරටත් මගේ රාජකාරියට තරම්ම ආදරෙයි. මම කවදාවත් මේ රාජකාරිය කරනතාක් එක දවසක්වත් ඇබ්සන්ට් වෙන්නේ නැහැ” සැරයන් නිමල්ගේ ස්වරය දැඩිවිය. ඒ කෙසේ වුවද ඔහු වෙනදා නොදුටු දෙගිඩියාවකින් පෙලෙන බව දීපාට අවබෝධ වූවාය. එසේ වුව, සැමියාගේ තීරණවලට තදබල ලෙස එරෙහිවීමේ පුරුද්දක් මුල සිටම ඈ තුළ නොවූවාය. අවසානයේ ඔහු යළි කඳවුරට පිටත්වන බවට වූ සිය තීරණය තහවුරු කළේය.

- ඉතිරි කොටස ලබන සතියේ -