කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එච් ඩී කරුණාරත්න යනු අප රටෙන් බිහිවූ විශිෂ්ට අධ්‍යාපනඥයෙකි. අප අද කතා කරන්නේ දෙස් විදෙස් කීර්තියට පත් මේ විද්වතා ගැන නොවේ. ඔහුගේ දෙවැනි දියණිය මිදෝරි කරුණාරත්න ගැනයි. වසර තුනකට පමණ පෙරදී මිදෝරි ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තේ සිරස ද වොයිස් ශ්‍රී ලංකා රියැලිටි ප්‍රාසාංගික සංගීත තරගයට සහභාගී වීම නිසයි. එදා මිල්ටන් පෙරේරා ප්‍රවීණ ශිල්පියා ගැයූ රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ ගීතය ඇය ගැයූ හැටි ඔබට මතක ඇති. එම රියැලිටි තරගය පුරාම තාරකාවක් වූ, මේ මිදෝරි ගැන අද දවසේ වැඩි දෙනෙක් කතා කිරීමට හේතුව, පසුගියදා පැවැති කොළඹ සරසවියේ උපාධි ප්‍රදානෝත්සවයේදී තම උප කුලපති මහාචාර්ය තාත්තා අතින් උපාධිය ලබා ගත් නිසාය.
එය සැබැවින්ම අතිශය දුර්ලබ අවස්ථාවක් වන්නේය. මිදෝරි යනු, පාසල් සමයේ සිට අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩා ඇතුළු බොහෝ අංශවලට එක ලෙස දක්ෂතා දැක්වූ දක්ෂ දියණියකි. අද සඳැල්ල කවරය හැඩකරන්නේ දැනුමෙන්, සහ කලා අංශයේ බොහෝ කුසලතා ඇති ඇය ගේ රුවිනි. මහාචාර්ය තාත්තා අතින් උපාධිය ලබා ගත් ඒ දුර්ලභ මොහොත ගැන මිදෝරි සඳැල්ලට විස්තර කළේ මෙලෙසිනි.
- මිදෝරි සම්පූර්ණ නම?
හෙට්ටිගේ දොන් මිදෝරි තාරුකා කරුණාරත්න.
- මිදෝරි කියන්නේ ජපන් නාමයක් නේද?
මම උපන්නෙ ජපානයේදී. අම්මයි - තාත්තයි මට ඒ නම දාලා තියෙන්නේ ඒ නිසයි.
- ගුරුවරියක වන ඔබගේ මව කියන්නෙ, මිදෝරි මැරිලා උපන්න දරුවෙක් කියලයි. ඇයි එහෙම කියන්නෙ?
මම ඉපදී විනාඩි දහයක් විතර යන කල් හුස්ම අරගෙන නැහැ. වෛද්‍යවරු සහ අනෙකුත් හෙද-හෙදි කණ්ඩායම සෑහෙන පරිශ්‍රමයක් දරලා තමයි මගේ හුස්ම අරන් තියෙන්නෙ. කවුරුවත් හිතලා නැහැ, මම ජීවත් වේවි කියලා.
- ඒ විදිහට මෙලොවට ආ ඒ දියණිය අද ඇදහිය නොහැකි තරමේ දක්ෂතා ඇති දියණියක් ?
මගේ තාත්තා මේ වෙද්දී කොළඹ සරසවියේ උප කුලපති මෙන්ම ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලෙස කටයුතු කරනවා. මගේ අම්මා ගුරුවරියක්. ඒ වගේම, මගේ අක්කා සහ එයාගේ සැමියා දෙන්නම කොළඹ සරසවියේ කථිකාචාර්යවරු ලෙස සේවය කරනවා. අම්මගෙ නම අනුරාධා කරුණාරත්න. අක්කගෙ නම සකුරා කරුණාරත්න. එයාගේ මහත්තයාගෙ නම සචිත් පෙරේරා. ඒ විදිහට ගත්තාම අපේ පවුලම කටයුතු කරන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ව්‍යාපාර සංඛ්‍යානය පිළිබඳ විශේෂ උපාධිය ප්‍රථම පෙළ සාමාන්‍ය සමාර්ථයක් මට තියෙන්නෙ. ඉන්පසුව NIBM ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්න පටන් ගත්තා. ඒ කාලය අතරතුර මගේ ශාස්ත්‍රපති උපාධිය වෙනුවෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ කොළඹ සරවියේ හැදෑරීම් කරන්න පටන් ගත්තා. කාලය නාස්ති නොකර අඩු වයසේදී ශාස්ත්‍රපති උපාධිය නිම කරන්න මට පුළුවන් වුණා. පසුගියදා තාත්තා අතින් ලබා ගත්තේ ඒ වෙනුවෙන් වු උපාධියයි.
- එතකොට මේ වෙන විට මිදෝරී අධ්‍යාපන කටයුතු කරන්නෙ ජපානයේ සිට නේද? ඒ ගැන කොහොමද විස්තර කරන්නෙ?
ඉහත කී සියලු කටයුතු කරමින් සිටි අතරේදී ජපානයේ රාජ්‍ය සරසවි ශිෂ්‍යත්වයක් වන MEXT වෙනුවෙන් මම අයැදුම් කළා. එය පූර්ණ ශිෂ්‍යාධාර මත ලැබෙන ශිෂ්‍යත්වයක්. අම්මා තාත්තාට බරක් නොවී ඉදිරියටත් කටයුතු කිරීම මගේ අරමුණ නිසා, ඒ විදිහට ජපාන ශිෂ්‍යත්වයට අයැදුම් කළා. ඒ වගේම ඒ අරමුණ කරා යාමේ ඉලක්කයක් මට තිබුණෙ. ලංකාවේ ඒ වෙනුවෙන් අයැදුම් කිරීමට සුදුසුකම් තියෙන්නෙ පළමු සහ දෙවැනි පංතියේ සරසවි ලකුණු ලබා ගත් සිසු සිසුවියන්ට පමණයි. ඒක ඇත්තටම ලොකු තරගයක් සහ අසීරු ඉලක්කයක්. දහසක් පමණ දෙනෙක් මෙම ශිෂ්‍යත්වය සඳහා අයැදුම් කිරීමෙන් පසුව පළමු වටයට 20 දෙනෙක් තෝරා ගන්නවා. එයිනුත් 7 දෙනෙකුට විතරයි මේ ජපන් රජයේ ශිෂ්‍යත්වය ලැබෙන්නෙ. ඒ හත් දෙනාගෙනුත් පළ වැනියා වෙන්න මට පුළුවන් වුණා. ඒ අනුව තමයි මම ජපන් රජයේ ශිෂ්‍යත්වය ලබා ගෙන එහි ගියේ. එහිදී ආචාර්ය උපාධිය වෙනුවෙන් වසර තුනක් හැදෑරීමට තියෙනවා. මෙම අප්‍රේල් මාසයේදී මම ඒ වෙනුවෙන් ජපානයට ගොස් සිටියදී තමයි ශාස්ත්‍රපති උපාධි උත්සවය වෙනුවෙන් මේ දිනවල ලංකාවට ආවෙ.
- මේ විදිහට උප කුලපති සහ මහාචාර්යවරයකු වන තාත්තා අතින් මෙලෙසින් උපාධියක් ලැබූ ලංකාවේ පළමු සිදු වීම ද මේ?
මම හිතන්නේ පළමු සිදුවීම විය හැකියි. තාත්තාගේ පළමු උපාධිය ගත්ත කැම්පස් එකේදිම තමයි මාත් ඒ උපාධිය ලැබුවෙ. තාත්තා ගත්ත මාස්ටර් උපාධියම තමයි මාත් ගත්තෙ. තාත්තා හැදෑරූ විෂය අංශයේම තාත්තාගෙම අතින් තාත්තාගේ ධූර කාලයේදීම මේ උපාධිය ලබා ගැනීම ඇත්තෙන්ම දුර්ලබ අවස්ථාවක් කියලයි මම හිතන්නෙ. ඒ විදිහට ලංකාවේ තාත්තෙකුගේ අතින් උපාධිය ගත්තේ මම විතරද කියලා මම දන්නෙ නැහැ. හැබැයි ඒක දුර්ලබ අවස්ථාවක් කියලා නම් මම දන්නවා.
තාත්තා සහ දියණිය
සඳුන් ගමගේ