ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් දායාද වූ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු වන දිමුත් කරුණාරත්න සිය ටෙස්ට් ක්‍රිකට් දිවියට පසුගියදා සමුදුන්නේය. ඒ තමා සහභාගී වූ සියවැනි තරගයෙන් පසුවය. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට ශ්‍රී ලංකාවෙන් දායාද වූ විශිෂ්ට ආරම්භක පිතිකරුවකු ලෙස පිළිගැනෙන දිමුත් යනු ශ්‍රී ලංකාව වෙනුවෙන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධනට පසුව මෙතෙක් වැඩිම ටෙස්ට් ලකුණු ප්‍රමාණයක් ලැබූ ක්‍රීඩකයා ද වන්නේය. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ අසීරු කාලයකදී පැමිණි හොඳම ටෙස්ට් නායකයා ඔහු යැයි හැඳින්වීම වඩා උචිතය. කෙසේ වෙතත්, දිමුත් හට පසුගිය කාලයේදී දිගින් දිගටම ක්‍රීඩා කිරීමට ලැබුණේ ටෙස්ට් තරග සඳහා පමණෙකි. ඔහු මෙලෙසින් සමු ගත්තේ ඒ වර්ගීකරණය කිරීම නිසාද? මින් පසුව මේ අත්දැකීම් බහුල ක්‍රිකට් ක්‍රිඩකයා කෙසේ කටයුතු කරාවීද? ලෝක ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් දිමුත් ඉරිදා ලංකාදීපයට කැඳවූයේ, සමුගැන්මට හේතු වූ කාරණා සහ ඔහුගේ ඉදිරි අරමුණු ගැන කතා කිරීම වෙනුවෙනි.
Q: දිමුත්, තරගාවලියක් අතරේ දී ඇයි ඔබ සමුගැනීම ප්‍රකාශ කළේ? මොකක්ද ඊට බල පෑ හේතුව?
එක්වර සිදු කළ දෙයක් නෙවෙයි. ටික කලක් තිස්සේ මේ ගැන හිතමින් සිටියෙ. ඒ වගේම මේ ගැන මම දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජෙලෝ මැතිව්ස් එක්ක දිගින් දිගටම අදහස් හුවමාරු කර ගත්තා. අපි තුන් දෙනා සමුගන්නා විදිහ ගැන අපට ප්ලෑන් එකක් තිබුණා. මගේ අරමුණ වුණේ, මැච් සීයයක් ක්‍රීඩා කිරීමෙන් පසුව සමුගැනීම ප්‍රකාශ කළොත් හොඳයි කියලයි. ගාල්ලෙදී පළමු මැච් එක ගැහුවට පස්සෙ දෙවැනි තරගයෙන් පසුව සමුගැනීමට තීරණය කළා. අනෙක පසුගිය තරගවලදී එතරම් හොඳින් දක්ෂතා දක්වන්නත් මට බැරිවුණා. ඒ නිසා තරුණ අලුත් දක්ෂ ක්‍රීඩකයින්ට අවස්ථාව දීලා සමුගැනීම හොඳයි කියලා හිතුවා. ඊළඟ කාරණය වුණේ, ඒ තරගාවලිය පැවැත්වුණේ මුරලි-වෝන් කුසලාන තරගාවලිය නමින්. ඊළඟ විශේෂම දේ නම්, මම පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ ගාල්ලෙදී. එතැනින්ම සමුගැනීම වඩා හොඳයි කියලත් හිතුවා. පළමු ටෙස්ට් මැච් එක ගහලා ඉවර වෙද්දීම කණ්ඩායමේ අයට මම කිව්වෙ ඊළඟ තරගය මගේ අවසාන තරගය කියලයි.
Q:ගාල්ලෙදී ඔබගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ආරම්භය සුබ වුණාට අවසානය අසාර්ථක වුණා. මොකද වුණේ? ඔබ හිතන විදිහට ගාල්ලෙ වාසනාවට මෙදා සැරේ මොකද වුණේ?
ගාල්ලෙදී ටෙස්ට් තරග අනෙක් රටවල කණ්ඩායම්වලට වඩා අපි හොඳින් ක්‍රීඩා කරනවා. ඒත් දැන් ඒ මතය බොහෝ දුරට වෙනස් වෙලා. දැන් අපට වඩා හොඳට අනෙක් රටවල ක්‍රීඩකයින් දක්ෂතා දක්වන බව පෙනෙනවා. වෙනදා වගේ දක්ෂතා දක්වන්න අපට බැරි වුණා. ඒක අපේ දුර්වලකම. ඒ වගේම ලෝක ටෙස්ට් කුසලානයේ දී අපට ඒ කුසලානය දැන් නොලැබෙනවාය කියන මානසිකත්වයත් අපේ ක්‍රීඩකයින්ගෙ මනසේ තිබෙන්න ඇති. අපට දැන් ෆයිනල් යන්න බැහැ කියන මානසිකත්වය නිසා පසුගාමී වෙන්නත් ඇති. ඒක මගේ පුද්ගලික හැඟීම. මොකද ඒ වගේ වෙන අවස්ථා තියෙනවා.
Q:ගාල්ලේ දී අපේ පන්දු යවන්නන්ගේ දඟ පන්දු යැවීම ගැන අනෙක් රටවල පිතිකරුවන්ටට තිබුණෙ භීතිකාවක්? ඒත් මෙවර ඒ භීතිකාව තිබුණෙ අපේ පිතිකරුවන්ට. ඇයි මේ?
ඒක තමයි මම කිව්වෙ, දැන් ඒ අය මෙහෙට එන්නෙම අපේ ග්‍රවුන්ඩ් සහ ස්වභාවය ගැන හොඳින් ස්ටඩි කරලා. ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙට එන්නට පෙර ඩුබායි ගිහින් සති දෙකක් විතර පුහුණුවෙලා ආවේ. හැබැයි ඒවා නිදහසට කරුණු නෙවෙයි. අපේ පිතිකරණය දුර්වල වුණා. කිසිම ක්‍රීඩකයෙක්ට ශතකයක් ලබාගන්න බැරි වුණා. ඒ - ඒ තැන්වල තිබූ අඩු පාඩු එක්ක මේ තරගාවලිය අසාර්ථක වුණා.
මේ දක්වා ජීවිතයෙන් හරි අඩක් විතර මම ජීවත් වුණේ ක්‍රිකට් එක්ක. අම්මා - තාත්තා එක්ක හැරුණු විට වැඩි කාලයක් මම ඉඳලා තියෙන්නෙ ක්‍රිකට් පිටි සහ මගේ ක්‍රිකට් මිතුරන් එක්ක. එක වරම ඒ ඔක්කෝම නැතිවෙනවාය කියන්නෙ ලොකු දුකක්. ඒත් මම පසුගිය වසර කීපයේ සිට, ඒ ස්වභාවය වෙනුවෙන් හැඩ ගැසෙමින් හිටියෙ. රිටයර් වෙන හරි වෙලාව එනකල් හිටියෙ.
Q: ලංකාවෙන් බිහිවූ හොඳම ආරම්භක ටෙස්ට් පිතිකරු ඔබ යැයි ක්‍රිකට් විචාරකයින් හඳුන්වනවා. ඒ ගැන ඔබට හිතෙන විදිහ?
ආරම්භක පිතිකරුවකු ලෙස මම දක්ෂතා දක්වලා තියෙන බව කියනවා. ඒත් මම හිතන්නෙ සනත් අය්යා, මාවන් අය්යලා මම ගත්තු ලකුණු ප්‍රමාණය ගත්තෙ නැති වුණත්, එයාලා මට වඩා විශිෂ්ට ආරම්භක පිතිකරුවන්. එයාලා තරමට දක්ෂ නොවූවත්, ටෙස්ට් තරගවලින් මට රටට හොඳ දෙයක් කරන්න පුළුවන් වීම ගැන ලොකු සතුටක් තියෙන්නෙ. වතාවක පෙර තිබූ තත්ත්වයට වඩා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පහතට වැටිලා තිබුණෙ. එවැනි මෙහොතක කණ්ඩායම උඩට ගේන්න හැකිවුණාය කියන සතුට මට තියෙනවා.
Q: ටෙස්ට් ක්‍රිකට් තරගවලට විතරක් යොදා ගැනීම ගැන ඔබ කනස්සල්ලෙන්ද හිටියෙ? සමහර විචාරකයින් කිව්වෙ ඔබ එක්දින තරග සඳහා හොඳ ආරම්භක පිතිකරුවෙක් කියලයි, මේ සමුගැන්මට හේතු වූ කාරණාවක්ද එය?
ඔව් ඇත්තටම වන් ඩේ තරග ලොකු කාලයක් ක්‍රීඩා කරන්න නොලැබීම ගැන මට තිබුණෙ ලොකු දුකක්. 2011 දී තරගයක් ක්‍රීඩා කරලා, ආයෙත් 2014 සෙල්ලම් කළා. ඉන්පස්සෙ ආයෙත් 2019 දී විතර ලැබුණෙ. එක දිගට අවස්ථා ලැබුණෙ නැහැ. ඉඳහිට ලැබුණාම දැනෙන පීඩනයත් වැඩියි. ඒ වගේම ඒ විදිහට ඇතුළත් වුණාම, කැපී පෙනෙන දක්ෂතා දක්වන්නත් අමාරුයි. 2019 දී එක් දින කණ්ඩායමේ නායකත්වය ලැබුණාම, කණ්ඩායම වෙනුවෙන් හොඳ දෙයක් කරන්න මට පුළුවන් වුණා. එහිදී කණ්ඩායමක් හැටියට ඉතා හොඳ තරගාවලියක් ලෙස එදා අපට ලෝක කුසලානයට තරග කරන්න පුළුවන් වුණා. නායකත්වයෙන් ඉවත් කරන විට තරග 17 ට නායකත්වය ලබාදීලා මැච් දහයක් ජයග්‍රහණය කළා. දෙකක් වැස්ස නිසා පැවැත්වුණේ නැහැ.
මැච් තුනක් විතරයි පරාජය වුණේ. සියයට 60 ක ජයගැනීමේ ප්‍රතිශතයක් රඳවාගන්න පුළුවන් වුණා. මගේ පිතිකරණ ප්‍රතිශතය පවා හොඳයි. ඒ අනුව ක්‍රීඩකයෙක් සහ නායකයකු ලෙසත්, කණ්ඩායමට හොඳ සේවයක් කරන්න පුළුවන් වුණා. නායකයකු විදිහට ෆේල් වෙලත් නැතුව, ක්‍රීඩකයෙක් ලෙසත් ෆේල් වෙලා නැතුව, එදා ඇයි මාව ටීම් එකෙන් ඉවත් කළේ කියලා අදටත් මම දන්නෙ නැහැ. ඊළඟට මෙහිදී ක්‍රීඩක දක්ෂතා සුදුසුකම් ලැලීමේ තරගාවලියේදීත් මම දක්ෂතා දැක්වූවා. හැබැයි ඊළඟ වර්ල්ඩ් කප් එකේදී ලැබුණෙ තරග දෙකයි, ඒ දෙක මට හරියට කරන්න බැරි වුණා. ආයෙත් මාව කණ්ඩායමෙන් ඉවත් කළා. ඒ විදිහට දිගින් දිගටම මාව එක්දින කණ්ඩායමට තෝරා ගත්තේ තරගයකට දෙකකට විතරයි.
Q: එහෙම කරද්දී ඔබ වෙනුවෙන් ඔබ සහ අනෙක් ක්‍රීඩකයින් ඔබ වෙනුවෙන් පෙනී සිටියෙ නැද්ද?
තීන්දු තීරණ ගන්නෙ තේරීම් කමිටුවනෙ. ඒ නිසා අනෙක් ක්‍රීඩකයින්ට මොනවත් කරන්න බැහැ. ඒ අය මාව එළියට දාන්න ඇත්තෙ මට වඩා හොඳ ක්‍රීඩකයකු ටීම් එකට ආ නිසා වෙන්න ඇති. නැතුව හේතුවක් නැතුව එළියට දාන්නෙත් නැහැනෙ. ඒ ක්‍රීඩකයා දක්ෂයි කියලා මම විශ්වාස කළා. ඒ විදිහට හිත හදාගෙන මට සුපුරුදු විදිහට මගේ ක්‍රිකට් සෙල්ලම් කරගෙන ගියා.
Q: අපට ටෙස්ට් මැච් ලැබෙන්නෙත් හරි අඩුවෙන්, ඇයි අපේ ටීම් එකට දීර්ඝ තරගාවලි නොලැබෙන්නෙ? දීර්ඝ තරගාවලියකට ක්‍රීඩා කිරීමට තරම් අපේ කණ්ඩායමට දක්ෂතා නැද්ද ? ඇයි එහෙම වෙන්නෙ?
මේ තත්ත්වය පටන් ගත්තෙ කෝවිඩ් එකත් එක්කයි. ඊට පෙර අවුරුද්දකට තරග 10 ක් 12ක් විතර ලැබුණා. කෝවිඩ් නිසා තමයි ඒ තත්ත්වය ඇතිවුණේ. ඒ නීති රීති එක්ක මැච් තුනක් තරග කිරීම ඉතා අසීරු වුණා. ඉන් පසුව ටෙස්ට් ශූරතා තරගාවලියක් ලෙස පවත්වන්න ICC එක කටයුතු කළා. ඒ සියලු දේ එක්ක අවුරුදු දෙකකටම, තම රටේදී තරගාවලි තුනක් සහ පිටතදී තරගාවලි තුනක් විතරයි ලැබෙන්නෙ. ඉන්පස්සෙ ටී ටුවෙන්ටි, ටී ටෙන් වගේ තරගාවලි ක්‍රිකට් ගහන සෑම රටකම වගේ පැවැත්වෙනවා. ක්‍රීඩකයින්ට ඒ වෙනුවෙන් දෙන කාලය එක්ක දීර්ඝ තරගාවලි ක්‍රීඩා කිරීමට වඩා, ඒවාට දක්වන කැමැත්තත් වැඩියි. ඒවාට කාලය යෙදෙව්වාම ලැබෙන මුදලත් වැඩි නිසා, ක්‍රීඩකයින් වැඩිපුර කැමති ටෙස්ට් තරගවලට වඩා ටී ටුවෙන්ටි සහ ටී 10 තරග වලටයි. මේ ස්වභාවය නිසා ටෙස්ට් ක්‍රිකට් තරමක් පල්ලෙහාට ගිහින් තියෙන්නෙ.
Q: ටී ටුවෙන්ට් සහ ටී 10 තරගවලට ඔබට අවස්ථා නොලැබෙන්නෙ? ඒ වෙනුවෙන් තෝරා ගැනීමේ ක්‍රමවේදයක් තියෙනව ද?
ඒ දිනවල ඉඳලම මගේ ප්‍රතිපත්තිය වුණේ ටී ටුවෙන්ටි කියන්නෙ නියම ක්‍රිකට් නෙවෙයි කියලයි. එය ප්‍රේක්ෂක වින්දනය සඳහා පමණක් හොඳ තරග කියලයි මම හිතන්නෙ. එයින් අංගසම්පූර්ණ ක්‍රිකට් ක්‍රීඩකයකු නිර්මාණය වෙන්නෙ නැහැ. ආර්ථිකමය වශයෙන් සහ ප්‍රේක්ෂක වින්දනයට ඒ තරග හොඳයි. මම නම් ඒ තරග ගැන ලොකුවට හිතන්නෙ නැහැ.
ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ පදාර්ථය සහ යහගුණය තියෙන්නෙ ටෙස්ට් ක්‍රිකට්වල. එක්දින සහ ටී ටුවෙන්ටි ක්‍රිකට්වල වාර්තා ගැන කවුරුවත් කතා වෙන්නෙ නැහැ. ඒ නිසා මගේ මනසට තදින් කා වැදිලා තිබුණෙ ටෙස්ට් ක්‍රිකට් තරගයි. ටී ටුවෙන්ටි ක්‍රීඩා කළොත් මගේ ටෙස්ට් ක්‍රිකට් පල්ලෙහාට යාවි කියලා මම හිතුවා. ටෙස්ට් සහ ටී ටුවෙන්ටි ස්වභාවය ගත්තොත්, හාත්පස වෙනස්. ඒ නිසා මම හිතුවෙ ටෙස්ට් සහ එක්දින තරග ගැන විතරයි. 2015 සහ 2016 න් පස්සෙ මම ටී ටුවෙන්ටි එකක්වත් ක්‍රීඩා කරලා නැහැ. සල්ලිවලට වඩා මට වටින්නෙ ටෙස්ට් ක්‍රිකට් නිසා මම හිතුවේ ඒ ගැන විතරයි. මම කියන්නෙ මගේ ගැනයි. අනෙක් අය ගැන නෙවෙයි. ටෙස්ට් ක්‍රිකට් නිතරම මම ක්‍රීඩා කළේ තෘප්තියකින්.
Q: වැඩි දෙනෙක් කිව්වෙ ඔබගෙ ක්‍රීඩා සමාජය වන එස් එස් සී සහ එම පිටියේදී ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන්න නම් හොඳයි කියලයි? ඇයි ගාල්ලෙදීම සමුගැනීම සිදු කළේ? තව දුරටත් ගාලු ක්‍රීඩාංගණය අපට වාසනාව ගෙන දෙනවා යැයි ඔබ හිතනව ද?
පුද්ගලිකව ගත්තොත් මගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිපුර ලකුණු ලබාගෙන තිබෙන්නෙ ගාල්ලෙදි. නමුත් දක්ෂතා නැත්නම් හැමදාම අපට තරග දිනන්න බැහැ. මේ තරගාවලියට පෙර නවසීලන්ත තරගාවලිය අපි ජයග්‍රහණය කළා. ඊළඟට එන තරගාවලිය අපි දිනන්න පුළුවන්. ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය ඒ විදිහයි. අපි සෑහෙන්න තරග දිනලා තියෙන්නෙ ගාල්ලෙදීයි. අපි තරග කරන විදිහ අනුව තමයි ජය ලැබෙන්නෙ. එහෙම නැතුව පිටිය හෝ ස්ථානය අනුව නෙවෙයි. මොන තැනක ක්‍රීඩා කළත්, හොඳ තරගයක් දුන්නොත් විතරයි ජය ලබන්න පුළුවන්.
Q: දිමුත් ඔබගෙ ටෙස්ට් ක්‍රිකට් දිවියේ ස්වර්ණමය තරගය ලෙස ඔබ දකින්නෙ? හොඳම ඉනිම ලෙස ඔබ විශ්වාස කරන්නෙ?
මම ආසම නවසීලන්තයේදි පළමු ටෙස්ට් ශතකය ලබාගත්ත තරගයයි. 2014 දී තමයි මගේ පළමු ටෙස්ට් ශතකය ලබාගත්තෙ. ඒ තරගාවලිය මට කවදාවත් අමතක වන්නෙ නැහැ. එදා ලකුණු 152 ක් ලබාගත්තා. ඒක ලෙහෙසි පහසු තරගාවලියක් වුණේ නැහැ.
Q: ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වසර ගණනාවක් රැඳී සිටි ක්‍රීඩකයකු ලෙස මේ සමුගැන්ම ඔබට ගෙනදෙන්නෙ මොනවගේ හැඟීමක්ද ? මේ සමග සම්පූර්ණයෙන්ම ක්‍රිකට් තරගවලින් ඈත් වෙනවද?
දීර්ඝ කාලයක් ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයකු හට එක පාරටම ඉවත්වීම ලෙහෙසි දෙයක් නෙවෙයි. මේ දක්වා ජීවිතයෙන් හරි අඩක් විතර මම ජීවත් වුණේ ක්‍රිකට් එක්ක. අම්මා - තාත්තා එක්ක හැරුණු විට වැඩි කාලයක් මම ඉඳලා තියෙන්නෙ ක්‍රිකට් පිටි සහ මගේ ක්‍රිකට් මිතුරන් එක්ක. එක වරම ඒ ඔක්කෝම නැතිවෙනවාය කියන්නෙ ලොකු දුකක්. ඒත් මම පසුගිය වසර කීපයේ සිට, ඒ ස්වභාවය වෙනුවෙන් හැඩ ගැසෙමින් හිටියෙ. රිටයර් වෙන හරි වෙලාව එනකල් හිටියෙ. ඒ නිසා සියල්ල විඳදරා ගන්න පුළුවන් විදිහට හිත හදාගත්තා. දේශීය තරග ඕනැම වෙලාවක ක්‍රීඩා කරන්න පුළුවනි. දේශීය පළමු පෙළ තරගාවලියේ එළැඹෙන සති අන්තයේ තව එක් තරගයක් එස් එස් සී සහ එන් සී සී කණ්ඩායම අතර පැවැත්වෙනවා. එස් එස් සී ක්‍රීඩා සමාජයට තව දුරටත් මගෙන් සේවයක් අවශ්‍යයි කියලා දැනුණොත් ඕනෑම වෙලාවක මම ඒ සේවය – යුතුකම ඉටු කරනවා. ක්‍රිකට් ක්‍රීඩාවට මම ආ දවසේ ඉඳලම මාව මේ අද සිටින තැන දක්වා ගෙනාවෙ එස් එස් සී ක්‍රීඩා සමාජයයි. ඉතින්, ක්‍රීඩකයකු හෝ පුහුණුකරුවකු ලෙස මගේ සේවය මොනයම් හෝ විදිහකින් දීමට මම සූදානම්. වැඩිම වුණොත් තව අවුරුද්දක් දෙකක් විතර , ඇඟේ ශක්තියෙන් ක්‍රිකට් ක්‍රීඩා කරාවි, ඉන් පස්සෙ, මම ලබාගත්ත දැනුම අලුත් ක්‍රීඩකයින්ට ලබාදීම මගේ අරමුණයි.
Q: විදෙස් රටකින් ඇරයුමක් ලැබුණොත්?
ක්‍රීඩකයකු ලෙස ලබාගත්ත දැනුම මට තිබෙන බව ඇත්ත. ඒත් එය අලුත් පිරිසකට කියාදෙන විදිහ ගැන තවම මම දන්නෙ නැහැ. ඒ නිසා ඒ ගැන හැදෑරීමෙන් පසුව, ඒ වැඩේ ගැන හිතනවා.ලබන මාසයේ මම ඔස්ට්‍රේලියාවට යන්නෙත් ඒ විදිහට දැනුම ලබාගැනීමේ අරමුණ ඇතිවයි. පුහුණුකරුවකු සඳහා වන විභාග සියල්ල කිරීමෙන් පසුව මම ලබාගත්ත දැනුම පෙරළා ලබාදීමට කටයුතු කරනවා. පුහුණුකරුවකු ලෙස පවා මම කටයුතු කරන්න කැමති ඉගෙනීමෙන් පසුවයි. ඒ වගේම ක්‍රිකට් නිසා මගහැරුණු මගේ උපාධියේ කටයුතු හමාර කරන්නත් සූදානමින් ඉන්නෙ. ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධියක් මට තියෙන්නෙ, එහි ඊළඟ අදියර හමාර කිරීම අරමුණයි. තරග තීරකවරයකු ලෙස කටයුතු කරන්නත් කැමතියි. ඒ විදිහට ක්‍රිකට් ක්‍රීඩාව එක්කම මගේ ජීවිතයේ ඉතිරි කාලයත් කටයුතු කිරීමට තමයි හිත තියෙන්නෙ.
සඳුන් ගමගේ