සුරංගනී මධ්‍යම පාන්තික පවුලක වැඩිමහලු දියණියයි. ඇයට සිටින්නේ අම්මාත්, නැඟණියන් දෙදෙනෙකුත් පමණි. තාත්තා අම්මාගෙන් වෙන් වී ගොස් ඇත්තේ ඔවුන් කුඩා කාලයේදීය. ඔවුන් ජීවත් කරවන්නට අම්මා ජොසපින් දරන්නේ අසීමිත උත්සාහයකි. සුරංගනී උගත් හෝ රූමත් නැත. එම නිසාම විවාහ වෙන වයස ඉක්මවා සිටින බැවින් ඇය මානසික ආබාධයකින් පෙලෙන්නීය. ඇයට සිතෙන්නේ නිවසට එන කවරෙකු වුවත් තමාට විවාහ යෝජනාවක් රැගෙන එන අයෙකු බවය. ගෙදරට අලුතෙන් පැමිණෙන විදුලි මනු කියවන්නා පවා ඇයට පෙනෙන්නේ තමා ගේ අත පතා පැමිණෙන අයෙකු ලෙසිනි. ඇය නිරන්තරයෙන්ම සිය නැඟණියන් දෙදෙනා හා ගැටුම් ඇති කර ගන්නීය. හිස රදය, අතපය වේදනාව වැනි අසනීප ගැන පැමිණිලි කරන්නීය. මෙහි අම්මා ලෙස එලන් සිල්වෙස්ටර් ද, ලොකු දුව ලෙස ප්‍රියා රණසිංහ ද, මද්දුමී ලෙස සමන්තා ඈපාසිංහ ද, බාලයා ලෙස තමාලි පීරිස් ද රඟ පෑහ.
සුරංගනී ගේ නිවසේ එක් පසෙක ඇනෙක්සියක් තිබේ. එය වැදගත් පවුලකට කුලියට දෙන්නට ඇගේ අම්මා ජොසපින් උත්සාහ කරන්නීය. ඒ අනුව එහි පදිංචියට එන්නේ තාත්තෙකු සහ පුතුන් දෙදෙනෙකි. තාත්තා හැඳින්වෙන්නේ පෝල් මහත්තයා ලෙසිනි. විශ්‍රාමික ලිපිකරුවෙකු වුවත් ඔහු නිතරම ටයිකෝට් හැඳගෙන පෙරකදෝරුවෙකු ලෙස පෙනි සිටිමින් මිනිසුන් රවටන අයෙකි. ඔහු රේස් ඔට්ටු ද දමන්නේය. ලොකු පුතා ජයමංගල පුවත්පත් කාර්යාලයක අකුරු අමුණන්නෙකි. ඔහු තමාට පාඩුවක් වුවත් අයුක්තියට, අසාධාරණයට එරෙහිව නැගී සිටින්නට මැළි වන්නේ නැත. පොඩි පුතා ප්‍රදීප් වැඩ කරන්නේ ගරාජයක සේවකයෙකු ලෙසිනි. එහෙත් ඔහු ජොසපින් සහ ඇගේ දියණියන් ඉදිරියේ ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටින්නේය. පෝල් මහත්තයා ලෙස රඟ පෑවේ හේමසිරි ලියනගේ ය. ජයමංගලගේ චරිතයට පණ දුන්නේ සුමින්ද සිරිසේනය. ප්‍රදීප් ලෙස ශ්‍රියන්ත මෙන්ඩිස් රඟ පෑවේය.
“ජයමංගල විවාහ වෙන්නෙ නෑ කියන ස්ථාවරයේ ඉන්න කෙනෙක්.. ඒත් සුරංගනී හැම වෙලාවෙම විවාහය ගැනම හිතනවා.. ඒ හින්දම එයා ජයමංගල පස්සෙන් යනවා.. ඇත්තටම ඒක හරිම විනෝදාත්මක ටෙලි නාට්‍යයක්.. ඒ හින්දා මම සුරංගනීව කවදාවත් අමතක වෙන්නෙ නෑ..”
1989 තරම් ඈත කාලයක ජාතික රූපවාහිනියෙන් විකාශය වූ කොටස් දොළහකින් සමන්විත අසල්වැසියෝ සුරංගනීගේ චරිතය පිළිබඳ මතක අවදි කරමින් ප්‍රියා රණසිංහ පැවසුවාය.
“මේ වගේ චරිතයක් රඟ පාන එක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද..?” මම ඇසුවෙමි.
“නැතුවමත් නෙමෙයි.. සුරංගනී චරිතය ලැබෙන කොට මම ක්ෂේත්රයට ඇවිල්ලත් වැඩි කාලයක් නෑ.. ඒත් හරිම ආසාවෙන් ඒ චරිතේ භාර ගත්තේ.. මම කවදාවත් ඒ වගේ චරිතයක් දැකලවත් තිබුණෙ නෑ.. ඒත් මට හිතුණා ඒ වගේ මානසික ආබාධ තියෙන කාන්තාවෝ හැසිරෙන්නෙ මෙහෙම වෙන්න ඇති කියලා.. ඒ අනුව මම මගෙ චරිතය හැඩ ගස්සා ගත්තා.. ඒකට බන්දුල විතානගේ විතරක් නෙමෙයි ඒ ටෙලි නාට්‍යයේ සහාය අධ්යක්ෂ වුණ විමලරත්න අධිකාරි සහ සෝමවීර සේනානායක මහත්තයාත් මට හුඟාක් උදව් කළා..” ඇය කීවාය.
අසල්වැසියෝ අධ්‍යක්ෂණය කළේ බන්දුල විතානගේ ය. එහි තිර රචනය සෝමවීර සේනානායකයන්ගෙනි. එහි රූගත කිරීම් සිදු වූයේ ගම්පහ අවට ප්රදේශවලය.
“සුරංගනීලගෙ ගෙදරට අරගෙන තිබුණෙ ගම්පහ මල්වත්ත පාරේ ඩී. එස්. කළුගම්පිටිය කියලා කෙනෙකුගෙ ගෙදර.. අපි නැවතිලා හිටියේ ගම්පහ නවාතැනක.. සමන්තයි, මායි, තමාලියි, හරි විනෝදෙන් හිටියෙ.. ඒ හින්දම එලන් අක්කා එක්ක ගැටුම් ඇති කර ගත්ත අවස්ථාත් තිබුණා..” ඇය සිනාසෙමින් කීවාය.
ප්‍රියා රණසිංහගේ අම්මා වියෝ වූයේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ආරම්භ කළ දිනවලමය. එම නිසා ඇය එයට එක් වෙද්දී දින කිහිපයක් ප්‍රමාද වී තිබිණි. ඇයට මුලින්ම රඟ පාන්නට තිබුණේ හිස පුරා තෙල් තවරාගෙන ඇඳේ නිදා සිටින දර්ශනයකි.
“එළියෙ කවුරු හරි බෙල් කරනකොට සුරංගනී හිතන්නේ එයා බලන්න කවුරු හරි ඇවිත් කියලා.. ඉතින් මම කවුද ඒ කියලා අහගෙන ඇඳෙන් නැඟිට්ටා.. බන්දුල විතානගේ ඒ දර්ශනය ගැන පැහැදිලා ඇහැව්වා කොහෙද ප්‍රියා මෙච්චර කල් හිටියෙ කියලා.. ඒක ප්‍රශංසාවක් කියලා තේරුම් ගන්න මට ටිකක් වෙලා ගියා..” ඇය කීවාය.
එම චරිතය තුළ ඇය රඟපෑවා නොව සැබෑවටම ජීවත් වූ බැව් එය නැරඹූ ප්‍රේක්ෂකයෝ පැවසූහ. මම ද ඒ අතරින් එක් අයෙකු වෙමි. සුරංගනී වෙනුවෙන් ඇයට සම්මානයක් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වූයෙමි. එහෙත් එය ඉටු වූයේ නැත. මා ඒ බව සඳහන් කළ විට ප්‍රියා සිනාසුණාය.
“ලැබෙන චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න වෑයම් කරනවා මිසක් සම්මාන ගැන හිතලා රඟපෑමක් ඒ කාලෙ තිබ්බෙ නෑ.. අවම පහසුකම් යටතේ වුණත් අපි උපරිමව කැප වෙලා අපේ කොටස ඉටු කළා..” ඇය කීවාය.
අසල්වැසියෝ ටෙලි නාට්‍යය හා බැඳුණු බොහෝ ශිල්පීන් අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුන්ගේ මතකය කවදාවත් ප්‍රේක්ෂක සිත්වලින් ගිලිහෙන්නේත් නැත.
“පෝල් මහත්තයා විදියට රඟ පෑව හේමසිරි ලියනගේ ගේ කටින් හැම වෙලාවෙම පිට වුණ අයි නෝ ද ලෝ ඒ දවස්වල මිනිස්සු අතරේ ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයක් වෙලා තිබුණා.. අදටත් සමහරු ඒක කියනවා මට ඇහිලා තියෙනවා.. ඒ කාලේ ටෙලි නාට්‍යවල තිබිච්ච අපූර්වත්වය ඒක තමයි.. දශක ගණනාවකට පස්සෙ විකාශය වුණත් මිනිස්සු හරි ආසාවෙන් ආයෙමත් බලනවා..” ප්‍රියා රණසිංහ කීවාය.
එහි ජනප්‍රියත්වය නිසාම දෙවන කොටසක් ද නිර්මාණය වූයේය. පළමු කොටස ජාතික රූපවාහිනියේ නිෂ්පාදනයක් වුවත් දෙවන කොටස නිර්මාණය කරන ලද්දේ රංජිත් පෙරේරා විසිනි.
ලංකාවේ පළමු වන ටෙලි නාට්‍යය වන දිමුතුමුතු තුළින් ක්ෂේත්රයට පා තැබූ ප්‍රියා රණසිංහ මේ වන විට ටෙලි නාට්‍ය පමණක් නොව චිත්‍රපටි ගණනාවක ද රඟ පා තිබේ. මේ වන විටත් ඇය අලුත් ටෙලි නාට්‍ය දෙකක රඟපාමින් සිටින්නීය.
ඇය දක්ෂ, ජනප්‍රිය ඇඳුම් නිර්මාණ ශිල්පිනියක බැව් නොදන්නා කෙනෙක් නැත. ඇය ඇඳුම් නිර්මාණය පිළිබඳ උනන්දුවක් දක්වන අය වෙනුවෙන් පාඨමාලා ද පවත්වන්නීය.
චන්දි කොඩිකාර