ඇඟ බද්ද නොගෙව්වොත් දවස් දෙකක් නිකම් වැඩ



ජි. එලියස් ද සිල්වා මහතාගේ 
මංගල ආරාධනා පත්‍රය


ඕස්ට්‍රේලියාවේ නිෂ්පාදිත වසර 130 ක් තරම් 
පැරුණි අභ්‍යාස පොතක්


 

මෙරට යටත් විජිතයක් බවට පත් කරගත් පෘතුගීසිහු වසර 135කට ආසන්න පාලන කාලයේ වරාය බදු, තොටුපොළ බදු, වී බදු, රේන්ද බදු, අස්වැන්න බදු, වෙළෙඳ බදු ආදියෙන් ආදායම ලබා ගත්හ. පෘතුගීසින්ගෙන් පසු 1640 දී මෙරට යටත් විජිතයක් බවට පත් කරගත් ඕලන්දයෝ ද වරාය බදු, තොටුපොළ බදු, රේන්ද බදු, වෙළෙඳ බදු ආදියෙන් වැඩිපුර ආදායම් ලබාගත්හ. වී, පුවක්, ගම්මිරිස්, කරදමුංගු ආදියෙන් ද අස්වැන්නෙන් ප්‍රමාණවත් කොටසක් ඔවුහු බදු වශයෙන් අය කර ගත්හ.

පී. ඩබ්. ගාමිණී ජයරත්න


 

ඕලන්ද යටත් විජිත යුගයේ මුහුදුබඩ පළාතේ දිශාවලට අය බදු පාලනය සඳහා ප්‍රධාන නිලධාරීන් ලෙස රෙයිඩන්ට්ස්වරු පත් කරනු ලැබූහ. ඒ ඒ දිසාවන් කෝරලවලටත්, කෝරළ පත්තුවලටත් බෙදා එක් එක් කෝරලයට අය බදු එකතු කිරීම සඳහා මුලාදෑනිවරු පත් කරනු ලැබ සිටියහ. එම මුලාදෑනිවරුන්ගේ සහායට සහකාර මුලාදෑනිවරුද පත් කරනු ලැබ සිටියහ. ගම්වල බදු අය කිරීම එම සහකාර මුලාදෑනිවරුන්ට පැවරී තිබිණි.

1796 දී බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ ත්‍රිකුණාමලයේ සිට මාතර දක්වා ප්‍රධාන ආදායම් පාලක නිලධාරි ලෙස මදුරාසියේ සිවිල් නිලධාරියකු ලෙස කටයුතු කළ රොබර්ට් ඇන්ඩෲස් පත් කරනු ලැබිණ. 1796- 09- 25 වැනිදා ඔහු විසින් පනවන ලද නියමයන්ට අනුව එක් පොල් ගසකට වසරකට රිදී පනම බැගින් ජනතාවට බදු ගෙවීමට සිදුවිය. පළඳින ආභරණ වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම බද්දක් ගෙවීමට ද නියම කෙරිණි. මාළු බද්ද, ලුණු බද්ද, අරක්කු බද්ද, රා බද්ද, තොටුපොළ බද්ද, අස්වැන්න බද්ද ආදිය ඕලන්දයන් අය කළ ප්‍රමාණටත් වඩා අධිකව අය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිදු විය. 

බදු අය කර ගැනීමට ඒ වනවිට පත්කර සිටී ස්වදේශික දිසාපතිවරු පත්තුවල මුදලිවරු, මුහන්දිරම්වරු, කෝරලේ මහත්වරු, විදානආරච්චිවරු, කොට්ඨාස මුලාදෑනිවරු ආදීන් ඉවත්කර ඒ සඳහා ගෙන්වන ලද මදුරාසි ඔම්ල්දාර්වරුන් දහස් ගණනක් බදු අය කරන්නන් ලෙස පත්කිරීම මෙකල සිදු විය. මෙම තත්ත්වය හමුවේ මෙරට හටගත් නොසන්සුන්තාව හා කැරැලි කෝලාහල පිළිබඳව සොයා බැලීම සඳහා මදුරාසියේ ආණ්ඩුකාර හොබාර්ට් සාමිවරයා මෙරටට පැමිණියේය. ඔහු සිය වාර්තාව ඉදිරිපත් කරමින් පොල් ගස් බදු අය නොකළ යුතු බවටත්, පෞද්ගලික සේවය සඳහා වූ ඉඩම් ආපසු නැවත දිය යුතු බවටත්, මලබාර් මුදුකාර ජනයා පිටුවහල් කළ යුතු බවටත් නිර්දේශ කර තිබිණි. 1797-10-01 වැනිදා සිට ගාලු‍ වරායෙන් පිටරට යවන අරක්කු ලේගරයකට පතාග 8ක තීරු ගාස්තුවක්ද, ගෙඩි 24000 පුවක් අමුණකට පතාග 10ක තීරු ගාස්තුවක්ද අය කළ යුතු බවට නියම කර තිබිණි.

බ්‍රිතාන්‍යයන් සතුව පැවති ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල ආදායම වැඩි කර ගැනීමට 1807 දී අග්‍ර විනිශ්චකාර ධුරය හෙබවූ සර් ඇලෙක්සැන්ඩර් රොන්ස්ටන් ‍බ්‍රිතාන්‍ය ආණ්ඩුවට යෝජනා රැසක් ඉදිරිපත් කළේය. ඒ අනුව ගාල්ලේ අරක්කු රේන්දය, කොළඹ අරක්කු රේන්දය විකුණන මිලටම විකුණන ලෙස නියම කෙරිණි. හතරැස් අඩියක බිම සඳහා වසරකට පයිසාව ගණනේ ජනතාවගෙන් බද්දක් අය කිරීමට ද නියම කෙරිණි.

වෙසක් සුබ පැතුම් පත්


ඇඟ බද්ද ගෙවූ ලදුපත


මෙරට පළමුවරට ඇඟ බද්ද පනවන ලද්දේ ඕලන්දයන් විසිනි. ප්‍රථමයෙන්ම මෙරට විසූ ද්‍රවිඩ ජනතාවගෙන් මෙම බද්ද අය කරගෙන ඇත. ඇඟබද්ද නොගෙවූ ගාල්ලේ විසූ ද්‍රවිඩ ජනතාවට ගාල්ල ඕලන්ද කොටුව ඉදිරිපස එවකට තිබූ දිය අගල වසරකට දින හයක් සුද්ධ පවිත්‍ර කළ යුතු විය. ඉංග්‍රීසීන් විසින් 1848 සිට ස්වදේශිකයන්ගෙන් ද මෙම ඇඟ බද්ද අයකර ඇත. වාර්ෂිකව එම බද්ද ගෙවිය යුතු වූ අතර බද්ධ නොවන්නේ නම් වසරකට දින හයක කාලයක් මංමාවත්වල නඩත්තු කටයුතුවල නිරත වන්නට සිදු විය.

1903 වන විට ඇඟ බද්ද ලෙස මෙරට පුද්ගලයෙකුට වසරකට ශත 50 ක මුදලක් ගෙවීමට නියම කර තිබුණි. එම මුදල නොගෙවන්නේ නම් දින දෙකක් රජයට වැඩ කළ යුතු විය. 1903 පෙබරවාරි මස 22 වැනිදා දොඩන්දූව පටුවත විසූ ජී. එළියස් ද සිල්වා ඇඟ බද්ද ලෙස ශත 50 ක මුදලක් ගෙවන ලද ලදු පතක් ඔහුගේ මුනුපුරකු වන දොඩන්දූව, ගාලු‍ පාරේ පදිංචි පි. ඩබ්ලිව්. ගාමිණි ජයරත්න මහතා සන්තකයේ අදටත් පවතී. එම ලදු පතෙහි විලේජ් ලේබර් (village labour) ඉලක්කම20 , මිනිහගේ නොම්බරය 54, ගම්සභා කොමිටිවල නියමය පරිදි දවස් දෙකක් වැඩ කරනවා වෙනුවට මුදලෙන් ශත 50ක් ගෙවා නිදහස් වුණා ඇත, යනුවෙන් එහි සඳහන්ව ඇත.

වසර 116 පැරුණි ලියුම් පත්‍රය


ගාමිණි ජයරත්නගේ සන්තකයේ ජී. එලියස් ද සිල්වාට අයත් ඓතිහාසික වැදගත් කමකින් යුතු තවත් ලිපි ලේඛන සිය ගණනක් අදටත් සුරැකිව පවතී. එම ලිපි ලේඛන අතර වසර 130 ක් තරම් පැරුණි ජපන් රටේ සාදන ලද වෙසක් සුබ පැතුම්පත් කීපයක් ද වෙයි.

ජී. එළියස් ද සිල්වා 1903 නොවැම්බර් මස 02 වැනි දින යුග දිවියට පත්ව ඇත. ඒ සඳහා 1903 ඔක්තෝබර් මස 15 වැනි දින මුද්‍රණය කර ඇති මංගල්‍යය ආරාධනා පත්‍රයේ මෙලෙස සඳහන් වේ.

සුභ මංගල්‍යස්තු ගෞරවාදරයෙන් දැනුම් දී එවන සුභ මංගල්‍යාරාධනාවයි

මෙහි පහත අත්සන් කරන දොඩන්දූව, මෝදර, පටුවත පදිංචි ගාල්ලගේ උදාරිස් ද සිල්වා වන මාගේ ප්‍රිය පුත්‍ර වූ ජී. එළියස් ද සිල්වා තිරාණගම පදිංචි කේ. බබන් ප්‍රේරා මහත්මයාගේ ප්‍රිය හිතෘ වූ බබා නෝනා ප්‍රේරා මහත්මී හා සමග ලබන නොවැම්බර් 02 සඳුදින සිරිත් ප්‍රකාර විවාහ මංගල්‍යයට ඇතුළත් වන බැවින් ඒ සඳහා අප විසින් පිළියෙල කරන ලද ආදර සංග්‍රහයන් පිළිගනිමින් අප හා සමග ප්‍රිය සතුටු වීම පිණිස ලබන මස 01 දින අප නිවෙසට ළඟා වන මෙන් ඉල්ලමි, යනුවෙන් සඳහන්ව ඇත.

වසර 116 ක් තරම් පැරුණි ලියුම් පත්‍ර හෙවත් ලෙටර් කාඩ්පත් (Letter Card) ගොන්නක් ද මෙම ලිපි ලේඛන අතර වෙයි. එම ලියුම් පත්‍රවල මුද්දර ගාස්තුව සත පහකි. ඉන් එක් ලියුම් පත්‍රයක 1904 ජූලි මස 5 වැනි දින දොඩන්දුව තැපැල් කාර්යාලයේ නිල මුද්‍රාව තබා ඇත. එළියස් ද සිල්වාගේ පියා වූ උදාරිස් ද සිල්වා 1946 නොවැම්බර් මස 16 වන දින මියගොස් තිබුණි. ඒ පිළිබඳව දන්වමින් කල්මුණේ සිටි උදාරිස් ද සිල්වා මහතාට දොඩන්දූව තැපැල් කාර්යාලයේන් 16 වැනිදා කල්මුණේ තැපැල් කාර්යාලය වෙත යවන ලද ටෙලිග්‍රෑමය එදිනම ඔහු අතර පත්ව තිබුණි. අදටත් වඩා හොඳින් එකල මෙරට තැපැල් සේවාව කාර්යක්ෂමව පැවති බවට එය කදිම නිදසුනකි.

කරත්ත සඳහා අය කරන ලද කුලී ගාස්තු


වසර 130 කට පමණ පෙර එනම් 1890 පමණ වන විට මෙරටට අවශ්‍ය කරන අභ්‍යාස පොත් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කර ඇත. ලිවීම සඳහා උපයෝගී කරගත් කටුපෑන් සහ තීන්ත එංගලන්තයෙන් ආනයනය කර ඇත. අභ්‍යාස පොත්වල කටු පෑනෙන් ලියන ලද සටහන් වසර 130 තරම් කාලයක් ගත වුව ද තවමත් ඉතා හොඳින් සුරැකිව පවතින අයුරු එලියස් ද සිල්වාගේ ලිපි ලේඛන පරීක්ෂා කිරීමේ දී අපට දැකගත හැකි විය.

1959 පමණ වන විට දරුවන්ගේ ඉඳුල් කටගෑම පවා උත්සවයක් ලෙස මෙරට පවත්වා තිබිණි. 1959 මාර්තු මස 23 වැනිදා සඳහන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුද්‍රණය කර ඇති ඒ සඳහා වන ආරාධනා පත්‍රයක මංගල මුඛ පත් කිරීමේ ප්‍රීතිය උදෙසා පැවැත්වෙන උත්සවයට සවස 02 දෙකේ සිට රාත්‍රි 10 දක්වා පවත්වන ප්‍රිය උළෙලට පැමිණීම ගෞරවයෙන් ආපේක්ෂා කරන බවද සඳහන් කර ඇත. 

වසර 120ක් තරම් පැරුණි කොළඹ ඩබ්ලිව්. ජෝන් පෙරේරා සමාගම මගින් මුද්‍රණය කරන ලද දින පොත් රැසක් ද එම ලිපි ලේඛන අතර වෙයි. 1902 නිකුත් කර ඇති දින පොතෙහි කවරයේ ඇතුළු පැත්තේ කොළඹ පිටකොටුවේ දියමන්ති ජුබිලි පෙරදිග වස්ත්‍රාභරණ වෙළඳ ශාලාවේ ඇඳුම් පැලඳුම් පිළිබඳව දැන්වීමක් පළකර තිබේ. පිටපළාත්වල අයට වුවමනා බඩු තැපෑලෙන් හෝ රේල්ලු‍වෙන් එවන්නට සූදානම්ව සිටින බවද එහි සඳහන් වේ. අශ්ව කරත්ත, තනි ගොන් කරත්ත සහ අදින කරත්තවලට ගෙවිය යුතු කුලිය ද එම දින පොතෙහි සටහන් ව ඇත. කොළඹ, මහනුවර සහ ගාල්ල යන නගරවලට වෙන් වෙන් වශයෙන් ගාස්තු සඳහන්ව ඇත. 

කොළඹ නගරයේ තනි අශ්වයකුගෙන් අදින පළවන පන්තියේ අශ්ව කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු කුලිය රුපියල් 04කි. ඒ අතර තුරේ පැය හයකට රුපියල් 02කි. පැය බාගයකට ශත 50කි. ඊට පසු පැයකට හෝ ඉන් කොටසකට සත 25 කි. තනි අශ්වයෙකුගේක් අදින දෙවන පන්තියේ අශ්ව කරත්තයක ට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 3 කි. ඒ අතරතුර පැය හයකට රුපියල් 1.50කි. පැය බාගයකට සත 40කි. පැයකට සත 75කි. ඊට පසු පැයකට හෝ කොටසකට සත 20කි. අශ්වයන් දෙන්නෙක් අදින පළවන හෝ දෙවැනි පන්තියේ අශ්ව කරත්තයට ඉහත සඳහන් ගණන්වලට සමාන තවත් කොටසක් එකතු කළ යුතුය. ගොං කරත්ත පළමුවැනි පන්තියේ වැග්නට් නොහොත් බක්කි කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 02කි. දෙවන පන්තියේ තනි ගොන් කරත්තයකට උදේ 6 සිට සවස 7.30 වනතුරු රුපියල් 1.50 කි. ජින් රික්ෂෝ නොහොත් අදින කරත්තයකට පැය භාගයට කට හෝ ඉන් කොටසකට ශත 25 කි. යම් තැනක නවතා සිටින ලද පැයකට සත 10කි. කොළඹ කොටුවේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සත 10කි.

එදිනම ලැබුණු දොඩන්දූව සිට 
කල්මුණේට යවන ලද ටෙලිග්‍රෑමය


මඩකළපුව පුලියම්කිව් ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු ව සිටි ජී. ජානිස් සිල්වා 1905 ජුනි මස 5 වන දින වැඩිමහල් සොහොයුරා වූ එළියස්ද සිල්වාට එවා ඇති ලිපියක මෙලෙස සඳහන් වේ.

“ පුලියම්දූවේ කඩේ දීය.

කරුණාවන්ත වූ අයියා වෙත ලියා දන්වන වග නම් 31 දින, පළමුවැනි දින එවන ලද ලියුමන් දෙක ලැබී භාර ගත්තාය. තවද තිස් වැනිදා ගාල්ලෙන් පිටත්ව ආ නැවේ එව් පුවක් ගෝනි 15 භාර ගත්තාය. තවද එම පුවක් හීන් නිසා විකුණා ගන්ට අමාරුය. පුවක් එවනකොට ලොකු හොඳ පුවක්වලින් එවන්ට ඕනෑය. දැනට මේ පළාතේ පුවක් අමුණක මිල 24/25 ක් වේ. අපට එවූ පුවක් බාල නිසා විකුණා ගන්ට අමාරු වුණාය. පුවක් ගෝනි පහළහ විකුණා ගත්තාම පුවක් ගෝනි දහයක් පහළොවක් එවන්න යැයි දෙවනුවට ලියා එවන්නම්. එහෙම උඹ සතුටු නම් එහෙම ලියා එව්වහම එවාපන්.                                                         

31 වැනිදා පිටත්ව ආ නැවෙන් චාර්ලිස් සහ සිදෙරික් අප්පුත් ආවේය. එම දින මම ටැලිගෑම් එකකුත් එවා ඇත. තවද චාර්ලිස්ලා යද්දි රෙදි මිටියකුත් ගෙනාවාය. එකත් බාර ගත්තාය. වැඩි දේවල් දෙවනුව ලියා එවමි. තවද මෙහි වසන අප ද තරමක් සනීපයෙන් පසුවෙනවාය.”