මහ මැතිවරණයට සති දෙකක් තිබියදී පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමෙන් ජාතික ජන බලවේගය ජය ගත්තේය. මෙහිදී දෙවැනි තැන ගත් සමගි ජන බලවේග කණ්ඩායමට වඩා ජාතික ජන බලවේග කණ්ඩායම ඡන්ද දස දහසකින් ඉදිරියෙන් සිටීම කැපී පෙනෙයි.
මෙම මැතිවරණයේදී ප්‍රදේශවාසී ඡන්දදායකයන්ගේ විශාල උනන්දුවක් ප්‍රකාශ වී තිබුණේ සියයට 63ක ඡන්ද ප්රතිශතයකි. බොහෝ දෙනා ඡන්දය පාවිච්චි කිරීමට නොපැමිණීමෙන් පෙනෙන්නේ දේශපාලනය ගැන තවමත් බොහෝ ජනතාවක් තුළ විශ්වාසයක් නොමැති බවය. 2018 වසරේ අලුතෙන් හඳුන්වා දුන් පළාත් පාලන ඡන්ද ක්රමයේ අසාර්ථකභාවය යළිත් පෙන්වා දෙමින් විකෘති ප්‍රාදේශීය සභාවක් බිහි වීම මෙවර ද දැකිය හැකිය.
සභාවේ ජයග්‍රාහකයා වූ ජාතික ජන බලවේගයට ආසන 15ක් ලැබෙද්දී, විපක්ෂයේ සෙසු පක්ෂවල ආසන සියල්ලම එකතු කළ විට විපක්ෂයට ද ආසන 15කි. පසුගිය සමයේ ප්‍රාදේශීය සභා සිය ගණනක සිදු වූ ආකාරයට ඇල්පිටිය සභාවේ අයවැය සම්මත කරගැනීමේදී ආණ්ඩුව හා විපක්ෂය සම සමව සිටීම බලවත් ප්‍රශ්නයක් ඇති කරනු ඇත.
ඊළඟ ප්රශ්නය නම්, මෙම ඡන්ද ක්රමයේ සමානුපාතික ලැයිස්තුවේ ඇති විකෘතියයි. සභාවට හිමි මන්ත්‍රීවරුන් ගණන 28ක් වුවත්, 30 දෙනකු තේරී පත්ව ඇත. එසේ වන්නේ සමානුපාතික ක්‍රමය අනුව ආසන බෙදී යාමේදීය. වැඩි වූ සභිකයන් දෙදෙනාට වැටුප් හා දීමනා ගෙවීමට සිදුවන්නේ මහජනතාවගේ බදු මුදලිනි.
2018 පළාත් පාලන මැතිවරණයේදී ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීමෙන් පසු එම පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ ප්‍රතිඵලයක් ලෙස සෙසු ප්‍රාදේශීය සභා සමග ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය පැවැත්වීමට නොහැකි විය. අධිකරණ නියෝගය මත එම මැතිවරණය පැවැත්වූයේ 2019 වසරේ ඔක්තෝබර් 11 වැනිදාය. 2023 ඔක්තෝබරයේ නිල කාලය අවසන් වීමට තිබියදී එවකට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා තවත් වසරකින් ඇල්පිටිය සභාවේ ද නිල කාලය දිගු කළේය. 2023 පැවැත්වීමට නියමිතව තිබූ සෙසු ප්‍රාදේශීය හා නගර සභා මැතිවරණ මුදල් නොමැති හේතුවෙන් කල් ගිය අතර, ඡන්ද කල් නොදමන ලෙස අධිකරණය කළ නියෝගය මත මෙම මැතිවරණය පැවැත්විණි. සෙසු පළාත් පාලන මැතිවරණ ලබන වසරේ පවත්වන බව ජනාධිපතිවරයා දැනට ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවේ ජනප්‍රියතාව පිළිබඳ මිණුම් දණ්ඩක් ලෙස ද විපක්ෂයේ බෙදී යාම මැද වුවත් යම් ජනතා ආකර්ෂණයක් ඔවුන්ට ද ඇති බව ද මෙම ඇල්පිටිය මැතිවරණයෙන් බැසගත හැකි නිගමන වේ.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදීත් වත්මන් රජයට බහුතරයක් නොමැති බව ඇතැමුන් කියා සිටිය ද, එය සාර්ථක තර්කයක් නොවේ. එයට හේතුව, ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ජනතාව ඡන්දය පාවිච්චි කරන්නේ පක්ෂවල ප්‍රතිපත්තිවලට නොව අපේක්ෂකයාට ඇති හිතවත්කම මත වීමය. නෑදෑ සබඳතා හිතමිත්රතා මෙහිදී බොහෝ විට ජයග්‍රහණයට හේතු සාධක වේ. ඒ හේතුවෙන් ඇල්පිටියේ ඡන්ද බෙදී යාම මහ මැතිවරණ ප්‍රතිඵලයට කිසිසේත්ම සමාන වන්නේ නැත.
දේශපාලකයන් කුමන ආකාරයට අර්ථ දැක්වීම් සිදු කළත්, එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය මන්ත්‍රී ආසන 113ක බහුතරයට පහසුවෙන් ළඟා වනු ඇත්තේය. එයට හේතුව වන්නේ අන් කිසිවක් නොව ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ අපේක්ෂකයන්ට ඡන්දය පාවිච්චි කළ බොහෝ ඡන්දදායකයන් මේ වන විට උදාසීන වී සිටීමය.
විපක්ෂයට ඡන්දය වැටීම අඩු වූ විට සිදුවන්නේ වත්මන් ආණ්ඩුව වන ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණයේ ප්‍රතිශතය ඉහළ යාමය. එහිදී දිස්ත්‍රික්කය තුළ මන්ත්‍රී ආසන බෙදෙන අනුපාතයේ විශාල පරතරයක් ඇති වෙයි. වික්ෂයේ දේශපාලන පක්ෂ ආණ්ඩුවට එරෙහිව කරට කර සටනක් දුන්නේ නම් දෙපාර්ශ්වය අතර පරතරය අඩු වෙයි. එහෙත්, මෙවර එවැන්නක් පෙනෙන්නේ නැත. ජාතික ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඒ ලෙසම ලැබෙන අතර, අඩු වන බව පෙනෙන්නේ විපක්ෂයේ ඡන්ද ප්‍රමාණයයි. එවිට වැඩි වාසිය වත්මන් ආණ්ඩු පක්ෂයටය. 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ඡන්ද බෙදී ගිය ආකාරයටම මෙවර මහ මැතිවරණයේදී ඡන්ද බෙදී යන බව පෙනෙන්නට තිබේ.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සැකසූ මැතිවරණ ක්‍රමය අනුව කිසිදු පක්ෂයකට තුනෙන් දෙකක බහුතරයක් ලබාගත නොහැකි යැයි සැලකුණ ද, 2020 දී ගෝඨාභය ජනාධිපතිවරයා බලයට පත්වූ පසු පැවැත්වූ මහ මැතිවරණයේදී රජයට තුනෙන් දෙකේ බලයක් හිමි විය. එසේ වූයේ, එ.ජා.ප.ය දෙකට බෙදීමෙන් ලක්ෂ විසි හතකට ආසන්න ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දපොළට නොයාම නිසාය. විපක්ෂයේ ඡන්ද උදාසීන වීම නිසා මන්ත්‍රී ආසන බෙදී යාමේදී ආණ්ඩුව හා විපක්ෂය අතර විශාල පරතරයක් ඇති වීමේ ප්‍රතිඵලය වූයේ, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 225න් 150ක්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හිමි වීමය. මෙවර ද විපක්ෂයේ පක්ෂ ගණනාවක් තිබෙන අතර, ඒ හේතුවෙන් ඡන්දදායකයා සිටින්නේ උදාසීනවය. මෙවර ද විපක්ෂයේ ඡන්දදායකයන් බොහෝ දෙනකු ඡන්දපොළට නොයන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් ආණ්ඩුවට මන්ත්‍රී ආසන 113 ඉක්මවා යාමට හැකි වනු ඇත.
විපක්ෂයේ ඡන්දදායකයන් උදාසීන වීමට එක් හේතුවක් වන්නේ, ‘හොරුන්’ යැයි ඇඟිල්ල දිගු වුණු දේශපාලකයන් විශාල පිරිසක් තවමත් විපක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත්ව සිටීමය. සමාජය වෙනසක් ඉල්ලා සිටිද්දී පැරැණි මුහුණු වෙනුවෙන් මැතිවරණ කටයුතුවල යෙදීමට බොහෝ දෙනා අකැමැත්තක් දක්වති. මේ වනතුරුත් පැරැණි සම්මත දේශපාලන පක්ෂ තේරුම් නොගන්නා කරුණක් නම්, වර්තමාන ක්‍රියාකාරී තරුණ දේශපාලන පරපුර පැවැති දේශපාලන යාන්ත්‍රණය වෙනස් කිරීමේ ප්රමෝදයකින් පසුවන බවය. වසර ගණනාවක් පැරැණි එක තැන පල් වූ වයෝවෘද්ධ දේශපාලකයන් ඉවත් කර දැමීමේ වුවමනාවක් ඔවුන්ට තිබූ අතර, ඒ වුවමනාව දැන් ඉටු කරගෙන ඇත. ජනාධිපතිවරයා; නවකයකු වූ අනුර කුමාර දිසානායකය. “අපි ඔළුව ගැලෙව්වා... කඳ කෑල්ල මේ පාර ඉවත් කරනවා...” ඔවුන් කියන්නේ ඒ ලෙසය. හොරුන් යැයි සම්මත වූ, වසර ගණනාවක් මන්ත්‍රී ධුර දැරූ, එමෙන්ම ආණ්ඩුවෙන් ආණ්ඩුවට පක්ෂ මාරු කරන පැරැණි දේශපාලන කඳවුරට ඔවුන් සලකන්නේ කුණු වූ දේශපාලන ශරීරයේ කඳ හැටියටය. ඒ කඳ ඉවත් කර අලුත් කඳක් සවි කිරීම ක්‍රියාකාරී තරුණ පරපුරේ බලාපොරොත්තුවය. මේ වන විට විශාල රැස්වීම් නොපවත්වමින් කුඩා රැස්වීම් ගමින් ගමට තබමින් ඔවුන් සූදානම් වන්නේ අලුත් කඳ සවි කිරීමටය.
‘අලුත් කඳ’ යනු, නවක මුහුණුය. ජාතික ජන බලවේගයෙන් නවක මුහුණු ඉදිරිපත් කළ අයුරින්ම අනෙකුත් පක්ෂවලිනුත් නවක මුහුණු ඉදිරිපත් කළේ නම් වඩාත් පිරිසිදු පාර්ලිමේන්තුවක් බිහි වන බව ඔවුන්ගේ නිගමනයය.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලය අප විමර්ශනය කළ යුත්තේ එකී පදනමිනි.
ඇල්පිටියේදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කළ කණ්ඩායම් නායකයා හැර ජය ගත් අන් සියලු මන්ත්‍රීවරුන් නවකයන්ය. සමගි ජන බලවේගයට දිනාගත හැකි වූයේ කොට්ඨාස දෙකක් පමණකි. සෙසු පක්ෂ මන්ත්‍රී ආසන 15ක් ගත්ත ද, ඒවා ඍජු ජයග්රහණයන් නොව එකී ඡන්ද ක්රමයේ ඇති සමානුපාතික මැතිවරණ ක්‍රමය අනුව ඉදිරිපත් කරන ලැයිස්තුවෙන් ලැබුණු ඒවාය. මේ වන විට ඡන්දදායකයන් නැඹුරුව ඇත්තේ අලුත් මුහුණු කෙරෙහිය. එය ජාතික ජන බලවේගයට පමණක් සීමා වූ තෝරා ගැනීමක් නොවේ. මෙවර රැල්ල හමන්නේ අලුත් මුහුණු සොයමිනි. “හොරු වෙනුවට අලුත් මුහුණු...” ඒ, කුරුණෑගල දිසාවේ එක් දේශපාලන පක්ෂයක ප්රචාරක පාඨකයකි.
පොදු නියැදියක් ලෙස ගත හැකි වුවත් ඇල්පිටියේ ප්‍රතිඵලය මහ මැතිවරණ ප්‍රතිඵලයට සමාන වනු ඇතැයි අර්ථ දැක්වීම නිවැරැදි නොවේ. මහ මැතිවරණයකදී මන්ත්‍රී ආසනයක් දිනා ගැනීමට දිස්ත්‍රික්කයේ වැටෙන ඡන්ද ප්‍රමාණයෙන් සියයට පහ ඉක්මවා යා යුතුය. එහෙත්, ප්‍රාදේශීය සභා මැතිවරණවලදී ප්‍රතිශතය එයට පහළය. ඇල්පිටියේදී හය වැනි තැන ගත් පක්ෂය ඡන්ද 1,350ක් ලබා සියයට 3.7ක ප්‍රතිශතයක් ලබා තිබියදීත් බෝනස් ආසනයක් ලැබී තිබේ. මහ මැතිවරණයකදී එතරම් කුඩා ප්‍රතිශතවලට ආසන ලැබෙන්නේ නැත.
ඇල්පිටියේදී වර්තමාන ආණ්ඩු පක්ෂය වන, ජාතික ජන බලවේගය ඡන්ද 17,295ක් ලබා සියයට 47.64ක ප්‍රතිශතයක් ලබා ගත්තේය. සමගි ජන බලවේගය ලබා ගත්තේ ඡන්ද 7,924ක් පමණකි. ප්‍රතිශතය 21.83කි. පොදු ජන පෙරමුණ ඡන්ද 3,597ක් ලැබීය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 9.9කි. පොදු ජන එක්සත් පෙරමුණ ඡන්ද 2,612ක් ලැබීය. ප්‍රතිශතය සියයට 7.19කි.
සිලින්ඩරයට එකතු වූ ගාලු දිසාවේ හිටපු මැති ඇමැතිවරුන්ගේ සහයෝගයෙන් ඉදිරිපත් වූ පොදු ජන එක්සත් නිදහස් සන්ධානය ඡන්ද 1,350ක් ලබා හය වැනි තැනට පත්ව සිටී. ප්‍රතිශතය 3.72කි.
මෙම මැතිවරණ ප්‍රතිඵලය පෙන්නුම් කරන දේශපාලන කාරණා ගණනාවක් අපට නිරීක්ෂණය කළ හැකිය. ඉන් පළමුවැන්න, ජනාධිපතිවරයා නියෝජනය කරන ජාතික ජන බලවේගයට ජනපතිවරණයට මාසයකට පසුව ද සියයට පනහක බහුතරය ලබාගත නොහැකි වී තිබෙන බවය. මෙම ප්‍රාදේශීය සභාව ද අයත් වන බෙන්තර ඇල්පිටිය ඡන්ද කොට්ඨාසයෙන් ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකට සියයට 49.37ක ප්‍රතිශතයක් ඡන්ද ලැබී තිබුණ ද, මෙවර එය සියයට 1.5කට ආසන්න ගණනකින් පහත බැස ඇත. ස.ජ.බ. සියයට 27.35ක් ලබා ගත්ත ද මෙවර සියයට 5.5කට ආසන්න ගණනකින් පහත බැස ඇත. ආණ්ඩුවට බහුතරය නැතිවා සේම, ප්‍රධාන විපක්ෂයට ද ඡන්ද ප්‍රමාණය අඩු වී ඇති බව ඉන් පෙනෙයි. එහෙත්, ආණ්ඩුවට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් එනම් ඡන්ද 1,277ක් සෙසු පක්ෂ හය එක්ව ලබාගෙන ඇත.
මෙම මැතිවරණ ප්‍රතිඵලය නිරීක්ෂණය කරන ඇතැමුන්ගේ මතය වන්නේ, ජාතික ජන බලවේගය ඉකුත් මහ මැතිවරණයට වඩා ඉදිරියට ගොස් ඇති බව මෙම ප්‍රතිඵලයෙන් පෙන්නුම් කරන බවය. එය සත්‍යයක් මුත්, එම ඉදිරියට යාම ගැන සතුටු විය හැක්කේ සියයට පනහේ කඩඉම පැනගන්නේ නම් පමණකි. එසේ නොවන්නේ නම්, ආණ්ඩුවට බහුතර බලයක් නොලැබීම මත එළඹෙන ආණ්ඩුවට අනුන් යටතේ යැපීමට, එසේත් නැති නම් පරිවාස ආණ්ඩුවක් බවට පත්වීමට සිදු වීම නොවැළැක්විය හැකිය. ආණ්ඩුවට තමන්ට ඡන්දය දුන් ජනතාවගේ ආකර්ෂණය ඇතත්, විපක්ෂයට ඡන්දය දුන් ජනතාව ආකර්ෂණය කරගැනීමට අසීරුව ඇති බව ඇල්පිටිය ඡන්දයෙන් තේරුම්ගත හැකිය. එසේ වීමට හේතුව, ගෙවී ගිය මාසයේ ආණ්ඩුවේ හැසිරීම සහ ලබා දුන් පොරොන්දු ඉටු නොකිරීම ද?
ජාතික ජන බලවේගයේ බොහෝ කථිකයන් කියා සිටි මැතිවරණ පොරොන්දු තවමත් ඉටු වී නැත. ඒ සඳහා ආණ්ඩු බලය ලැබිය යුතු බව සැබෑය. එහෙත්, ජාතික ජන බලවේගයේ කථිකයන් පැවැසුවේ, හිටපු රාජ්‍ය නායකයන් ඔවුන් සිටින රජයේ නිල නිවාසවලින් තමන් බලයට පැමිණ පැය විසි හතරෙන් ඉවත් කරන බවය. ඒ පිළිබඳ සොයා බැලීම සඳහා කමිටු පත්කිරීම හැර අන් වෙනසක් සිදු වී නැත. පොරොන්දු ඉටු කිරීම ප්‍රමාද වීම වැනි හේතු නිසා ජාතික ජන බලවේගය බලාපොරොත්තු වූ තරම් වේගයෙන් විපක්ෂයේ ඡන්දදායකයන් එම පක්ෂය වෙත ආකර්ෂණය වී නොමැති බව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් පෙනෙන යථාර්ථය වේ.
මහ මැතිවරණයට තරග වැදීම සඳහා ස.ජ.බ.ය, හිටපු ජනාධිපති පාර්ශ්වය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක්ව සන්ධානගත වූයේ නම්, ආණ්ඩු විරෝධී ජනතාව ඒකරාශි කරගැනීමේ මහඟු අවස්ථාවක් ඔවුන්ට ලැබීමට ඉඩ තිබිණ. එම පක්ෂ තුන තනි තනිව තරග වැදීමේ ප්‍රතිඵලය වන්නේ, ආණ්ඩු විරෝධී ජනතාව පාර්ශ්ව ගණනාවකට කැඩී යාමය. මේ වන විට විශාල මහජන රැලි පැවැත්වීමට විපක්ෂයට හැකියාව ලැබී තිබුණේ නම්, ඇල්පිටිය ප්‍රතිඵලයත් සමග එයින් යම් වාසියක් ගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නට ඉඩ තිබිණ. එහෙත්, විපක්ෂ වේදිකාව තමවත් සක්‍රිය බවක් පෙනෙන්නේ නැත.
ජනාධිපතිවරණයේදී සිදු වූයේ විපක්ෂයේ කල්ලිවාද හා බෙදීම මත තමන්ගේ අතේ තිබූ ජනාධිපති ධුරය විපක්ෂය විසින් අනුර කුමාර දිසානායකට පූජා කිරීමය. වර්තමාන මහ මැතිවරණයේදී විපක්ෂය කල්ලි හා කණ්ඩායම් විශාල ගණනකට බෙදී තරග වැදීමෙන් ජාතික ජන බලවේගයට පහසු ජයක් අත්වීම නොවැළැක්විය හැකි වනු ඇත.
- ප්‍රේමකීර්ති රණතුංග