ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් ගැන කතා කළද එය තවමත් අසම්පූර්ණ ය. සමාජයෙහි සාම්ප්‍රදායික වැඩවසම් ලක්ෂණ සහ ධනේශ්වරවාදී ලක්ෂණ මුල්බැසගෙන තිබීම ඊට හේතුව වී තිබේ. 1931 වර්ෂයේ දී ලාංකිකයන්ට ලැබුණු සර්ව ජන ඡන්ද බලය හේතුවෙන් උගත්, බුද්ධිමත්, ස්ත්‍රී-පුරුෂ භේදයකින් තොරව අවුරුදු 21ට වැඩි සියලු දෙනාට දේශපාලන බලය හිමිවිය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යවස්ථාදායක ආයතනවල නියෝජිතවරියන් වශයෙන් තේරී පත් වීමට කාන්තාවන්ට ද අවස්ථාව සැලසිණ. එම අයිතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය මඟින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තහවුරු කර තිබේ.
- 1977 දී ඩබ්. එම්. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ අමරා පියසිලී රත්නායක.
- 1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ.
- 1982 දී බන්දුහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ දයා සේපාලි සේනාධීර.
- 1983 දී කේ. ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිඳ රාසමනෝහරි පුලේන්ද්‍රන්.
- 1991 දී මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්.
- 1993 දී ලලිත් ඇතුළත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ වන ශ්‍රීමනී ඇතුළත්මුදලි.
- 1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිඳ සුරංගනී එල්ලාවල.
- 2008 දී ටී. මහේශ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිඳ විජයකලා මහේෂ්වරන්.
- 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.
- මාතර දිසා ඇමති, දෙනියාය පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඝාතනයෙන් පසු ඔහුගේ නැඟණිය කීර්තිලතා අබේවික්‍රම.
යන කාන්තා නියෝජිතයන්ගේ පාර්ලිමේන්තු ආගමනය සිදුව ඇත්තේ යම් දේශපාලන පවුල් පසුබිමක් මත පදනම්ව ය. 2015 වසරේ පැවති මහ මැතිවරණයෙන් මන්ත්‍රීවරියන් 13 දෙනෙකු පාර්ලිමේන්තුවේ අසුන්ගත් අතර, ඉන් 11 දෙනෙකුම දේශපාලන පවුල් පසුබිමක් සහිතව තේරීපත් වූවෝය. ඒ අතර සිටි ජනප්‍රිය සිනමා නිළි ගීතා කුමාරසිංහට සිය ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් පාර්ලිමේන්තු අසුන අහිමි විය. සෙසු දොළොස් දෙනා අතර සිටි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා මෙම මැතිවරණයෙන් පරාජයට පත්වූ අතර ඇය පාර්ලිමේන්තුවට පැමිණියේ ජාතික ලැයිස්තුවෙනි.
2020 මහමැතිවරණයේ දී ජාතික ලැයිස්තුවෙන් සිව්දෙනෙක් සහ මහජන ඡන්දයෙන් අටදෙනෙකු වශයෙන් මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වූහ. ඉන් වැඩි පිරිසක් නීතිඥ සහ ගුරු වෘත්තිය නියෝජනය කරති. මෙම 12 දෙනාගෙන් අට දෙනෙකුට දේශපාලනයට පිවිසීම සඳහා පවුල් පසුබිමක් පවතී. මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙක් සිය පවුලේ සාමාජිකයෙකු මියයාමෙන් පසුව දේශපාලනයට පිවිසියෝය.
- හිටපු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ධර්මදාස වන්නිආරච්චිගේ දියණිය වන නිතීඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි.
- 2008 දී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ.
- 2002 දී ගාමිණී අතුකෝරළගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය වන තලතා අතුකෝරළ.
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේරත්න බණ්ඩාගේ දියණිය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේත්න කවිරත්න.
- හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් ගුණවර්ධනගේ නැඟණිය වන කෝකිලා හර්ෂණී ගුණවර්ධන.
- 2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි ඔහුගේ බිරිඳ වන මුදිතා ප්‍රිශාන්ති.
- 2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පත් වූ මංජුලා විජේකෝන් දිසානායක.
- සබරගමුව පළාත් සභා හිටපු අමාත්‍ය ශ්‍රී ලාල් වික්‍රමසිංහගේ බිරිඳ වන රාජිකා වික්‍රමසිංහ.
යන මහත්මීන් 2020 මහමැතිවරණයෙන් තේරී පත් වූ අතර විශේෂඥ වෛද්‍ය අරඹේපොල සහ මංජුලා වීරකෝන් දිසානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් ද, ආචාර්ය හරිනි අමරසූරිය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද, ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් ද පාර්ලිමේන්තුවට පිවිසියහ. මීට අමතරව ගීතා සමන්මලී කුමාරසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන බහුතරයක් කාන්තාවන්ට ඔවුන්ගේ පවුල් තුළින් ලැබෙන දේශපාලන පන්නරය ඔවුන්ගේ දේශපාලන ගමන් මගට ඉවහල් වූ බවත් ස්වාමියාගෙන් බිරිඳට, පියාගෙන් දියණියට ආදී ඥාතීත්වයෙන් ලැබෙන අනුග්‍රහය මතද පියවරුන්, සැමියන්, සොයුරන් මියයෑමෙන් හෝ ඉවත්වීම යන කාරණා පාදකව එම හිඩැස් පිරවීමට බොහෝ කාන්තාවන් පාර්ලිමේන්තුවට පිවිස ඇති බවද තහවුරු වේ.
එසේ දේශපාලන වටපිටාවක් නොමැති අයෙක් ජනප්‍රියතාව මත පදනම්ව ජනතා පරමාධිපත්‍ය බලයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ. ලංකාවේ ජනගහනයෙන් කාන්තා ප්‍රතිශතය ඉහළ ගිය ද ව්‍යවස්ථාදායකයේ සැලකිය යුතු ආසන ප්‍රමාණයක් කාන්තාවන්ට හිමිවන්නේ නැත. 2016 වර්ෂයේ දී හිටපු අග්‍රාමාත්‍ය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පළාත් පාලන ආයතනයන් සඳහා 25%ක් කාන්තා නියෝජනය අනිවාර්ය කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම නීතියක් සම්මත කර ගත්තද එය ක්‍රියාත්මක වනවා ද යන්නෙහි ගැටලු පවතී.
තවද දේශපාලන මැදිහත්වීම, ජනප්‍රියත්වය හැරුණු විට සාමාන්‍ය කාන්තාවකට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සැබවින්ම සිහිනයක්ව ඇති බව අතීත සාධක සලකා බැලීමේ දී ගම්‍යමාන වේ. ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව තිබෙන මහමැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ සහ ස්වාධීන පක්ෂ නියෝජනය කරමින් කාන්තාවන් නාමයෝජනා භාරදී ඇති අතර, මැතිවරණයෙන් තේරී පත්වන කාන්තා නියෝජිතයන් කවුරුන්වේ ද යන්න සහ මෙතෙක් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වූ කාන්තා නියෝජනය පෙර පරිද්දෙන්ම අවම මට්ටමක් ගනීද, නැතිනම් පවුල් දේශපාලන බලය, මූල්‍යමය බලය තේරීපත් වීමට නියමිත නව පාර්ලිමේන්තුව වටා කේන්ද්‍රගත වේ ද නැතිනම් මෙහි වෙනසක් සිදුවේ ද යන්න සම්බන්ධයෙන් පොදු සමාජයේ කතිකාවත් නිර්මාණය වී තිබේ.
මනීෂා වීරසිංහ