අද අප රටේ විවිධ පුද්ගලයන් මහාචාර්ය, ආචාර්ය පදවි තම නමට ඉදිරියෙන් භාවිත කිරීමට මහත් රුචිකත්වයක් මෙන්ම සමාජ තත්ත්වයක් ආරූඪ කර ගැනීමට විශාල ප්‍රයත්නයක් ගන්නා බව ප්‍රකටව පෙනීයන්නකි. එයට හේතුව සමාජයෙහි විශාල පිළිගැනීමක් ලබා ගැනීමටත්, එසේම එම පදවි ඉදිරියට දමා තමාගේ ඉලක්ක සාක්ෂාත් කර ගැනීමටත් හැකියාවක් තිබීමයි. විශේෂයෙන් දේශපාලන වේදිකාවල, පාර්ලිමේන්තුව සහ විවිධ දේශීය, විදේශීය පෞද්ගලික, පොදු සමාගම්වල ද මේ ලෙස මහාචාර්ය, ආචාර්ය පදවි විශාල ලෙස භාවිත වේ. විශේෂයෙන්ම පෞද්ගලික විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනයෙහි, පාසල්වල පමණක් නොව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ක්ෂේත්‍රවල පවා විශාල ලෙස භාවිත කෙරේ.
මෙම ලිපියෙන් එම පදවි පිළිබඳව, මහා විශ්ලේෂණයක් සහ යොදා ගත හැකි ස්ථාන, එම පදවි පිළිබඳ හැඳින්වීම විග්‍රහ කිරීමට උත්සුක වේ. මහාචාර්ය තනතුර/පදවිය පිරිනමනුයේ ඒ ඒ දේශීය විශ්වවිද්‍යාලවලට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් නිකුත් කර ඇති අංක 916 චක්‍රලේඛයට අනුවයි. එම චක්‍රලේඛයේ ලකුණු ප්‍රමාණයත් එම ලකුණු ලබා ගත යුතු විවිධ අංශ පිළිබඳ පැහැදිලි විස්තරයක් ඇත. යම් කථිකාචාර්යවරයෙකුට මහාචාර්ය තනතුර ලබා ගැනීමට නම්, එම චක්‍රලේඛයේ අවම ලකුණු ප්‍රමාණය ලබා ගෙන, විශේෂ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වී, විශේෂ දක්ෂතා පිළිබඳ ඉදිරිපත් කිරීමක් ද කළ යුතුය. එම චක්‍රලේඛය අනුව අභ්‍යන්තර එනම් දැනට විශ්වවිද්‍යාලවල සේවය කරන ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකුට ද, මහාචාර්ය පුරප්පාඩු ඇත්නම් බාහිර පුද්ගලයෙකුට ද එම චක්‍රලේඛයේ ලකුණු ආවරණය කළ හැකි නම් මහාචාර්ය පදවිය ලබාගත හැකි වේ. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මහාචාර්ය පදවිය භාවිත කිරීමට නම් දේශීය විශ්වවිද්‍යාලයක ඉගැන්වීම්, පර්‌යේෂණ කටයුතුවල නිරතවිය යුතුය. ඔහු හෝ ඇය විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ පසු හෝ විශ්‍රාම ගිය පසු එම මහාචාර්ය තනතුර භාවිත කළ නොහැකි වේ. සමහර විට විශ්‍රාමික මහාචාර්ය හෝ ඔහුට හෝ ඇයට ආචාර්ය උපාධියක් (Ph.D) ඇත්නම් මැරෙන තුරු ආචාර්ය (Dr.) තනතුර භාවිත කළ හැකිය. යම් හෙයකින් එම විශ්වවිද්‍යාලය විශ්‍රාමික මහාචාර්යවරයාගේ විශිෂ්ට සේවාවන් අගය කර පිරිනැමිය හැකි එමිරේටස් මහාචාර්ය (සේවායෝජිත මහාචාර්ය) තනතුර ඔහුට මිය යන තෙක් භාවිත කළ හැකි වේ.
අද බොහෝ ආයතනවල, පාර්ලිමේන්තුවේ පවා මහාචාර්ය තනතුරු හා පදවි භාවිත කෙරේ. ඔවුන් බොහොමයක් දේශීය විශ්වවිද්‍යාලවල සේවය කර නොමැත. බොහෝ විදේශීය විශ්වවිද්‍යාලවල පාසැල් ගුරුවරුන්, විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් වෙන්කර දැක්වීමට මහාචාර්ය යන්න යොදාගනු ලැබේ. එය ශ්‍රී ලංකාවේ මෙන් ලකුණු මත, හැකියාවන් මත, අයදුම්කර ලබා ගත යුතු, දිනාගත යුතු තනතුරක් නොවේ. සෑම විශ්වවිද්‍යාලයකම ඉගැන්වීම් කටයුතුවල නිරතවන අයට මහාචාර්ය යන හැඳින්වීම යොදා ගනු ලැබේ. එය විශ්වවිද්‍යාල ගුරුවරයා අනෙක් ගුරුවරුන්ගෙන් වෙන්කර ගැනීමකි. ඒ සඳහා ආචාර්ය උපාධි, පර්‌යේෂණ පත්‍රිකා, පොත්පත්, දේශීය විදේශීය ශාස්ත්‍රීය සේවා පිළිබඳ ලකුණු රුස්කිරීම කළ යුතු නොවේ. මහාචාර්යවරයෙකු වීම සඳහා යොදාගෙන ඇති විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අංක 916 චක්‍රලේඛයෙහි ඇතුළත් විස්තර පහත දැක්වේ. එම චක්‍රලේඛනයේ අභ්‍යන්තර හා බාහිර (පුවත්පත් දැන්වීමකින්) මහාචාර්යවරයෙකු වීමට ලකුණු ප්‍රතිපාදන ඉදිරිපත් කර ඇත. අදාළ විශ්වවිද්‍යාලයට හිමි පුරප්පාඩු (Carders) සංඛ්‍යාව මත මහාචාර්ය තනතුරු පුරප්පාඩු ඇත්නම්, පුවත්පත් දැන්වීමකින් මහාචාර්යවරයෙකු බඳවා ගත හැකි වේ. අභ්‍යන්තරව බඳවා ගැනීම, උසස්වීමක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල සේවයේ වසර 20 - 30 ක් පමණ සේවය කළ කථිකාචාර්යවරු ලකුණු පරිපාටිය අනුව උසස් කිරීම් සිදු වේ. මෙය නම භාවිත කරන තරම් සරල සිද්ධාන්තයක් නොවේ. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු සැලකිය යුතු සංඛ්‍යාවක් තම සේවා කාලය තුළ මහාචාර්ය නොවී, කථිකාචාර්ය තනතුරෙන් විශ්‍රාම ගන්නා අවස්ථා ඇත.
ඉහත වගුවෙන් පෙන්නුම් කරනුයේ අවම ලකුණු ප්‍රමාණය වේ. කිසියම් පුද්ගලයෙකු සතුව ඉහත අ, ආ, ඇ යන්නට අවම වශයෙන් ලකුණු 20, 50, 10 ලබාගෙන විශේෂ මහාචාර්ය මණ්ඩලයක් ඉදිරියේ විස්තරාත්මක ප්‍රකාශනයක් ද සිදුකර, ඉහත ලකුණු පිළිබඳ විගණනයක් තුළින්, අපක්ෂපාතීව එම ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින් ඇගයීමක් සිදුකර මහාචාර්ය පදවිය ලබා ගනී.
ඉහත ලකුණු පරිපාටිය තුළ අ, ආ, ඇ යටතේ කුඩා කුඩා අනු අංශ රාශියක් තුළින් ලකුණු රැස්කර ගත යුතුයි. නිදසුනක් ලෙස විදේශීය ප්‍රචලිත අධ්‍යයන පොත්, සිංහල භාෂාවට පරිවර්තනය හෝ අනුවර්තන කිරීමට හා එවැනි එක් පොතකට ලකුණු 03 බැගින් ලකුණු රැස්කර ගත හැකිය. තමා විසින් නිර්මාණය කරන ලද ලොවම පිළිබඳ දර්ශිත ජර්නලයක පළකරන ලද පර්‌යේෂණ පත්‍රිකාවකට ලකුණු 05ක් මෙන්ම පර්‌යේෂණ ග්‍රන්ථයකට ලකුණු 06ක් හිමි වේ.
මෙය සුළුපටු කරුණක් නොවේ. ඒ සඳහා තම සේවා කාලය තුළ විශාල ශාස්ත්‍රීය හා සමාජීය කැපකිරීම් සිදු කළ යුතුය. කිසියම් පුද්ගලයෙකු බාහිරව, විශ්වවිද්‍යාලයේ පිටත සිට එලෙස ලකුණු ලබා ගතහොත් ඔහු හට එම තනතුර දීම සාධාරණ වේ. නමුත් රජයේ චක්‍රලේඛ සූක්ෂ්මව වෙනස් කරමින්, වංචනිකව ඉහත ලකුණු ලබා ගැනීමට ද අවස්ථා ඇත. විශේෂයෙන් වෙනත් පුද්ගලයින් යොදා පර්‌යේෂණ සිදුකර තම නම භාවිත කිරීම.
විශාල මුදලක් ඇත්නම් වෙනත් පුද්ගලයින් ලවා තම නමින් පොත්පත් පළකිරීම් සුලබව දැකිය හැකිය. ඕනෑම චක්‍රලේඛයකින් රිංගා යෑමට අප රටේ රජයේ සේවකයින් සමත් බව කවුරුත් දන්නා රහසකි.
මහාචාර්ය යන පදවිය භාවිතා කිරීමට සාධාරණ අයිතියක් ඇත්තේ ඉහත ලකුණු ලබාගෙන එය විශ්වවිද්‍යාල සනාතන සභාවක අනුමැතියෙන් ප්‍රකාශයට පත්කරන ලද පුද්ගලයින්ට පමණි. එවැනි ලකුණු නොමැතිව මහාචාර්ය යන්න භාවිත කිරීම සමාජය නොමග යැවීමක් මෙන්ම විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට කරන විශාල නිගාවකි. එවැනි දෑ නීති විරෝධී නොවුවද, (මා දන්නා පරිදි, පුද්ගලයන්ට තම නම ඉදිරියේ ඕනෑම දෙයක් එකතු කළ හැකිය) සදාචාරාත්මක නොවේ. විශ්වවිද්‍යාල පවතින්නේ අලුත් දැනුම සමාජගත කිරීම උදෙසාය. මෙම ලකුණු ක්‍රමයද අධ්‍යයන, පර්‌යේෂණ සංඛ්‍යාවක් වැඩි දියුණු කිරීමේ අභිලාශයෙන් සකසන ලද ඒවාය. කෙසේ වුවත්, දේශීයව හෝ විදේශීයව මහාචාර්ය පදවිය භාවිත කළ හැක්කේ ඔහු විසින් එම සේවාවේ යෙදෙන තෙක් පමණි. ඔහු එම සේවයෙන් ඉවත් වූ පසු එම තනතුරු / පදවි භාවිත කළ නොහැකිය. මා ද දැනට විශ්වවිද්‍යාල සේවයේ යෙදෙන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වුවද, එයින් විශ්‍රාම ගිය පසු හඳුන්වන්නේ ආචාර්ය කේ.ඩී. ගුණවර්ධන ලෙසිනි.
මෙම කරුණ, පුවත්පත් ක්ෂේත්‍රය තුළ, ප්‍රචලිත කිරීමට මම මෙම ලිපියෙන් උනන්දු වෙමි. නැතහොත් කිසියම් පුද්ගලයෙකු හට විදේශ විශ්වවිද්‍යාලයකින් ලිපියක් ලැබුනොත් (Prof.) මහාචාර්ය යැයි ආමන්ත්‍රණය කර ඔහු එතැන් පටන් මහාචාර්ය පදවිය මැරෙන තුරු භාවිත කෙරේ. එය දේශීය විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයට මෙන්ම අනාගත ශිෂ්‍ය පරම්පරාව ද නොමග යවනසුලු කටයුත්තකි. එවැනි ක්‍රියා වැළැක්වීමට සමාජය නිවැරදි විස්තර දැන සිටිය යුතු වේ. වංචනික ක්‍රමවලට ඉඩදී තිබෙන තාක් සෑම පුද්ගලයෙකුටම අයථා ක්‍රම මගින් මහාචාර්ය ලෙස පෙනී සිටින්නට හැකි වෙනු ඇත.
විශ්වවිද්‍යාලයෙහි අභ්‍යන්තර කථිකාචාර්යවරයෙකු නොවන කිසියම් පුද්ගලයෙකුට මහාචාර්ය තනතුරක් ලබා ගැනීමට අවශ්‍ය නම් තම විෂයය ක්ෂේත්‍රයට අදාළව ඔහු විසින් සිදු කරන ලද පර්‌යේෂණ, පත්‍රිකා, විශේෂයෙන් දර්ශක (Index) ජර්නල්වල පළකර ඇත්නම් සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ අදාළ මහාචාර්ය පුරප්පාඩු ඇත්නම් ඊට අයදුම් කළ හැකි වේ. එසේ නොමැතිව කිසියම් පුද්ගලයෙකු මහාචාර්ය ලෙස ලියුමකින් ආමන්ත්‍රණය කිරීම නිසා තමා මහාචාර්ය යැයි යෙදීම මානසික ගැටලුවක් වෙන අතර එය මානසික රෝහලකින් ප්‍රතිකාර ගෙන සුව කළ යුත්තකි. තවද වංචනික කෙටි ක්‍රමය නිසා විනාශ වෙන්නේ විශ්වවිද්‍යාල සතු ගරුත්වයයි. එය සමාජීය දැනුම ගොඩනැගීමට විශාල තර්ජනයක් විය හැකිය.
මෙම ලිපියෙන් බාහිර පාර්ශ්වයන් මහාචාර්ය පදවිය යෙදීම අභිප්‍රේරණය නොකෙරේ. මෙයින් සිදු කරනුයේ එය විධිමත්ව චක්‍රලේඛය අනුව විශ්වවිද්‍යාලයකින් පිරිනැමීමෙන් පසු පමණක් භාවිත කළ යුතු බව අවධාරණයයි.
ආචාර්ය උපාධි (Ph.D) වර්ග දෙකක් ඇත. ඒ ගෞරව ආචාර්ය උපාධි හා තමන් විසින් අවම වසර 3ක් සුපරීක්ෂකවරයෙකු යටතේ අධ්‍යයනය කර ලබා ගන්නා දර්ශනසූරී උපාධියයි. ගෞරව ආචාර්ය උපාධිය ලබා දෙනුයේ යම් පුද්ගලයෙකු රට වෙනුවෙන් කරන ලද අතිමහත් සහ අනුපමේය සේවයක් පදනම් කරගෙනය. එහිදී ඔහු විසින් අධ්‍යාපන, ව්‍යාපාර, කළමනාකරණ, වෛද්‍ය, ඉංජිනේරු, කලා, නැටුම්, ගැයුම් කටයුතු විශේෂඥ කමිටුවක් විසින් ඇගයීමකට ලක් කර ගෞරව උපාධියක් ලබාදෙනු ලැබේ. එහිදී එම ගෞරව උපාධිය ලබාගත් පුද්ගලයා තම නම ඉදිරියේ ආචාර්ය (Dr.) යනුවෙන් යොදා ගනු ලැබේ. එය වෛද්‍ය විද්‍යාවේ වෛද්‍යවරයා (Doctor) නොවේ. ඇත්තෙන්ම වෛද්‍ය විද්‍යා ප්‍රථම උපාධිධාරීන් Medical Officer වෛද්‍ය නිලධාරීන් මිස Doctor නොවේ. එය ශ්‍රී ලංකාව විසින් ඉතිහාසය පුරා යොදාගත් වැරදි වහරකි. දර්ශනසූරී (Ph.D) ඇත්නම් ඔහු ආචාර්ය වේ. නමුත් බොහෝ උගත් රටට ගමට සේවය කළ පුද්ගලයන්ට ආචාර්ය උපාධි ලැබුණත් ඒවා භාවිත නොකර සිටී. සමහරක් නම් චීනයත්, කොරියාවත්, ඉන්දියාවේත් මුදල් ගෙවා ලබාගෙන භාවිත කරනු දක්නට ලැබේ. එහිදීද සදාචාරය මිස නීතිය ක්‍රියාත්මක කළ නොහැකිය.
තමා වසර 3ක් අඛණ්ඩව කිසියම් විශේෂ සුපරීක්ෂකයෙකු යටතේ අධ්‍යයනය කර ලබා ගන්නා උපාධිලාභීන්ට තමන් මැරෙන තුරු ආචාර්ය (Dr.) දර්ශනශූරී හෙවත් Ph.D යන්න යොදාගත හැකිය. එය ඔහු විසින් උපයාගත් විශේෂ කුසලතාවකි. එහිදී ඔහුගේ ජීව දත්ත වාර්තාවේ සුපරීක්ෂක නම් සඳහන් විය යුතුය. එයින් තමන් එය උපයාගත් බව සනාථ වේ. නැතහොත් එය
මිලදී ගැනීමකි.
අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මහාචාර්ය, ආචාර්ය වැනි පදවි තරාතිරම් ඉතා ප්‍රවේසමෙන් සමාජ සංවර්ධනයට, උසස් අධ්‍යාපන කටයුතුවල නිරත ශිෂ්‍යයන් දිරිගැන්වීමට සහ සමාජ උන්නතිය උදෙසා යොදාගත යුතු බවයි. එසේ යොදාගැනීම සදාචාරාත්මක හා තමන් තුළ ස්වයං විනයක් ගොඩනැගීමට සමත් වේ. එය සමාජ හිතකර, සාධාරණත්වයයි.
කිසියම් දේශපාලන වුවමනාවකට හෝ මිනිසුන් ඉදිරියේ තමාගේ ලොකු කම ප්‍රකාශ කිරීමට තමා සතුව නැති එවන් තරාතිරම් යොදා ගැනීම අනාගත අධ්‍යාපන ක්‍රමවේදයේ දියුණුවට තර්ජනයක් වේ. සමාජ පිළිගැනීම තුරන් වී, අධ්‍යාපන ක්ෂේත්‍රය වළපල්ලට යයි. විශේෂයෙන් හතු පිපෙන්නාක් මෙන් පැමිණෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවල අයිතිකරුවන් තම උපරිම ලාභ ලැබීම පසෙක ලා නිවැරදි පුද්ගලයින් සේවයට යොදවා ගැනීම සිදු කළ යුතුයි. බොහෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු ඇත. නමුත් ඔවුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අංක 916 චක්‍රලේඛයට අදාළ නොවේ. තම හිතුමතේ ආයතනයේ කීර්තිනාමය ප්‍රවර්ධනය කිරීමට එකී මහාචාර්ය පදවි යොදාගැනේ. ඒ පිළිබඳ ශිෂ්‍ය ශිෂ්‍යයන් හා සමාජය දැනීමක් ලබාගත යුතුයි.
යම් පුද්ගලයෙක් මහාචාර්යවරයෙකු යැයි කියාගන්නේ නම් ඉතා පහසුවෙන් එහි නිවැරදි බව සොයාගැනීමට ගූගල් සෙවුම් යන්ත්‍රය යොදාගෙන එම පුද්ගලයාගේ නම ඇතුළත් කිරීමෙන් ඔහුගේ පර්‌යේෂණ, පත්‍රිකා, එම පර්‌යේෂණ පත්‍රිකා සඳහා ලැබූ උපුටනයන් (Citations) සංඛ්‍යාව ගණන ඉලක්කමෙන් ලබාගත හැකිය. එය ගූගල් පර්යේෂණ (google scholar) ලැයිස්තුවේ විදහා දැක්වේ.
මහාචාර්ය කේ.ඩී. ගුණවර්ධන